විශ්ව විද්‍යාල අධ්‍යාපනය සහ සරසවි සිසුවා යනු පවත්නා අර්බුදයෙහි එක් බරපතල ප්‍රකාශනයක් සේම වහා විසඳුම් සෙවිය යුතු ජාතික අවශ්‍යතාවක්ව පවතින්නකි. එහෙත් පාලකයන් මෙන්ම රටෙහි ජනතාවද විශේෂයෙන්ම සරසවි ශිෂ්‍යය ව්‍යාපාරයන්ද මෙතෙක් මේ ගැටළුවට විසඳුම් යෝජනා කිරීමට මෙන්ම ඒ නිසි ලෙස විග්‍රහ කරගැනීමට සමත්ව සිටින්නේද යන්නත් ඒ තරමටම ගැටලුවකි.
අසමත් පාලකයන් විසින් සිය ආත්මාර්ථකාමී එමෙන්ම තමන් මත පටවන ලද දේශපාලන නයාය පත්‍ර මත සමස්ත රටම හෙලනු ලැබ ඇති අගාධයෙහි එක් අංශයක් වනුයේ උසස් අධ්‍යාපනය, සමස්තයක් වශයෙන් ගත් කළ අධ්‍යාපනයෙහි පවත්නා කඩාවැටීමය. එය ගොඩනැගිය හැක්කේ සිසුනට පහරදීමෙන් හෝ පුද්ගලික අධ්‍යාපනයක් උදෙසා රටෙහි පවත්නා අධ්‍යාපන පද්ධතිය බිලිදීමෙන් නොවන බව ජනතාව වටහා ගන්නා විට බොහෝ දේ සිදුව හමාර වනු ඇත.
වර්තමානයෙහි සරසවි සිසුවා වෙත එල්ල කෙරෙනා විවේචනයක් වනුයේ ඔහු හුදු වීදි සටන්කරුවකු මිස නිර්මාණශීලී යෞවනයකු නොවන වගය. එහෙත් මුළු දවසම පීඩාකාරී අධ්‍යාපන කාලසටහනකට කොටු කර නිහඬ, පැණ නොනගන පුරවැසියකු සැදීම අරමුණු කරගත් අධ්‍යාපන විය ගසක සිර කරන ලද සිසුවකු නිර්මාණශීලී කිරීම යනු එක්තරා අභියෝගයකි. මේ සඳහා විෂය දැනුම ඉක්මවූ සැබෑ නිර්මාණශීලී අධ්යියන කාර්ය මණ්ඩලයක්ද අවශ්‍ය ය. එහෙත් ඉන්නා පිරිස පවා රට හැර යන තත්වයක මේවා ලෙහෙසි නැත.
කෙසේ වෙතත් සියළු අර්බුද මධ්‍යයයේ වුව සරසවි තුළ යම් යම් කලා සාහිත කටයුතු සිදුවෙයි. කවර අඩුපාඩු මැද වුව විවේචනයන් සහිතව වුව ඔවුන් දරනා ඒ උත්සාහයන් අගය කළ යුතුව තිබේ. බහුලව නොවුවද වසරක් තුළ යම් යම් නිර්මාණ කාර්යයන්ද අපට දක්නට ලැබෙයි. සබරගමුව සරසවියේ පබසරා රණතුංගගේ ‘හුස්ම’ කාව්‍ය සංග්‍රහයද මේ සඳහා උදාහරණයක් ලෙස දැක්විය හැකිය.
ඇගේ කවි එකතුවෙහි කාව්‍ය නිර්මාණ 41 කි. ඒ නිර්මාණ අතරෙහි ඇය සරසවි දිවිය හා බැඳුන ඇයට දක්නට ලැබෙනා ඇතැම් සිදුවීම් සහ ගැටළු මෙන්ම තමන්ගේ සමාජ කියවීම අනුව දැනෙනා දේ ද කවියට විෂය කරගන්නීය. ඉතා සීමිත අවස්ථාවන් කිහිපයක පමණක් සිවුපද ආකෘතිය වෙත යොමුවන ඇය වැඩි වශයෙන් විශ්වාසය තබන්නී නිදහස් කාව්‍ය සම්ප්‍රදාය කෙරෙහිය. ඇගේ කවියෙහි විශේෂත්වයක් වනුයේ කෙතරම් අනුරාගිකව ලිවීමට යොමු වුවද ඇය වදන් හැසිරවීමේ ලා දක්වන සංයමයයි. අනවශ්‍ය දීර්ඝ එමෙන්ම සිතෙහි ඇති සියල්ල කවියට ගොනු කිරීම වෙනුවට ඇය නිරතුරුවම උත්සාහ දරන්නී සංක්ෂිප්තභාවය රැකගැනීමටය. එහිදී ඇය සිය කාව්ය නිර්මාණයන්හී කාව්‍යාත්මකබව රැක ගන්නටද සමත් වන්නේ නම් ඇගේ කවි වඩාත් දියුණු නිර්මාණ බවට පත් කරගත හැකි වනු ඇත.
ඇය සිය පළමු කෘතියෙන් තමන් කිවිඳියක ලෙස තම නම සළකුණු කිරීමට ඇති උනන්දුව පල කරන්නීය. දැන් ඇය ඉදිරියේ ඇත්තේ සිය නිර්මාණ වඩා දියුණු තලයකට ගෙන යාමේ ව්‍යායාමයෙහි නිරතවීමය. ඇගේ කවි ඇයට ඒ මගෙහි යාමට හැකි බව පෙන්වාදෙන පුළිඟු සේ දිස්වන බව කිව යුතුව තිබේ.
ඇය විටෙක පෙම සහ කුටුම්භ දිවියෙහි පරතරය කවියට ගෙනෙන්නට සමත් වෙයි. පෙමක ආරම්භයේ ඇති සංවේදී බව, ආදරය, සැලකිල්ල, කැපවීම විවාහ සංස්ථාව තුළ දියාරුව, කැඩි බිඳී යන ආකාරය ඇගේ කවියට විෂය වෙයි.
මුල් දවස්වල සේද සළු පිලි
උනා දැමුවේ ඔහුගේ දෑතින්
මාස එක දෙක ගෙවිල යනකොට
ඉරා දැමුවේ කඩමල්ල කියමින්
මුල් දවස් වල සෙමින් එහෙ මෙහෙ
යවපු ඇඟිලි තුඩු
මාස දෙකකින් පහුරු ගෑවේ හූරලා
පිටකොන්ද යහමින්…..
මේ ඇය තවත් පාර්ශවයකින් මේ කලාපයම විමසනා ආකාරයයි.
හංස තටු ගැලවෙද්දි
මධු සමයෙ ඇඳක් මත
සිහිවුනේ මට නුඹේ
අහිංසක ඇස් දෙක
කොලයකට සින්න වුන
මගෙ නොවූ හෙට දවස
එදා රෑ රාගයෙන් බිලිවුනේ
සැමියා යයි කිවු ඔහුට…..
ඇය තම කවියෙන් ගෙන එන්නී තම අභිමතයට පිටින් විවාහයට එළඹෙන්නට සිදුවූ යුවතියක සිය මංගල රැයෙහි තමනට අහිමි වූ තම පෙම සිහිපත් කරමින් නව දිවියට යටත් වන ආකාරයයි. ඇය තම කසාවත නම් කවියෙහිදී සාකච්ඡාවට ගන්නේ පැටි වියෙහිදී සසුනට බාර කරනු ලබනා දරුවන්ගේ පුවතය. ඇය තම කවිය ගොඩ නගනුයේ යුවතියක හා සාමනේර හිමිනමක පෙමින් බැඳෙන පුවතක් ඇසුරිනි. හතර වරිගයක් නිවන් යවන්නට බිලිවන ලමා වියක් සහ යෞවනයක අවපැහැ සිතුවම ඇගේ කවියෙහි කේන්ද්රකය බවට පත් වෙයි. පාස්කුව නමින් ඇය රචනා කරනා කවිය වස් කවියක හැඩය ගන්නකි. එහි ඇත්තේ මියගියවුන් කෙරෙහි වන දයාව සහ ඒ මිනීමැර්ම් වලට වගකිව යුතු බලලෝභී දේශපාලනය කෙරේ නැගෙනා කෝපයයි. එසේම ඇය දෙබසක් නමින් නිර්මාණය කරනා කවියද විමසුමට බඳුන් විය යුත්තකි. ඇය එහිලා විෂය කරගන්නේ කාන්තාවන්ගේ සකීපාරක්ෂක තුවා පිළිබඳ ගැටළුවයි. පසුගිය ජනපතිවරණයේදී මේ විෂය සම්බන්ධයෙන් රටෙහි දේශපාලකයන් මෙන්ම ඇතැම් කාන්තාවන් පවා හැසිරුණු පිලිකුල් සහගත විලාශය තවමත් සමාජයට අමතකව ගොස් තිබිය නොහැකිය. එහෙත් අප කිසිවකු හෝ ඒ ගැන සංවේදී නැති. ඇය තම කවියෙන් මේ ගැටළුවට පිවිසෙන්නී එය එක් අතක කාන්තාවගේ ගැටළුවක් මෙන්ම පවුලක ආර්ථික අර්බුදයෙහිද කොටසක් බව අපට සිහිපත් කරවයි.
තම දියණියට සනීපාරක්ෂක තුවා පැකට්ටුවක් ගන්නට පවුලේ උපයන්නා හට ඇති අසීරුව ඇය කවියට නගන්නේ මෙලෙසිනි.
විකිණුනේ පලා මිටි
හතරයි පහයි
අරවයින් එකක් දැන්
තුන්සීයට ළඟයි
ණය පොතේ
පිටුත් දැන්
ඉවරෙටම ඉවරයි
මක් කරන්නද මැණිකේ
අදත් ණය පොතේ
සරණයි
මේ ඇය නූතන උපාධි ඛේදය දකින අයුරයි.
උකසට සින්න වූ
උපාධි සිහින
තැන තැන
පුරන්වූ වතුවල
සැඟව….
බොති කඳුළු
ලක්දිව උපන්
පාපයට
පබසරාගේ කවි තුළ කිවිඳියකට ඇවැසි උද්යෝගී බව නොඅඩුව තිබේ. එහෙත් ඇය තම කවිය නිසි ලෙස ඔප මට්ටම් කිරීමට තව අභ්යා ස කළ යුතුව තිබේ. කවියෙහි රිද්මය මෙන්ම කාව්‍යාත්මක යෙදුම් නිර්මාණයටද ඇය වෙහෙසිය යුතුය. මේ ඇගේ පළමු පියවර ය. එහෙත් දෙවන පියවරෙහිදී ඇය වඩා ස්ථිරසාර ලෙස තම ස්ථානය සනිටුහන් කළ යුතුය.