‘මග නො හළ කවි කඳුළු’ – කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා
අසූව දශකයේ අග භාගායේදී ‘විංශති’ නම් කාව්‍ය සංග්‍රහය එළිදක්වමින් කවි ලොවට බට කාශ්‍යප සත්‍යප්‍රිය කවියා ගේ පස්වන කෘතිය ලෙස ‘මග නොහළ කවි කඳුළු’ නම් කාව්‍ය සංග්‍රහය 2023 වසරේදී ජනගත කර ඇත. විවිධ වූ කාව්‍යානුභූතීන් ඇසුරු කරගත් කාව්‍යාවලියක් මග නොහළ කවි කඳුළු කෘතියෙහි අන්තර්ගතය. අපූරු කාව්‍යමය යෙදුම් සෑම කවියකම සෑම පිටුවක හමුවන කාශ්‍යපගේ කවිය නිතැතින්ම අපූරු රසයක් මතු කරන්නේ ය. සිව්පද ආර බහුලව තම කාව්‍ය ආකෘතිය ලෙස යොදා ගැනීමද එළිසමය මෙන්ම අනුප්‍රාසයද යෙදීමට උත්සුක වීම මගින් අර්ථ රසය මෙන්ම ශබ්ද රසයද තම කවියට එක් කර ගැනීමට ඔහු සමත් වී ඇත.
“උතුරා උතුරා ගලන ජල කඳ
ඔය තරම් නුඹ පුරවා ගත්තම
දරන්නේ මම කොහොම කියල ද
හිතන්නේ වික්ටෝරියා…
සේල ඇඳගෙන
සේම රඟදෙන
නුඹට එකමෙක වරක් දැනුණෙ ද
මගේ පපුවේ පිරෙන තෙරපුම…”
(වික්ටෝරියා; පිටු අංක 29)
වාච්‍යාර්ථය ඉක්මවා යන ගුණය කවියකට ආභරණයක් ය. කාශ්‍යපගේ බොහෝ කවිවල මෙන් මෙම කවිය පුරාම එකී ගුණය රඳවා ගැනීමට සමත්ව ඇත. වික්ටෝරියා වේල්ල යනු මහා ජල කඳක් රඳවා ගෙන සිටින මහා විසල් ඉදිකිරීමකි. එය නොසැලී තිබිය යුතු ය. ජල කඳ මගින් දෙන පීඩනය මෙන්ම වේල නැරඹීමට එන මහා ජන පිරිසේ බරද දරා ගත යුතුමය. එහෙත් එය වික්ටෝරියා ජලාශයට අදාළ නැත. එකී බර කොපමණද යන්න දන්නේ වේල්ලම පමණි. විටක රළ සැඩ වන විටෙක ජල ධාරිතාව වැඩි වන ජලාශයේ සෑම ස්වරූපයක්ම ඉවසා දරා ගෙන සිටින්නේ වේල්ලය. එනම් බැම්ම ය. කවියා මෙහිදී ජලය පිරි ජලාශය කාන්තාවකට එනම් බිරිඳකටද වේල්ල පිරිමියෙකුට එනම් ස්වාමිපුරුෂයෙකුටද සංකේත කිරීමට උත්සාහ ගෙන ඇත. සමාජයේ බහුතරය පිළිබඳ විමසා බැලූ කල එය සත්‍යය විය හැකි ය. ලාංකීය කුටුම්බ සංස්ථාව තුළ බිරිඳ රැකියාවක් කළද පවුලේ බර බොහෝ විට පුරුෂයා වෙත පැවරෙන්නේ ය. එහිදී පවුලේ ආර්ථික ප්‍රශ්න මෙන්ම සමාජීය ප්‍රශ්නද මානසික ප්‍රශ්න ආදි සියල්ලද පුරුෂයා වෙතම පැවරෙන්නේ ය. මෙම සිතුවිලි ඔස්සේ කවිය විඳින විට ගංගාවේ සංගීතය නැමැති කුඩලිගම කවියාගේ කවිය සිහියට නැගෙන්නේ නැතැතින් ය.
“…ඉන්නේ කුස ගින්නෙ ද
ඇඹෙණිය පිටරටක ද
සිල්පය බෙදනා තැන
දරුවන් සිහි නැතිව ද
තොප ගෙවු බදු හින්දම
අපටත් විය කරදර
දුක සේ වැලඳූ සිල්පය
යොදවමි නුඹෙ සැපතට
දෙකක් මොටද වකුගඩූ
එකකින් හැක සෑහෙනූ
සැතක් රැගෙන පෑහෙමි
ගලවාගමි වකුගඩූ…”
(දොස් තොර ගී; පිටු අංක 30)
මනා වූ සංයමයකින් යුතුව පවතින දේශපාලන ආර්ථික පරිසරයට විරෝධය දක්වන්නට, කවිය යොදා ගැනීමට ඔහුට හැකි වී ඇත්තේ වසර ගණනාවක අද්දැකීම් ඔස්සේ විය හැකි ය. පවතින ආර්ථික රටාව තුළ මිනිසාට එදිනෙදා ජීවිතය පවා සාමාන්‍ය පරිදි හෝ පවත්වා ගැනීම අසීරු වී ඇත. පවුල සී සී කඩ විසිරිලා ය. බිරිඳ හෝ ස්වාමියා විදේශයක ය. දරුවන් හාමත් ය. ඉගෙන ගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන පෝෂණය හෝ ඔවුන් සතු නැත. සැබැවින්ම තම අවයව විකුණා හෝ තම පවුල් නඩත්තු කිරීමේ තත්වයක් අද වන විට උදා වී අවසන් ය. අප අමතක නො කළ යුත්තේ අපි අවය දන් දුන් ජාතියක් බව ය.
“…තාත්තා අහිමි වූ පවුලක
අග හිඟ කමේ කිලුටු ම
සෝදා සුදු කරන්නට
කොයි තරම් නම් වෙහෙස ද
ඉඳහිට දිනෙක ටවුමට
ගොස් එන්ට ගිය දවසක
ලාබ රන් වළලු දැක
බලා සිටි හැටි මතකය…”
(අක්කාගේ මරණය; පිටු අංක 32)
අතීත සමාජයේ අක්කා අම්මා තරම්ම සෙනෙහෙවන්තය. අම්මා මෙන්ම සිව්බඹ විහරණයෙන් යුතු ය. ඇය තම ජීවිතය ම කැප කරමින් තම නංගිලා මල්ලිලා වෙනුවෙන් ජීවත් වන්නීය. බොහෝවිට තම පවුලේ බාලම සහෝදරයා හෝ සහෝදරියන් විවාහක අක්කාගෙන් කිරි බිව් බව ගැමියන් පවසයි. ඒ තරමට අක්කලා තම සහෝදරයන් වෙනුවෙන් කැපවෙන්නේය. ඇයද අම්මා මෙන්ම ජීවිතයේ සැප වෙනුවට විඳින්නේ දුක ය. ඇගේ ජීවිතයද අම්මාගේ ජීවිතය මෙන්ම වෙහෙසකරය. මහන්සිය. සතුටු වෙන්නේ බාල සහෝදරයන් දෙස බලා ය. මෙම කවියට වස්තුවිෂය වූ අක්කා ද එසේමය. වෙනසකට ඇත්තේ තාත්තා අහිමි වූ එම පවුලේ ඇයට දිවිය අහිමි කර ගැනීමට සිදු වීමය. කවිය අවසානයේ තාත්තා කෙනෙකුගේ වටිනාකම කොතෙක්ද යන්න නිරායාසයෙන් මතු වන්නේය.
කාලීන සිදු වීම් තම කවිය හසු කරගන්නා කාශ්‍යප ඒ සඳහා යොදා ගන්නා සිව්පද ආකෘතිය මෙන්ම ඔහු වචන හසුරුවා ඇති ආකාරයද අපූරුය. වෙසක් දන්සලකට යන බව කියා නිවසින් ගිය දියණියකගේ නිරුවත් මළ සිරුර දුම්රිය මාර්ගයක් අසළ පැවතීම පිළිබඳ සිද්ධිය නිමිති කරගෙන රචිත දන්සලට ගිය දියණිය යන හිසින් යුතු කවිය තුළ ඔහු භාවිත කරන රූපකාර්තවත්බව මෙන්ම වචන හරඹය අගය කළ යුතු ය. කවි කොළ සංස්කෘතිය සිහිකරවනමුත් ඉන් ඔබ්බට විහිදෙන කාව්‍යමය භාවිතයක් ඔහුගේ කවිය තුළ දැකිය හැකි වන්නේ ඔහුගේ ඇති ධ්වනිතාර්ථවත් පද භාවිතය නිසා විය හැකි ය.
“පුන් සඳට දිලෙන්නට අවසරය ඕනෑ ද
පුන් ළමැද දඟ කරන හංසයන් නිදියා ද
මං හනික ගිහින් එන්නම් කියා කීවාට
දන්සලට තව දුර ද දුවේ යළි එනවා ද
බට කෝටු සීරුවෙන් අහුරලා බැඳ දමා
සුදෝ සුදු කඩදාසි අලවලා ඒ වටා
සිහින් රැළි හැඩ දමා අඩුපාඩු ඇති වසා
වෙසක් සඳ එන්ට පෙර දුවේ එනු අප බලා…”
( දන්සලට ගිය දියණිය ; පිටු අංක 27)
අලි ඇතුන් ගැන කතාබහ සමාජයේ වරින් වර මතු වීමත් යටපත් වීමත් කලක සිට දැක ගත් හැකිය. ඇද්දළ යුවළක් අවශ්‍ය වන්නේ ඇතෙකුට ය. එය ලබා ගැනීමේ අරමුණින් හෝ වෙනයම් අරමුණකින් යුතුව අලි ඇතුන් මරා දැමීම අද දැකිය හැකි කරුණකි. අලින්ගේ සහ අනෙකුත් වන සතුන්ගේ නිජ භූමි අත්පත් කරගත් මනු සතා අද වන විට ඔවුන්ගේ ජීවිතද අහිමි කරමින් සිටිනු ඇත. අලින්ට නොයෙකුත් අන්දමේ මරණීය හිරිහැර කිරීම නිසා උන් දින ගණනක් දැඩි වේදනාවකින් සිට මිය යන්නේය. එය කෙසේ හෝ නවතා දැමිය යුතු ක්‍රියාවකිම් මෙවැනි තත්ත්වයකදී කවියෙක් සංවේදී විය යුතු ය. ඒ වෙනුවෙන් පෑන මෙහෙය විය යුතු ය. කෝලිය යන හිසින් යුතු කවිය කියැවීමේදී අපට හමුවන්නේ එකී සංවේදී කවියා ය.
“…කර කර හඬින් දැති කියතෙක පහස ලබා
හොඬවැල ළඟින් දළ වෙන් කර තිබෙනු බලා
මළකුණ කන්ට ආ ලිහිණින් කඳුළු සලා
කුසගින්නේම ඉගිළී වෙන අතක ගියා”
(කෝලිය ; පිටු අංක 26)
මීට අමතරව මග නොහළ කවි කඳුළු කෘතිය කියැවීමේදී සමාජය ප්‍රශ්න කළ අවස්ථා මෙන්ම පවතින දේශපාලනය ප්‍රශ්න කිරීමට කවියා ගත් උත්සාහයන් කිහිපයක්ම දැකිය හැකි ය. ‘ එන්හෙඩුආනා ‘ වැනි කවියකින් තව තවත් කියැවීමට පාඨකයා පෙළඹවීමට කතුවරයා සමත් වී ඇත. මෙවන් සංවේදී කවියෙක් තව තවත් කවිය තුළ යෙදිය යුතු ය. මෙම කාව්‍ය සංග්‍රහය විඳීය හැකි කියවිය යුතු කාව්‍ය සංග්‍රහයක් ලෙස අගයමි. කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා කවියාට ජය පතමි.