‘ප්‍රේමයේ කාර්තු’ – කාංචනා අමිලානි
කිවිඳියක සිටින්නී අප අභියස. ඇගේ කවිය කොනහා ලයි අප හද නිදන ලේ නහර. විටක එහි උපහාසයකි. තව විටෙක ආදරය දෙස දයාවත් බැල්මකි. සමාජය නග්න කරනා හී සරකි. අප දෙසට එල්ල වන කිරණකි. ඇය ගොඩ නංවනා ඇතැම් වදන් සිත්තමක ඇත්තේ සෘජුව ඇය පවසනා පද අතරින් වෙනත් කලාපයක විවරණය කරගත හැකි බහු අරුත් දනවන වියමනකි. මේ ඇය දෙව් ලොව වසා ඇත යනුවෙන් රචනා කරන කවියයි.
දෙව් ලොව
වසා ඇත
කැත කිලිටි දිගු මේස
බලා හිඳී බෙලි දිගු කර
එන්න…එන්න…
වාඩි වෙන්න
නහය වහන් කෑම කන්න
ඇය සිය කවියෙන් අප හමුවෙහි දිග හරින්නී අපගේ දෛනික අත්දැකීම වී ඇති කැන්ටිම නමින් දන්නා නරකාදියෙක විසිතුර ය. ඒ කෙසේවත් ආහාර රුචිය වඩවන තැනක් නොව බඩවැල් පවා පලා යන්නට පොළඹවන තරම් අඩවියකි. ඇය ඉතා සීරුවට එහි හැඩ තල අප ඉදිරියේ මවයි.
ප්ලාස්ටික්ය පුටු
අපිරිසිදුය පුටු
ඉඳුල්ය
කට බලියාන
අප කොතෙක් මේ දෛනික අත්දැකීම වින්දද එය වෙනස් කරන අදහසක් හෝ වෑයමක් අපට නැත අප කරනුයේ ඔහේ යටි සිතින් බැන බැන එකම ජරාව ගිලදැමීම පමණි.
ටයි ගැටය බුරුල් කර
මේක්-අප් පිසදා
එනු-කනු-බොනු
නෝනා-මහත්වරුනි
අපායෙන්
දෙව්ලොව වසා ඇත
අද එතැන බණ
ඉදින් මේ කැන්ටිම අපේම ඉවසීමේ නිර්මාණයකි. නරකාදිය යනු අපේම දායකත්වයෙහි පලයකි. අපට ඇවැසි නම් නරකාදිය වෙනස් කිරීමේ පලමු පියවර තැබිය හැකිය. මේ කෑම අපිට එපා යයි කිව හැකිය. එහෙත් අප කරනුයේ එසේ නොකියා නහයෙන් අඩමින් ජරාව දිගටම කෑම ය. ඇය මවනා මේ නරකාදිය කැන්ටිම යන අරුතින් එහාට ගෙන ගොස් අපේම නිමවුමක් වන සමාජය මත තබා බලන්නටද හැකිය. දියවන්නා කැන්ටිමේ ඉඳුල් වලඳමින් කැන්ටිම වෙනස් කරන්නට සැබෑ උත්සාහයක් නොදරා ජරාවම පිසින්නට සමත් කෝකින් යයි කියනා කම්බ හොර රැළකට දිගින් දිගටම මාරුවෙන් මාරුවට ආ වඩන අපේම පොදු ඉරණම මේ කවිය හරහා අපට ඉදිරිපත් නොකෙරෙන්නේද?
මේ ඇය රූපකාර්ථවත් බසකින් සියුම්ව සමාජය විනිවිදින ආකාරයයි. එය වදනින් වදන නිරවුල් කරගත හැකි නම් අපට කවියකුගේ වදන්හී බලවත්කම දකින්නට හැකි වනු ඇත.
තෙමුණ බකට් අසල
රතු කූඩුවටත් පහලින්
මුල්ලක
තවම හඬත
අහිංසක පහන්
දැල්වෙනු බෑ කියමින්
මෙහෙව් වෙසක් කූඩු අස
නෝංජල්ව මතුවට
මේ ක්‍රිකට් සමයයි. රූපවාහිණී තිර, සමාජ මාධ්‍ය ජය පැන් බොන්නට පිපාසයෙන් දඟලන හෝරාවයි. සෑම අංශයකම දිගු පරාජයන් වැලක අමිහිරි මතක පිසදා හරින්නට ලැබෙන මානසික් අල්ලස ලෙදර් බෝලයක දවටා අප නෙත් උලුප්පා සිටින මොහොතයි. කිවිඳිය ඒ මොහොතෙහි පතිනිය, ගෘහණිය, බිරිඳ යන භූමිකාවන්හී සැබෑ ස්වභාවය ක්‍රිකට් යන කවියෙන් මතු කරන්නට සමත් වන්නීය.
මැච් බලති
දූපතක පිරිමි
පුටු මත පස්ස අලවාන
ඇය මේ පිරිමින් නම් කරනුයේ දූපතක පිරිමි නමිනි. ඒ දූපතෙහි ගැහැනු මෙයාකාරය.
ඒ දූපතේම
ගැහැනු
ළමයි නළවති
බත් උයති
දර පලති
රෙදි සෝදති
තේ හදති
මදි පාඩුවට
රටද යති
පෙට්ටියෙන් ගෙදර එන්නට
කාන්තා කණ්ඩායමක් ක්‍රිකට් ක්‍රීඩාවෙහි දස්කම් පාන සමයකද ඔවුන් නියෝජනය කරනා සමස්ත කාන්තාවන්ගේ ඉරණම තවමත් පුරුෂාධිපත්‍යයෙහි අඩවියට යටත් ය. රටෙහි ආර්තික බරට කරගසන ඇය තවමත් දෙවන පෙල සැලකිලි ලබන්නීය. ගෙදරක වැඩ කන්දට උරදෙන ඇයට සැමියා සමග හරි හරියට ආර්ථික බරටද උර දෙන්නට එයින් නොනැවතී විදෙස් වහලියක සේ විකිණෙන්නටද සිදුව තිබේ.
මේ අතර ඇය ස්නේහයෙහි විසිතුරද කවියට නගන්නීය. එහෙත් ඒ සම්මත යයි ගැනෙනා සීමා ඉක්ම ගිය ස්නේහයකි. ඊට කිසිදු බැම්මක් අදාල නැති. ආදරයම පමණි. මේ අප බොහෝ දෙනකු පිලිනොගන්නා එනමුදු කිසිවකුට හෝ මකාලිය නොහැකි පෙමක්මය.
ගැටගැසූ සුළැඟිලි නැති
හුවමාරු කළ පොරොන්දු නැති
ඒත් දුට තැන හද ගැහෙන
අප අද වසනුයේ සියළු සදාචාර වටිනාකම් සුන්නද්දූලි කළ, ඉලක්කම් මත ජීවිතයෙහි සෑම අංශයක්ම තීරණය කරනු ලබනා එහෙත් මානුෂික යයි ආගමික, දේශපාලන මෙන්ම සංස්කෘතික සීතාම්බර පටින් වසන ලද භූමියකය. එහි ඉපදෙන්නට සිටිනා බිළිඳාට පවා මිලක් නියමව තිබේ. ඒ බිළිඳාට සිදුවනුයේද තම වැඩිහිටියන්ට අහිමි වූ සිහින පැස කරතබාගෙන හැල්මේ යන්නටය. සාර්ථකත්වය යනු අන් කිසිවක් නොව තමන් හා පෙලට සිටි අනෙක් සියල්ල බිම හෙලන්නට ඇති සමත්කම පමණි. සානුකම්පිතබව, සහකම්පනය ආදී දේවල් තවදුරටත් අරුත් අහිමි වදන් පමණි. ඒවා හුදු ව්‍යාජය වසනා සැරසිලි බවට පිරිහෙලා හමාරය. ශක්තිවන්තයා ජය ගන්නා ගොදුරු බිමක අපි කුහකවතින් එකිනෙකා රවටන බව දැන දැනම ඒ සෙල්ලමෙහි නිරතව සිටිමු. මේ කිවිඳියට ඒ දැනෙනා අයුරයි.
මිතුරනි
පියාඹන්නට අත්තටු කොහිද තොපට
උනුන් අත්තටු ඉර-ඉරා ඇවිදින විට
ඒ ඔබේ ප්‍රමෝදය
අනෙකා කීතු කර මළ මිනී ගණන් කිරීම
අත දමා පපුවටම
හෘදය වස්තුව එළියට ගැනීම…..
කාත්තාව යනු හුදු වෙළඳ භාණ්ඩයක් සේ අලෙවි වන විවාහ වේදිකාව කිවිඳියගේ විවේචනයට ලක් වෙයි.
වසා සියොළඟ
ඔතා හදවත
හූම් නොකියා
තැනූ දියණිය
එනු-ගනු
වහා ගෙන යනු
කැමැත්තක් කරව පුත
ඉදින් මේ එ පුතුගේ තතුය.
ම’ පුත රන්වන්ය
මිරිසට නම් නොකයි
හින්දි නාටක නොතකයි
කැරපොත්තන්ට බය ඇති
ඒත් හාඩ් රොක් අසයි
ආර් ඇන් බී ද ලොල්මයි
මදක් බිවුවත් රණ්ඩු නොකරයි
මේ පුතු සහ ඔහුට වෙන්දේසි කරනු ලබනා තරුණියගේ සැසඳුමය.
ම’පුත රන්වන්ය
ඔබ පිත්තලය තවම…
මේ කිවිඳිය පෙමට දෙන අර්ථ කථනයයි.
ප්‍රේමය කියන්නේ
සඳලුතලයෙන් බිමට පැනීම
අල්ලාගන්නට
ඔබ නැතැයි හොඳටම දැන දැන
කාංචනා අමිලානි- මේ අප කිවිඳියයි. ඇගේ කවිය වදන් සූක්ෂමතාවෙන් මනාව සැරසුනු කවියකි. ඇය සිය හැඟුම් විදාරණයට භාවිතා කරනුයේ සීමිත වදන් පෙලක් පමණි. එහෙයින්ම ඇගේ කවි පොතද කුඩාය. එපමණටම විසල්ය. ඒ ඇගේ කවියෙහි සාරවත්භාවයයි. ඇගේ කවි පොත එළි දකිනුයේ 2015 වසරෙහිදීය. මට මේ කෘතිය හමුවනුයේද දැනට වසර දෙකකට පමණ ඉහතදීය. ඉදින් සතියකට වැඩි කාලයක් මා සමග මගේ බෑගයෙහි ඇවිදි කවි කෘතියෙහි ගමන් අදින් නිමවනු ඇත. එහෙත් ඇගේ කවියෙහි ඇසුර දිගටම රැඳෙනු ඇත.