“පරිවර්තනය” කියන්නෙ මනුෂ්‍ය සාමුහිකත්වය පිළිබඳ ප්‍රකාශනයක් සහ මනුෂ්‍යත්වයේ ජයග්‍රහණයක්

Share post:

ගොඩක් දෙනෙක් මේ දවස්වල පොත් පරිවර්තනයේ අයිතිය ගැන කතා කරනවනෙ. මම මේ ලියන්න යන්නෙ ඒ ගැන මගෙ අදහස් නෙමෙයි, මේ ඊයෙ පෙරේදා අත්දැකීමක්.

ගිය සතියෙ (දැන් ලංකාවෙ අලුත් සතියක් පටන්ගෙන ඇති නිසා) අපේ එක පන්තියක සාකච්ඡා කළේ Martin Puchner’s “The Drama of Ideas” කියන පොත. ඒ ඒ පොත ගැන අපි කතා කරන්න දාගෙන තිබුණු දෙවෙනි දවස. ඒකට අපේ පන්තියේ විවිධ වසරවල ඉන්න ආචාර්ය උපාධි ශිෂ්‍ය/ශිෂ්‍යයාවො දහදෙනෙක් විතරයි මහාචාර්යවරු දෙන්නෙකුයි ඉන්නව. එදා මහාචාර්ය Puchner අපේ පන්තියට ආවා. අපි ඒ පොත ගැන කතා කළේ ඔහු එක්කමයි. මහාචාර්ය මාර්ටින් පුච්නර් (සමහරු ප්‍යුච්නර්,තව සමහරු පුක්නර් වගෙ නම් කියනව) හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උගන්වන සාහිත්‍ය, දර්ශනය සහ නාට්‍ය කලාව පිළිබඳ කැපවුණු උගතෙක්. මහජන බුද්ධිමතෙක්. ඔහුගෙ ශාස්ත්‍රීය දායකත්වය ගැන මම මෙතන ලියන්න යන්නෙ නෑ. ඕන තරම් එයා ගැන් විස්තර අන්තර්ජාලයේ තියෙනව.

අපේ සංවාදයෙදි ඉරානයෙ ඉඳල ආපු ශිෂ්‍යයෙක් කිව්වා ඔහුගේ මේ අපි කතා කරන පොත ඔවුන්ගෙ භාෂාවට පරිවර්තනය කරල තියෙන බව. මහාචාර්ය පුච්නර් ඒක දැනගෙන උන්නෙ නෑ. එයාගෙ මුල් කෘතිය පළවුණේ ඉංග්‍රීසි භාෂාවෙන්. මේක අහපු ගමන් ඔහු මාර විදිහට සතුටු වුණා. අපේ ඉරාන් මිත්‍රයගෙන් ඇහුවා ඔයා ළඟ එයාගෙ කන්ටෑක්ට්ස් තියෙනවද, කරුණාකරල මගෙ සතුට සහ ස්තූතිය පළකරන්න කියල. ඊටපස්සෙ අපේ මිත්‍රය කිව්ව ඔව් එයාගෙ හොඳ යාළුවෙක් ඒ පරිවර්තකයා එයා ඔයාගෙ අලුත් පොතත් පරිවර්තනය කරල ඉවර වෙන්න ළඟයි දැන් කියල. (මේ පින්තූරවල තියෙන්නෙ ඒ අලුත් පොත). පුදුම “වාව්” එකකින් පුච්නර් උන්නෙ මේ ආරංචිය නිසා.

මට ඕන වුණේ පොත් ප්‍රකාශන කර්මාන්තයේ නීතිය ගැන කතා කරන්න නෙමෙයි. තමන්ගෙ පොතක් වෙන භාෂාවකට පරිවර්තනය කරල කියල මනුස්සයෙක් දැනගද්දි (ඔහු ලෝකෙ ප්‍රකට බුද්ධිමතෙක්) මොනතරම් ප්‍රීති වෙනවද කියල කියන්න. මං හිතන්නෙ මේ “පරිවර්තනය” කියන්නෙ මනුෂ්‍ය සාමුහිකත්වය පිළිබඳ ප්‍රකාශනයක් සහ මනුෂ්‍යත්වයේ ජයග්‍රහණයක්. මං ඒකෙ සීමා දන්නෙ නෑ හැබැයි ඒ මනුස්ස සතුට ගැන අදහසක් තියෙනව.
මේ පෝස්ට් එකේ තව අරමුණක් තියෙනව. බුක්ෆෙයා ගිය අයගෙ පොත් සන්තෝසයට මගෙ සන්තෝස කඳුළක් මුහු කරන එක. එදා රෑ මහාචාර්ය පුච්නර්ගෙ අලුත් පොත “Culture” – The Story of Us, from Cave Art to K-Pop ගැන වැඩසටහනකුත් තිබුණා. ඒක තිබුණෙ වෙන දෙපාර්තමේන්තුවක. මුලින්ම එන දහදෙනාට අලුත් පොත තෑග්ගක් විදිහට දෙන බව අපිට ආරංචි වුණා. මම තමයි මුලින්ම ගියේ එතන්ට සංවිධායකයො එන්නත් කලින්. අනිත් අයටත් මෙතන තමයි තැන කියල පෙන්න පෙන්න වැඩසටහනට ආරාධිතයො එනකල් අපි බලන් උන්නා. මට තමයි පළමු තෑග්ග ලැබුණෙ. මේ පොතේ අත්සන් කරද්දි මහාචාර්ය පුච්නර් මගෙ නමේ ඩී අකුර බී කළා. ඒක සුබ ලකුණක් විදිහට බාරගෙන මං ඒක නිවැරදි කරන්න ගියෙ නෑ. අත්සන් කරන අතරෙ අපේ දවල් සංවාදය ගැන ඔහු ප්‍රසාදය පළ කළා. පොත කියවලා ඒ ගැන විවේක වෙලාවක සටහනක් ලියන්නම්. මේක “සංස්කෘතිය” සහ එහි විකාශනය සමකාලීන ප්‍රවණතා ගැන නියම පොතක්. ආසියානු සංකෘතිය ගැනත් ඔහු මේකෙ කතා කරනව.

සුදර්ශන සමරවීර

(fb) සටහනක්

Related articles

‘සිංහල අධ්‍යයන’ හා ‘සිංහල සංස්කෘතික අධ්‍යයනවලින්’කළ හැක්කේ කුමක්ද?

2026 ජනවාරි 8 වනදා කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ පැවති ‘මහැඳුරු අනඳ අබිමන් උවසර උළෙලේදී’ සසංක පෙරේරා කළ කතාව. ප්‍රවේශය මහාචාර්ය...

“හැම ආගමකම සාමය ගැන පණිවිඩයක් මතුකරගන්න විභවයක් තියනවා”

හිතට කනස්සල්ලක් දැනුනම, ඒ බර තනිව දරාගන්න බැරි වෙද්දි, මිනිස්සු හැමෝම කුමක් හරි දෙයකට ඇබ්බැහි වෙනවා. කෙනෙක් සංගීතයට,...

“ලාංකේය අව්‍යාජත්වයේ ජාතිකවාදී ආලංකාරිකය වෙත ආපසු හැරී බැලීමක්”

ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලනය දිවයිනේ පශ්චාත් යටත් විජිත ගමන් පථය හැඩගැස්වීමෙහිලා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කර ඇත. දශක ගණනාවක...

ජාතියක් අධිනිශ්චය නොවන නිදහසක් මෙවර සැමරුවා

මෙවර නිදහස… මෙවර නිදහස් සැමරුම ගැන කියද්දි මේකත් කියන්න ඕනි. ඒ තමයි යහපාලනයේ යම් මොහොතකදි දැක්කට පස්සේ ජාතිවාදයෙන් නැත්නම්...