තරූෂ පෙරේරා සහ හිල්මි සුපුන් සමඟ මැජික්සිතක් ගෙන ශ්‍රී ලංකාවට පැමිණී ජාන්නි රොදාරි

Share post:

මෙයට සති කිහිපයකට පෙර, මජිකාමේන්තේ නම් කාව්‍ය එකතුව සිංහලට පරිවර්ථනය කර ඉදිරිපත් කරමින් ඉතාලියේ වසන, හිල්මි සුපුන් හා තරුෂ පෙරේරා පිය පුතුන් විසින් ජාන්නි රොදාරි නම් සම්මාන ලාභී, ඉතාලි ජාතික ආදරණිය ළමා සාහිත්‍යකරුවා සිංහල සාහිත්‍ය ලොවට හඳුන්වා දෙනු ලැබී ය. ජාන්නි රොදාරිගේ 103 වන ජන්ම සංවත්සරය අද ඔක්තෝබර් 23, දිනට යෙදී තිබේ. Buon Compleanno Amico
ළමා සාහිත්‍ය යනු ළමුන් විසින් පමණක් සිදු කරන දෙයක් නො වන්නාසේ ම ළමා සාහිත්‍ය කියවිය යුත්තේ දරුවන් විසින් ම පමණක් ද නො වේ. විෂය නිර්දේෂිත විභාග උගුලක හසුකර තිබෙන ශ්‍රී ලාංකීය ළමා පරපුර වෙත ජාන්නි රොදාරි පන්නයේ විශිෂ්ඨ විදේශ සාහිත්‍යයක් අධ්‍යාපන බලධාරීන් විසින් හඳුන්වා දීමේ ඉඩ කඩ ඉතා පටු ය. කළ හැකි වන්නේ සිය දරුවන් තුළ ඉහළ පෞරුෂක්, යහපත් ආකල්පත්, වඩා ප්‍රබල සමාජානුයෝජනයක් පතන වැඩිහිටියන් විසින් ජාන්නි රොදාරි වැන්නන්ගේ සාහිත්‍ය සිය දරුවන් වෙතට සමීප කරවීමයි. ඒ සඳහා දැන් ඔබේ අතේ දුරින් මජිකාමේන්තේ ඇත.

දේශයක ළමා පරපුර, සිතන පතන ආකාරය මත එම දේශයේ අනාගතය ලියැවී තිබේ. එම දේශයේ ළමෝ සිතන්නේත් පතන්නෙත් වැඩිහිටියන් ඔවුනට පෙන්වා දෙන රාමුගත ජීවිත ක්‍රම හරහා ය. අප සමාජයේ බොහෝ වැඩිහිටියන්ගේ උත්සහය, ඔවුන්ගෙ ජීවිතයේ මග හැරුණ සිහින ඇරියස් සිය දරුවන් හරහා මුදුන් පමුණුවා ගන්නට ය. එවැනි සෑම දරුවෙකුව ම පොළොඹවන්නේ සමාජයේ උසස් යයි සමාජය විසින් සම්මත කරගෙන ඇති වෘත්තින් කෙරෙහි ළමුන් දැක්වීම ය. එම සිහිනතුළ ඇති මිථ්‍යාව විස්තර කිරීමට මේ ඉඩ හසර යොදා නොගනිමි.

එහෙත් පෞරුෂ අභිමුඛ අධ්‍යාපනයක කේන්ද්‍රය වන්නේ සංස්කෘතික පුද්ගලයෙකු ලෙස දරුවා වර්ධනය කිරීම සහ පුහුණු කිරීමය. එය මුළු මහත් ජන සමාජයක වගකීමකි. එබැවින් ඉතාලිය වැනි රටකින් අප රට වෙත මාසිකව ගලා එන විදේශ මුදල් සංචිත සේ ම එම සංස්කෘතියේ යහපත් ගති ලක්ෂණ හා ඉගැන්වීම් ද අප සමාජයට එක සේ වැදගත් ය. අධ්‍යාපනය යනු දැනුම හා කුසලතා ප්‍රගුණ කිරීමේ ක්‍රියාවලිය ඉක්මවා ගොස් දරුවෙකුගේ පෞරුෂය වර්ධනය කිරීමේ ක්‍රියාවලියකි. බටහිර රටක හා අප රටේ සම වයස් දරුවකුගේ පෞරුෂ වර්ධනය කෙතරම් වෙනස් දැ යි අපි අත්දැකීමෙන් දනිමු.

මේ කාරණය ඉතාලිය හා ශ්‍රි ලංකාව අතර පමණක් පවතින තත්ත්වයක් නොව. අප සමාජයේ මුල් බැස ගෙන ඇති පසු ගාමී මානසික තත්ත්වයේ ප්‍රතිඵළයකි. අල්ලට සිඟාවක් රස නැති කැවිලි කකා …… ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා යනුවෙන් උගත් අප, (මෙම උගැන්මේ කාලෝචිත බව
විමසනු විනා ඒ කෙරෙහි අපවාදයක් අප්‍රසාදයක් අපට නැත) ඉදිරි වැඩයයි වටහා ගත්තේ කුමක් ද? එහෙත් එම සමකාලීන ඉතාලි සමාජය ජාන්නි රොදාරිගෙන් උගෙන ගත්තේ කුමක්ද යන කාරණය විමසා බැලීම කාලෝචිතය.

කියවීමේ ශක්තිය
මම කැමතියි
හැමෝම කියවන්නන් වෙනවට
ඒ ලේඛකයෙකු කවියෙකු වීමට නොව
කිසිවෙකු කිසිවෙකුගේ
වහලෙකු නො වී සිටීමට – 29 කවිය

Slave හෙවත් වහලා යන වදන සිංහල සමාජයේ කියැවෙන දේශපාලන සැහැල්ලුවෙන් මිදුන අතීශය වේදනාවක් දරා සිටින වදනකි. Slave කෙනෙකුට සිය ශරීරයට කිසිදු අයිතියක් නැත. සිතන්නට හෝ හැඟීම් ප්‍රකාශ කිරීමට හෝ වේදනාවට කෙඳිරි ගෑමට හෝ ඉඩක් නැත. තම සියළු හැකියාවන්, ශක්තීන් හා නිදහස යෙදිය යුත්තේ වහල් හිමියා වෙනුවෙනි. වහල්හිමියා වෙනුවෙන්, ළමයින් (වහල් පැටවුන්) හැදීම වැදීම පමණක් නොව සටන් කිරීමට හා ජීවිතය කැප කිරීමට පවා සිදු වෙයි. එ වෙනුවෙන් ඔහුට හෝ ඇයට විලි වසා ගැනීමට රෙදි කඩමාල්ලක් හා යන්තම් කුස පුරවා ගන්නට පමණක් අහරක් ද ලැබේ. වහල් බවින් මිදීමට වහලුන් ශත වර්ෂ ගණන් සටන් කළහ. එබැවින් බටහිර සමාජයේ කිසිවෙකුට කිසිවකුගේ වහලෙකු වීමේ උවමණාවක් නැත. එවැන්නක් ඇසීම පවා ඔවුනට බිය උපදවයි. වහලෙකු නො වී සිටීමට ඉගැනීම යනු සමාජයිය සාක්ෂරතාව ලබාගැනීම නොවේද ? ජන මාධ්‍යට, දේශපාලකයාට හෝ වත්මන් සමාජ මාධ්‍යයට පවා කෙනෙක් පහසුවෙන්ම ගොඳුරු වන්නෙත් ඒවායේ වහලුන් බවට පත්වන්නෙත් එකී කියවීම නොමැති බැවින් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සිලබස් එකේ නැති විභාගෙට එන්නේ නැති අමතර දේ ඉගැනිමට කාලය ගත කිරීමට අකමැති දරු පරපුරක් සිටින අප සමාජයේ දරුවන් දත යුත්තේ ඉගැනීම පාසල් ගමනින් නතර නොවන බවය. මුළු ජීවිතය ම තක්සලාවක් බව ඔවුනට කියා දිය යුත්තේ ය. එවිට විභාගය අවසන් වූ දවසට ජන මාධ්‍ය ඔස්තාර්ලා වීසින් අහුලා ගන්නා වොයිස් කට් නිව්ස් වලට කම්පා නො වී සිටීමට හැකිවනු ඇත.

මේ පාසල වූ කලී
මුළු මහත් ලෝකයයි
එය විශාලයි
දෑස් ඇර බලන්න
ඔබත් සමතෙකු වනු ඇතිය – 1 වන කවිය

ඉතාලිය මෙන් විශාල භූමියක් සහිත රාජයයන් සහ වතිකානය, වැනි කුඩා භූමියක් හිමි රාජ්‍යයන් ද යුරෝපය තුළ පවති. ලිබරල්වාදීන් මෙන් ම පැසිසිට්වාදින් සමාජවාදීන් මෙන් ම ප්‍රජාත්නත්‍රවාදීන් ද යුරෝපයේ ආණ්ඩු කරති. නාමිකව හෝ රජුන් රැජිණියන් ද සිටිති. කඳු මෙන්ම තැනිතලා බිම් ද වෙති. මෙනයින් බලන විට යුරෝපය තුළ භාෂා, ආගම්, සංකෘතික විව්ධත්ත්වය ඉතා පුළුල් ය. එම වීව්ධත්ත්වය තුළ ඒකීයත්වය පවත්වා ගැනීමේ වැදගත් බව ජාන්නි රොදාරි ළමා මනසට කියාදෙන අපූරුය. “අහස සැමට” යන කවිය ඒ සඳහා නිදසුනකි. එහි අවසාන කොටස මෙසේය.

ඉතින් මට කියා දෙන්න
ගද්‍යයෙන් හෝ පද්‍යයෙන්
අහස තනි යායක්ව පවතිද්දි
මහපොළොව කැබලි වූයේ මන්ද (2 වන කවිය)

ලෝකයේ ඇතිවූ බොහෝ යුද්ධ සඳහා ඇරඹුම් වෙඩි උණඩය පුපුරාගියේ යුරෝපයේ යම් තැනකින් බව කීමේ වරදක් නැත. එහෙත් ජාන්නි රොදාරි, ඉතාලි ළමුනට යුද්ධ විරෝධී වීමට නිරන්තරයෙන් ම කියා දුන්නේය. ඉහත දැක් වූ කවියද ඒ සඳහා නිදසුනකි. “වර්ෂාවට පසු” නම් කවිය ද, “කළ යුතු දේ සහ නොකළ යුතු දේ” යන කවියද ඒ නිදසුන් අතරට එක් කළ හැක.

පැරණි මති මතාන්තර, ආප්තෝපදේශ කල් ඉකුත්වන බවත්, අලුත් ලොවට නවීන සිතුවිළි ජනිත කිරීම අවැසි බවත් ළමා පරපුරට අලුතින් සිතන්නට පොළඹවන කවියක් ලෙස හිතෝපදේශ මැයෙන් එන කවිය අප සිත් ගනී. සිරිමත් මගේ සකි, ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු වැනි අප සාහිත්‍යයේ හමු වන හිතෝපදේශ කාව්‍ය ද නැවත කියවන්නට සිත් වන්නේ මෙවැනි අලුත් කියවීම් හමුවන විටය.

හිතෝපදේශ

පැරණි හිතෝපදේශයක් තියෙනවා
“හුදකලාව සිටීම හොඳ බව”
මම දන්නවා ඊට වඩා හොඳ දෙයක්
සාමුහිකව බොහෝ දුර යා හැකියි.

කවුරුත් දන්නැහැ ඒත් හිතෝපදේශයක් තියෙනවා
තනිව යමක් කරද්දි තුන් ගුණයකින් කළ හැකි බව
මම එය කනකට ගන්නේ නැහැ
“මිතුරෝ සීයක් වෙත් නම් සීයක් දේවල් කළ හැකියි”

පුස් බැඳුන හිතෝපදේශයක් තියෙනවා
“හුදකලා කෙනා කා සමඟත් රණ්ඩු නොකරන බව”
මම කියන්නේ ඒක බොරුවක්
“අපි බොහෝ දෙනෙක් වෙත් නම් විනෝදජනකයි.” 18 කවිය

පැරණි හිතෝපදේශ පමණක් නොව, සමහර නීති රීති කෙරෙහිද නැවත සිතා බලන්නටත් අලුත් ඇසකින් බලන්නටත් ළමයිනට කියා දෙන ජන්නි රොදාරිගේ ඒකාධිපතියා නම් කවිය දෙස බලමු.

ඒකාධිපතියා

තිතක්
පුංචි තිතක්
උඩඟුව සහ කෝපාවිෂ්ටව
කෑ ගසයි

” මගෙන් පසු
ලෝකයේ
අවසානය පැමිණේවි”

වචන
විරෝධය පළ කෙළේය

“කවර පිස්සුවක්
හිස දරාගෙනද?
ඔහු සිතන්නේ
තිතකින් පසු අවසානය යැයි.

තිතකින් පසු
ආරම්භයකි පැමිණෙන්නේ

සියල්ල මැද
කඩදාසියේ තනිව
නවතී තිත ස්ථීරවම

පහළ රූලේ සිට
ලෝකය ඉදිරියට යයි.” 20 කවිය

දුක සැප කුමක් දා – අසන නිරිදෝ වෙන කොයින්දා කියා රජු ඉදිරියේ කර බා ගෙන ඉන්නට නොව, රජුගේ වුවත් වරැද්ද හමුවේ විරුද්ධ වීමටත් ඒක රාශී වීමටත්, විකල්ප පෙල ගැසීම් කියවීම් සඳහා යොමු වීමටත් ය එකී කවිය අපට උගන්වන්නේ.

අප මේ සටහන ඇරඹුවේ, අප සමාජයේ වැඩිමනත් මව්පියන් බලාපොරොත්තුවන්නේ තම දරුවන් සමාජයේ ඉහළ තලය යි කියා ගන්නා වෘත්තිකයන් කිරීමට බල කරමින් බව ඉඟි කරමිනි. දැන් මේ සටහන නිමා කරනු වස්, ජාන්නි රොදාරී ඉතාලි සමාජයේ කුඩා දරුවන් වෙත සදය උපහාසයෙන් යුතුව දුන් පණිවිඩය උපුටා දක්වන්නේ, එයින් අප ශ්‍රී ලාංකීය සමාජයට ද යමක් ගත හැකි බව සිතෙන බැවිණි. යමකුගේ රැකියාවෙන් හෝ ඔහු සතු වාහනයෙන්, නිවසේ ප්‍රමාණයෙන් මිනිසුන් මැනීමේ ක්‍රමයට සමු දෙන්නට දරුවන් පෙළඹවිය යුතුය. කම්මැලියන් හැර අනෙක් සියළුදෙනා ම සමාජයට වැදගත් කාර්ය භාරයක් ඉටු කරන වෘත්තිකයන් ය. ඔවුනට ගරුකරන්නට අප ඔවුනට කියා දිය යුතු ය. එය අධ්‍යාපනයේ මානුෂික මුහුණුවර විය යුතු ය.

රැකියාවට අනුව ගඳ සුවඳ

මං හඳුනනවා කම්කරුවන් වෙතින් හමනා ගඳ සුවඳ

කුළුබඩු වෙළෙඳුන් වෙතින් එන්නේ සාදික්කා සුවඳයි
කාර්මිකයන්ගේ ඇඳුම තෙල් ගඳයි
බක්කරේ ළඟ පිටි සුවඳයි
ගොවි ගෙවිලියන් වෙතින් පස් පුසුඹයි
පින්තාරුවන් වෙතින් එන්නේ තීන්ත සුවඳයි
වෛදය වෘත්තිකයාගේ ඇඳුම බේත් සුවඳයි

ටිකක් අමුතුයි කම්මැළියන් ළඟ
කිසිවක්ම නොදැනුණත් පොඩි ගඳක් එයි – 35 කවිය

ජාන්නි රොදාරි නම්, සම්මානලාභී ලේඛකයාගේ කාව්‍යාලෝකය ශ්‍රී ලංකා කවි මළුව වෙත ගෙන ආ හිල්මි සුපුන්ට සහ තරූෂ පෙරේරා පිය පුතුන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පලකරමු.

නිරෝෂ ප්‍රනාන්දු

10/23/23

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...