“පරිවර්තනය” කියන්නෙ මනුෂ්‍ය සාමුහිකත්වය පිළිබඳ ප්‍රකාශනයක් සහ මනුෂ්‍යත්වයේ ජයග්‍රහණයක්

Share post:

ගොඩක් දෙනෙක් මේ දවස්වල පොත් පරිවර්තනයේ අයිතිය ගැන කතා කරනවනෙ. මම මේ ලියන්න යන්නෙ ඒ ගැන මගෙ අදහස් නෙමෙයි, මේ ඊයෙ පෙරේදා අත්දැකීමක්.

ගිය සතියෙ (දැන් ලංකාවෙ අලුත් සතියක් පටන්ගෙන ඇති නිසා) අපේ එක පන්තියක සාකච්ඡා කළේ Martin Puchner’s “The Drama of Ideas” කියන පොත. ඒ ඒ පොත ගැන අපි කතා කරන්න දාගෙන තිබුණු දෙවෙනි දවස. ඒකට අපේ පන්තියේ විවිධ වසරවල ඉන්න ආචාර්ය උපාධි ශිෂ්‍ය/ශිෂ්‍යයාවො දහදෙනෙක් විතරයි මහාචාර්යවරු දෙන්නෙකුයි ඉන්නව. එදා මහාචාර්ය Puchner අපේ පන්තියට ආවා. අපි ඒ පොත ගැන කතා කළේ ඔහු එක්කමයි. මහාචාර්ය මාර්ටින් පුච්නර් (සමහරු ප්‍යුච්නර්,තව සමහරු පුක්නර් වගෙ නම් කියනව) හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උගන්වන සාහිත්‍ය, දර්ශනය සහ නාට්‍ය කලාව පිළිබඳ කැපවුණු උගතෙක්. මහජන බුද්ධිමතෙක්. ඔහුගෙ ශාස්ත්‍රීය දායකත්වය ගැන මම මෙතන ලියන්න යන්නෙ නෑ. ඕන තරම් එයා ගැන් විස්තර අන්තර්ජාලයේ තියෙනව.

අපේ සංවාදයෙදි ඉරානයෙ ඉඳල ආපු ශිෂ්‍යයෙක් කිව්වා ඔහුගේ මේ අපි කතා කරන පොත ඔවුන්ගෙ භාෂාවට පරිවර්තනය කරල තියෙන බව. මහාචාර්ය පුච්නර් ඒක දැනගෙන උන්නෙ නෑ. එයාගෙ මුල් කෘතිය පළවුණේ ඉංග්‍රීසි භාෂාවෙන්. මේක අහපු ගමන් ඔහු මාර විදිහට සතුටු වුණා. අපේ ඉරාන් මිත්‍රයගෙන් ඇහුවා ඔයා ළඟ එයාගෙ කන්ටෑක්ට්ස් තියෙනවද, කරුණාකරල මගෙ සතුට සහ ස්තූතිය පළකරන්න කියල. ඊටපස්සෙ අපේ මිත්‍රය කිව්ව ඔව් එයාගෙ හොඳ යාළුවෙක් ඒ පරිවර්තකයා එයා ඔයාගෙ අලුත් පොතත් පරිවර්තනය කරල ඉවර වෙන්න ළඟයි දැන් කියල. (මේ පින්තූරවල තියෙන්නෙ ඒ අලුත් පොත). පුදුම “වාව්” එකකින් පුච්නර් උන්නෙ මේ ආරංචිය නිසා.

මට ඕන වුණේ පොත් ප්‍රකාශන කර්මාන්තයේ නීතිය ගැන කතා කරන්න නෙමෙයි. තමන්ගෙ පොතක් වෙන භාෂාවකට පරිවර්තනය කරල කියල මනුස්සයෙක් දැනගද්දි (ඔහු ලෝකෙ ප්‍රකට බුද්ධිමතෙක්) මොනතරම් ප්‍රීති වෙනවද කියල කියන්න. මං හිතන්නෙ මේ “පරිවර්තනය” කියන්නෙ මනුෂ්‍ය සාමුහිකත්වය පිළිබඳ ප්‍රකාශනයක් සහ මනුෂ්‍යත්වයේ ජයග්‍රහණයක්. මං ඒකෙ සීමා දන්නෙ නෑ හැබැයි ඒ මනුස්ස සතුට ගැන අදහසක් තියෙනව.
මේ පෝස්ට් එකේ තව අරමුණක් තියෙනව. බුක්ෆෙයා ගිය අයගෙ පොත් සන්තෝසයට මගෙ සන්තෝස කඳුළක් මුහු කරන එක. එදා රෑ මහාචාර්ය පුච්නර්ගෙ අලුත් පොත “Culture” – The Story of Us, from Cave Art to K-Pop ගැන වැඩසටහනකුත් තිබුණා. ඒක තිබුණෙ වෙන දෙපාර්තමේන්තුවක. මුලින්ම එන දහදෙනාට අලුත් පොත තෑග්ගක් විදිහට දෙන බව අපිට ආරංචි වුණා. මම තමයි මුලින්ම ගියේ එතන්ට සංවිධායකයො එන්නත් කලින්. අනිත් අයටත් මෙතන තමයි තැන කියල පෙන්න පෙන්න වැඩසටහනට ආරාධිතයො එනකල් අපි බලන් උන්නා. මට තමයි පළමු තෑග්ග ලැබුණෙ. මේ පොතේ අත්සන් කරද්දි මහාචාර්ය පුච්නර් මගෙ නමේ ඩී අකුර බී කළා. ඒක සුබ ලකුණක් විදිහට බාරගෙන මං ඒක නිවැරදි කරන්න ගියෙ නෑ. අත්සන් කරන අතරෙ අපේ දවල් සංවාදය ගැන ඔහු ප්‍රසාදය පළ කළා. පොත කියවලා ඒ ගැන විවේක වෙලාවක සටහනක් ලියන්නම්. මේක “සංස්කෘතිය” සහ එහි විකාශනය සමකාලීන ප්‍රවණතා ගැන නියම පොතක්. ආසියානු සංකෘතිය ගැනත් ඔහු මේකෙ කතා කරනව.

සුදර්ශන සමරවීර

(fb) සටහනක්

Related articles

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින් ලොව ඇත්තේ යාම් ඊම් පමණි. නමුදු බහුතරයකට එය සිහිවන්නේ...