“අපේ කට්ටිය සුද්දො වාගෙ රොමෑන්ටික් නෑනෙ” ඒ කෙල්ලකගේ අඬාපාලියක්.
“සරාගී සිතුවිල්ලක් මෝදු වී ගෙන එන්නේ හරියට පුර හඳ මෝරනවා වාගේ. ඒ වාගේ වෙලාවට සරාගී සිතුවිල්ල සරාගී සිතුවිල්ලක් කියලා නිවැරදිව අඳුනා ගන්න කියපු එක අපේ අයට තේරිලා නැති නිසා වෙන්නැති නගේ”
අපි හැම වෙලාවෙම ඇත්ත දකින්න බයයි. කාටද බය කියලා හරියටම කියන්න අමාරුයි. ඒ නිසාමයි හිතෙන්නේ අපි බය අපිටමයි. ඒ නිසාම තමයි හැම වෙලාවෙම අපිව ඇත්ත හැඟීම වරද්දලා අඳුනා ගන්නේ, වැරදියට අර්ථ දැක්වීම කරන්නේ.
සුද්දො රොමෑන්ටික් තමයි. උන් රොමෑන්ටික් චිත්‍රපටිවල විතරක් නොවෙයි, ඇත්ත ජීවිතයේ පවා. මම කැනඩාවේ ආපු අලුත ආපන ශාලාවක වැඩ කළා දවස් හතරක්. එක දවසක ඔය වගේ සිද්ධියක් උනා. වයස හැට පහක් හැත්තෑවක විතර වයසක ජෝඩුවක් ආවා රාත්‍රී කෑමට. ඉතින් මට තමයි එයාලට සංග්‍රහ කරන්න තිබුණේ. මම ඉතින් එක එක දේවල් අරගෙන යද්දි මම දැක්කා සුද්දා අර සුද්දිගෙ අත උඩින් අත තියාගෙන හෙමිහිට පිරිමදිනවා. මම එක පාරටම ඒක දැක්ක. මට හරිම ලජ්ජාවක් හිතුණා. මගේ ඒ වෙනස දැක්ක ගමන්, සුද්දා මා දිහා බලලා හිනාවෙලා එයාගෙ අත අහකට ගත්තා. කොච්චර වයසට ගියත් එයාලා ළඟ රොමෑන්ස් නොනැසී තියෙනවා. ඇයි මේ අපේ අය ළඟ ඒවා නැත්තේ. ඉතින් අපි කතා කරමු ඔය ගැන ටිකක් ගැඹුරට.
දවසක් දා මම දහම් පොත් කීපයක් ගන්න හිතාගෙන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයට ගියා. ඒක ඇතුළට ගියාම ටිකක් වෙන්න පිස්සු හැදෙන තරමට පොත් කන්දරාව. ඔක්කොම ගන්න හිතෙනවා. ඉතින් ඒ පොත් අස්සේ පෙරල පෙරළා ටික වෙලාවක් හිටියා. වෙලාව යනවා දැනෙන්නේ නෑ.
ඔහොම ගිහින් සංස්කෘත පොත් තියෙන රාක්ක ගාවට ගියා. එතනත් දාලා එන්න දුකයි. ඉස්කෝල යද්දී නම් විතරක් අහලා තිබුණු පොත් සේරම එතන තියෙනවා. ඒ නිසාම මට පොත් තෝරන්න මහා සටනක් කරන්න සිද්ධ වුණා. ඉතින් ඔය අස්සේ මගේ ඇස් දිව්වා පොතක් දිහාට. නිකං ලැජ්ජාවෙන් වාගෙ පොත අතට ගත්තෙ මොකද පොඩි කෙල්ලොනෙ වෙළෙද සේවිකාවො. එයාලා හිතයිනෙ මේ නැන්දට මොකද මේ හැදිල තියෙන දාංගලේ කාම සූත්‍ර කියවන්න කියලා.
හැබැයි ඒකෙ කතුවරයා ස්වාමීන් වහන්සේ නමක්. පසුපිට බැලුවම එසේ මෙසේ ස්වාමීන් වහන්සේ නමක් නොවෙයි, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ භාෂා හා සම්භාව්‍ය අධ්‍යනාංශයේ වැඩබැලූ අංශාධිපති කෙනෙක් වෙලා හිටපු කථිකාචාර්ය හිමි නමක්. මමත් ඉතින් බය නැතුව පොත අතට ගත්ත, ගෑණු ළමයි ඕනෑ එකක් හිතපුදෙන් කියලා.
වාත්ස්‍යායන මුණිවරයා ගේ කාමසාස්ත්‍රය ගැන ඉගෙනගෙන තිබුනට පොත කියවලා තිබුණේ නැහැ මමත්. කාම සූත්‍රය අද ලෝකය පුරා ජනප්‍රිය යි. හැබැයි කාම සූත්‍රය කියලා ඉතින් හැමෝම තළු මර මර රස විඳින්නේ ඒ මහා කාව්‍යයේ තියන ඕලාරික කාම යෝගී ඉරියව් ටිකක් ගැන විතරයි. ඉතින් මේ පොත ගැන මම විමසිලිමත් වුණේ ස්වාමීන් වහන්සේ නමක් මේක ලියලා තිබුණ නිසා සහ මේකෙ ඔය කියන ඉරියව් වලට වඩා සෑහෙන යමක් තියෙන බව මට නිකමට තේරුම් ගිය නිසා.
ඇත්තටම මේක නිකංම නිකං පොතක් නොවෙයි. පර්යේෂණ නිබන්ධනයක සංස්කරණයක්. “මනුසැප වර්ණිත කාම සාස්ත්‍රය” කියලා තමයි වාත්ස්‍යායන කාමසාස්ත්‍රය නම් කරලා තියෙන්නේ. එතනයි මෙතන වැදගත්කම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ පොතේ reference දීලා තියෙන අනෙක් පොත් දිහා බලපුවාම තේරුම් යනවා, සිංහල සාහිත්‍යය තුළ, කාමය සහ ලිංගිකත්වයයට අදාළව ලියවී තිබුණ, අපට මගහැරිලා ගිය, මොනතරම් හරබර සාහිත්‍යයක් තිබිලා තියෙනවාද කියන එක.
ඇයි මේ මහා සාහිත්‍ය සම්ප්‍රදාය අපේ භාවිතයෙන් ඈත් වුණේ. හැංගිලා ගියේ? ඒක අවබෝධ කරගන්න එක හරිම වටිනවා. ඒකට හේතුව තමයි මේ අපේ මුලු රටම වෙලාගත්තු වික්ටෝරියානු සංස්කෘතික වහල්භාවය. ක්‍රිස්තියානි මුලධර්ම වාදයට අනුව සකස් වුණු වික්ටෝරියානු සංස්කෘතික ආකල්ප අපේ සමාජ ජීවිතය ඇතුළේ පැලපදියම් වුණේ අපටත් නොදැනුවත්වම. ඇත්තටම කියනවා නම් අපේ මනස් මෙහෙයවන්නේ
අපි බටහිර සිරිත් විරිත් කියලා අද කරපින්නාගෙන ඉන්නේ බටහිර රටවල් කෙලින්ම ප්‍රතික්ෂේප කරලා පැත්තකට දාලා තියෙන දේවල්. ඒවා කොච්චර කර පින්නා ගෙන ඉන්නවාද කීවොත් අපිට තේරුම් ගන්න බෑ අපි හිර වෙලා ඉන්නෙ බටහිර ආකෘති වල කියලා. ඒ විතරක් නොවෙයි අපේ පාලන තන්ත්‍රයට පවා ඒවා රිංගා ගෙන සමාජය හිර කරලා, ඒවා අපේම දේවල්, අපේ උරුමයන් කියලා කියන්න තරම් අපි පුරුදු වෙලා. අපේ දේවල් යල් පැන ගිය දේවල් කියලා ඒවා ප්‍රතික්ෂේප කරන්න ධෛර්යයක් අපට දුන්නේ මෙන්න මේ මානසිකත්වය.
අපේ කියලා තිබුණ වටිනා දේවල් ඉගෙන ගන්න එක පැත්තකට ම තල්ලු කරලා දැම්මා. ශෘංගාරය, කාමය, සරාගය සහ රසාස්වාදය ගැන ඉගෙන ගන්න තිබුණ වටිනා පොත් පත් මුල්ලක ගොඩ ගහලා දැම්මා. ඊට පස්සේ බටහිරින් ගත්ත, කෑලි ටිකක් තමයි අපි බොහෝම අගේ කරලා සමාජයට මුදා හැරියෙ. ඒවා මත පදනම් වෙලා අපේ සංස්කෘතිය ඇතුළට දාගත්ත බටහිර ශෘංගාරයේ සුන් බුන් ටිකක්, ඒ කීවෙ බටහිර කල් ඉකුත් වුණු කෑලි ටිකක් තමයි කොල්ලන්ට හොරෙන් කියවන්න එළියට දාලා තිබුණේ ලිංගික දැනුම ලබා දෙන්න කියලා. හැබැයි ඒවගෙ දැනුමට වඩා තිබුණේ වාණිජ අරමුණු වලට බරවුණු විකාර.
කාමය සහ රාගය පාපයක් කියන එක අපේ සංස්කෘතිය තුළ තිබුණ දෙයක් නොවෙයි. ශෘංගාරය කියන්නේ රසයක් වෙලා තිබුණේ පොත් පත් වලට විතරක්ම නොවෙයි. ඒක නිසාම තමයි ලියන්න කියන්න දන්න අය හිඟ කාල වකවානු වල, බෞද්ධ ස්වාමීන් වහන්සේලා නිර්භයව ඕවා ගැන ලීවේ. අන්න එ් නිසා අපේ සිංහල සාහිත්‍යය තුළ ඉතාමත් පුළුල් විදිහට ලිංගිකත්වය පිළිබඳ වැදගත් කරුණු ඇතුළත් වෙලා තිබුණා.
කාම සූත්‍රය කියන්නේ පරිපූර්ණව කාමය සහ ලිංගිකත්වය ගැන ලියවුණු පොතක් ලෙස සැලකුණාට, ඔය පොත සම්පූර්ණයෙන්ම කියවපු අය අඩුයි.
අනික තමයි මේ කාම සාස්ත්‍රය ඉගෙන ගැනීම වෙනුවට, කාම සූත්‍රය කියලා බොහෝ දෙනා ලිංගික ඉරියව් ගැන විතරයි හොයලා බලන්නෙ.
හැබැයි වාත්ස්‍යායන ගේ කාම සාස්ත්‍රය කියන්නේ ධර්ම, අර්ථ සහ කාම යන තුන කොහොමද අවියෝජනීය විදිහට සමපාත කරගෙන ජීවිතය ගෙනියන විදිහෙ ඇල්ගොරිතම් එක විග්‍රහ කිරීමක්.
ධර්ම කියලා මෙහි විග්‍රහ වෙන්නේ මානව සාර ධර්ම. ආත්මාර්ථය විතරක් බලාපොරොත්තු වෙන සමාජයක වෙසෙන මිනිසුන්ට කාම රසාස්වාදය විඳින්න පුළුවන් වෙන්නේ හැම මොහොතකම අනෙකාගැන හිතන එකට හුරුවීම තුළින්. පරාර්ථය මුසු වුණු සමාජ සාරධර්ම කොහොමද ජීවිතයට ඈඳා ගන්නේ කියන එක. පෞද්ගලික නිදහස කියලා, තමන්ගෙ හිතට එන හැම දෙයක්ම ක්‍රියාත්මක කිරීම කියන නව ලිබරල්වාදය නොවෙයි. සමාජ සාරධර්ම ජීවිතයට ගොනු කරන හැටි තමයි මුලින්ම විග්‍රහ කරන්නේ.
දෙවැනි එක අර්ථ; කොහොම ද ජීවත්වෙන ක්‍රමය සකස් කරගන්නේ කියන කාරණය. හැබැයි අර මුලින් කියපු සමාජ සාරධර්ම කියන පදනම දෙදරවන්නේ නැතුව, ඒවා උල්ලංඝනය නොකර ජීවත් වෙන ක්‍රමය සකසුරුවමින් පාදා ගන්න හැටි. මෙතෙන්දි වැදගත් වන්නේ එකකින් අනෙක යට කරන්නේ නැතිව මේවා එකිනෙකට අන්‍යොන්‍යව ප්‍රත්‍යය වෙන හැටි තමයි වැදගත්ම කාරණාව කියන එක පැහැදිලි කිරීමයි.
ඊළඟට තමයි කාම විග්‍රහ කරන්නේ. හැබැයි කාම අවසානෙට විග්‍රහ කරාට, ඒක තුන්වැනි තැනට දාන එකක් නොවෙයි. කාම කියන තැනට ආවම මුල් දෙක වගේම මේකෙ තියන ප්‍රමුඛ තාවය ඒ දෙකම පරයා නැගී එනවා. අන්න ඒ විදියට මේ තුනේම අවියෝජනීය තුලනය තමයි මේ පොතේ ලස්සනට විග්‍රහ කරලා තියෙන්නේ.
ඒ තුළින් තමයි මෝක්ෂය ලඟා කර ගන්න හැකි වෙන්නේ කියන එක හින්දු ධර්මයට අනුකූලව විග්‍රහ වෙනවා. ඒකට හේතුව මේ කාම සාස්ත්‍රය රචනා කල මුණිවරයා හින්දු භක්තිකයෙක්. හින්දු දහමට අනුව මෝක්ෂය සදහා අර්ථ ධර්ම කාම යන තුනේ අවියෝජනීය සබැඳියාව අවශ්‍යයෙන්ම රඳවා ගැනීමට අවශ්‍යය වෙනවා.
කොහොම වුණත් මේ පොතේ කාම පරිච්ඡේදය මුලින් අර ‘නංගීගේ ප්‍රශ්නයට’ නිසි පිළිතුරු සහ දැනුම් සම්භාරයක් ලබා දෙනවා. එනම් අපේ අයට නුහුරු ආලම්බනය, චුම්භනය ආදී පූර්ව මෛථුන ක්‍රියාකාරකම් විධිමත්ව විග්‍රහ කර දක්වනවා. ඇත්තටම බටහිර ජාතීන් පාරේ යද්දි පවා අත් අල්ලාගෙන, දෑත් පිරිමදිමින් තමයි ඇවිදින්නේ. අපේ අය ගෙදරදිවත් නිකමට අතකින් අල්ලනවාද? ලිංගිකව හැසිරීමට ඔන්න මෙන්න කියලා නොවෙයි හැම මොහොතකම අඹු සැමි දෙදෙනා ශාරීකව ගැටෙන්න ඉඩ සොයා ගන්න ඕනෑ.
විශේෂයෙන්ම බොහෝ අය නොදන්නා දෙයක් තමයි “මෛථුනය යනු එක් අයෙකුගේ කාර්යක් පමණක් නොව දෙදෙනාම සූරාන්තය ලබාගතයුතු මනුසැපක්” කියන එක. අද ලංකාවේ සමාජයේ තිබෙන වැරදි අවබෝධයක් තමයි ලිංගික ක්‍රියාව කියන්නේ පිරිමියා කතෘකාරයේ තබා ගෙන පිරිමියා විසින් කරනු ලබන ක්‍රියාවක් කියලා. මේ මතය අර ගොබෙල්ස් න්‍යාය වගේ ඒකම ජප කරලා කාන්තාවො පවා ඒ විදිහටම හිතන්න පුරුදු වෙලා තියෙනවා. මේක තමයි පවුල් දෙදරීමට වගේම, පවුල ඇතුළේ විඳවීමට හේතු වෙලා තියෙන්නේ.
මෙන්න මේ දෙය පැහැදිලි කිරීම සඳහා විශේෂයෙන් එකිනෙකාගේ ස්වීයත්වයට, සහ අනන්‍යතාවයට අනුව සකස් වෙන අන්‍යෝන්‍ය අවශ්‍යතාවයන් අවබෝධ කරගතයුතු ආකාරය ගැන විචිත්‍ර විග්‍රහයක් මෙම පොතේ ඉදිරිපත් කර තිබෙනවා. විශේෂයෙන් විවිධ පුද්ගලයන් ගේ විවිධාකාර රුචි අරුචිකම්, ශක්තීන් හඳුනා ගැනීම වගේම ඒවාට අනූකූලතාවයන් දක්වමින් පවුල් ජීවිතය තුළ සහජීවනය ගොඩනැගීමට අවශ්‍යය දැනුම සහ ක්‍රියාකාරකම් පිළිබඳව මනා විග්‍රහයක් මෙහි ඉදිරිපත් කර තිබෙනවා.
ඒනිසා මම යෝජනා කරනවා වයස් භේදයක් නොතකා, පූජ්‍යපාද ලාහුගල සුගතඥාන ස්වාමීන් වහන්සේ විසින් මහා පරිශ්‍රමයක් යොදා රචනා කර ඇති, මනුසැප වර්ණිත භාරතීය කාමශාස්ත්‍රය කියවා ගන්නා කියලා.