බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’ ද මීවිතකි

Share post:

‘ධූමලාවණ්‍යාගාරය’ – රුවන් බන්දුජීව

කවි පොතක් එනකන් අවුරුදු දහයක් බලා සිටීම වූ කලී ඉවසීමකි. කෙසේ නමුත් වසර දහයකට පසු කවියෙන් කවිය විඳීමි. අටුවා ටීකා අවශ්‍ය නැති බන්දුජීවගේ ධූමලාවණ්‍යාගාරය ගැන කෙටි සටහන් පමණක් තබන්නේ දැනෙන සියල්ල ලිවීමට මේ අවකාශය මදි හෙයින් ය. බන්දුජීවගේ භාෂා වික්‍රමයට වඩා මා දකින්නේ ඔහුගේ පරිකල්පනයේ ඇති අසමසම බව ය. සැබැවින්ම ඔහුගේ පරිකල්පනයෙන් නිමැවැන මේ කවි ඉන්ද්‍රජාලිකය. ඔහු කවිය තුළ ඉන්ද්‍රජාලික ලියන්නෙක් යැයි මම හඳුන්වමි. බන්දුජීවානු කවිය එතරම්ම ප්‍රභලය.
පහත කවිය පමණක් වුවද එයට නිදසුන් ය.

පේරාදෙණිය හරියෙදි හරි වැඩක් වුණා
රූරා ගලපු ගඟ ගල උඩ නතර වුණා
මීරා පොළේ කොයි කවුරුත් එකතු වුණා
තල්ලු දෙකක් දැම්මම ගඟ පිටත් වුණා

(සුරාසල් කවි; පිටු 14)

අතීත මිනිසුන්ට අද මෙන් පසෙකින් සංගීතය සපයන විවිධ මසවුළු සපයන මත්පැන් බීම සඳහා වෙන් වූ ස්ථාන නොතිබෙන්නට ඇත. එසේ තිබුණද ඔවුන් යම් එළිමහන් තැනක සල්ලාපයේ යෙදෙමින් එකී මත්පැන්, විශේෂයෙන්ම රා බොන්නට ඇත. එවැනි අවස්ථාවල නොයෙක් තරාතිරමේ අය එකතු වන්නට ඇත. ඔවුන් ඔවුන් ගැන පුරසාරම දෙඩීම හෝ අනෙකා විහිළුවට ගනිමින් හෝ මේ කටයුත්තේ යෙදෙන්නට ඇත. එම යුගය කෙබඳු වන්නට ඇද්ද සහ රා බී මත් වූවන්ගේ ස්වරූපය කෙබඳු වන්නට ඇද්ද යන්න දැක්වෙන සිව්පද කවි කිහිපයක් ලෙස සුරාසැල් කවි හඳුනා ගත හැකි ය. එහි හාස්‍ය රසය ගන්වා ඇති අපූරු ය. එමෙන්ම ඒ තුළින් මතුවෙන අද මෙන් දැඩි තරගකාරීබවක් නොතිබුණු අතීත සමාජය හා පාරිසරික සුන්දරත්වයද කියවා ගත හැකිය.

‘ලංකාවේ උතුරු දෙසට ගලන ගංගා ඇත්තේ එකක් පමණි. – (පොතකින්) ‘කනගරායන් ආරු යන හිසින් යුතු කවියට වස්තු විෂය වී ඇති අද්දැකීම ලෙස ඔහු දක්වා ඇත. ඒ තුළින් එවන් කවක් නැගෙන්නේ ඔහුගේ ප්‍රතිභාව නිසාමය.

“…මහවැලි කැලණි වලවේ කළු යන ගංගා
මිණි කැට තියන් සිටියදි දිය යට හංහා
තියෙන දෙයක් දෙන්නට උතුරට රිංගා
ආරු කනගරායන් පාරට බැස්සා …”

(කනගරායන් ආරු ; පිටු අංක 22)

කවියාගේ බෙදුම්වාද පිළිබඳ දැක්ම සංයමයෙන් යුතුව කවියට නගා ඇති අයුරුය. උතුරට සහ උතුර නොවන අනෙක් ප්‍රදේශවලට නොයෙක් ක්ෂේත්‍රවලදී දක්වන විෂමතාව කවියට නගා ඇත. දකුණට මෙන්ම උතුරටද සමානාත්මතාවෙන් යුතිව සැලකිය යුතු බවත් ඒ වෙනුවෙන් එක්කෙන්කෙ දෙන්නෙක් නොව සියල්ල කටයුතුකළ යුතු බවත් කවියා ධවනිත කර ඇත. ඒ සඳහා ඔහු යොදාගන්නා කවිබස අපූරුය. අපූරු යෙදුම් ය. නැවත නැවත විඳිය හැකි මෙන්ම කවිය තුළ පවතින රිමානුකූල ස්වභාවය නිසා මේවා මතක හිටින පද වන්නේ ය. අපූරුකාව්‍යෝක්ති උත්පාදනයෙහි ලා ඔහු දක්වන සමත්කම විශේෂයෙන් පැසසිය යුතු ය.

ඇවිත් ගිය පසු ශාස්තෘ නම් හිසින් යුතු කවිය තුළ කවියා මතු කරන පාරසරික පරිහානිය මෙන්ම සංස්කෘතික මිනිසාගේ පරිහානියද වටහා ගත යුතු ය. එමෙන්ම ඒ තුළින් මතුවන මිනිස් ස්වභාවය හඳුනා ගැනීම සහ එම තත්ත්වයන් කළමනාකරණය තුළින් පුද්ගලයෙක්, ආයතනයක් හෝ රටක් වශයෙන් වුවද යම් යම් අවස්ථා කෙරෙහි අපි සංවේදී විය යුති ප්‍රමාණය හා උදම් විය යුතු ප්‍රමාණයත් පිළිබඳ කිහිපවරක් සිතීමට පෙළඹිය හැකි ය. එමෙන්ම එවැනි අවස්ථා නිවැරදිව කළමනාකරණය කිරීමද කළ හැකි ය. කවියා තම කවි තුළ පවත්වාගෙන යනු ලබන උත්ප්‍රාසය මෙන්ම ධ්වනිය පැසසිය යුතු ය. එමෙන්ම මෙහි ශාස්තෘ, කඳු යන පදය සංකේතවත් ය. තවද මේ සියල්ල දේශපාලනික කාරණාබවත් එකී දේශපාලනය අප ප්‍රශ්නකළ යුතු බවත් එවැනි දේශපාලකයන් හාස්‍යයට හා උපහාසයට පත් කළ යුතු බවත් ධ්වනිත කරමින් කවිය තුළ එකී උපහාසය ගොඩනගා ඇත.

“…බැතිමතුන් ලූ මළ මූත්තර
පිරී ඉතිරී ගඳ ගසයි
රසවතුන් වෙත වැසුණු වනපෙත
“දැන් සැපද “කියලා අසයි..”

එම්න්ම ඔහු යොදන යෙදුම්වල කාව්‍යාත්මකභාවය අතිශය ප්‍රභලය. එමෙන්ම ඒවා අපූරුය. මේ ඒ සඳහා නිදසුනකි.

“…අවන්හල් විශාම ශාලා
කන්දෙ එල්ලී කෑ ගසයි…”

( ඇවිත් ගිය පසු ශාස්තෘ; පිටු අංක 62)

සැබැවින්ම සංවේදී පරිසර කලාප ආරක්ෂා කර ගැනීමට නම් කළ යුතු හොඳම දේ එය මිනිසුන්ට විවෘත නොකර සිටීමය. ඒ බව ඉහත කවිය තුළ යටි පෙළක්ව කෑගසා කියයි.

අවබෝධයකින් තොර විෂයාභාර ඇමතිවරුන් පත් කරනා රටක යහපත් දේශපාලනයක් බලාපොරොත්තු විය නොහැකිසේම යහපත් දේ සිදු වෙතැයි බලාපොරොත්තු විය නොහැකි ය. සත්ත්ව හිංසාවට විරුද්ධව ලෝකයම හඬක් නගන කලක ලංකාව තුළ සිදුවන සත්ත්ව සංහාරය ගැන කිසිඳු වගකිව යුත්තෙක් හඬක් නගන්නේ නැත. එමෙන්ම ඒවාට වගකිවයුතු වන්නේද අදාළ වගකිව යුත්තන්මය. බඹර ගී හතරක් යන හිසින් යුතු කවියට වස්තු විෂය වූ අද්දැකීම කවියා දක්වාඅ ඇත්තේ මෙසේ ය. ‘ සාමාන්‍ය ප්‍රමාණයේ බඹර වද දහයක් පිළිස්සුවහොත් බඹරු මිලියනයක්මැරෙති. සීගිරියේ බඹර වදවලින් 7%ක් පමණ දැනට ගිනි තබා අළු කර තිබේ. – පුවතකින්’. මේ ඇසුරින් කවියා අපූරු කාව්‍ය ආකෘතියක් යොදාගෙන ලියා ඇති කවියේ කතකයන් වන්නේ එකී බඹර සංහාරය සැලවීමෙන් සීගිරිය දෙසට ඇදී ආ බඹරුන් හතර දෙනෙක් ය. ඔවුන් කැටපත් පවුර මත කුරුටු ගෑ කවි ලෙස සීගිරි කුරුටු ගී ලෙසෙන් කවිය නිර්මාණය කර ඇත.

“…(IV)

විසි කර ගිරි බෙයන්ද් වෙත ගිනි හුල්
බත ගිලිමිනා ඇත – තා
අන් නුවරකට වී සුව සේ
“තුඃ නොදකින් පු. කොමසාරිස් “
මීට කණ්ඩලම වනරොදේ
‘දුල් මී’ නමැති බඹරිඳු ය මා
ඉතා සංවේගයට පත්”

(බඹර ගී හතරක්; පිටු අංක 18)

කවිය කියවීමෙන් බන්දුජීව කවියාගේ බස හැසිර වීමේ සහ උචිත අයුරින් බස තෝරා ගනීමේ ශක්‍යතාව මනාව වටහා ගත හැකි ය. එමෙන්ම පරිසරයට මෙන්ම පාරිසරික ජීව විද්‍යාවටද සංවේදීව ලියැවීඇති මෙකී කවිය කිය වීමෙනෙ අදාළ තීරණ ගත් මිනිසුන් කෙරෙහි “තුඃ නොදකින් ” යන වදන නිරායාසයෙන්ම ගිලිහිය හැකි ය. ඒ තරමට මෙකී තීරණවල ඇති නිර්ලජ්ජිත සාහසික බව පාඨකයාට මනාව අවබෝධය වන්නේ ය.

බන්දුජීවගේ ධුමලාවණ්‍යාගාරයේ සියලු ම කවි සහ ඔහුගේ ගද්‍ය කොටස්වලද ඇත්තේ කාව්‍යාත්මක බවක් ය. සෑම කවියකම මෙන් විඳිය හැකි ගුණයක් ඇත. අපූරු බවක් ඇත. මෙය ඔබ විඳිය යුතු විඳිය හැකි කවි පොතක් ය. මීළඟ මීවිත සමඟ හරි හරියට රස ගෙනෙන මෙම කවි පොත වරින් වර විඳිය හැකි තත්ත්වයක ඇත. තව වසර කිහිපයකටම බන්දුජීවගේ පාඨකයා නිහඬ කරවීමට සමත් ය. එපමණටම ඒවා කවිය. ඔබේ කාව්‍යකරණයට සුබ පතන්නේ ඔබේ කවියට ප්‍රේමයෙනි.

ශානක හිත්තැටියගේ

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...