ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත පාස්කු වින්දිතයන්ට වන්දි ගෙවා අවසන් ද? : වන්දි ගෙවීමේ කාර්‍යාලයෙන් සියල්ලන්ට ගෙවා ඇත්තේ ලක්ෂ 25යි !

Share post:

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් අතරින් සදාකාලික ආබාධිත පුද්ගලයන් සඳහා රු. 2,500,000ක් සහ පවුලේ ආදායම ඉපැයූ සාමාජිකයන් අහිමි වූ පවුල් සඳහා රුපියල් 29,225,000ක් වන්දි ගෙවීමේ කාර්යාලය විසින් මේ දක්වා ගෙවනු ලැබ තිබේ.

ඒ, හිටපු ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍යවරයා වූ , වත්මන් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ඇතුළු වගඋත්තරකරුවන් කිහිප දෙනෙකුගෙන් ලැබුණු මුදල්වලිනි.

මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද තීන්දුවට අනුව, වගඋත්තරකරුවන් විසින් අදාළ වන්දි මුදල් ලෙස රුපියල් මිලියන 311ක මුදලක් තැන්පත් කළ යුතුව තිබූ අතර 2023 සැප්තැම්බර් 11 දිනට වන්දි කාර්යාලයට ලැබී තිබුණු මුදල රු.34,325,588.87කි.

ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් පූර්ණ සහ සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයන්ට එක් අයෙකු සඳහා රුපියල් 500,000 බැගින් රුපියල් 2,500,000ක් ගෙවා ඇති බව එම කාර්යාලය සඳහන් කරයි.

ඊට අමතරව, ත්‍රස්ත ප්‍රහාරයෙන් වැටුප් ලබන පවුලේ සාමාජිකයෙකු මියයාමෙන් ආර්ථික හානියට පත් වූ පවුල් සඳහා එක් පවුලකට රු.175,000ක් බැගින් තවත් රු. 29,225,000ක් ගෙවීමට කටයුතු කරමින් සිටින බවද එම කාර්යාලය ප්‍රකාශ කරයි.

පාර්ශව කිහිපයක් විසින් ගොනු කරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, 2023 ජනවාරි 12 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය,මෛත්‍රීපාල සිරිසේන,ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි අංශ සේවා අධ්‍යක්ෂ සහ වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන නිලන්ත ජයවර්ධන සහ ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන පිරිස පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් මූලික මානව හිමිකම් කඩකර ඇති බවට තීරණයකර තිබිණි.

ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ට නියෝග කළ අතර සිරිසේනට වැඩිම වන්දි මුදල වන රුපියල් මිලියන 100ක් ගෙවන ලෙස නියෝග කළේය.

ඊට අමතරව ජයසුන්දරට සහ ජයවර්ධනට රුපියල් මිලියන 75 බැගින්, ප්‍රනාන්දු රු. මිලියන 50ක්, මෙන්ඩිස් රු. මිලියන 10ක් සහ රජය රු. මිලියන 1ක් ලෙස වන්දි ගෙවන ලෙසද නියෝග කෙරිණි.

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...