සියල්ල වෙනස් වන්නේ කතාවෙහි ඇති එක් සුවිශේෂි චිත්‍රයක් නිසාවෙනි

Share post:

නූතන සංදර්භය තුළ ආගමික පූජකයන්, දාර්ශනිකයන් කලාකරුවන් ආදී බොහෝ චරිත එක මොහොතකින් ඔවුන් අත්කරගත් සියලු දේ අහිමි කරගනිමින් අගතියට පත්වන අයුරු දිනපතා අපේ ඇස් මානයට හසුවන දෙයකි. සාමාන්‍යයෙන් සමාජයක පෙරගමන් කරුවන් ලෙස යම් දුරකට සැලකෙන කලාකරුවා පවා නූතන සංදර්භය තුළ අතරමංව ඇති අයුරු දැකිය හැකිය. මේ නූතන වට්ස්ඇප්, ‌ෆේස්බුක් ආදී නා නා මාදිලීය සමාජ මාධ්‍ය ජනිත කළ ඩිජිටල්මය සමාජයේ ස්වභාවය එසේය.

චමිල් හර්ෂණ ලියූ සිරසාලවන්‍යා කියවද්දී මේ කරුණ නැවතත් මගේ මනසේ ඇඳී ගියේය. යහපත සහ නපුර අතර දෝලනය වන මේ නවකතාවේ චරිත මේ ද්විත්වය අතර වරින්වර මාරුවෙමින් ජීවිතයේ ස්වභාවය විදාරණය කරයි. චිත්‍ර ශිල්පියෙකු ගේ චරිතය මූලික කරගෙන ගොඩනැංවුණද කතාව තුළ ස්ත්‍රී චරිත ද්විත්වයක් මූලික වෙයි. ඒ් ශීර්ෂා සහ ලවන්‍යා යන චරිත ද්විත්වයයි. සියල්ල වෙනස් වන්නේ කතාවෙහි ඇති එක් සුවිශේෂි චිත්‍රයක් නිසාවෙනි. එය ඔබට කෘතිය කියවා දැනගන්නට මම ඉඩ තබමි.

මා මෙහි කැමතිම චරිතය උදාර සංකල්ප නම් විචාරකයා බව කිව යුතුය. ඔහු පෙන්නුම් කරන්නේ මේ නූතන සන්දර්භය තුළ සමාජ සුබසිද්ධිය, ආචාර ධාර්මිකත්වය ගැන ලොරි ටෝක් දෙන එහෙත් සුළු වේදනාවකින් ඒ් සියල්ලම විනාශ කරමින් කෝපය සහ ද්වේශයට බිලිවන, තමාම මවන වටිනාකම් දියකර හරින දෙබිඩි ජීවිතයක් ලෙසිනි. නූතනයේ සමාජ මාධ්‍ය තුළ සැරිසරන මෙවැනි ෆේක් දෙබිඩි ජීවිත අපිට හමුවේ. මෙහි විචාරකයා සහ භෞතිකවාදියා යන සංකීර්ණතාවයන් දරණ එකිනෙකා ප්‍රතික්ෂේප කරන මනෝමය ව්‍යූහයන් දෙකකි.

යහපත සහ නපුර මේ කතාවෙහි චරිත පුරාම තැවරෙමින් විටින් විට ඔවුන්ගේ ස්වභාවයන් උද්දීපනය කරන අයුරු අපූරුය. මෙය පැරණි ග්‍රීක පවුල් ඛේදාන්ත මාදිලියේ කතාවක හැඩය ගෙන තිබුණද කතුවරයා කෘතියට එකතු කරන නව ආඛ්‍යානමය වෙනස්කම් නිසා කතාව නව්‍යතාවයකට පත්වෙමින් පාඨකයා ආකර්ෂණය කරගනියි. මෙම අලුත් මාදිලිය නිසාම ඔහුට තමන් කියන්නට යන දේ ප්‍රබන්ධය විනාස කර නොගෙන කියන්නට හැකියාව ලැබෙයි. එය හොඳ ලේඛකයෙකුගේ දක්ෂතාවයකි.

සම්පූර්ණ කෘතියම කියවා අවසන් වූ විට මට හැඟුණේ මුළු කතාවම පොතේ අවසානයට එන සුරංගනා කතා මාදිලියෙන් ලියවුණානම් මෙහි රසය තවත් වැඩි වන්නට තිබූ බවය. නූතන සන්දර්භයක් තුළ සුරංගනා කතා ශෛලියට බොහෝ වැඩ කරන්නට හැකිය. යථාර්ථවාදයේ නොපවතින්නේ නම් ලංකාව තුළ ප්‍රතික්ෂේපවීමට ඇති ඉඩ බොහෝ විට මෙවැනි මනරම් ආඛ්‍යානයන් අපට අහිමි කරයි. Yann Martel ගේ Life of Pi වැනි කෘතියක් හෝ Tea Obreht ගේ The Tiger’s Wife වැනි පොතක් සිංහල සාහිත්‍යය තුළ ලියවෙන්නට නම් අප තව බොහෝ දුර යායුතුය. මැදදී එකම තැන කැරකෙන ගතිය පාඨකයාව මඳක් වෙහෙස කරන්නට ඉඩ ඇති බැව් පෙනේ. එය වඩා සූක්ෂමව හසුරුවාගත්තා නම් අගනේය.

රශ්මික මණ්ඩාවල

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...