‘එම්බාම් විමලේ’ – ධනුෂ්ක විමලසේන
නිර්මාණකරුවෝ සිය පරිකල්පනයෙහි මහිමයෙන් තමන් වසනා ලෝකයෙහි සාමාන්යල ඇසට නොපෙනෙනා නැතිනම් නොදකිනා දේ වඩා සියුම් සහ විස්තීර්ණ ලෙස යළි ගෙනහැර පාති. ඒ කියවනා පාඨකයා හට ඔහ්, මේ මං හොඳටම දන්න දෙයක් නේද යන හැඟීම ඇති වුවද ඉන් මොහොතකට පසුව ඔහු යළි පෙර පැවති තම ජීවන රිද්මයට ඇද වැටෙන්නේ ය. එහෙත් ඔහු තුළින් තම කියවීමෙන් ලත ආශ්වාදය හෝ රිදුම නැතිනම් ඒ කවර හෝ සංවේදනයෙහි බලපෑමෙන් ඔහුට මිදීමක් නම් නොලැබෙයි. වරින් වර එය ඔහු තුළ යම් යම් පෙළඹවීම් ඇති කරයි. නිර්මාණකයෙක ඇති එක් අපූර්ව බලයක් වන්නේ එයයි.
ඇතැම් නිර්මාණකරුවෙක් තම කාර්යයෙහිදී සමස්ත සමාජයෙහි එක් අංශයක් විවරණය කිරීම කෙරේ වෙසෙසින්ම උත්සුක වෙයි. මැක්සිම් ගෝර්කි සිය නිර්මාණ සැරියෙහිදී කෙටිකතාව තුළින් වෙසෙස් අවධානයක් යොමු කළේ සිය සමාජයෙහි සිටි පීඩිත නැතිනම් අවමානයට සහ නෙරපා හැරීමට ලක් කරන ලද මිනිස් ජීවිත විවරණය කිරීම කෙරෙහි ය. එහෙයින් ඔහුගේ කෙටි කතාවන්හී අපට බොහෝ විට හමවන චරිත යනු සමාජයෙන් නෙරපා හරින ලද්දන් ය. ඉන්දියාලේ ගෝර්කි යනුවෙන් විරුදාවලී ලත් සදාත් හසන් මන්ටෝ සිය කෙටිකතාවන්හී විශේෂයෙන්ම අවධානය යොමු කලේ ඉන්දියාව දෙකඩ වීම සහ ඉන්දීය සමාජයෙහි මණ්ඩි වන් පීඩිත මිනිසුන් කෙරෙහිය.
මේ කරුණු සිහියට නැගුණේ ධනුෂ්ක විමලසේන ගේ එම්බාම් විමලේ නම් කවි එකතුව කියවන විටදීය. ධනුෂ්ක සිය කවියෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු කරනුයේ මෙ කියනා සමාජයෙන් නෙරපා හරිනු ලබනා මිනිසුන්ගේ ජීවන රිද්මය සහ එහි කඩතොලු මෙන්ම ඔවුන් පෙරලා ජීවිතය හා පොර බදන්නට දරනා උත්සාහයන් කෙරෙහිය. එහිදී ඔහු වඩාත් උත්සුක වනුයේ ඔවුන්ගේ දිවි තතු ගෙනහැර පෑම තුළින් සේ සමාජ කොටස කෙරේ පාඨක අවධානය කැඳවීමටය.
මේ කටයුත්තේදී ඔහු විටෙක යොදා ගන්නේ නාගරික මණ්ඩි ස්ථරයට අදාල භාෂාවමය. ඔවුන්ගේ යෙදුම් සිය හැඟීම් විදාරණය උදෙසා ඔවුන් විසින්ම නිපදවා ගනු ලබනා නෙක උපහාසාත්මක වදන් ඔහු සිය කවියට ගෙන එයි. එසේ ඔහු පාඨකයා තමන් බැහැරින් සිට දකිනා ලොවක් වෙත කැටුව යයි. මේ ඔහු නාගරික දිවියෙහි යටි බිම ස්පර්ශ කරනා ආකාරයයි.
ඇන්ටෙක්ද කෑල්ලක් ද
ගේමට පන්සීයයි
මීටරේට තුන්සීයයි බඩුවට දාහයි
ආට එක මැයි ගහ යට
අර අතන මම මෙතන
ගහගන්ඩ දොරේ නම්බරේ
බින්දුවයි හතයි
පොලිසිය නතිං කැනපි දෙක දාගන්න
එහෙත් ඔවුන්ගේ ජීවිතය සරල හෝ ලෙහෙසි නැති. එහි රැවටීම මෙන්ම රවටනු ලැබීමද හිඟ නැත. රවටනු ලැබීම යනු ජීවිතයේ අඳුරුම නිමේෂයකි.
බව්ව දාන රෝහිණීට
පොල්ල තියල මහත්තයෙක්
ඒකි සික් හකටම
ඔලුව ගහගෙන කකුල් අස්සෙ
හොටු පෙරනවා කඳුළු එනකං
කොට්ටං ගහ මුල බංකුවේ
බැස්ටියන් බස් පොලේ දෙවෙනි කක්කුස්සියේ
කෙසේ වෙතත් විටෙක කවියා සංක්ෂිප්ත කවියක් හරහා අලේ සමකාලීන දේශපාලනයේ සැබෑ සිතුවම අඳින්නට සමත් වෙයි. ඔහු එහිදී ව්‍යංගාර්ථවත් බසක් යොදා ගකනිමින් සිය අරමුණ කරා සාර්ථකව ළඟා වෙයි.
දිවා රෑ නොබලා
කොට්ටෝරුවෙක්
තැනූ බෙනයේ
මයිනෙක් ලැගුම් ගත්
අපූරුව
කන්දක් උසට
පස් ගෙන තුඩට
සුරුවමට හයියට
වේයෙක් තැනූ තුඹසේ
නාගයෙක් ලැගුම් ගත්
අපූරුව
මෙහිදී ඔහු අපූරුව යන වදන භාවිතා කිරීම හරහා දනවන උත්ප්රාවසය කවියට වැඩි අලංකාරයක් ගෙන එයි.
මේ ඔහු නූතන පීඩිත කාන්තා චෝදනා පත්රීය කවියට නගන ආකාරයයි. දිනපතා පුවත් පත යනු අපරාධ ලිංගික හිංසන සහ අපචාරයන් කියවීම පිණිස වන මාධ්යයය බවට පත්ව ඇති වර්තමානයක සිත කීරි ගස්වන මිනිස් ඉරණම ගැන කවියා සිය අවධානය යොමු කරයි. එහිදී ඔහු යළි භාවිතා කරනුයේ පීඩිත පංතියෙහි දෛනික බස් වහරම ය.
හං මෝලෙ පල් වලේ සුමේ මට පවරලා
හිඟන පූජකයන්ට ගෙයි කැකුළ පවරලා
ගත් මොණරු ඊයම් කොලේ යටින් අවුලලා
පියා නෑ (පිං)පියා සැප ගත්තෙ මත් වෙලා
බඩ වෙච්ච කැකුළ ඇඬුවා ගස්ස මඩුවේදී
මුතු කුමාරිට පැන්නෙ දෙමටගොඩ හරියේදී
සභාවෙන් වළලද්දි පැන් වැඩුවෙ චෙස් දිදී
පිරිල ඉතිරිල යන්න කඳුළු හොඳටම මදී
මිනිසා හට සිය ජීවිතයේ ඛේදනීයම අවස්ථාවේදී සහනයක් ලැබේ යයි අපේක්ෂිත ආගමික සංස්ථාවද තවත් එක් ගොදුරු බිමක් පමණි. ඉන් ද හිංසනය ලත් විට පිහිට ඇත්තේ දුම්රිය සිප ගැනීමය. ඉන්පසු අවමගුල පවා කරන්නට වෙන්නේ ප්‍රාදේශීය සභාවෙහි පොදු අරමුදලටය. කවියා මේ පීඩිත දිවියෙහි කටුක බව නිර්මාණය කරන්නේ ඒ සියල්ල මැද කවියෙන් විස්තර කෙරෙනා පීඩිත කතගේ ඉරණම ගෙනහැර පාමිනි.
මොට්ට මන්නෙන් කපාලා හිමි උගුරු දණ්ඩ
නීතියට බාර වුනේ කලින් ලේ වේලෙන්ඩ
තවත් මොනවත්ම නෑ උසාවියෙ පවසන්ඩ
බුදු සර් කාලි මං වඳින්නම එල්ලන්ඩ
මිනීමැරුමක හංවඩුව දරනා මේ කාන්තාව ගේ වදන් මගින් කවියා සමාජ අසාධාරණයට ගොදුරුවන මිනිස් ජීවිතවල පොදු චෝදනා පත අපට ඉදිරිපත් කරයි. ඔවුන් තමන් එල්ලන්න යයි කෑ ගා කියන්නේ පවත්නා ක්රිමය තමන් කෙරේ බිංදු මාත්‍රයක සැලකිල්ලක් නොදක්වන බව දන්නා හෙයින් ඊටව්‍යංගයෙන් විරෝධයක් එල්ල කරමිනි.
ඔහු විසින් රචිත කවි අතර එම්බාම් විමලේ යනු අපූර්ව නිර්මාණයකි. එය සමාජයෙහි අප විසින් නඩත්තු කරනු ලබනා නෙක ව්යාඑජ පැවැත්මවල් බිඳී ගොස් අනපේක්ෂිත අයුරින් සැබෑව පිටතට ඇදී එන ආකාරය ඉදිරිපත් කරයි. වැඩිහිටියන්ට සැලකීම යනු සමාජයෙහි මූලික පදනක් සේ ගැනෙනා පසුබිමක ජීවිතය යනු හඹායාම් රැසය එකතුවක් ලෙස ගැනෙන වර්තමානයේ මේ සමාජය නඩත්තු කරනා මිථ්යාුව එම්බාම්කරුවෙකු හමුවේ නිරාවරණය වන ආකාරය මෙහි නිරූපිතය. සිය මියගිය පියාගේ මිනිහ හමුවේ අප නඩත්තු කරනා ව්යාමජය කවියා ගේ අවධානයට ලක්වෙයි. පවුලෙහි අයගේ අරමුණ වනුයේ තම පියාගේ අවමගුල මගින් තමන්ගේ මනුස්සකම් මෙන්ම වැඩිහිට්යන්ට සැලකීමෙහිලා තම අවංකකම පෙන්වාලීමටය. ඒ අතරම ඔවුන්ට ඇවැසි ඉහල පන්නයේ අවමගුලක් ගැනීමටය. ඔවුහු අපූරුවට අවමගුල සංවිධානය කරති. එහිලා සියල්ල මනා සේ සැලසුම් කෙරෙයි. පියා තමන් ඇසුරේ සිටියදී ලද සැලකුම් විස්තර කෙරෙනුයේ මේසේය.
අනේ ඔව් ඇනජලත් තාත්තට පන වගේ
ඊයෙ මං බලාගෙන උදේ කැඳ පෙවුවා
සුප් බොමුද ඇහුවා
තෝර මාලුත් එක්ක එළවලුත් තම්බා
දවල්ටත් කැවුවා හවස කිරි පෙවුවා
එහෙත් මේ සියල්ල එම්බාම් විමලේගේ මේසය මත නග්න වෙයි.
දිගු රැවුල බාලා කොණ්ඩය කපාලා
බැහැපු හකු පුම්බන්ඩ රෙදි කෑලි ඔතලා
ඔබන්නට හදද්දී උගුරෙ හිරවීලා
තැටි පාං ඔලුවක් ගත්තෙ ඌ ඇදලා
ධනුෂ්කගේ කවි අතර රේඩියේකෙන් අපි නමින කවියක් එයි. ඒ කවිය ගුවන්විදුලිය සමාජයේ අවියෝජනීය වස්තුවක් බවට පත් යුගයක විකාශය ගෙනහැර පාන නිර්මාණාත්මක ප්‍රයත්නයක. ඒ කවියේදී ඔහු විවිධ අවස්ථා මුහු කරමින් සමාජ චලිතයන් හරහා ජීවිතය සහ මනුෂ්ය සම්බන්ධතාවන්හී ගලායාම සාකච්ඡාවට ගෙන එයි. ධනුෂ්කගේ කවිය යනු බොහෝ කොටම සමාජයෙහි පත්ලේ විඳවන ආත්මයන් වෙත හෙලනා බැල්මකි. ඔහු තම කවියෙහි රිද්මය ගැන තවත් සැලකිල්ලක් දක්වමින් ලියන්නේ නම් මේ කවිවලට වැඩි ආලෝකයක් ලැබෙන්නට ඉඩ තිබිණැයි මට සිතෙයි.