කීර්ති වැලිසරගේ ගේ නවතම නවකතාව ‘උත්පත්ති’

Share post:

උත්පත්ති ප්‍රවීණ ලේඛක කීර්ති වැලිසරගේ ගේ දසවන නවකතාවයි. ඒ තරම්ම සංඛ්‍යාවක කෙටිකතා කෘතිද රචනා කරමින් හා සාහිත්‍ය විචාරය පාර්ශ්වයෙන්ද ප්‍රාමාණික මැදිහත් වීම් වල නිරතවෙමින් ලාංකේය සාහිත ක්ෂේත්‍රයේ කීර්ති ගෙවා තිබෙන දුර ප්‍රමාණය සුළුපටු නොවේ. මෙබඳු දායකත්වයන් ඔස්සේ ඔහු ගොඩනගාගෙන තිබෙන ලේඛක ප්‍රතිරූපය හේතුවෙන්ම කීර්තිගේ නවතම නවකතාව වන උත්පත්ති කෙරෙහි පාඨක-විචාරක පර්ෂද තියුණු ඇසකින් විමසුම් බැලුම් හෙලීම වැලැක්විය නොහැකිය.

මා දකින ආකාරයට කීර්ති පුළුල් වපසරියක සමාජ හා ජීවන අනුභූතීන් රැස් කරගත් ලේඛකයෙකි. ඉතා ප්‍රවේසමෙන් සිය මතක කෝෂ්ඨාගාරයේ මෙකී සම්පත් රාශිය සුරක්ෂිත කරගෙන සිටින ඔහු කල්යල් බලා නිර්මාණාවේෂය අවදි කරගනිමින් නවකතා හා කෙටිකතා ආදි සාහිත්‍යාංග මගින් ඒවා සමාජගත කරයි. ඔහුගේ මෙම ලේඛක සූක්ෂ්මතාව හා ප්‍රතිභාව අප වන් සහෝදර ලේඛක ප්‍රජාව ඊර්ෂ්‍යාගන්වනසුලුය. එමතුද නොව සමකාලීන ලේඛක-විචාරක සමූහයා වෙත එල්ල කෙරෙන කිසියම් අභියෝගයක ලක්ෂණද කීර්තිගේ සාහිත්‍ය භාවිතය තුළ නිරන්තරයෙන් ඉස්මතු කෙරෙන තවත් ගතිකයක් සේ මම දකිමි.

උත්පත්ති නවකතාව කෙරෙහි විමසුම් බැලුම් හෙළීමට සිදුවන්නේ ඉහත කී කරුණු කෙරෙහිද අවධානය යොමු කරමිනි. මට සිතෙන ආකාරයට කීර්ති උත්පත්ති නවකතාව මගින් සමකාලීන ලේඛකයන්ට සේම පාඨක හා විචාරක සැමට සුහද ඇරියුමක් කරයි. ඒ අතරවාරයේම කීර්ති තමා වෙතටම එබී බලන ආකාරයකුත් මෙම කතාව කියවාගෙන යන විට හැඟී යයි. එය එක්තරා ආකාරයක සිංහාවලෝකනයක් වශයෙන්ද සැලකිය හැකිය. සිය සාහිත්‍ය චාරිකාවේ මංසන්ධියකට පැමිණ තමන් මෙතෙක් ආ ගමන් මග දෙස ආපසු හැරී බලන්නට දරන වෑයමක ලක්ෂණද මෙහි දක්නට ඇතැයි මට සිතේ.

නිශ්චිත භූගෝලීය පසුබිමක, දින වකවානු නම්, ගම්, වාසගම් ඇතුළු අනෙකුත් ඓතිහාසික සංසිද්ධීන් ස්මරණය කරමින් සිය ප්‍රබන්ධකාර්යයට ප්‍රවේශවීම කීර්තිගේ නවකතා විලාසයේ දක්නට ලැබෙන වෙසෙස් ලකුණකි. උත්පත්ති කතාව ඇරඹෙනුයේද එවන් රචනෝපක්‍රමයක් භාවිතා කරමිනි. 1963 වෙසක් මස නව වන බ්‍රහස්පතින්දා දාතමින් හා කතාවේ ප්‍රමුඛ චරිතයක් වන ජයවීර නෙල්සන් සෙනවිරත්න හෙවත් තැන්නපිට ජයගිරියේ රත්තරන් නම් දීර්ඝ වැකියෙන් යුතුව උත්පත්ති ප්‍රබන්ධය ආරඹා තිබීම මීට කදිම නිදසුනකි. බැලූ බැල්මට මෙය සාම්ප්‍රදායික කතා කලාවේ ලක්ෂණයක් සේ දිස්වේ. නුතන ප්‍රබන්ධෝපක්‍රම හා සසඳා බලන කල මෙය තරමක් යල් පැන ගිය ආඛ්‍යාන විලාසයක් බඳුය.

එසේ වුව කීර්ති සිය පාඨකයා අභ්‍යාසයකට කැඳවනු පිණිස ඔහුටම ආවේණික වූ මෙම ප්‍රබන්ධ රීතිය උපයෝගි කරගන්නා සෙයක් පෙනේ. කිසියම් පාඨකයකු හෝ විචාරකයකු ගවේෂණාත්මක ලෙස ඉතිහාසයට එබී බැලුවොත් දින දර්ශනයට අනුව මේ දිනය නිවැරදි විය හැකිය. එමතුද නොව උත්පත්ති නවකතාවේ හමු වන ජයවීර නෙල්සන් සෙනවිරත්න හා චාල්ස් රත්නසිරි බුලත්සිංහල වැනි පුද්ගල නාමයන්ද ඒ වකවානුවේ ජීවත් වු මිනිසුන්ගේ නම් ගම් හා සමපාත වනු ඇත.

කීර්තිගේ සෙසු නවකතාවල මෙන්ම මෙහිද විවිධ භූමිකා හා ප්‍රවණතා නියෝජනය කරන චරිත ගණනාවක් පාඨකයාට මුණ ගැසෙයි. ජයවීර හෙවත් රත්තරන් සේම ඔහුට ජාතකව උපත ලබන දේවක මෙහි ප්‍රමුඛ භූමිකා නිරූපණය කරන්නෝ වෙති.

රත්තරන්ගේ ගජ මිතුරා වන චාල්ස් ඉටු කරන කාර්යභාරයද සුළුපටු නොවේ. බේලින් හෙවත් රත්තරන්ගේ වැඩිහිටි අත් උදව්කරුවා වරෙක පියෙකු මෙන්ද තවත් වරෙක සුවච කීකරු සේවකයකු සේද රඟන භූමිකාව පාඨකයා විමතියට පත් කරවනසුලුය. කීර්ති උත්පත්ති නවකතාවට සවිමත් පදනමක් දමනුයේ මෙබඳු චරිත හා අවස්ථා මනා ලෙස කළමනාකරණය කරගනිමිනි.

මේ අනුව බලන විට කීර්ති දශක කිහිපයක් පුරා නිරතව සිටි සතතාභ්‍යාසයේ තවත් දිගුවක් ලෙස උත්පත්ති නවකතාව සැලකිය හැකිය. කීර්ති බෙහෝ සමකාලීන ලේඛකයන්ගෙන් වෙනස් වන්නේ ඔහු විසින් සම්භාවිත මෙබඳු වෙසෙස් රචනෝපක්‍රම හේතුවෙනි. ඔහු පාඨකයා හමුවේ සිතුවම් කරනුයේ සවිස්තරාත්මක දේහ ලක්ෂණ ඇතුළත් විශාල ආලේඛ්‍ය චිත්‍රයකි. සජීවි පාත්‍ර වර්ගයාගේ සිට අජීවි ගෙඋයනක වැලිකැටයක් දක්වාම ඔහු විස්තීර්ණ මාර්ග සිතියමක් එළයි. මෙම නවකතාව දිග හැරෙන කාල වකවානුව දල වශයෙන් ගතහොත් හැටේ දශකය හා අසූවේ දශකයේ මුල්භාගය අතර දශක දෙක හමාරකට පමණ සීමා වන බව පෙනේ. එම කාල පරාසය තුළ ලංකාවේ ඓතිහාසික සමාජ,දේශපාලන හා සංස්කෘතික පෙරළි ගණනාවක් සිදු වූ බව අපි දනිමු. විශේෂයෙන්ම 1971 තරුණ නැගිටීම, 1980 ජූලි වැඩ වර්ජනය හා 1983 කළු ජූලිය එම සිදුවීම් අතරින් කිසිසේත් මගහැරිය හැකි ඒවා නොවේ.
තම කෘතියට පාදක වන කාල වකවානුව තුළ හටගත් හැම සමාජ සංසිද්ධියක්ම විස්තරාත්මකව නිරූපණය කිරීමට ලේඛකයකු බැඳී සිටිය යුතුය යන තර්කයට ලේඛකයකු වශයෙන් මමද එකඟ නොවෙමි. ඒවා කතාව තුළ නිරූපණය විය යුත්තේ කතාවේ මූලික තේමාවට එම සංසිද්ධි කෙතරම් දුරට අදාළද යන කරුණ මත යයි මම සිතමි. ඒ අනුව බලන විට 71 කැරැල්ල ඇතුළු සෙසු සිදුවීම් උත්පත්ති නවකතාව තුළ පුළුල් ලෙස සාකච්ඡාවට ගැනීමට ලේඛකයා උත්සුක වී නැත්තේ ඔහුගේ තේමාත්මක ප්‍රවේශයට ප්‍රබල බලපෑමක් කිරීමට එකී අරගලකාරී තත්ත්වයන් ඉවහල් වී නැති නිසාවෙන් විය හැකිය. එහෙත් 71 හා 80 සිදුවීම් පිළිබඳව සිහිකැඳවීමක් කරන අතර 83 කළු ජූලිය කිසියම් ප්‍රමාණයකින් නිරූපණය කිරීමටද ලේඛකයා පියවර ගෙන තිබේ.

උත්පත්ති කතාවේ එන තවත් ප්‍රබල ධාරාවක් නියෝජනය කරන චරිතයක් වන තේජිතගේ චරිතයේ පැතිකඩක් රූපණය කරනු පිණිස කීර්ති කළු ජූලිය උපයෝගි කරගෙන ඇති බවක් පෙනී යයි. කාලය හා අවකාශය නිරූපණය කිරීමේදී නවකතාකරුවකුට මෙවැනි ශිල්පෝපක්‍රම භාවිතා කිරීමට ඇති හැකියාව කීර්ති මෙහිදී පෙන්වා දෙයි.

නවකතාවේ කේන්ද්‍රීය භූමිකාව නිරූපණය කරන චරිතය ලෙස සැලකිය හැකි දේවක සෑහෙන කාලයකට පසු සිය මහගෙදරට යන දර්ශනයක් කීර්ති සිතුවමට නගන ආකාරය විමසා බලමු. උත්පත්ති නවකතාව තේමාත්මක වශයෙන් සමාජානුභූති බව ඉක්මවා පුද්ගලානුභූතිභාවයට සමීප කරවීමට ලේඛකයා වැඩි රුචියක් දක්වන බවට මෙය කදිම නිදසුනකි.. “ජයගිරියට හැරෙන, දිය සෙවෙල බැඳුණු, පැලුම් අතරින් මතු වූ ශාඛ හා, පිටත සිමෙන්ති කටුව මතින් පැතිරුණු කිසියම් මිථ්‍යාමතික සත්වයකුගේ අත්ලින් නිකුත් අප්‍රමාණ සිහින් අතැඟිලි ජාලයක් බඳු මූල පද්ධති ද, සහිත ගේට්ටු කුලුනු දෙක ඉදිරියේ කාරය නැවැත්වු දේවක, දෙපස වැවුණු ගස් ගොන්න මැදින් ඇතින් යාන්තමට පෙනෙන නිවස දැක ගත්තේය. තෙමස් දානමය පින්කමින් පසු මේ දේවක ජයගිරියට ආ පළමු අවස්ථාවය.” (342) පිටුව.

මෙවන් සියුම් නිරීක්ෂණ ශක්තියක් ලේඛකයකු ගොඩනගා ගනුයේ කෙසේද? ගේට්ටු කනු දෙකෙහි සමීප රූපයක් පාඨකයා හමුවට ගෙන එන්නට කීර්ති පෙළඹෙනුයේ මන්ද? ඔහු අවස්ථා හා චරිත නිරූපණය විෂයෙහි දක්වන මෙබඳු අවධානයන් පාඨක සජ්ජන වින්දන අවකාශ පුළුල් කරන ද්වාර රැසක් බඳුය. කයිසාරුවත්තේ මහගෙදරට අත් වූ ඉරණම සිහි කැඳවන කීර්තිගේ මෙම තියුණු නිරීක්ෂණය සංකේතමය වශයෙන් ගත් කල සැලකිය යුතු කලාත්මක වටිනාකමක් නවකතාවට එක් කරයි.

කෙතරම් ශිල්පෝපක්‍රම හා භාෂා පෙළහර පෑවද හෘදයාංගම කතා පුවතකින් තොර වුවහොත් පාඨකයා සිය කෘතිය කෙරෙහි ඇද-බැඳ තබා ගැනීමට ලේඛකයා අසමත් වෙයි. පාඨකයාගේ වින්දනීය අවකාශය පුළුල් කිරීමෙහිලා කීර්ති දක්වන සමත්කම උත්පත්ති නවකතාවේ මා දකින තවත් ගුණාත්මක ලක්ෂණයකි. තම වාග්කෝෂය තෙකරම් පුළුල් වුවත් පාඨකයා වෙහෙසවනසුලු බස් හරඹයක් නොපෑමට ඔහු ප්‍රවේසම් වෙයි. කතාවට පසුබිම් වන සමාජ කලාපයේ ජනවහර කෙරෙහි කීර්ති දක්වන උනන්දුව ඔහු සතු අභ්‍යාසකාමිත්වය හුවා දක්වයි. උත්පත්ති නවකතාවට පසුබිම් වන්නේ වානිජ වගාවක් වන කුරුඳු කර්මාන්තය බහුල වශයෙන් කෙරෙන භූමි පෙදෙසකි. එම ජිවන වෘත්තිය හා බැඳුණු කුරුඳු මැදීම, කොකැත්ත, කුරුඳු සුඹුලු, මහකුරුන්ද වන් නම් ගම් ලේඛකයා විසින් කතා ශරිරයට පුරුද්දනු ලබන්නේ විෂයඥානය ප්‍රකාශ කරන පණ්ඩිතමානී විලාසයෙන් මිදී ආඛ්‍යානයේම අත්‍යාවශ්‍ය අංගෝපාංග විලසිනි.
තම නවකතාවේ ස්වදේශීය වර්ණය වඩාත් ඔප් නැංවීමට ඔහු මහත් රුචියක් දක්වයි. එසේම එහි දේශජ ලක්ෂණ තුළ ඊටම අනන්‍යව පවතින සමාජ සංස්කෘතික හා ආර්ථික සුවිශේෂතා අවලෝකනය කිරීමටද පසුබට නොවෙයි. නවකතාව දිගහැරෙනුයේ මෙරට සාරවත් කෘෂි කලාපයක් වන රයිගම් කෝරලය පසුබිම් කරගෙන බව ලේඛකයා විටින් විට ගෙන හැර දක්වන හොරණ, ඉංගිරිය වැනි ග්‍රාම නාමයන්ගෙන් පැහැදිලි වෙයි. ශතවර්ෂාධික කාලයක් පුරා මෙරට විදේශ ආක්‍රමණිකයන්ගේ යටත් විජිතයක්ව පැවතියද තවමත් එවැනි ගම්බිම්වල නෂ්ඨාවශේෂ නොවී පවතින ආසියාතික සමාජ ක්‍රමයක ලක්ෂණ උත්පත්ති නවකතාව මගින් සිහිකැඳවීමට ඔහු දරන තැත අගය කළ හැකිය.

බටහිර නවකතා ඇසුරේ අපට හමු වන බොහෝ සමාජ ආර්ථික පසුබිම් නෑකම් කියනුයේ පැරණි වැඩවසම් සමාජවල පැවති මානව සබඳතාවලටය. වහල් හිමියා හා වහලා, රදලයා හා ප්‍රවේනි දාසයා ආදි වශයෙන් ඒවායේ අපට හමු වන දේපළ හිමියන් හා ඔවුන්ගේ දැසි දස්සන් අතර ඇති නිෂ්පාදන සබඳතා ඉතා දුරස් ඒවා වේ. එහෙත් ආසියාතික සමාජ දේහයක් තුළ ස්වාමියා හා සේවකයා අතර සබඳතාවය අර තරම් රළු හා දුරස් එකක් නොවීය. උත්පත්ති කතාවේ එන රත්තරන් නම් ඉඩම් හිමියා සිය සේවක නඩයේ ප්‍රධානියා අමතනුයේ බේලින් මාමා නමිනි. “ඇයි වැඩකාරයන්ට නෑකම් කියන්නෙ.?” අලුත ගෙනා මනමාලිය බිසෝ ප්‍රශ්න කරයි. රත්තරෙන් ඊට පිළිවදන් ලෙස පවසනුයේ එය කුඩා කාලයේ සිට හුරුවූ දෙයක් බවයි.

මෙවැනි අවස්ථා නිරූපණ ආසියානු අර්ථක්‍රමයක ලක්ෂණ දක්වනු පිණිස ලේඛකයා හිතා මතා ඇතුළත් කළ අංගෝපාංග නොවිය හැකිය. නිරායාසයෙන් ගලා ආවේ වුවද ලේඛකයා කිසියම් සමාජ දේශපාලන හා සංස්කෘතික දෘෂ්ටියක පිහිටා මෙම කෘතිය රචනා කර ඇති බවක් පෙනේ. රත්රතරන් දියුණු මනසක් ඇති ඉඩම් හිමියකු නොවේ. ඔහුගේ ඉඩමේ වාඩිලාගෙන සිටින ඉතාම පිඩිත පන්තියේ දැරියක් ඔහු අතින් දූෂණයට පත් වේ. මුලින්ම ඔහු මෙය අමතක කර දමනුයේ අලුයම ලූ කෙළ පිඬක් විලසිනි. උත්පත්ති නවකතාවේ එක් හැරවුම් ලක්ෂයක් වන්නේ මේ අමානුෂික සිද්ධියයි.

එතැන් සිට එළඹෙන සිද්ධි මාලාව එකිනෙකට විච්ඡේදනය වෙමින් සංස්කරණය කෙරෙන චිත්‍රපට රූප රාමු පෙළක් විලසින් කීර්ති සිය ප්‍රබන්ධෝපක්‍රම මෙහෙයවමින් පාඨකයා හමුවේ නිරූපණය කරයි. මනාලිය කැන්දාගෙන එනු පිණිස නික්ම යන මනාලයාගේ රථ පෙරහැර හරස් කරමින් මහ මග මැද දරුවකු තබා පළා යන ස්ත්‍රියගේ ජවනිකාවේ සිට හැලහැප්පීම් සමුදායක් ඔස්සේ දිග හැරෙන කතාව පාඨකයාගේ ආකර්ශනය ඇද බැඳ තබා ගන්නට සමත් වේ. කතාව වඩාත් ගැඹුරු අදියරකට පිවිසෙනුයේ තොරණ බැඳ, මගුල් මඩු තනා පුරාජේරුවට කෑ රත්තරන්ගේ මගුල අවුලෙන් අවුලට පත් වෙද්දීය. සිතින්-කයින් දෙකෙන්ම රත්තරන් පරිහානියට පත්වන ආකාරය කතාකරුවා මනෝ චිත්‍රයකට නගනුයේ සිය නිසග ලේඛන කුසලතාව ප්‍රකට කරමිනි. රත්තරන්ගේ චරිතය ඔස්සේ කීර්ති ප්‍රතිනිර්මාණය කිරීමට තැත් දරනුයේ දෙවැනි අරවින්ද කෙනකුගේ භූමිකාවක්ද යන පැනය කිසියම් පාඨකයකු හමුවේ මතු වීමට වුව අවකාශ තිබේ.

රත්තරන්ගේ බිඳ වැටීමට සාපේක්ෂව ගොඩනැගෙන දේවකගේ පිබිදීම නවකතාව තවත් දිසානතියක් කරා රැගෙන යයි. කළල් මඩෙහි උත්පත්තිය ලැබ නෙලුමක් සේ පිපුනද පිළිතුරු රහිත ප්‍රශ්නාවලියකින් දේවකගේ සිත-කය නිබඳ දැවෙන බවක් දිස් වේ. සිය මෑණියන්ට අත්පත් වූ කුරිරු ඉරණම අරබයා දේවකගේ සිතේ පැසවමින් තිබූ පැනයට නිශ්චිත පිළිතුරු සැපයෙනුයේ අහම්බෙන් මෙන් නිවසට එන ආගන්තුකයකුගෙනි. ඒ අවස්ථාවේ දේවක සිය හැඟීම් පිට කරන අයුරු ලේඛකයා වැකි කිහිපයකින් සිතුවමට නගනුයේ පාඨක සිත් සසල කරවමිනි.

“දේවක ගෙට ඇතුඵව තම කාමරයට පිවිසුණේය. ජනේලය ළඟට ආ ඔහු තිර රෙද්ද මතින් පින්න ගොල්ලේ පිපුණ රතු මල් හා ඈත ගුරු පාරත්, ඉන් එහා කඵගල් මතු වුණු රබර් යායත් දෙස බලාගෙන ජනේලයේ යකඩ ගරාදිය මිරිකා ගත්තේය. අම්මේ…” (255) පිටුව

යොවුන් වියේදීම මරු තුරුලට යන මව අරබයා දේවකගේ සිතෙහි උපදින අසීමිත සෙනෙහස උත්පත්ති නවකතාවේ තවත් අදියරක ඇරඹුම සනිටුහන් කරයි. ඔහුට එතෙක් කල් රැකවරණය සැපයූ කුටුම්භයේ තව දුරටත් විසීම දේවකට අරුචි වේ. නව මගකට ප්‍රවේශ වීමේ අවැසිතාව ඔහුට තදින්ම දැනේ. සිය සැබෑ පියාගෙන් ලද දේපළ පිළිබඳ කිසිදු ආසාවක් ඔහු සිත නූපදී. ඔහු දැඩි මානසික ආතතියකින් පෙළෙන්නට පටන් ගනී. නර්මදා නම් සරසවි මිතුරිය සමග සමීප සබඳතාවක් ඇති කරගැනීමට දේවක පෙළඹෙනුයේ මෙවැනි පසුබිමකය. එසේම දහම් එදිරිසිංහ නම් පැරණි ගුරුවරයකු සමගද ඔහු සබඳතා අලුත් කර ගනී.
මෙම අඩවියේදී නවකතාවේ දෘෂ්ටිවාදාත්මක පාර්ශ්වයට වැඩි බරක් තබන්නට ලේඛකයා පෙළඹෙන සෙයක්ද දිස්වේ. දේවක සත්‍ය ගවේෂකයකු ලෙස විවිධ සමාජ, දේශපාලන හා සංස්කෘතික ප්‍රවණතා නිරීක්ෂණය කරමින් තමන්ට උචිත මාවතක් පාදාගැනීමට වෙර දරයි. මෙහිදී ඔහු ප්‍රධාන ධාරා ත්‍රිත්වයකට සම්මුඛ වන අයුරක් දක්නට ලැබේ. කේතකී (දේවක හදා වඩාගෙන නවාතැන් සැපයූ චාල්ස්ගේ නිවෙසේදී සොයුරියකගේ සෙනෙහස ඔහුට පිරිනැමූවේ මැයයි) කේතකීගේ නෑනන්ඩිය වන කාංචනා හා නර්මදා මෙහි එක් පෙරමුණක් නියෝජනය කරති. නර්මදාගේ නායකත්වයෙන් හෙබි මෙම පෙරමුණ ඍජුවම දහම් මග ඔස්සේ පුද්ගල විමුක්තිය ප්‍රාර්ථනා කරති. භික්ෂුණී ආරාමයක් කේන්ද්‍රගත කරගෙන මොවුහූ මෙම විමුක්ති ව්‍යාපාරය පවත්වාගෙන යති. දහම් එදිරිසිංහ ප්‍රමුඛ කණ්ඩායමක් තවත් ප්‍රවණතාවක් සමගද දේවක සබඳතා පවත්වයි. එම පෙරමුණ පෙනී සිටිනුයේ සන්ථානගත විප්ලවයක් වෙනුවෙනි. මිනිස් සිත පිරිසිදු කිරීමෙන් සමාජ වෙනසක් ඇති කළ හැකැයි ඔවුහූ විශ්වාස කරති. ආචාර්ය අදිකාරම් වැනි සමාජ සංශෝධකයන් විසින් අරඹණු ලදුව වර්තමානයේ ආචාර්ය විජේසිරිවර්ධනයන් බඳු සමාජ ක්‍රියාකාරිකයන් දරන ප්‍රවාදයට දහම් එදිරිසිංහලාගේ ධාරාව බොහෝ දුරට සමපාත වෙයි. දේවකගේ අවධානය දිනා සිටින තෙවැනි බලවේගය වූ කලී සමාජගත විප්ලවයක් උදෙසා කැපවී සිටින ආචාර්ය කමලජීව වගආරච්චිගේ විප්ලවවාදී වාම ව්‍යාපාරයයි. මිනිස් විඥානය වෙනස් කළ හැක්කේ මිනිසාගේ පැවැත්ම වෙනස් කිරීමෙන් පමණකි යන මාක්ස්වාදි එළඹුම ඔවුන්ගේ දේශපාලනයේ හරයයි.
දේවක සිටිනුයේ මේ කණ්ඩායම් තුනටම අතර මැද කේන්ද්‍රයක බව ඔහුගේ චෛතසික ස්වභාවය හෙළි කිරිම මගින් ලේඛකයා අපට පෙන්වා දෙයි. නර්මදා සමග පැවති දීර්ඝ සාකච්ඡාවකදී සිය අවසන් ජීවිතාභිලාෂය දේවක මෙසේ ප්‍රකාශයට පත් කරයි.

“අවුරුදු ගණන් කාලය ගත වෙනව. තත්ව වෙනස් නොවී එහෙමම පවතිනව. තව කොච්චර කාලයක් මෙහෙම ගතවෙයිද? ගත වෙන්න ඕනද? ඇත්තටම නම් ලෝකයට අලුත් උත්පත්තියක් ඕන. නර්මදා මම ඔයාව මහන්සි කරනව. ”

ඊට පසු දින දේවක සියල්ලන්ටම රහසේ නිවෙසින් නික්ම යන්නේ ඉහත කී අයුරින් ලෝකයට නව උත්පත්තියක් ලබා දීමේ උදාර අරමුණට උර දෙන්නය.
උත්පත්ති යනු නවකතාව ආරම්භයේදි මහමග හැරපියා යන දරුවාගේ උපත නොව පිටස්තරයකු ලෙස සමාජයේ හැදෙන වැඩෙන එම දරුවා අයාලේ යමින් තිබෙන මෙම සමාජයට නව උත්පත්තියක් ලබා දෙනු වස් අරඹන අභිනිෂ්ක්‍රමණයයි. උත්පත්ති නවකතාව සමාප්ත වීමට ඔන්න මෙන්න කියා තිබියදී දේවකගේ මුවින් නික්මෙන මේ වැකි කිහිපය කීර්ති සිය පාඨක සමූහයා වෙත ඉදීරිපත් කරන තවත් අභ්‍යාසයක් වැනිය..

“මට හුඟක් දේවල් කියන්න නෑ නර්මදා. මට තව මිනිත්තුවක් දෙන්න. පැහැදිලිවම මම යන්න ඕන. ඒත් ඒ කොයි මාර්ගයෙද, නවතින්න ඕන කොතනද කියන එක ගැන පැහැදිලිකමක් නෑ. ඒක යද්දි තීරණය වෙයි. කොහොම වුණත් මනුෂ්‍යයෙක් හැම දේකටම කලින් තමන්ගෙ හෘදයසාක්ෂියට ඇහුන්කන් දෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ. මම කියන්නෙ මොකක්ද කියල නර්මදා දන්නව. මම යන්නෙ ඒ හින්ද. තනිවම ගිහින් තනිවම කරන්න පු`ඵවන් දෙයක් ගැන විශ්වාසයකින් තීන්දු කරගත්තු ගමනක් නෙවෙයි. අලුතින් යමක් හොයාගන්න ඒ වගේ අරමුණකිනුත් නෙවෙයි. අනිත් අතට මොනවද අලුතින් හොයාගන්න තියෙන්නෙ.? ඒ ඒ ඥාන ධාරාවල ආලෝකය එකකට එකක් වෙනස් වුණත් ඒ හැම ආලෝක ධාරාවක්ම වටිනව-අදාළයි. මුසු වෙන්න ඕන මාත්‍රාව විතරයි අලුතින් පාදාගන්න තියෙන්නෙ.”

දේවකගේ මෙම අභිනිෂ්ක්‍රමණය හුදු පුද්ගල විමුක්තිය අරබයාද..? නැතිනම්, පළමුව සමාජ මනස වෙනස් කිරීමට ප්‍රමුඛත්වය දෙන ආධ්‍යාත්මක විප්ලවයක් උදෙසාද..? නොඑසේනම් සමාජ බලවේග මෙහෙයවමින් කෙරෙන භෞතික පරිවර්තනයකට දායක විම පිණිසද..? ඒ කිසිවක් නොවේනම් එකී ධාරා තුනම සම්මිශ්‍රනයෙන් ජනිත වූ මාවතක් උදෙසාද..? මෙවැනි කරුණු කාරන පිළිබඳව ගැඹුරින් සිතා ගැනීමේ අවකාශය පාඨකයා හමුවේ තබමින් කීර්ති උත්පත්ති කතාව සමාප්තිය කරා රැගෙන යයි.

මෙම කරුණු හේතුකොටගෙන උත්පත්ති නවකතාව කීර්ති වැලිසරගේ ලේඛකයා මෙතෙක් ආ දිගු සාහිත්‍ය චාරිකාවේ තවත් සරු අස්වැන්නක් ලෙස හඳුන්වනු කැමැත්තෙමි.

කමල් පෙරේරා

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...