එච්. ඒ. සෙනෙවිරත්න මඟහැර යා නොහැකි සංස්කෘතික – දේශපාලන සලකුණක්

Share post:

එච් ඒ මට මුලින්ම මුණගැහෙන්නෙ අසූගණන් අග. ඉස්කෝලෙ යන කාලෙ. පුද්ගලයෙක් හැටියට නෙවෙයි, ඔහු ලියූ පොත්වලින්. පළමු කියවීමෙන් ම බලවත් අභිප්‍රේරණයක් ඇතිකළ ලේඛකයෙක් හැටියට. කොළඹ මහජන පුස්තකාලෙ රස්තියාදු ගහන කාලෙ එහි තිබිලා ඔහුගේ බොහෝ පොත් කියෙව්වා. විශේෂයෙන් කෙටිකතා. ඒවායේ ආපු චරිත, කතා තේමාවන් වගේම රචනා ශෛලියත් අපට ඒකාලෙ අලුත් ආස්වාදයක් වුණා.

පසුකලෙක මා ඔහුගේ ‘යහපත්හාමිගේ පාපෝච්චාරණය’ කියන කුඩා නවලිකාව කොපමණ වාරයක් කියෙව්වාදැයි මතක නැති තරම්. අද මේ මොහොතේත් පොත අතේ තිබුණා නම්, නැවතත් මා එහි පිටු පෙරලා තැනින් තැන කියවනවා නිසැකයි. ඒත් ඒක මීයන්ට, කාවන්ට අත්හැර දමා ආ මගේ පොත්ගුලේ. 88/89 භීෂණ සමය ගැන මඟහැර යා නොහැකි චිත්‍රයක් එහි ඔහු ඇඳ තියෙනවා‍.

අනූ ගණන් ආරම්භයේ ඔහු මට පුද්ගලයෙක් ලෙසම මුහුණට මුහුණ සම්මුඛ වෙනවා‍. ඒ මා ලංකාදීපයේ වැඩකරන කාල‍ේ‍. ඔහු තමන්ගේ නවකතාවට ලැබුණු රාජ්‍ය සාහිත්‍ය සම්මානය ප්‍රතික්ෂේප කළ වෙලාවේ. මට පොත්වලින් ඔහු මුල්වරට මුණගැහුණු මහජන පුස්තකාලෙම කැන්ටිමට වෙලා අපි දෙන්නා මුහුණට මුහුණ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් කළා‍. මතක හැටියට එකල දිනපතා ලංකාදීපයේ ඉතාම ජනප්‍රිය සංවාදයක් වුණු ‘බදාදා පිළිසඳර’ට‍‍. ඔහු ඒ වනවිටත් හිටියේ මේ සම්මාන ප්‍රතික්ෂේපය නිසාම ජීවිත තර්ජනයට ලක්වෙලා යි‍. නිකම්ම නිකම් ලේඛකයෙක් නොව ප්‍රබල දේශපාලන මතධාරියෙක්, වාමාංශික ක්‍රියාධරයෙක්, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක් හා ප්‍රගතිශීලී නීතීඥයෙක් වූ ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මානය ප්‍රතික්ෂේප කිරීම ‘රාජ්‍යය’ කියන, ඒ වෙනකොට හොඳ ගානට මුවහත් වෙලා තිබුණු අපරාධ යාන්ත්‍රණය ඉවසන්න කැමැති වුණේ නෑ‍. “අඩෝ තොට සම්මානයක් දුන්නාම ඒකත් ගන්ඩ බැරිනං මැරුං කන්ඩයි වෙන්නේ!” කියන තර්ජනය රාජ්‍යය ගැන අපූරු චිත්‍රයක් ඇඳගන්න අපට ඉඩ සලසනවා නොවේද? ඔහු ඒ සාකච්ඡාවට ආවේත්, ඉන් පිටවුණේත් තමන් විසින්ම සැලසුම් කරගත් ආරක්ෂක පිළිවෙතක් සහිතව.

(මේ අත්දැකීම පෞද්ගලිකව ම අපට ඉතා සමීපව විඳින්න ලැබෙන්නේ මේ හමුවෙන් දශක එක හමාරකට පමණ පසුවයි‍. ඒ කාලය වනවිට එච් ඒ කියන්නේ අපට වරින් වර හමුවන සහෘදයෙක්. අප මුහුණපා සිටි අනාරක්ෂිත තත්ත්වය හමුවේ ඔහු ජීවිතාරක්ෂාව ගැන තමන්ගේ අත්දැකීම් අපත් සමඟ බෙදාගත් හැටි මට මතකයි.)

මේ පළමු සම්මුඛයෙන් පස්සේ අප අතර දීර්ඝ කාලයක් පැවතුණු දැන හැඳුණුම් කමක් හා ‘මිත්‍රත්වයක්’ ඇතිවෙනවා. මා ලංකාවෙන් පිටවන තුරුම ඒ සබඳතාව තිබුණා‍. ඒ අවසන් කාලයේ අප බොහෝවිට හමුවුණේ කොළඹ කොටුවේ ‘ප්‍රෙස් ක්ලබ්’ එකේ. (හුඟක් දෙනෙක් නිකම්ම නිකං ‘තැබෑරුමක්’ කියල හිතන් හිටපු ප්‍රෙස් ක්ලබ් එකට එහි සැබෑ අරුත යම් තරමකට හෝ ලැබුණෙ මේ වගේ ජනමාධ්‍ය සමාජයට බැහැර සමාජ-දේශපාලන-සංස්කෘතික චරිත එක්ක අපි එහි පවත්වපු නිදහස් මිත්‍ර සන්තව නිසා.)

ලංකාවෙන් පිටවෙන්න සිදුවීමේ එක ඛේදයක් තමයි මේ වගේ මනුස්ස සමාගම්වලට දිගු විරාමයක් වැටීම. ඒ විරාමය සදාකාලික කරමින් මේ වගේ ඇත්තටම සමාගම් පැවැත්විය යුතු චරිත ලෝකය සදහට අත්හැර යනවා. මේක විප්‍රවාසයේ මහා ඛේදවාචකයක්.

ලංකාවෙ ඉන්න කොපමණ පිරිසකට ඇත්තටම එච් ඒල මුණගැහුණද, මගඇරුණද කියන එක වෙනම ඛේදවාචකයක් වුණත් ඒ ගැන මං මෙතන කතාකරන්න යන්නෙ නෑ‍‍.

ආදරණීය එච් ඒ සහෝදරයා, ඔබට සුබ ගමන්!
අප යළි කිසිදා හමු නොවනු ඇති!

සනත් බාලසුරිය

(සේයාරුව සිළුමිණෙන්)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...