මරදානෙ අපේ කොලීජියෙන් ගිහින් ක්‍රිකට් ලෝකය දික්විජය කරපු කී දෙනෙක් හිටියත් එදත් අදත් මගේ ප්‍රියතමයා අරවින්ද තමයි. ලංකාවෙන් බිහිකළ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ගැන වාද විවාද තියෙන්න පුළුවන්. ඒත් මගේ ලෝකයේ වීරයා අරවින්ද. මටනම් ඔහු දොන් බ්‍රැඩ්මන්ටත් වඩා ලොකුවට පෙනෙනවා.
මේ ලෝක පූජිත ක්‍රීඩකයා විශ්‍රාම ගිහිනුත් දැන් සෑහෙන කලක් ගතවෙලා ඉවරයි. ඒත් තවමත් ලෝකයා ඔහු ගැන කතා කරනවා. අරවින්දගේ ජීවන ඉනිමේ 57 වැනි ලකුණ වාර්තා කරපු දවසේ The Hindu පුවත්පත ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක් කළා.
හින්දු පුවත්පත කියන විදියට 1996 ලෝක කුසලානයේදී ඉන්දියාව මවිත කරපු ක්‍රීඩකයා අරවින්ද. ඉන්දියාවෙ ලෝක කුසලාන සිහිනයට බාධාකරපු ලොකුම ඇනයත් අරවින්ද. අවසන් පූර්ව තරඟයේදි පිත්තෙන් විතරක් නෙවෙයි පන්දුවෙනුත් ඉන්දියාවට රිදෙන්නෙම බැට දුන්නා. ඒ කෑම අදටත් ඉන්දියානුවන්ට අමතක නැහැ.
අරවින්ද ගැන කතාකරන හැම තිස්සෙම අර්ජුන ගැනත් නොකියාම බැහැ. අර්ජුන දවසක් කියල තිබුණා 1996 ලෝක කුසලානයට පෙර සිටම ඔහුගේ මූලිකම උවමනාව වෙලා තිබුණෙ අරවින්දව සතුටින් තැබීම බව. මොකද පීඩනය උපරිම මොහොතක පාවිච්චි කරන්න පුලුවන් බුලට් එක අරවින්ද බව ලොක්කා දැනගෙන හිටියා. අරවින්දත් ඒ වැඩේ සුපිරියටම කළා. අවසන් තරඟයේ අරවින්දගේ ඉනිම ලෝක ක්‍රිකට් වංශකතාවේ නො මැකෙන මතකයක්. එය ශ්‍රී ලාංකික පිතිකරුවකුගේ විශිෂ්ඨතම ඉනිම කිව්වොත් වඩා නිවැරදියි.
අරවින්ද කියනවා ඔහු පීඩනය enjoy කරපු බව. ඔහුට අවශ්‍ය උනෙත් පීඩනය බව. කණ්ඩායමේ ලාබාල ක්‍රීඩකයන්ව පීඩනයෙන් ආරක්ෂා කරගන්න තමන්ට උවමනා වූ බව.
“අසමත්වීම් හා විවේචන ගැන මම ඒ තරම් කරදර උනේ නැහැ. වැරදි පහරක් ගහලා එළියට යන්න උනාමත් මම හිතුවෙ ඒක මගේ විදිය කියල. මට ඕනෑ උනේ විවියන් රිචර්ඩ්ස් කෙනෙක් වෙන්න. මම මොන වැඩ තිබුණත් විවියන්ගෙ වීඩියෝ බලන එක නතර කළේ නැහැ .” ඔහු හින්දු පුවත්පතට කියනවා.
විවියන් රිචර්ඩ්ස් කොළඹට පැමිණි දවසක අරවින්ද ඔහුව තමන්ගෙ නිවසට එක්කන් ගියා. එ වැනි ලෝක පූජිතයන් එක්ක කතා කරන්න ලැබුණාම ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කරන්න ලැබුණාම තමනුත් ඔවුන් හා සමාන බව හිතෙන එක ස්වාභාවික බව අරවින්ද කියනවා. නමුත් තමන්ගෙන් පසුව ඊළඟ පරම්පරාවක් හදන එක ඉහළ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ වග කීමක් බවත් ඔහු කියනවා.
අරවින්දලා ඇත්තටම ඊළඟ පරම්පරාවක් හැදුවා. ඒත් ඊට පස්සෙ පරම්පරාව ඒක හරියට කළාද කියන විවේචනය අදටත් තියෙනවා. අරවින්දලා ක්‍රිකට් ගහද්දි වෙන දේවල් ගැහුවෙ නෑ. ඒ කාලෙ සමාජ මාධ්‍ය තිබුණෙ නෑ තමයි. ඒත් අරවින්දලාට තිබුණ ක්‍රිකට් කැරිස්මාව දැන් ඉන්න ක්‍රීඩකයන්ට වඩා කිහිප ගුණයකින් ඉහළයි. ඒ ජනප්‍රියත්වයෙන් වෙළඳ දැන්වීමක දෙකක පෙනී සිටිනවා හැර වෙනත් දෙයක් ඔහු කළේ නැහැ. අර්ජුනනම් එහෙමවත් පෙනී සිටියෙ හිටියෙ නැහැ.
අර්ජුනලා අරවින්දලා ක්‍රිකට් ලෝකයේ හිනිපෙත්තෙ ඉන්න දවස්වල ඉන්දියාවෙදි යම් පුද්ගලයෙක් අර්ජුනට විශේෂ ආරාධනාවක් කරනවා. ඔහුගේ ඉල්ලීම වුණේ අරවින්දත් සමඟ රාත්‍රී භෝජන සංග්‍රයකට එන ලෙස. අරවින්ද සමඟ කතා කරන්න තමන් ඉතා ආශාවෙන් පසුවන බව ඒ ආරාධිතයා කියනවා.
අර්ජුන තමන්ට ලැබුණු විශේෂ ආරාධනය ගැන අරවින්දට කියලා හැන්දෑවට යන්න සූදානම් වෙන්න කියනවා.
“කවුද invite කළේ?”අරවින්ද අහනවා.
“ෂාරුක් ඛාන්”
“කවුද ෂාරුක් ඛාන් කියන්නේ? අරවින්ද පෙරළා අහනවා.
ඒ ගැන සිහිකරන අර්ජුන කියන්නේ ඇත්තටම අරවින්ද, ෂාරුක් ගැන දැනගෙන හිටියෙ නැති බව. අරවින්ද බොලිවුඩ් චිත්‍රපට බල බලා කාලය කෑවෙ නැති බව අර්ජුන වැඩි දුරටත් කියනවා.
අරවින්දලා ටෙලිවිෂන් චැනල්වල නිදිමරා ගෙන සින්දු කියනවා ,බලි බුත කියවනවා අපට මතක නැහැ.
ලෝක කුසලාන ජයග්‍රහණයත් ඉන් පසුව දැක් වූ දස්කම් නිසාත් සනත්ලා, මුරලිලා වඩා ජනප්‍රිය වූ බව ඇත්ත. ඔවුන්ගේ ලකුණු හා කඩුලු වාර්තා අරවින්දගේ වාර්තාවන්ට වඩා විශාල බවත් ඇත්ත. ඒත් අරවින්දගේ ලකුණු මල්ල ඊට වඩා අඩු වුණත් බරින් වැඩි බව කිව්වොත් නිවැරදියි.
ඒ කාලෙ අර්ජුනට වඩා අරවින්ද ගැන හැමෝගෙම අවධානය තිබුණා. ඒත් කවදාවත් තමන්ගෙ නායකයා පරයා යන්න අරවින්ද වැඩ කළේ නැහැ. ලෝකයේ ප්‍රබලම ක්‍රිකට් කණ්ඩායමේ එක හා දෙක අතර තිබුණ සමඟිය නිසාම කිසි දවසක කණ්ඩායම සී සී කඩ ගියේ නැහැ.
ක්‍රිකට් ලෝකයට අත්පොත් තබන දරුවන්ගෙන් දෙමව්පියන් බලාපොරොත්තු වෙන්නෙ සංගක්කාර කෙනෙක්, මහේල කෙනෙක්, නැත්නම් සනත් හෝ මුරලි කෙනෙක්.
ඒ නිසාමදෝ අරවින්දලා බිහි වෙනවා අඩුයි. ඒත් මෙරට ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර බිහි වූ විශිෂ්ටතමයා අරවින්ද.