“බොහෝ කවීන්ට මගහැරෙන තැන්වල ඇති ආදරය ද තම කවියට වස්තු විෂය කරගෙන ඇත”

Share post:

‘ගජමුතු සහ කඳුළු’ – නන්දසිරි කීඹියහෙට්ටි

නන්දසිරි කීඹියහෙට්ටි කවියා විසින් රචිත ‘ගජමුතු සහ කඳුළු ‘ කෘතිය ජනගත වූයේ 2020 වර්ෂයේදී ය. එය ඔහුගේ තෙවන සාහිත්‍යය කෘතිය ය. ඔහු ගේය පද රචකයෙකු ලෙස සහා ආර්ථික විශ්ලේෂකයෙකු ලෙස ද හඳුනාගත හැකි ය. සමාජ අසමානතාව පිළිබඳව මෙන්ම දේශපාලනික වශයෙන් පැන නැගි ගැටලු තම කවියට වස්තු විෂය කරගන්නා කීඹියහෙට්ටි කවියා බුද්දචරිතය, පුද්ගලචර්‍යා මෙන්ම බොහෝ කවීන්ට මගහැරෙන තැන්වල ඇති ආදරය ද තම කවියට වස්තු විෂය කරගෙන ඇත.

“…ගල්වලේ කංකානි ගුගුරා
අන්න නම් අඬගහනවා
වැරදුන්ණොත් මෝනිං පෙරෙට්ටුව
අදත් පඩියෙන් කැපෙනවා
මධුසමේ අවසන් වුණේ නෑ
තාම හිරිපොද වැටෙනවා
සිරිමලී දැන් ඇහැරිලා යං
අන්න සංගුව පිඹිනවා”
(08. ගල්වලේ මධුසමය; පිටු අංක 30)

ආදරය යනු රෝසමල් යහන්වල මල් ඇතිරිලිවල සුවඳ විලවුන් සමඟ පමණක් කෙරෙන්නක් නොව. අප වර්තමානයේ දකින විදියට වීඩියෝ කැමරා පහ හයක් අටෝගෙන හැමෝම ඉස්සරහ ගිහින් පුදුම හිතෙන විදියට මුද්දක් දික්කරල දණනමල කරනු ලබන යෝජනාවක් පමණක් ආදරයක් වෙන්නෙ නෑ. සමහර කටුක දුෂ්කර තැන්වලත් ආදරය උපදින්නේය. වැඩෙන්නේය. පිළිගන්වන්නේය. යෝජනා කෙරෙන්නේය. ඊට අමතරව එකිනෙකා වෙනුවෙන් පෙනී ඉන්නේය. දරා ගන්නේය. ඉවසන්නේය. සැබැවින්ම ආදරය කෙරෙන්නේ ය. කීඹියහෙට්ටි කවියා තම කවියට වස්තු විෂය කරගන්නේ අවන් දුෂ්කර කටුක වෙහෙසකර ස්ථානයක උපදින ආදරයක් ය. ඒ ගල්වලක් ය. දෙදෙනාම ගල්වලේ ගල් එක්ක කුළුගෙඩි එක්ක හැප්පෙන දෙදෙනෙක්‍ ය. ඒ දෑත් වෙල්වට් මෙන් සිනිඳු නොවනු ඇත. ගල් කෑලි වැදී කැඩුණු තුවාල වුණු තැන් ඒ ශරීරයන්හි ඇතුවාට සැක නැත. එහෙත් ආදරය ඇති වීමට ඒවා බලපාන්නේ නැත. ගල්වලේ මිටියක් පමණක් නොව ඒ දෑත් ද තවත් දෑතක් ප්‍රාර්තනා කරනවා ඇත. ඒ කෙසේ වූවත් ඔවුන්ට ආදරේ කිරීමටවත් අවස්ථාවක් උදා නොවනු ඇත.
කවිය තුළ යොදා ගැනෙන උපමා අපූරුය. ඒවා ඒ අවටින් සොයාගත් උපමා ය. එබැවින්ම උචිතය. කවියාගේ නිරීක්ෂණ ශක්තිය පැසසිය යුතු ය. මේ එවැන්නකි.

“…වාඩියේ ටකරමක් වාගේ
මලකකා නුඹ ඉන්නවා…”

කෙසේ නමුත් පවතින සමාජය ක්‍රමය ප්‍රශ්න කිරීමට කවියා සමත් ය. තරගකාරී සමාජ රටාව තුළ ආදරය සෙනෙහස වැනි මානසික අවශ්‍යතා මෙන්ම කායික අවශ්‍යතා ද පහසුවෙන් සපුරා ගැනීමට මිනිසාට අවස්ථාව නැත. ඒ සියල්ල පාලක පැලැන්තිය විසින් පීඩිත පංතියට අහිමි කර ඇත. ඒ වෙනුවෙන් නැගී සිටීමට ඇති අවස්ථාද ඔවුන් යටපත් කර ඇත්තේ රැකියා වියුකිතිය ඉහළ අප සමාජයේ එක රැකියාවක් වෙනුවෙන් පෝලිමේ බලා සිටින පිරිස අතිමහත් නිසා ය. මේ සා බර කියවීමකට පාඨකයා ඇද දැමීමට කීඹියහෙට්ටි කවියා සෑම කවියකින්ම උත්සාහ ගෙන ඇත.

“පටාචාරා මමයි බුදු ගෙයි
නිරුවතින් තව පන්සලේ
සිත්තරාන්ණෙනි රැගෙන එනව ද
වේළිලා නැති පින්සලේ…

…බ්‍රහ්ම චරියා වේරමණියා
කියා ඇඟ අතගගා යනවා
එපා වෙනවා හුණු බදාමත්
දියවෙලා තන පුඩුව දනවා…”
(17. බුදු පාමුල කෙළෙසුණ පටාචාරා; පිටු අංක 43)

බුද්ධ චරිතය අධ්‍යයනය කිරීමේදී හමුව්න්න් පටාචාරාව අපූරු ආකරයෙන් තම කවියට වස්තු විෂය කර ගැනීමට ඔහු සමත් වී ඇත. එය වත්මන් සමාජයේ බොහෝ තැන්වලට ඈඳාගත හැකි අයුරින් නිර්මාණය කිරීමට ඔහු සමත්ව ඇත. එම නිසාම කවියේ වටිනාකම ඉහළය. මෙහි පටාචාරා රූපකාර්ථවත්ව ය. සංකේතාත්මකය ය. පටාචාරා නිරුවත් වූයේ මිට වසර දෙදහස් පන්සීයකට උඩ ය. ඒත් සුළු මොහොතකට ය. බුදු හිමියන් අබියස සිහිය ලැබු පසු පටාචාරා ගේ නිරුවත වැසී ගියේ ය. කතාව එතැකින් අවසන්ව නැත. තාමත් පටාචාරා නිරුවත්ය. චරිතය පටාචාරා නම් ඇඳුම් අවශ්‍ය නැත. නිරුවත් විය යුතු ය. ඇඳුම් සහිත නම් විකිණිය නොහැකි ය. ඒ නිසා සෑම තැනකන ඇය නිරුවත් ය.

වර්තමාන සමාජයේ ද එසේම ය. දූෂණයට ලක්වන දියණිවරුන් සමාජය විසින් නැවත නැවතත් දූෂණයට ලක්කරන්නේ ය. මාධ්‍ය ආචාර ධර්ම නොදන්නා රටක බලාපොරොත්තු විය හැකි එකී කාරණය කවියා ධ්වනිතාර්ථවත් කර ඇත.

“සුළඟ හා හාද වී
මල් හොරෙන් ගිය බැවින
ගං දියට හසුව ගෙඩි
ගසාගෙන ගිය බැවින

සකලයින් පල උරා
ඇට දමා ගිය බැවින
කොයි තරම් පැළ ඇත්ද
මුල් ගහේ නම නොදැන”
(48. නම් නොදත් ගස්; පිටු අංක 78)

අප දකින සියලු දෑ සඳහා හේතුවක් සොයා ගැනීම අපහසු නොවනු ඇත. සිර මැදිරියකට ගොස් ඔවුන් සමඟ මොහොතක් කතා කළ හොත් ඔවුන්ට ජීවිතේ වැරදුණු තැන සොයා ගත හැකි වනු ඇත. ඒ වරද කුමක්ද යන්න ඒ සඳහා දායක වූ කිසිවෙක් නොසිතනවා ඇත. නොදන්නවා ඇත. සමහර විටක දරුවකුගේ කුඩා වරදක් සඟවා ගත් මවක් නිසා මහා වැරදි කරන අපරාධකරුවකු බිහි විය හැකි ය. ඒ අනුව අප මේ දකින බොහෝ ගස්වල මව් බීජ කොහේ කොතැනක තිබේද යන්න සිතා ගත නොහැකි සේම අප මේ සමාජය තුළ දකින බොහෝ මිනිසුන්ගේ මුල කොහේ කොතැනක වේද යන්න සිතා ගැනීම උගහට ය. විටෙක ඉතාමත් යහපත් චරිතයකට වුවද ඔහු හෝ ඇය එසේ ජීවත් වීමට හේතු පාදක වූ කරුණ කුමක්ද පුදගලයා කවුද යන්න නිවැරදිව කීමට නො හැකි ය. එමෙන්ම එකී හේතුව සොයනවාට වඩා එම චරිත තුළින් ගත යුතු හෝ නොගත යුතු ආදර්ශ හඳුනා ගැනීමත් ඉන් තම ජීවිත සකස් කර ගැනීමත් කළ හැකි නම් අවශ්‍ය වන්නේ එය ය.

“…හංගා ගෙන වගේ පියයුරුවල සිරිය
තිබුණා උපන් ලපයක් හරියට හරිය
දෑඟිලිවලට හුරු සේපාලිගෙ බුරිය
කීවෙමි මමත් අඳුනාගන්නට බැරිය”
(43.සේපාලිගෙ බොඩිය; පිටු අංක 72)

කවියා විවධ අද්දැකීම් සඳහා විවිධ කාව්‍ය ආකෘති භාවිත කරන අයුරු අපූරු ය. කොළඹ කවිය සිහි ගන්වන අද්දැකීමක් රැගත් සේපාලිගේ බොඩිය නම් කාව්‍ය සඳහා ඔහු යොදා ගෙන ඇත්තේ කොළඹ කවිය තුළ ජනප්‍රිය සිව් පද කවිය ය. අමරසිරි පීරිස් ගායනා කරන ළඳුනේ ගීතය සිහි කරවන මෙකී කවිය තුළ ද එවැනිම කාරණයක් නිරූපිතය. සේපාලි යනු ලිංගික ශ්‍රමිකයෙකි. ඇය හා සයනයට පැමිණි පිරිස විශාල පරාසයක විහිදෙයි. මැති ඇමතිවරුන්ගේ සිට සාමාන්‍ය ජනයාද ඇය කරා ගොස් ඇත. මහා රාත්‍රියේ පන්සලේ විවිධ කාරණා සඳහාද ඇයට යන්නට සිදු විය.බොහෝ පින්වත් ජනයා ඇය ඇසුරට පැමිණ ඇත. කෙසේ හෝ කිසියම් අයුරකින් මරණයට පත් වී ඇති ඇගේ සිරුර හඳුනා ගැනීමට කිසිවෙක් නොමැතම්. ඇගේ ශරීරයේ අඟලක් නෑර විඳි බොහෝ දෙනා ඇයව මරණින් පසු හඳුනා ගත නොහැකි බව දන්වයි. මන්ද ඇයව හඳුනා ගත්තා යනු සමාජාපවාදයක් තමා කෙරෙහි යොමු කරගැනීමක්‍ ය. ඒ කෙසේ වුවද ඇයව ඇසුරකළ කථකයා ද ඇය කවුද යන්න හොඳින් ම දැන දැනත් අවසන ඇයව හඳුනා ගන්නට නොහැකි බව පවසයි. ජීවත් වූ සිරුරට වහ වැටුණු මහා පිරිසගෙන් එක් අයෙක්වත් ඇගේ මල සිරුර හඳුනා ගැනීමට හෝ ඉදිරිපත් නොවීම අරුමයක් නොව.

නන්දසිරි කීඹියහෙට්ටි කවියාගේ ගජමුතු සහ කඳුළු කෘතිය කියවා විඳිය හැකි විඳිය යුතු කාව්‍ය සංග්‍රහයක් ලෙස දැක්විය හැකිය. එක හා සමාන අද්දැකීම් තම කවියට වස්තු කරගත් අවස්ථා තිබුණද ඒව ඒකිනෙකට වෙනස් අයුරින් නිර්මාණට වී තිබීම නිසා එය රසයට බාධවක් නොවී ය. ඔහුට සුබ පතමි.

ශානක හිත්තැටියගේ

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...