‘මැයි මාර ප්‍රසංගය’ – මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
සිදුවන සෑම දෙයකටම හේතු දැක්වීමක් සිදු වූවද යථාර්ථය ඉක්මවා ඇති ආකාරයක් දැකිය හැකි නවකතාවක් ලෙස මැයි මාර ප්‍රසංගය හඳුනා ගත හැකි ය. (ඉන් අදහස් කරන්නේ මැයි මාර ප්‍රසංගය මැජික් රියලිසම් යනුවෙන් හඳුන්වන ආශ්චර්‍යාත්මක යථාර්ථවාදය යන සාහිත්‍ය ශානරයට ගත හැකි බවක් නොව) අප දකින අප සිතන සීමාවෙන් එහාට ගොස් දකින සිතන ආශ්චර්‍යමත් පෙම්වතෙක් කතාව තුළ දකින්නට ලැබීම ය. යථාර්ථය ඉක්මවන්නේ එතැනින් ය. එහෙත් බහුතරය නොවූවත්, මෙපමණටම නොවූවත් මෙවැනි ආදරණීය කැපකිරීම් සිහි කිරීමට ඔබට මට හැකි බවද සිහි කළ යුතු ය. ඉහත අදහස්වල පරස්පර ස්වභාවයක් දැකිය හැකි නම් එය ඉවසා කෘතිය කියවා ඒ අදහස් සමඟ එකතු වීම හෝ නොවීම කළ හැකි ය.
නවකතාවකට මධ්‍යම පුරුෂය යොදා ගැනීමම අභියෝගයක් ලෙස කල්පනා කරමි. කතාව පවසන්නේ ඔබට ය. මෙය ඔබ කියවිය යුතු කතාවක් ය. මෙය ඔබ දැනගත යුතු ඇත්ත ය. මේ කතාවේ ඇමතුම් ලබන්නා නොවූවත් එකී කතාව කියවීමේදී ඔබ ගැන ඇතිවන හැඟීම ප්‍රභල ය. එහෙත් අපට දැනෙන්නේ මෙහි කතකයාද නොව කතකයා පවසන කතාවේ කතා නායකයා ය. ඔබ යනුවෙන් දැක්වෙන්නේ එකී කතා නායකයාගේ කතාවේ කතා නායිකාව ය. ඔබ යනුවෙන් ඇයව ඇමතීම තුළින් ම ඇය කෙරෙහි ගෞරවයක් මෙහි කතකයගේ සිත තුළ ඇති බව පැහැදිලි ය. එකී ගෞරවය ඔහු තුළ ඇති වීමේ කතාව මේ යැයි දැක්වීමේද වරදක් නැත.
“ඔබ මීදුම අතරින් මතු වුණා. එකම රටාවකට අඩි තිය තිය. වඩාත් ඉක්මනින් නෙමෙයි…”
කතකයාගේ අරමුණ වී ඇත්තේ දෑස්වත් එකිනෙක මුණ නොගැසුණු තරුණියක් වෙනුවෙන් තරුණයෙකු කළ කැප කිරීම් ගෙනහැර දැක්වීම ය. එහෙත් ඒ ප්‍රධාන අරමුණ ඉටුවෙන අතර තවත් බොහෝ මනෝ- සමාජීය ඉම් ස්පර්ශ කිරීමට කතුවරයාට හැකි වී ඇත.
මෙහි කතානායකයා සමිධ අතුලසිරි නම් දෙමෝදර ප්‍රදේශයේ තරුණයෙක් ය.
” ඔන්න ටික දවසකින් පිළිතුරු ලිපියක් ආවා. බොහොම පිළිවෙළකාරී හැඩැති අත්අකුරින්.”
ඔහුට ඇත්තේ බොහොම පිළිවෙළකාරී හැඩැති අත් අකුරු ය. ඒ තුළින්ම වුවද සමිධ පිළිබඳ අදහසක් ගත හැකි ය. පිළිවෙළට හැඩට අත් අකුරු ලියන තරුණයෙකුගේ අනෙකුත් වැඩ කටයුතුද බොහෝ විට ආ අයුරු විය යුතු ය. එමෙන්ම ඔහු යම් නිදහස් දිවියක් ගත කරන්නෙක් විය හැකි ය. මේ ආදි කරුණු රාශියක් ඔහු ගැන අවබෝධය කරගැනීමට හැකි ය.
මෙහි කතකයා ලෙස පෙනී සිටින්නේ කෘතියේ කතුවරයා වන් මහින්ද ප්‍රසාද් මසිඉඹුල බව කෘතිය අවසානයේ යොදා ඇති අස්සන මගින්ද ඔබට පැහැදිලිය. එමෙන්ම මෙය ප්‍රබන්ධයක් වන හෙයින් කතකයා කවුද යන්න හඳුනා ගැනීමට අප කියවා ගත යුතු වන්නේ මැයි මාර ප්‍රසංගය නවකාතාව මිස. සම්මානිත කතුවර මහින්ද ප්‍රසාද් මසිඉඹුල ව නොවන බව මාගේ විශ්වාසය ය. ඒ අනුව ඔහු කලබලකාරී චරිතයකි.
“වහා ක්‍රියාත්මක වන පරිදි මම එක එක විදිහෙ ආදර කතන්දර දහතුනක් දවස් පහක් ඇතුළත ලියලා…”
ඉතා ඉක්මනින් යමෙක් විශ්වාස කරන කතුවරයෙක් වීමේ දැඩි ආශාවකින් යුතු ඒ වෙනුවෙන් කැපවී වැඩ කරන චරිතයකි. එමෙන්ම අහිංසක ගුණයක් කැටි වූ තමන් වෙනුවෙන් පෙනී සිටින අයෙක් වෙනුවෙන් උපරිමය කිරීමට කැපවෙන චරිතයකි. නොදන්නා යමක් ඉගෙන ගැනීමට කැමති චරිතයකි. සමාජය පිළිබඳ විශාල අවබෝධයක් නොමැති එහෙත් එය වටහා ගැනීමට උත්සාහ කරන චරිතයකි.
සංචරණී නම් චරිතය හඳුනා ගත හැකි වන්නේ ඇගේ චරිතයේ හැසිරීම් රටාව ඔස්සේය. ඇය පරිසරයට ආදරය කරන්නියක් ය. ඇය නියමිත අරමුණක් වෙනුවෙන් නිරන්තරයෙන් වැඩ කරන්නියක් ය. ඇගේ ජීවිතය ඒකාකාරීය. කාලසටහනකට අනුව වැඩ කරන්නියක් බඳු ය.
” ඒ මොකද පරක්කු වෙන්නේ…” මං ඇහුවා.
“එයා හැමදාම අඩිපාරේ මග තප්පර හයක් හතක් විතර නතර වෙනවා. අව්ව තියෙන දවසක මම පෙන්නන්නම්කෝ…යමු පහළට…”
මැයි මාර ප්‍රසංගය තුළ සංකේත භාවිතය ගැන කතා කළ යුතුමය. මෙහි දක්වා ඇති රසකාරක විවිධාකාරයෙන් විඳිය හැකි ය. ඒවා හුදෙක් කරාබු නැට්ටක්, වසාවාසි හෝ සාදික්කා ලෙස විඳිය යුතු නැත. ඒ සමිධ සතු මහා අද්දැකීම් මල්ල ය. ඒ සෑම අවස්ථාවකම ඉන් අද්දැකීමකින් දෙකකින් කතකයාගේ අද්දැකීම් මල්ලද පිරෙන්නේ ය.රසවත් වෙන්නේ ය. සමිධ නොයෙක් ආකාරයේ අත්හදා බැලීම් කරන්නේ කෙසේද ඒ අයුරින්ම කවියෙක් රචකයෙක් වීමේ ආශාවෙන් පෙළෙන්නෙක් අත්හදා බැලීම් කළ යුතු ය.
එමෙන්ම සමිධගේ කාමරය තුළින්ද හොඳ කියවන්නෙක් මතු වන්නේ ය. ඔහු ළඟ කව්සිළුමිණ පමණක් නොව කෑම වට්ටෝරු පොත්ද ඇත. පෑන් පැන්සල් පමණක් නොව. පැළ බද්ධකිරීම ගැන පොත්පත් සහ ඇන්ටනා සාදමු වැනි ආර්ථික ප්‍රතිලාභ වඩා වැඩියෙන් ලැබිය හැකි ආකාරයේ පොත් පත්ද ඇත. එමෙන්ම කැඩුණු සර්කිට් කෑලි සහ ඒ ආශ්‍රිත දේවල් මගින් ඔහු එවැනි දේවල් සඳහා උත්සාහ කර ඇති බවද පැහැදිලි ය. මෙවැනි දැනුම් පරාසයක් ලියන්නෙකුට අවශ්‍යය. අද්දැකීම් මල්ල එයින් පුරවා ගත යුතු ය. එහි ඇති කපපු රතුරෙදි ආදිය මැයි මල් සැකසීම සඳහා ඔහු ගත් දෑ බව කතාව අවසානයේ පැහැදිලි වන්නේ ය.
කාව්‍යාත්මක භාෂාවෙන් බැහැර වීමට මස්ඉඹුල කවියාට අවකාශය ලැබී නැත. කවීත්වය ඉස්මතු වී පෙනෙන භාෂා විලාසය මැයි මාර ප්‍රසංගයට ආභරණයක් වී ඇත. ඒ එය එහි තේමාවට උචිත බැවින් යැයි සිතිය හැකි ය. සමිධගේ වචනයෙන් පැවසුවහොත් හරි හරියට රසකාරක මුසුකළ නවකතාවක් ලෙස අගය කළ හැකි ය.
“…නූලක එල්ලපු හීනි විදුලි බුබුළු වැලක් කවුරු හරි හෙමීට, තාලෙට කන්ද දිගේ අදිනවා වගෙයි”
“ඔන්න බලන්න දැන් කඳු විළුඹේ දිලිසෙන කෝච්චි සලඹ.”
භාෂාව හැසිරවීම තුළ ඔහු චිත්ත රූප නංවන අයුරු නවකතාව තුළ දැකිය හැකි වීම සුවිශේෂීය. ඒ හේතුවෙන් සිනමාපටයක් නැරඹීමෙන් ලබන රසය විඳිය හැකි ය. එමෙන්ම අනුප්‍රාස රසයද ගද්‍ය කාව්‍යයට එක් කිරීමට ඔහු උත්සාහ ගෙන ඇත. එය එම අවස්ථාවට උචිත වන්නේ. කෙටි වැකි හේතුවෙන් චරිතය මනාව සිත්හි ඇඳෙන බැවිනි.
“තද දුඹුරු පාට රැලි – රැලි සාය. ළා දම් පාට මල් – මල් හැට්ටය, විල්ලුද වගේ තුනී ඉරි – ඉරි කබාය. සුදට හුරු කොටු – කොටු බෑගය…”
නවකතාව තුළින් සමාජ දේශපාලනික අර්ථයක්ද ඉස්මතු වන අයුරු දැකිය හැකි ය. ලාංකීය තාරුණ්‍යය කාලසටහනකට අනුව කටයුතු කරන මට්ටමකට පත්ව තිබීම කනගාටුවට කරුණකි. ඔවුන්ට ජීවිතය රැකියාවය. ඔවුන් ඒ තුළ සිරවී ඇත. එහෙත් ඒවා ස්ථීර නොවන තත්ත්වයන්ය. සංචාරණීගේ චරිතය තුළින් ඒ බව මනාව දැකිය හැකි ය. ඇගේ ජීවිතයේ සතුටින්ම සිටි මොහොත දුම්රියෙන් බැස රැකියා ස්ථානය කරා යන මොහොත විය හැකි ය. ඇගේ චරිතය තුළින් සරල විනෝදයකට වඩා දැඩි ආතතියකින් හිඳීම නිසා ලද අවස්ථාවකින් එය සමනය කරගන්නා චරිතයක ලක්ෂණ දැකිය හැකි ය. ඇය වැස්සේ තෙමෙමින් යන මොහොත ඒ සඳහා නිදසුන් ය. එමෙන්ම ඇය සෑම දිනකම මෙන් රැකියාවට පැමිණීම නිසා ඇයට ආතතිය ගෙන එන්නේ රැකියා ස්ථානයෙන් නොවිය හැකි ය. ඇය පරිසරය සමඟ මනා බැඳීමක් ඇති කර ගැනීම තුළින් ඇය මානව බැඳීමකට මැදිවී නැතැයි සිතිය හැකි ය. එනම් ඇය විවාහක යැයි සිතූවද ඈ ඒ තුළ අධ්‍යාත්මයෙන් බැඳී නොසිටිනවා විය හැකි ය.
සමිධගේ චරිතය තුළින් මතුවන ආකාරයෙන් පෙම්වතුන් විරල ය. ඔහු නිදහස් චින්තනයකින් හෙබි තරුණයෙක් ය. ඔහු නිදහස අගය කරන බව සහ සතුට යන්න සාපේක්ෂ දෙයක් බව මනාව පසක් කරවනා චරිතයක් ය. විරාගයේ අරවින්දව විටක සිහිකරවන ඔහුගේ චරිතය තුළින්ද තරුණ ශ්‍රමා මනාව කළමනාකරණය කර ගැනීමට නොහැකි වූ ලාංකීය දේශපාලනයේ අඳුර දැකිය හැකි ය. තුත්තිරි මිටකටත් වීදුරු බෝතලයකටත් මිනිසෙක්ව දැඩිව කම්පනය කළ හැකි බව සමිධගේ චරිතයෙන් නිරූපණ වේ. එය මිනිස් මනසෙහි ස්වරූපය ය. එමෙන්ම රැකියාව අහිමි වීමෙන් අනතුරුව සංචරණීගේ ජීවිතය කෙසේ සකස් වීද යන්න විමසා බැලිය යුතු ය. පෞද්ගලික ආයතනයකට සේවකයෙක් යනු සේවාව ලබා ගන්නා තෙක් වටිනා පුද්ගලයෙක් වූවද අනතුරුව පොට්ට කාසියක් මෙන් ඉවත ලන්නක්ය.
ආගමි සහජීවනය සහ ජාතින් අතර ඇති සහජීවනයද යම් අවස්ථාවක මතු වී ඇතත් ඒවා ගැඹුරින් විමසා බැලිය යුතු නැති තරම් ය.
මැයි මාර ගස හා සම්බන්ධ සිදු වීම කළ හැක්කක් හෝ නොහැක්කක් වේවා කතාවේ උච්චතම ස්ථානය එය වනතරමට කියවන්නා තුළ අපූරු රසයක් ඇති කර වීමට කතුවරයා සමත්ව ඇත. කතුවරයා මහින්ද ප්‍රසාද මස්ඉඹුල බව හඬගා කියන තැන එය විය හැකි ය. කියවන්නා තුළ ඒ වනතෙක් කුතුහලය රඳවා ගැනීමට ඔහු සමත් වීමත් පැසසිය යුතු ය. වරින් වර ඒ ගැන ඉඟියක් ලබා දීමට ඔහු උත්සාහ කළ ද අවසන් වන තෙක් එම ඉඟි හඳුනා ගැනීමට පාඨකයාට අවස්ථාව නැති වීම ම කෘතිය රසවත් වීමට හේතුවක් ය.
මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටන් හා මාණික්කාවත කියවූ පාඨකයන් එකී පොත් මිනුම් දණ්ඩක් කර ගෙන මැයි මාර ප්‍රසංගය කියවනවාට වඩා මැයි මාර ප්‍රසංගය වෙනමම කියවා ගැනීම තුළින් අපූරු රසයක් විඳ ගත හැකි ය. මැයි මාර ප්‍රසංගය කියවා සති කිහිපයක් ගත වීමෙන් අනතුරුව මේ සටහන ලියන්නේද කෘතියෙන් ලද ප්‍රහර්ෂය හේතුවෙන් අතිශයෝක්තියක් සටහනට ඇතුළු නොවීම පිණිසය. ඉතින් මැයි මාර ප්‍රසංගය කියවා ඒ කාව්‍යමය ගද්‍ය කාව්‍ය විඳ ගැනීමට ඔබටද ඇරයුම් කරමි.