සුපුරුදු නොවන ආඛ්‍යාන රටාවකින් පාඨකයා වෙත ඉදිරිපත් කරන ‘කැමෙලියා’

Share post:

ධනය සහ බලය පසුපස හඹායන පුද්ගලයන්ට ඒවා සපුරා ගැනීමේදී ඒ සඳහා මිලක් ගෙවීමට සිදුවීම අනිවාර්යයකි. බොහෝවිට එවන් අවස්ථාවලදී ඔවුන්ට කැප කිරීමට සිදුවන්නේ සිය පෞද්ගලික ජීවිතයේ සතුට නැතහොත් සමීපතමයන් සමඟ පවත්නා සබඳතා ජාලයයි. විරාජිනී තෙන්නකෝන්ගේ අලුත්ම නවකතාව වන කැමෙලියා මෙම සුපුරුදු තේමාත්මකය සුපුරුදු නොවන ආඛ්‍යාන රටාවකින් පාඨකයා වෙත ඉදිරිපත් කරයි.

නවකතාවට පසුබිම් වන්නේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයයි. විශේෂයෙන් බ්‍රිතාන්‍යයන් මෙරටට තේ වගාව හඳුන්වා දී ව්‍යාප්ත කළ අවධියයි. එම අවධියට අදාළව අප කව්රුත් දන්නා පොදු කතාව යථාර්ථ තලයේ ගලා යයි. බ්‍රිතාන්‍යයන් මෙරටට පැමිණ තේ වගාව ඇරඹීම, එම වතුවල සේවය කිරීම සඳහා දකුණු ඉන්දියානු කම්කරුවන් ගෙන්වා ගැනීම, ඉතාම අමානුෂික තත්ත්වයන් යටතේ ඔවුන්ගෙන් වැඩ ගැනීම, කම්කරුවන් සංවිධානය වී විරෝධය දැක්වීම යනාදිය මෙම පොදු කතාවට අයත් වේ. මෙහිදී දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ කතුවරිය මෙම පොදු කතාව තුළ පවත්නා පරිකල්පන අවකාශ ලුහුබැඳ යාමය. නැතහොත් අධියථාර්ථමය මැදිහත්වීම් හරහා යථාර්ථයේ ප්‍රබන්ධය නිරාවරණය කිරීමය.

මිනිසුන්ගේ සහ සුනඛයන්ගේ හදවත් බද්ධ කිරීමට අත්හදාබැලීම් කරන වෛද්‍යවරයක් , මංගල දිනයේ මනාලයා නොපැමිණීම නිසා සති ගණනක් අඛණ්ඩව තම මංගල ඇඳුමින් ම සැරසී සිටින මනාලියක්, හිටිඅඩියේ අසාමාන්‍ය ලෙස ශරීරය තර වන කාන්තාවන් , සිනහවීමට උගන්වන පාසලක් මෙම අධියථාර්ථමය ඉදිරිපත් කිරීම්වලට නිදසුන් කිහිපයකි. ඉතිහාසයට ඉතිහාසය තුළම සිරගත නොවී වර්තමානයට පොලා පැනීමට අවශ්‍ය කරන හැඟවුම් මෙම ඉදිරිපත් කිරීම්වලින් උපදවා ගත හැකිය. මේ අනුව , පාඨකයාට අතීතය තරණය කර වර්තමානය කියවා ගැනීමට මෙම අධියථාර්ථමය මැදිහත්වීම් නොමඳව උපකාරී වේ. එහෙයින් කැමෙලියා යනු ඓතිහාසිකත්වය ඉක්මවා සමකාලිකත්වයට ආමන්ත්‍රණය කරන නවකතාවකි.

විරාජිනී මෙම නවකතාවේ සෑම පරිච්ඡේදයකටම ආප්තෝපදේශමය මාතෘකාවක් යොදා තිබේ. එවන් මාතෘකා කිහිපයක් මෙසේය.” අශ්වයන් කුලප්පු වීම ස්වභාවය වුවත් අශ්වාරෝහකයා කුලප්පු වීම අශ්වයෝ නොඉවසති”,” සුනඛයන් කතා කරන්නට උගත්තේ නම් උන් ඔතරම් හොඳ වන්නේ නැත”, “කතාන්දරය අවසන් වීමට පෙර නින්දට වැටෙන්නේ සිහින තිබෙන දරුවෝය”, ” ලොවක් පාලනයට සමත් මිනිසා හැඟීම් පාලනයේදී ⁣නොදරුවෙකි”. සුපුරුදු පොදු කතාවත් ආඛ්‍යානයේ අධියථාර්ථමය ස්වභාවයත් පරිච්ඡේද මාතෘකාත් අතර අන්තර්වියමනක යෙදෙමින් කැමෙලියා කියවන පාඨකයෙකුට ප්‍රබන්ධයේ යථාර්ථය නිරාවරණය කර ගනිමින් වර්තමානය වෙතට දිගු පිම්මක් පැනීමට අවකාශ ලැබෙනු ඇත.

උදිත අලහකෝන්

Related articles

දෙකක්නායකයන් දෙදෙනෙක් – කතා දෙකක්

දිනය 2011 අප්‍රේල් මස තුන්වැනිදායි. ඒ සති අන්තයේ ඉරිදාවකි අප්‍රේල් මස දෙවැනිදා, මුම්බායි හි වන්කඩේ පිටියේ දී ලෝක කුසලාන...

ශ්‍රී ලංකාව තවත් ලෝක කුසලානයකින් ඉවතට විසි විය

තවදුරටත් ශ්‍රී ලංකාව ලෝක කුසලානයකින් ඉවතට විසි වීම, ක්‍රිකට් ලෝකයට මවිතයක් ගෙන දෙන සිදුවීමක් නොවේ.සැබැවින්ම ක්‍රිකට් ලෝකය මවිත...

‘දුර දසුනක හිරු ගිනිගෙන’- පරිවර්තිකා අනූෂා සිවලිංගම්

ලාංකීය සාහිත්‍යයෙහි පරිවර්තන කෘති සඳහා පවතිනුයේ සතුටුදායක ඉල්ලුමකි. එහෙත් ඒ විදෙස් සාහිත්‍ය පරිවර්තන සම්බන්ධයෙනි. මේ තත්වය මධ්‍යයේ පසුගිය...

2014 – 2019 : අපරාධ රාජ්‍යයක සුරේෂ් සලෙයිගේ භූමිකාව !

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයෙන් තුවාන් සුරේෂ් සලෙයි ඉවත් කෙරිණි. ඔහු මීට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ...