‘කවි’ – අනුර කේ එදිරිසූරිය
කවියකුට කවි නොලියා ගත කරනු ලබනා කාලය යනු දරාගත නොහැකි තරම්වන අහිමිවූ අවධියකි. එහෙත් එවන් කාලයකට පසුව කවියා යළි පාඨකයන් අතරට එනවිට ඔහු අත ඇත්තේ සරු කවි පැසක් නම් ගෙවුන කාලය අපතේ ගිය එකක් සේ හඟින්නට නොහැකිය. පාඨකයාහට තම අත පත්වන කවි පෙරදී ඔහු අදාල නිර්මාණකරුවාගේ කවි විඳින විට දැනුන හැඟුම පරයා යන සෙයක් දැනෙන්නේ නම් එවිට කවියා නිහඬ කාලයට පසු හරවත් ලෙස හඬ නගනා සෙයක් දැනෙනු වැලැක්විය නොහැකිය.
අනුර කේ සිය නිහඩ සමයෙන් පසු සිසිර නින්ද බිඳින්නේ එවන් සරු අස්වැන්නක්ද සමගින් යයි මම සිතමි. ඔහුගේ කවි සංක්ෂිප්ත ගුණයෙන් පොහොසත්ය. මේ වන විට බොහෝ කවීහු මේ සංක්ෂිප්ත බව කෙරෙහි ආශක්ත වෙමින් සිටිති. ගැටළුව මතුවන්නේ සංක්ෂිප්ත බව තුළ කවියෙහි රුව ගුණයන්ද නසාලන්නේ නම්ය. මේ අප බෙහෙවින් පරෙස්සම් විය යුතු ස්ථානයකි.
අනුර කේ එහිලා බෙහෙවින් පරෙස්සම් සහගතය, අවබෝධාත්මකය, නිර්මාණශීලීය, කවියෙහි අරුත් සරු කරනට තරම් නිපුණ ය. ඔහුගේ කවි වලට මාතෘකාවන් නැත. එහෙයින්ම ඒ කවි කියවන පාඨකයාට සීමාවන් පැනවීද නැත. මටද අනුව කවිය මාතෘකා යෙදීම යනු කවිය එක්තරා ආකරයකින් කොටු කරන්නට තැත් දැරීමකි. නැතිනම් මෙසේ කියවාපන්න යයි අණක් පැනවීමකි. එහෙත් අනුර කේ ගේ කවියට එවන් සීමාවක් නැත. ඔබට ඇත්තේ විවෘත හදින් එහි පිවිසීමය.
වර්තමානය යනුම වේදනාවේ ලාවා ගඟුලක පැසීමකි. සැමත ඇත්තේ සිත පිරිමදිනා සුපසන් බව නොව පීඩාව හා සුසුම ජීවිතය බර කරනා නරුමකමම ය. හැරයාම මෙන්ම එක්ව වසමින් වෙන්වන ඉරි ඇඳීමට දෛනික අත්දැකීම බවට පත්ව තිබේ. මිනිසා හට දිනපතා වේල සරිකරගැනීමේ සිට ජීවිතයේ අනෙක් සන්තුෂ්ඨීන් අත්කර ගැනීම දක්වා ඇති මාවත යනු අපේක්ෂා බිඳවනසුළු කටු කොහොල් පිරි වංගගිරියක් පමණි. ඔහු එතුළ වැද නෙක උපාමාරු යොදයි, නෙක උත්සාහයන් දරයි. එහෙත් අවසන් පලය බිඳ වැටීමම ය.
කවියා අහිමිවීම නැතිනම් වෙන්ව යාම ස්පර්ශ කරනුයේ සියුම් හැඟුම් දනවන ආකාරයේ සීමිත වදන් භාවිතාවකිනි. ඔහුගේ පළමුවන කවිය මෙන්ම විසිවන කවියද එක වියෝගයෙහි අවස්ථා දෙකක දනවන හැඟුම් හා සම්බන්ධිතය. මේ කවි දෙකින්ම ඔහු එකිනෙක සිහිපත් වන එහෙත් එකිනෙකට වෙන්ව කියවිය හැකි අපූරු කවක් නිර්මාණය කරයි.
ඔහු පළමු කවිය අරඹන්නේ මෙලෙසිනි.
වැහි
මොකට එනවාද
පෝය කිට්ටුව රෑට
කලුවරට බයයි මම
ලයිට් කපනා දාට
උස පිලට පය තබා
ජනේලෙන් ගෙට පනින
චන්දරේ එක්ක ගිය
චන්දරා ගැන මතක
මෙහි චන්දරේ -සඳ- සහ චන්දරා විසින් මවනු ලබනා හැඟුම් පාඨකයා කවිය කෙරෙහි බැඳ තබයි. ඔහු කවිය නිමවන්නේ මේ අයුරිනි.
පාළුවට වෙන කියන
නමක් දන්නේ කවුද
ආදරය කියන්නෙම
වේදනාවක කොනට
මේ විසිවන කවියයි.
රන්න හන්දිය පහුවුනා
බහින තැන අමතක වුනා
මතක් වුනොතින්
එන්න කියලා
දුන්නු ලිපිනය නැති වෙලා
චන්දරා දැක්කාද ඇහුවම
සුදු වළාකුළු ලිහි ලිහී ගොස්
අහසෙ මුහුණත් කළු වුනා….
අනුර කේ ගේ හයවෙනි කවිය ඉතා දිගු කතාවක් අතිශය සංක්ෂිප්තව එහෙත් එතරම්ම පුළුල් ලෙස කියා පාන්නකි. ඔහු කවියට විෂය කරගනුයේ ලංකාවේ අති පීඩිතම මිනිස් කොට්ඨාශයක් වන වතු කම්කරුවන්ය. ඔවුන්ගේ අතීතය සහ වර්තමානය ය. එකී වර්තමානය විසින් ඇති කරන ලද වෙනස්කම්ය. කවියා එක් අතකින් වතුකරයේ ජීවිතය සිත්තම් කරනතර ඒ සමගම එහි වර්තමාන පරම්පරාවේ ඉරණමද විමසයි. වත්තෙන් ගැලවීම සොයා නගරයට ඇදෙන කම්කරු බලකායක් බවට පත්ව සිටිනා නව තරුණයාගේ කටුක දිවියද ඔහු නිසි තැනින් අල්ලා ගනියි. තම දරුවන් බලා ගන්නට, ගෙවල මෙහෙකාරකමට උතුරෙන් මෙන්ම දකුනෙන්ද යොමු වන ඉල්ලුමට සැපයුම බවට පත්ව ඇති මේ අසාධාරණයට ලක්වූ ජන කොට්ඨාශය ගැන අනුරගේ කියවීම මෙපරිදිය. ඔහු කදිම සංකේතාත්මක බසකින් ඔවුන්ගේ ජීවිතය විනිවිදියි.
එකමුතුව මෙන් පෙනෙන
වෙන් වෙන්ව දණ නැමුව
තේ පඳුරු
හිස නගන්නේ නැතිව
බෙලි කැපෙන
කවියා අප ඉදිරියේ මවනුයේ මතුපිටින් බලන විට එක යායාක් සේ පෙනෙන තේ යායක දසුනයි. එහෙත් ඒ සමගම එය අපට එහි කම්කරුවන්ද සමගින්ම දකින්නට හැකිය. ඔවුහුද අවස්ථාවාදී දේශපාලනය ඉදිරියේ මතුපිටින් එක පෙලට පෙනෙන එහෙත් වෙන් වෙන්ව දංගෙඩියට යවනු ලබනා පිරිසක් පමණි. ඔහු ඔවුන්ගේ ජීවිත විස්තර කරන්නේ මෙලෙසිනි.
නැගෙන හිරුටත්
බහින් හිරුටත්
බර අඳුරු හෙවණැල්ලෙ
යටවෙන
හරක් පැටවුන්
කුකුලු පැටවුන්
මිනිස් පැටවුන්
ලැයිං කාමර
වතුකරයේ සිරගතව ඇති ජීවිතය සහ එහි ඇති ඛේදනීය දිවිය ඔහු සිත්තම් කරන ආකාරය සංවේදනා දනවනසුළුය. දැන් එහි වත්මන් පරපුර නොරැඳෙති, ඔවුහු පලා යති. ඒ වඩා හොඳ ජීවිතයක් සොයා ගෙනය. එහෙත් ඔවුන්ගේ ඉරණම? අනුර කේ මෙසේ කියයි.
රොටී දෙකකට
වඩා බර නැති
ඉරුණු මල්ලක් කරේ
කොල්ලෙක්
නගින කොළඹට
කබල් බසයට
කුලී වැඩකට…..
අනුර කේ වර්තමානයේ ඉන්නා අරගලකරුවා සහ ඔහුගේ අසරණකම විෂය කරගනුයේ නමවන කවියටය. ඔහු එහිලා උපයෝගී කරගන්නේ වක් පිහිය යි.
ඔහු වක් පිහිය හා ඇති කරගන්නා සංවාදයක් ලෙස කවිය ගලා යයි.
වක් පිහිය මචං!
පොල් බිඳින්නට
උඹෙන් පුළුවන්
එහෙත් ඔහුගේ අභිලාෂය එයම නොවේ.
වක් පිහිය
කුස්සියේ මම
බම්බු ගහන්නද
බං?
උඹ අරන්
පාරට ගිහිං
අඩෝ!
අයුක්තිය සටනට
කැඳවන්ඩ පුළුවන්
එත් මං
බයයි බං
ලංකාවේ රජයන ජාතිවාදය දෙස ඔහු හෙලන බැල්මෙහි ඇත්තේ නොමද උපහාසයයි. ඒ කවිය යනු සිනහවක් මුව රඳවාගෙන එහෙත් දත්මිටි කමින් කියවන්නට සිත් දෙන විවරණයකි. අප කොතෙක් අමතක කරන්නට තැත් දැරුවද වරින් වර හිස ඔසවන ජාතිවාදයේ නගන ජඩ බව ඔහු මෙහිලා මනාව අල්ලා ගනී.
දුටුගැමුණු ප්‍රතිමාව
හන්දියේ නැංවුවේ ජයකොඩි
ප්‍රතිමාව නංවන්න
හන්දියේ දෙමල කඩ
ෆ්ලැට් කළේ ජයකොඩි
මෙහි ජයකොඩි යන්න ජයකොඩි නාමය සහ ජය කොඩි ලෙස කියවන්නට හැකි නම් මැවෙන සිතුවම තවත් බරපතලය. ඔහු ඊළඟ පෙලෙහිදී එය කරයි.
දෙමල කඩ ෆ්ලැට් කළේ
හන්දියේ ජය කොඩිය
නැංවුවේ ජයකොඩී
අනුර කේ යනු අතිශය ධෛර්ය සම්පන් මිනිසෙකි. මාධ්‍යවේදියෙක් කවියෙක් පරිවර්තයෙක් මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස ඔහු විවිධ මැදිහත්වීම් කරන්නෙකි. ඔහුගේ කවි පොතෙහි 46වන පිටුවෙහි එන තිස් දෙවන කවිය ඔහුට සමීප අය කියවන ආකාරයට වඩා හාත්පසින් වෙනස් ආකාරයකට පොදු සමාජයට කියවන්නට කවුළු ඇති බෙහෙවින් සංවේදී කවියකි. ඒ කවියම අනුර කේ ගේ කවිකම මෙන්ම පුද්ගලික අත්දැකීමක් පොදු බවට හරවන්නට ඔහුට ඇති සමත්කම විදහන්නකි.
රයිෆලය
උරහිසෙන් මෙන්
ගලවා
දකුණු අත
තැබී හේ
ඇඳ මත
ආසන්නයෙන්
බිත්තියට
බූට් එක පරිද්දෙන්
ගලවා කකුල
දණහිසට පහතින්
බර කළේ
විට්ටමට
අත පොවනු හැකි මානයෙන්
කවිය මෙහි මුළුමනින්ම බහා නොලමි. එය කියවන්නට ඔබට ඇරයුම් කරමි. එහි ඇති මිනිස් සුවඳ විඳින්නට ඔබටම ඇරයුම් කරමි.
මේ අනුර කේ කවියා තුළ වෙසෙන සමාජ විචාරකයාගේ බර පෙන්වන තවත් කවියකි.
බෞද්ධාලෝකය නිමී ගිය
වටරවුම ළඟ
මුගුරක් අතින් ගත් භික්ෂුව
මෑත
කෝටියක් සාධුකාරය
ඈත ගොන් නාම්බෙක් තප්පුලන
අහෝ මේ සිරිය
පිළිමයක නෙත වුව
කඳුලක් උපද්දන
සාධුකාරය යනු
මර ළතෝනියටම නමක් නම්
වන්දනා කලත් නැත වරද
භික්ෂුව?
නැත!
මුගුර!
මේ ඇතැයි සිතමි. මෙවදන් පමණක් ලියමි. අනුර කේ අපූරු කවි අහුරක් නෙලාගෙනවිත් ඇත. ඉදින් එහි රස විඳින්නට ඔබට බාධා නොකළ යුතුය.