රටේ ඇති වී තිබෙන ආර්ථික සහ සමාජයීය අර්බුදකාරී තත්ත්වය යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හෝ එවැනි පිරිස් රැකබලාගැනීමේ සහ ඔවුන්ට අපහසුතා ඇතිවීම වැළැක්වීමේ වගකීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන ජාතික කවුන්සිලය හරහා අදාළ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැරිය යුතු බව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂ, මනෝ වෛද්‍ය විශේෂඥ ජයාන් මෙන්ඩිස් අවධාරණය කරයි.
ලෝක මානසික සෞඛ්‍ය දිනය පසුගිය 10දාට යෙදී තිබිණි. ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී විශේෂඥ වෛද්‍යවරයා මේ අදහස් පළකළේය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල වගකීම
හෝමාගම, කිරිවත්තුඩුව ප්‍රදේශයේ සහ පානදුර ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සියදිවි නසාගැනීමේ සිදුවීම් පසුගිය කාලයේදී වාර්තා විය. තීරණාත්මක අවස්ථාවලදී අදාළ පුද්ගලයන් හුදෙකලා නොකොට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් විකල්ප රැකබලාගැනීමේ ස්ථාන වෙත කඩිනමින් යොමු කළ යුතු බව ද පෙන්වා දෙන මනෝ වෛද්‍ය විශේෂඥවරයා, එම වගකීම ඉටු නොකිරීම බරපතළ තත්ත්වයක් බව ද සඳහන් කරයි. තමන්ගේ රැකවරණය පිළිබඳ ගැටළු මතුවීමෙන් ඔවුන් දැඩි භීතියට පත්වන බවත්, එවැනි අවස්ථාවල ඔවුන් සියදිවි නසාගැනීමට පෙළඹෙන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ක්ෂේත්‍රය ගැන නොදත් චක්‍රලේඛ
‘ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක රජයේ නිලධාරීන් කීදෙනෙක් ඉන්නවද. අපි සංගමයක් විදිහට කොවිඩ් පළමු රැල්ල ආපු අවස්ථාවෙ ඉඳලම කිව්වා, මේ කොට්ඨාසයකට මේ වගේ තත්ත්වයන්ට මුහුණදෙන්න පුළුවන් වෙන්න එක මධ්‍යස්ථානයක් බැගින් හදන්න කියලා. මේ වගේ වැඩකට ගන්න පුළුවන් වහලා දාපු රජයේ ගොඩනැගිලි කොච්චර තියෙනවද. ඒ මධ්‍යස්ථාන හරහා රජයේ නිලධාරීන් ඔක්කොම සම්බන්ධීකරණය කරන වැඩපිළිවෙලක් හදන්න කියලා අපි කිව්වා. ඒත් ඉහළ නිලධාරීන්ට මේ ක්ෂේත්‍රයේ ගැටළු තේරෙන්නෙ නෑ. වීදුරු කාමරවල ඉඳලා ඒගොල්ලො නිකුත් කරන චක්‍රලේඛවලින් මේවට උත්තර ලැබෙන්නෙ නැත්තෙ ඒකයි.’ මේ පිළිබඳ අප කළ විමසීමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය එසේ පැවසීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා යනු ප්‍රදේශයේ සෞඛ්‍ය සම්බන්ධයෙන් තීරණාත්මක – පොදු වගකීම දරන, ජනතාවට වඩාත් සමීප විය යුතු රජයේ නිලධාරියා ය.
සම්බන්ධීකරණ ගැටළුව
ලංකාවේ ජනගහනය අනුව බැලූ විට, එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සිටින්නේ ජනගහනයෙන් 20,000 කට ය. එවැනි තත්ත්වයක් යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා ප්‍රදේශවලට පත්කර ඇති ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි, ළමා හිමිකම් නිලධාරි, පරිවාස නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි වැනි රාජ්‍ය නිලධාරීන් අතර විධිමත් සම්බන්ධීකරණයක් ඇති නොකිරීම මෙවැනි ගැටළු සම්බන්ධයෙන් තීරණාත්මක ලෙස බලපාන බව අප සමග අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරයෙක් සඳහන් කළේය.
සෞඛ්‍යයට පමණක් පැවරිය හැකිද?
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශය පාර්ශ්වයෙන් පවසන්නේ මෙවැනි තත්ත්වයකදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් වෙනම චක්‍රලේඛ හෝ උපදෙස් අනවශ්‍ය බවත්, දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඒ සඳහා තමන් යටතේ සිටින නිලධාරීන් යෙදවිය හැකි බවත් ය. නිලධාරීන් අතර සම්බන්ධීකරණයක් ඇති කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීමක් ලෙස හුවාදැක්වීම අසාධාරණ බවත්, මේ මොහොතේ එය සියල්ලන්ගේ වගකීමක් බවත් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
1996 අංක 28 දරන පනත
මේ අතර මෙවැනි විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් වගකීම සහිත සමාජ සේවා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන ජාතික කවුන්සිලයක් තිබේ. 1996 අංක 28 දරන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන පනත යටතේ මෙම කවුන්සිලය පිහිටුවා ඇත. අදාළ විෂය භාර ඇමැතිවරයා එම කවුන්සිලයේ සභාපතිවරයා විය යුතු බවත්, සභාපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් 11 දෙනෙකු සහ විවිධ ක්ෂේත්‍රවලින් මෙන්ම පළාත් සභා සහ පළාත්පාලන ආයතන මට්ටමින් පත්කෙරෙන සාමාජිකයන් 9 දෙනෙකුගෙන් මෙම කවුන්සිලය සමන්විත වන බව පනතේ සඳහන් ය. විෂය භාර ඇමැතිවරයාගේ උපදෙස් මත මේ සියලු සාමාජිකයන්ට විධිමත් ලෙස ගෙවීම් සිදු කළ යුතු බව ද එහි දක්වා ඇත.
එනම් මෙය ගරු සේවයක් නොවන අතර, රාජකාරියකි.
පහසුකම් සැපයීමේ වගකීම
කවුන්සිලය යටතේ ක්‍රියාත්මක විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන ජාතික ලේකම් කාර්යාලයක් පිහිටුවීමට ද පනත මගින් ප්‍රතිපාදන සකස් කර තිබේ. මෙම පනතේ 13 (අ) හි කවුන්සිලයේ කාර්යය යටතේ සඳහන් වන්නේ මෙම කවුන්සිලය පළාත්පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යල සමග සම්බන්ධ වී, ඒ එක් එක් ප්‍රදේශවල සිටින විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පිළිබඳ ලැයිස්තුවක් ලබාගෙන, ඔවුන්ගේ සුබසාධන කටයුතු සඳහා මැදිහත් විය යුතු බවයි. එහි අංක 06 යටතේ රට පුරා සිටින එවැනි පුද්ගලයන්ගේ ලැයිස්තුවක් නඩත්තු කළ යුතු බව ද සඳහන් ය. එසේම අවශ්‍ය අවස්ථාවලදී, විශේෂ තත්ත්වයක් යටතේ ඔවුන්ට අදාළ සියලු පහසුකම් සැපයීම ද මෙම කවුන්සිලයේ කාර්යයක් ලෙස පනතේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මනෝ වෛද්‍ය විශේෂඥ ජයාන් මෙන්ඩිස් පවසන්නේ කවුන්සිලයෙන් අපේක්ෂිත කාර්යභාරය ඉටු නොවීම කනගාටුවට කරුණක් බවයි. අඩු තරමේ ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමග සම්බන්ධවෙමින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය සඳහා පහසුකම් සැපයීමක් හෝ සිදු නොකරන බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි. මේ අතර 2001 වසරේ සිට අදාළ පනත යටතේ අමාත්‍යංශයේ ලියාපදිංචි ස්වේච්ඡා සංවිධානයක් ලෙස විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන සංවිධාන ඒකාබද්ධ පෙරමුණ ද (DOJF – Disability Organization Joint Front) කටයුතු කරමින් සිටී.
කලාපයේ දෙවැනි තැන ලංකාවට
කෙසේ වෙතත් ආසියානු සංවර්ධන බැංකුව මගින් නිකුත් කරනු ලබන කලාපයේ සමාජ ආරක්ෂණ දර්ශකය පිළිබඳ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව සිටින්නේ කලාපයේ දෙවැනි ස්ථානයේ ය. ලංකාවට ඉදිරියෙන් සිටින්නේ තායිලන්තය පමණි. ළමා, වැඩිහිටි සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන සුබසාධක සේවා සම්බන්ධයෙන් මෙම වාර්තාව සකස් කරනු ලබයි.