සුපුරුදු නොවන ආඛ්‍යාන රටාවකින් පාඨකයා වෙත ඉදිරිපත් කරන ‘කැමෙලියා’

Share post:

ධනය සහ බලය පසුපස හඹායන පුද්ගලයන්ට ඒවා සපුරා ගැනීමේදී ඒ සඳහා මිලක් ගෙවීමට සිදුවීම අනිවාර්යයකි. බොහෝවිට එවන් අවස්ථාවලදී ඔවුන්ට කැප කිරීමට සිදුවන්නේ සිය පෞද්ගලික ජීවිතයේ සතුට නැතහොත් සමීපතමයන් සමඟ පවත්නා සබඳතා ජාලයයි. විරාජිනී තෙන්නකෝන්ගේ අලුත්ම නවකතාව වන කැමෙලියා මෙම සුපුරුදු තේමාත්මකය සුපුරුදු නොවන ආඛ්‍යාන රටාවකින් පාඨකයා වෙත ඉදිරිපත් කරයි.

නවකතාවට පසුබිම් වන්නේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයයි. විශේෂයෙන් බ්‍රිතාන්‍යයන් මෙරටට තේ වගාව හඳුන්වා දී ව්‍යාප්ත කළ අවධියයි. එම අවධියට අදාළව අප කව්රුත් දන්නා පොදු කතාව යථාර්ථ තලයේ ගලා යයි. බ්‍රිතාන්‍යයන් මෙරටට පැමිණ තේ වගාව ඇරඹීම, එම වතුවල සේවය කිරීම සඳහා දකුණු ඉන්දියානු කම්කරුවන් ගෙන්වා ගැනීම, ඉතාම අමානුෂික තත්ත්වයන් යටතේ ඔවුන්ගෙන් වැඩ ගැනීම, කම්කරුවන් සංවිධානය වී විරෝධය දැක්වීම යනාදිය මෙම පොදු කතාවට අයත් වේ. මෙහිදී දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ කතුවරිය මෙම පොදු කතාව තුළ පවත්නා පරිකල්පන අවකාශ ලුහුබැඳ යාමය. නැතහොත් අධියථාර්ථමය මැදිහත්වීම් හරහා යථාර්ථයේ ප්‍රබන්ධය නිරාවරණය කිරීමය.

මිනිසුන්ගේ සහ සුනඛයන්ගේ හදවත් බද්ධ කිරීමට අත්හදාබැලීම් කරන වෛද්‍යවරයක් , මංගල දිනයේ මනාලයා නොපැමිණීම නිසා සති ගණනක් අඛණ්ඩව තම මංගල ඇඳුමින් ම සැරසී සිටින මනාලියක්, හිටිඅඩියේ අසාමාන්‍ය ලෙස ශරීරය තර වන කාන්තාවන් , සිනහවීමට උගන්වන පාසලක් මෙම අධියථාර්ථමය ඉදිරිපත් කිරීම්වලට නිදසුන් කිහිපයකි. ඉතිහාසයට ඉතිහාසය තුළම සිරගත නොවී වර්තමානයට පොලා පැනීමට අවශ්‍ය කරන හැඟවුම් මෙම ඉදිරිපත් කිරීම්වලින් උපදවා ගත හැකිය. මේ අනුව , පාඨකයාට අතීතය තරණය කර වර්තමානය කියවා ගැනීමට මෙම අධියථාර්ථමය මැදිහත්වීම් නොමඳව උපකාරී වේ. එහෙයින් කැමෙලියා යනු ඓතිහාසිකත්වය ඉක්මවා සමකාලිකත්වයට ආමන්ත්‍රණය කරන නවකතාවකි.

විරාජිනී මෙම නවකතාවේ සෑම පරිච්ඡේදයකටම ආප්තෝපදේශමය මාතෘකාවක් යොදා තිබේ. එවන් මාතෘකා කිහිපයක් මෙසේය.” අශ්වයන් කුලප්පු වීම ස්වභාවය වුවත් අශ්වාරෝහකයා කුලප්පු වීම අශ්වයෝ නොඉවසති”,” සුනඛයන් කතා කරන්නට උගත්තේ නම් උන් ඔතරම් හොඳ වන්නේ නැත”, “කතාන්දරය අවසන් වීමට පෙර නින්දට වැටෙන්නේ සිහින තිබෙන දරුවෝය”, ” ලොවක් පාලනයට සමත් මිනිසා හැඟීම් පාලනයේදී ⁣නොදරුවෙකි”. සුපුරුදු පොදු කතාවත් ආඛ්‍යානයේ අධියථාර්ථමය ස්වභාවයත් පරිච්ඡේද මාතෘකාත් අතර අන්තර්වියමනක යෙදෙමින් කැමෙලියා කියවන පාඨකයෙකුට ප්‍රබන්ධයේ යථාර්ථය නිරාවරණය කර ගනිමින් වර්තමානය වෙතට දිගු පිම්මක් පැනීමට අවකාශ ලැබෙනු ඇත.

උදිත අලහකෝන්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...