Inter view එකක් සදහා මෙවර සම්බන්ධ වෙන්නෙ ,අපේ භාෂාවේන් කියුවොත් සැබෑ පත්තරකාරයෙක්, හිටපු විශේෂාංග කර්තෘවරයෙක්, පරිවර්තකයෙක්.කවියෙක්, ගවේෂණය කළයුතු නිර්මාණවේදියෙක්.
ඔහු සිය පලමු කාව්‍ය සංග්‍රහය ‘නගරයට ආ මුවැත්ති(1998)ත්, දෙවැන්න ‘නිශ්ශබ්ද ‘(2003) කාව්‍ය සංග්‍රහයට පසුව ඔහු පළකරන නවතම කාව්‍ය සංග්‍රහය 2023 සැප්තැම්බර් 15 වන දින ‘ආදර වස්තුවක් කියන්නෙම ඒකායනම පිස්සුවක්’ පාඨක ප්‍රජාව අතට පත් කිරිමට නියමිතයි. ඔහු නමින් අනුර k එදිරිසූරිය. මේ අනුර ගේ අදහස් එක් වුන inter view එකක් .
අවුරුදු විස්සකට පස්සෙ ඔබේ කවි සංග්‍රහයක් නිකුත් වෙනවා. වසර විස්සක කාලයක් කෘතියක් සඳහා ගත කරන්න හේතුව මොකක්ද ?
මූලිකම හේතුව, පත්තර රැකියාව නිසා මගේ හිස ගිනි ගෙන තිබීම. දෙක; මුලින් පළ කළ කෘති දෙකට සමාන හෝ ඒවා ඉක්මවන කවි එකතුවක් රසිකයන්ට දෙන්න පුළුවන් වේද කියන සැකය. දැන් මගේ හිසත් හිතත් නිදහස් අලුතින් කවි පොකුරක් රසිකයන් අත තබන්න දැන් මම බය නැහැ.
නිර්මාණකරුවෙක් විදිහට ඔබ විශ්වාස කරන්නෙ මොන වගේ කෙනෙක් ද?
නිර්මාණකරුවෙක් තමන් ජීවත්වන ඓතිහාසික මොහොත තම නිර්මාණ තුළින් ප්‍රතිනිර්මාණය කරන්න ඕන. තමන්ගේ මතයට අවංක වෙන්න ඕන. වගකීමෙන් සහ වගවීමෙන් යුතුව නිර්මාණ කාර්යයේ නියැලෙන්න ඕන.
ඔබේ ‘නගරයට ආ මුවැත්තිය’ කාව්‍ය නිකුත් වෙන්නෙ විසිවන සියවසේ අවසන් වසර කිට්ටුව ,එහි අඩංගු කවි ගැන අද ඔබට තියන අදහස මොකක්ද?
මා ඒ මොහොතේ විඳිමින් , විඳවමින් සිටි පෞද්ගලික, සමාජ, දේශපාලන කම්පනය කාව්‍යාත්මකව පුපුරුවා හරින්නට ගත් උත්සාහය ලෙස ” නගරයට ආ මුවැත්තිය ” හඳුන්වන්න මම කැමතියි. වෙනත් වෙනත් අයට වෙන වෙන ආකාරයට ඒ කවි එකතුව වෙන වෙනම දැනුණා. අවුරුදු 25කට පසුවත් රසිකයන් ” නගරයට ආ මුවැත්තිය ” අමතක කර නැහැ. මමත් තාමත් මුවැත්තිය ට ආදරෙයි.
සාමාන්‍යයෙන් විසිවන සියවසයේ සහ ඉන් පෙර යුගවල කවින් තමන්ගේ නිර්මාණ තුළින් සමාජ කියවීමක් කළා. ඔබට ඒ ගැන තියන අදහස මොකක්ද?
නිර්මාණකරුවෙක්ට ජීවත් වන සමාජයෙන් වියුක්ත ව වැඩ කරන්න බැහැ. නිර්මාණයක් කියන්නෙම එක්තරා සමාජ කියැවීමක්. වැදගත් වන්නේ සමාජය කියවන දෘෂ්ටිකෝණය. ජාතිවාද, ආගම්වාද පමණක් නොව කොමියුනිස්ට්වාදය, සමාජවාදය පෙරදැරිව කරන කියැවීම් පවා බැහැර කර මධ්‍යස්ථ සාකල්‍යවාදී ප්‍රවේශයකින් සමාජය විචාරය කරන්න නිර්මාණකාරයකුට පුළුවන් වෙන්න ඕන. එතැනදී ජාති, ආගම් වාද වැනි විනාශකාරී අදහස් පිළිකුලෙන් බැහැර කළ යුතු බවට විවාදයක් නැහැ. යහපත් දර්ශන සම්බන්ධයෙන් එකකට බර නොවී සාකල්‍යවාදී මධ්‍යස්ථ මතයක පිහිටා සමාජය විවරණය කළ යුතු බවයි මම විශ්වාස කරන්නේ.
දේශපාලන සහ කවින් අතර තියන සම්බන්ධතාවය මොන වගේ ද ඔබ දකින්නෙ?
සියලු සංසිද්ධි දේශපාලනිකයි. කවියත් කවියාත් දේශපාලනිකයි. පක්ෂ දේශපාලනය ඉක්මවා ගිය දේශපාලන දැක්මක් කවියාටත් කවියටත් තියෙන්න ඕන. දේශපාලනය පෙරහරක් නම් එහි ගමන් මග විචාරාත්මකව නිරීක්ෂණය කිරීමේ වගකීම කලාකරුවාට පැවරෙනවා. පෙරහරේ නටන්න, කස ගහන්න ගියොත් කලාකාරයගෙ සැබෑ මෙහෙවර සමාජයට ඉටු නොවෙන්න පුළුවනි.
ඩිජිටල් අවකාශය තුළ බොහෝ කවින් බිහිවෙනවා.ඔබට ඒ සම්බන්ධව අදහසක් තියනව ද.
ඩිජිටල් අවකාශය ගැන මට තියෙන්නෙ ” හොඳට නරකට දෙකට කට ම ය ” අදහසක්. නූතන තාක්ෂණය බැහැර කරන්න බැහැ. ඩිජිටල් අවකාශය නිසා පෙර නොතිබුණු අවස්ථා රැසක් අපට ලැබිල තියෙනවා. අන්තර් ජාලය විශාල සම්පතක්. කවිය ගැන හොයන්න, ලියන්න, පළ කරන්න සමාජ ජාල ආදිය ඉතා වැදගත්. මුද්‍රිත මාධ්‍යයට සාපේක්ෂව වැඩි පිරිසක් අතරට ඉක්මනින් ළඟා වෙන්නත් ක්ෂණික ප්‍රතිචාර ලබා ගන්නත් ඩිජිටල් අවකාශයෙන් පුළුවනි. ඒ අතරම සංස්කරණයට ලක් නොවීම වැනි දුර්වලතාත් ඩිජිටල් මාධ්‍යවල තියෙනවා. ඒ කාලෙ අපි පත්තරයක කවියක් පළකර ගන්න ගත් වෙහෙස අපේ කවියේ දියුණුවට බලපෑවා.
ඔබ වඩාත් සක්‍රීය පත්තර කාරයෙක් විදිහට වර්තමාන පුවත්පත් සම්බන්ධව ඔබේ අදහස මොකක්ද?
මේ පුවත්පත්වලට නරක කාලයක්. විද්‍යුත් මාධ්‍ය, කඩදාසි මිල, පාඨක ප්‍රජාව හැකිළීම, මධ්‍යස්ථ භාවය වැනි ගැටලු රැසක් පුවත්පත්වලට ජයගන්න වෙයි.
කවිය සම්බන්ධව වර්තමානයේ ඔබ දරන්නෙ මොන වගේ අදහසක් ද?
කවිය කවදත් ජනප්‍රිය කලා අංගයක්. කවිය ගැන උනන්දු නව පරපුරකුත් හිඳීම හොඳ ප්‍රවණතාවක්. නමුත් අලුත් පරම්පරාවෙ බොහෝ අය කවිය, විශේෂයෙන්ම නිසඳැස් කවිය හරි හැටි හඳුනා ගෙන නැති බව පෙනෙනවා.
ඔබේ අලුත් කාව්‍ය කෘතිය තුළින් ඔබ ප්‍රකාශ කරන්න උත්සාහ දරන්නෙ මොන වගේ අදහසක් ද?
වසර විස්සකට ආසන්න මගේ විඳීම් රිදීම් ජනගත කිරීම, අලුත් පොතේ එක අදහසක්. මානව සබඳතා, දේශපාලනය ගැන අදහස් ප්‍රකාශ කිරීම තව එකක්. කවියේ ආකෘතික වෙනසක් කරන්න ඕන කියන අදහසත් එහි තියෙනවා.
ඇත්තටම කවිය කියන්නෙ අවියක් ද..?
ඔව්! හැබැයි සම්ප්‍රදායික අර්ථයෙන් පමණක් නෙමෙයි. මෙතෙක් කවිය අවියක් කීවෙ දේශපාලන අර්ථයෙන්; ආණ්ඩු පෙරළන්න,විප්ලව කරන්න. ඒකත් එකක්. ඒත් නව කවියට පැවරෙන මූලික වගකීම, අප ජීවත් වන සමාජය කවරාකාරද කියල ජනතාවට පෙන්වාදීම. මානව හිමිකම්, කාන්තා අයිතිවාසිකම්, දේශගුණික විපර්යාස , පරිසර දූෂණය, LGBT වැනි විෂයයන් ගැන නූතන කවිය උනන්දුයි. ඒ දේවල් සාකච්ඡා කරන උපකරණයක් බවට කවිය පත්වෙන්න ඕන. ඒකත් කවිය අවියක් කර ගැනීමක්.
පරාක්‍රම ඒකනායක
2023/9/12