2019 අප්‍රේල් 21 දින සිදු කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ආණ්ඩු බලය හෙබවූ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට සමීප රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වූ බව චැනල් 4 නාලිකාව උපුටා දක්වමින් බ්‍රිතාන්‍යයේ ‘ද ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබේ.
රාජපක්ෂලාට නැවත බලයට පැමිණීමට පහසුකම් සැලසීම වෙනුවෙන් තමන් හමුදා බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන සුරේෂ් සලෙයි සහ ඉස්ලාමීය රාජ්‍යයට අනුබද්ධ බෝම්බකරුවන් අතර කුමන්ත්‍රණයක් සිදුකිරීමට 2018 රැස්වීමක් සංවිධානය කළේ යැයි ඉහළ නිලධාරියෙකු සඳහන් කළ බව ද එම පුවත්පත සඳහන් කර ඇත.
‘රැස්වීම ඉවරයි, සුරේෂ් සලේ මා ළඟට ඇවිත් මට කිව්වා රාජපක්ෂලාට ශ්‍රී ලංකාව තුළ අනාරක්ෂිත තත්ත්වයක් අවශ්‍යයි, ගෝඨාභයට ජනාධිපති වෙන්න තියෙන එකම ක්‍රමය ඒක තමයි’ යනුවෙන් හන්සීර් අසාද් මවුලානා මෙම වැඩසටහනට ප්‍රකාශ කර ඇතැයි ද එම වාර්තාවේ තිබේ.
මුහම්මදු මිල්ලාර් මුහම්මදු හන්සීර් හෙවත් අසාද් හන්සීර් මවුලානා යනු වර්තමාන රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ ටීඑම්වීපී පක්ෂයේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා සහ මුදල් ලේකම්වරයා ය.
මවුලානා පසුගිය වසරේ විදේශගත වී ඇති අතර, ඔහු සිය සාක්ෂිය යුරෝපීය බුද්ධි අංශවලට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කර තිබේ. ඔවුන් ඔහුගේ ප්‍රකාශ විශ්වාසනීය ලෙස සලකමින් විමර්ශනය කරන බව ද එම වාර්තාව සඳහන් කරයි.
2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ සියලුම නිලධාරීන් වෙනත් අංශවලට මාරු කර, වෙනත් නිලධාරීන් පිරිසකට එම විමර්ශන පවරන ලදි.
පාස්කු ප්‍රහාර කොමිසමේ ශානිගේ සාක්ෂිය !
ජනාධිපතිවරුන් හතර දෙනකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී හෙළි විය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ටවුන්හෝල්හිදී එල්ල කළ බෝම්බ ප්‍රහාරය, වත්මන් ජනපති ගෝඨාබය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ව සිටියදී පිත්තල හංදියේදී එල්ල කළ බෝම්බ ප්‍රහාරය, මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැතිවරවකුව සිටිය දී බෝම්බ ගැසීමට කුමන්ත්‍රණය කිරීම සහ මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම යන විමර්ශන හතර සිදු කරනු ලැබ ඇත්තේ ශානි අබේසේකර මහතා විසිනි.
අබේසේකර මහතා විඩියෝ තාක්ෂණය ඔස්සේ කොළඹ ජාතික රෝහලේ සිට පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසම හමුවේ පසුගිය 25, 26 දිනවල සාක්කි ලබා දුන්නේය.
නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥවරයකුගේ මෙහෙයවීම යටතේ ශානි අබේසේකර මහතා සාක්කි ලබා දුන්නේය. අබේසේකර මහතා සිදු කළ විමර්ශන ගැන රජයේ නීතීඥවරයා විමසා සිටි අතර ඔහු ඊට පිළිතුරු දෙමින් සිද්ධි ගණනාවක් ප්‍රකාශ කළේය. දෙල්කඳ සය පුද්ගල ඝාතනය, සරත් ෆොන්සේකා ඝාතන තැන, අඟුලාන ද්විත්ව මිනීමැරුම, රෝයල් පාර්ක් ඝාතනය, කෝටි දෙකේ කප්පම ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් ඒ අතර විය. ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ස්ථාන මාරු යද්දී විමර්ශන 8000ක් පමණ අධීක්ෂණය කරමින් සිටි බව ද කියැවිණි.
අනතුරුව වව්නතිව් සිද්ධිය ගැන ඔහුගෙන් සාක්කි ලබා ගත්තේය.
2018 නොවැම්බර් මාසයේ දී මඩකලපුව වවුනතිව්හීදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව හමුදා බුද්ධි අංශ හා රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් තොරතුරු නිවැරදි නොවන බව ශානි අබේසේකර මහතා සාක්කි ලබා දෙමින් ප්‍රකාශ කළේය.
ඒ මහතා මෙසේද කීවේය.
‘මාවනැල්ල බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබෙන බවට යම්යම් තොරතුරු අනාවරණය වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියට යොමු කරන ලෙස කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ශාමික ප්‍රේමසිරි මහතා මා හට දැන්වුවා. මම එය ඉන්ටපෝල් භාරව සිටි රංජිත් වෙදසිංහට යැවුවා. ඔහු දින කිහිපයකින් මට පිළිතුරු දුන්නා ඉල්ලන තොරතුරු ගන්න බෑ කියලා. හේතුව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් සිදුවෙනවානම් ඒක කොයි රටකද කොයි විදියෙන්ද කාගෙන්ද කියලා කියන්න ඕන. එතකොට තමයි විස්තර හොයන්න පුළුවන්. එහෙම නිකම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කිව්වට විස්තර ගන්න බෑ කියලා ඔහු මට දැනුම් දුන්නා. මම එය ශාමික ප්‍රේමසිරිට නැවත යැවුවා. ඊට පස්සේ ශාමික ඒ ගැන කිසිවක් එව්වේ නෑ. කුමන්ත්‍රණයක් අනාවරණය වෙලා කියලා නැවත පිළිතුරු එව්වේ නෑ. 2019 නොවැම්බර් වෙනකම් හිටිය කාලයේදී එහෙම කුමන්ත්‍රණයක් ගැන අනාවරණය වුණේ නෑ.
ඩීඅයිජී පාලිත සිරිවර්ධන කියලා තිබ්බා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කර තිබෙන කොමිෂන් සභාවේ විමර්ශන අංශයට මෙරිල් රංජන් පත්කළ අවස්ථාවේ මා මැදිහත් වෙලා ඔහුව එම කොමිසමෙන් අයින් කළා කියලා. මට එච්චර බලයක් තියෙනවනම් මම පුදුම වෙනවා. එහෙන් පත්කරපු කෙනාව මට අයින් කරන්න පුළුවන් ද?’
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – මෙරිල් රංජන් සීඅයිඩියෙන් අයින් කරපු එකට හේතුවක් තියෙනවාද ?
ශානි අබේසේකර මහතා – මම අයින් කළේ නෑ. මෙරිල් රංජන් සීඅයිඩි එකෙන් අයින් කළේ ඇයි කියලා නීතිපති දෙපාර්තමේන්තුව හොදටම දන්නවානේ. එයාව අයින් කළේ කවුද කොහොමද වුණේ කියලා නීතිපති දෙපාර්තමේන්තුව මට වඩා හොදට දන්නවා.
කොමිසම – ඔක්තෝබර් 05/07/14 දිනවලත් නොවැම්බර් 23 වැනිදාත් ජනවාරි 19 දිනයේත් කොමිසමට සාක්ෂි ලබාදීමට පැමිණෙන ලෙස දැනුම් දීලා තිබුණත් අසනීප තත්ත්වය නිසා ඔබට පැමිණීමට නොහැකි වුණා.
ශානි අබේසේකර මහතා – මා ඔක්තෝබර් 5/7/14 දිනවල අසනීප තත්ත්වයෙන් නෙමෙයි හිටියේ. එන්න කියලා නැවත එන්න එපා කියලා කොමිසම තමයි මට දැනුම් දී තිබුණේ. නොවැම්බර් 23 සහ ජනවාරි 19 වැනිදා විතරයි අසනීප තත්ත්වය නිසා එන්න නොහැකි වුණේ. ළඟදීම මට සැත්කමක් කරන්න අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා. ඒකයි තවම රෝහල්ගතව තියාගෙන ඉන්නේ.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – ඔබ සිදුකළ රටෙි කතාබහට ලක්වූ විමර්ශන මොනවාද?
ශානි අබේසේකර මහතා – ලක්ෂ 200 කප්පම් සිද්ධිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ සම්බන්ධ සිද්ධිය, දෙල්කඳ සය පුද්ගල ඝාතනය, උඩතලවින්න 10 දෙනකු ඝාතනය කිරීම, අඟුලාන සිද්ධිය, භාරත ලක්ෂ්මන් ඝාතනය, තණමල්විල වයස 80ක කාන්තාවක දූෂණය කර මරා දැමීමේ සිද්ධිය, මොහොමඩ් සියාම් ඝාතනය, රවිරාජ් ඝාතනය වැනි සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන මා සිදුකළා.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – සරත් ෆොන්සේකා මහතාට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළේ ඔබතුමාද?
ශානි අබේසේකර මහතා – ඔව්. සරත් ෆොන්සේකා මහතාට බෝම්බ ගැසීම ගැන විමර්ශනය කළෙත් මම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිත්තල හන්දියේදී බෝම්බ ගැසීමේ සිද්ධිය ගැන විමර්ශන සිදුකළෙත් මම.
2007-2009 තරුණයන් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය, වැලිකඩ බන්ධනාගාර ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළේ ද මා විසින්. ඊට අමතරව රතුපස්වල වෙඩි තැබීම ගැන විමර්ශන අධීක්ෂණය ද මා විසින් සිදුකරනු ලැබුවා.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට ඔබ සහභාගි වූවාද?
ශානි අබේසේකර මහතා – මා එලෙස විමර්ශනයක් ද සිදුකළා. කතරගම මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් සොයාගත්තා. ඒ ගැන විමර්ශනය කරලා ශසිකල රාජන් නම් අයෙක් අත්අඩංගුවට ගත්තා. ඔහුගේ පාපොච්චාරණය අනුව වවුනියාව, පොලොන්නරුව සහ හම්බන්තොට මහාධිකරණවලට ඉදිරිපත් කර නඩු දමා සිර දඬුවම්ද නියම කෙරුණා. මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් තමයි ඔහු අත්අඩංගුවට ගත්තේ.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – සුදේෂ් ක්‍රිෂ්නන් කියලා කෙනෙක් අත්අඩංගුවට ගත්තාද ?
ශානි අබේසේකර මහතා – ඔව් එහෙම එල්ටීටීඊ සාමාජිකයෙක් අත්අඩංගුවට ගත්තා. එහි මූලික විමර්ශන සීසීඩියෙන් සිදුකළා. වැඩිදුර විමර්ශන සඳහා සීඅයිඩියට බාර දුන්නා. එම විමර්ශනය සිදුකළේ මම. මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් තමයි එහි විමර්ශන කළේ.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – සීඅයිඩියේ අධ්‍යක්ෂවරයාගේ රාජකාරිය මොකද්ද?
ශානි අබේසේකර මහතා – සීඅයිඩිය සිදුකරන සියලුම විමර්ශන අධීක්ෂණය කිරීම, වෙනත් ආයතන සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කිරීම, නිලධාරීන්ගේ සුබසාධනය බැලීම, සීඅයිඩියේ මූල්‍ය පරිපාලනය, ඒ වගේම සීආර්ඩී, ටීඅයිඩී, බ්‍රයිබරි එකේ නිලධාරීන් සම්බන්ධයෙන් මූල්‍ය පාලනය බාරවෙලා තිබෙන්නේ සීඅයිඩියේ අධ්‍යක්ෂවරයාට.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – 2019දී ඔබ සීඅයිඩියෙන් ස්ථාන මාරු කරන විටදී සීඅයිඩිය මගින් විමර්ශන කීයක් වගේ සිදුකරමින් සිටියාද?
ශානි අබේසේකර මහතා – 8000ක් වගේ
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – 2018.11.30 වැනිදා වවුනතිව්හීදි පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය වුණාද?
ශානි අබේසේකර මහතා – ඔව්.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – ඒ සම්බන්ධයෙන් සීඅයිඩියෙන් විමර්ශන කළාද ?
ශානි අබේසේකර මහතා – ඔව්
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – පොලිස්පතිවරයාගෙන් නියෝගයක් අරගෙනද විමර්ශන සිදුකළේ?
ශානි අබේසේකර මහතා – ඔව්
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – එස්එස්පී ජයසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක ද ඒ විමර්ශනය සිදු කළේ?
ශානි අබේසේකර මහතා – ඔව් ඒ අය තමයි. ඒ අයට අමතරව එවකට උප පොලිස් පරීක්ෂක උපාලි සහ සාජන් මෙන්ඩිස් යන අයද එයට සක්‍රීයව දායක වුණා.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – පොලිස්පතිවරයාගේ නියෝග ලැබුණේ කොහොමද?
ශානි අබේසේකර මහතා – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න එම සිද්ධිය වූ ස්ථානයට ගොස් නිරීක්ෂණය කළ අවස්ථාවේදී පොලිස්පතිවරයා වාචිකව නියෝගය ලබාදුන්නා. පසුව ලිඛිතවත් නියෝගය ගෙන්වාගත්තා. සිද්ධිය වූ ස්ථානය අවට තිබූ සීසීටීවි නිරීක්ෂණය කරලා එම සිදුවීම 2018 නොවැම්බර් 30 වැනිදා පාන්දර 2.00ට පමණ සිදුව ඇති බවට අනුමාන කළා. 30 දවල් වෙද්දි සීඅයිඩිය විමර්ශනය බාරගත්තා.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තාද?
ශානි අබේසේකර මහතා – මඩකලපුව පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙක් සැකකාරයෙකුව අත්අඩංගුවට ගෙන තිබුණා. රැඳවුම් නියෝග මත වාලච්චේන පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කර තිබුණා.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – සිද්ධියට ඒ සැකකරු සම්බන්ධ ද?
ශානි අබේසේකර මහතා – සිද්ධිය වෙලා දින පහක් යද්දි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට තොරතුරක් දීලා තිබුණා එම සිද්ධිය වූ ස්ථානය ආසන්නම තැනක ජැකට් එකක් තියෙනවා කියලා. ඒ තොරතුරු මත පරීක්ෂණ කිරීමේදී පාසල් බෑගයක් සොයාගැනුණා. එහි ජැකට් එකයි කලිසම් වගේ දේවල් තිබුණා. එය අත්අඩංගුවට ගත් සැකකරුගේ බවට සැකකළා. ඉන්පසු එම සැකකරු සම්බන්ධයෙන් සැකයට ප්‍රබල හේතුවක් වුණා. ඒ වගේම නොවැම්බර් 26 දින වවුනතිව්වල මහවිරු සැමරුම පවත්වන්න කටයුතු කරලා තිබුණා. එය වවුනතිව් පොලිසිය විසින් නවත්වලා තිබුණා. එම මහවිරු සැමරුම සංවිධානය කරලා තිබුණේත් අත්අඩංගුවට ගත් සැකකරු නිසා සැකයක් ඇති වුණා.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – විමර්ශනවලට බුද්ධි අංශයේ සහයෝගය ලබාගත්තාද?
ශානි අබේසේකර මහතා – ඔව්. රාජ්‍ය බුද්ධි සේවය සහ හමුදා බුද්ධි සේවය තොරතුරු දුන්නා. නිතරම වාර්තා ලබාදුන්නා.
එම අවස්ථාවේ ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටින උපුල් කුමාරප්පෙරුම සිය විරෝධය පළ කළා.
නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා –
සාක්ෂි විමසීම ආරම්භ වුණේ 2.00ට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ගොනු ලබාදීලා තියෙන්නේ 12ට. ඒවා කියවන්න වෙලාව හරියට නෑ. සූදානම් වෙන්න වෙලාවක් නෑ. ශානි අබේසේකර මහතා එයාගේ මතකයෙන් තියෙන දේවල් අනුව. එහෙම උත්තර දීලා යමක් වැරදුණොත් එහි අගතිය සිදුවන්නේ ශානි අබේසේකර මහතාට.
ශානි අබේසේකර මහතා – රාජ්‍ය බුද්ධි සේවයෙන් සහ හමුදා බුද්ධි සේවයෙන් වාර්තා ලැබුණා. සියලුම බුද්ධි වාර්තාවල තිබුණේ මේක එල්ටීටීඊ වැඩක් කියලා. බුද්ධි වාර්තා සියල්ලේම කෝණගත වෙලා තිබුණේ එල්ටීටීඊය පැත්තට. හමුදා බුද්ධි අංශ දුන් එක් වාර්තාවක තිබුණේ එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් පිරිසකගේ වැඩක් කියලා තොරතුරු අනාවරණය වී තිබෙන බවයි.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – මුස්ලිම් අන්තවාදය ගැන කිසියම් තොරතුරක් තිබුණේ නැද්ද?
නැහැ. කිසිම එකෙක එහෙම දෙයක් තිබුණේ නෑ. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු තමයි ඒ සම්බන්ධයෙන් හරි තොරතුරු දැනගෙන අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ.
මේ අතර මෙවැනි ප්‍රහාරයක් ගැන විදේශීය බුද්ධි අංශයකින් ලැබුණු තොරතුර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂව සිටි නිලන්ත ජයවර්ධන මහතා අනිවාර්යෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රහාරයට පෙර දැනුම් දී තිබෙන්නට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පසුගිය 26දා පැවසීය.
බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් නොකළ බවට බුද්ධි අධ්‍යක්ෂවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොමිෂන් සභාව කළ ප්‍රශ්න කිරීමක දී අබේසේකර මහතා මේ බව කීවේය.
බුද්ධි තොරතුර ගැන ප්‍රහාරයට පෙර ජනපතිවරයා දැනුම්වත් කිරීම සම්බන්ධයෙන් සැක කිරීමට යම් නිශ්චිත හේතුවක් ඇත්දැයි කොමිසම යළිත් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් ශානි අබේසේකර මහතා මෙසේ කීවේය.
‘පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පැවැත්වුණා. එහි සාක්කි දෙන්න බුද්ධි අධ්‍යක්ෂත් කැඳවා තිබුණා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් කැඳවා තිබුණා. එම සාකච්ඡාවෙදි බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන කිව්වා බුද්ධි ප්‍රධානීන් සාක්කි ගන්න කැඳවීම සුදුසු නෑ කියලා. ඔහු කිව්වා විදේශ බුද්ධි තොරතුර සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්ට, හිටපු බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට දැනුම් දුන්නා කියලා. ඔහු ඒ ලැයිස්තුව කියද්දිම එකපාරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කිව්වා මටයි අගමැතිටයි දැනුම් දුන්නේ නැහැ කියලා. ජනාධිපතිට එය දැනුම් දුන්නේ නැති නම් ජනාධිපති එම අවස්ථාවේ අහන්න ඕනෑ ඇයි මට දැනුම් දුන්නේ නැත්තේ කියලයි. එහෙම ඇහුවේ නැතුව මට දැනුම් දුන්නේ නැහැ කියලා විතරක් කිව්ව එක ගැන සැකයි. රාජ්‍ය බුද්ධි සේවයේ සෑම බුද්ධි තොරතුරක්ම ජනාධිපතිට දැනුම් දෙනවා. ” යැයි ශානි අබේසේකර මහතා කීවේය.
මේ අතර පාස්කු බෝම්බ ප්‍රහාරය අයි.එස් සංවිධානයේ මෙහෙයවීම මත සිදු කරන ලද්දක් බව සනාථ කෙරෙන සාක්කි කිසිවක් හමු නොවූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා 26 දා සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේය.
බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානයෙන් බාර ගන්නැයි ඉල්ලා තිබුණේ ‘මාතලේ සහරාන්’ නම් පුද්ගලයකු බවත්, එම පුද්ගලයා හා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියකු දිගින් දිගටම සම්බන්ධතා පැවැත්වූ බවට තොරතුරු අනාවරණය වූ බවත් ශානි අබේසේකර මහතා කීවේය.
‘මාතලේ සහරාන්’ නම් පුද්ගලයා දිගින් දිගටම සම්බන්ධතා පවත්වා තිබුණු රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියා ‘ටොනික් ටොනික්’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ බව ද, ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලිස් නිලධාරීන් රාජ්‍ය බුද්ධි සේවයට ගිය විට බුද්ධි ප්‍රධානීන් ඊට ඉඩ ලබා නොදුන් බව ද ශානි අබේසේකර මහතා සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්කි ලබා දුන් අවසන් සාක්කිකරු ශානි අබේසේකර මහතාය. මාවනැල්ල සහ පුත්තලම වනාතවිල්ලුවේ අන්තවාදි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සංවිධානය පිළිබඳ ආරක්ෂක මණ්ඩලය දැනුම්වත් කිරිමට අවස්ථාව ලබා දෙන බව එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළත් එවැනි අවස්ථාවක් නොලැබුණු බවත් ශානි අබේසේකර මහතා කීවේය.
ශානි අබේසේකර මහතා –
‘මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීම සහ වනාතවිල්ලුව ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවීම යන සිදුවීම් දෙක පිටුපසම සිටින්නේ එකම කණ්ඩායමක් බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ වැදගත්කම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා 2019 පෙබරවාරි මස දෙවැනි දා පැජට් පාරේ ජනාධිපති නිල නිවසෙදි ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. එවිට “හොදයි රවී එහෙනම් ඔය ගැන ආරක්ෂක මණ්ඩලයෙදි දැනුම්වත් කරන්න” යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එහෙත් ඉන් පසු කිසිම අවස්ථාවක මටවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාටවත් ආරක්ෂක මණ්ඩලයේදී දැනුම්වත් කරන්න අවස්ථාවක් ලබා දුන්නේ නෑ.’
රජයේ නීතීඥවරයා – අදාල සංවිධානයේ මූලිකත්වය දරන්නෙ සහරාන් හෂීම් බව හිටපු ජනාධිපතිවරයාට දැනුම් දුන්නාද?
ශානි අබේසේකර මහතා – ඒ ගැන මතකයක් නෑ. හැබැයි ආරක්ෂක මණ්ඩලයේදී මේ ගැන කතා කරන්න අවස්ථාවක් දුන්නා නම් සියලුම විස්තර ඉදිරිපත් කරන්න තිබුණා.
2020 වසරේ මැයි මාසයේදි පමණ සහරාන් හෂීම් ඇතුලු පිරිස කිසියම් ප්‍රහාරයක් එල්ල කිරිම සඳහා සූදානමින් සිටියත් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍යය තොගයක් සොයාගැනීමත් සමඟ එම ප්‍රහාරය වැලකී ගිය බව ද අබේසේකර මහතා කීවේය. මෙම සිද්ධිවලට සම්බන්ධ පිරිස ජංගම දුරකතනවලට විශේෂ යෙදවුම් භාවිත කරමින් සන්නිවේදන කටයුතු සිදු කර තිබුණු නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම්වලට අසීරු වූ බව ද ඔහු ප්‍රකාශ කළේය. ඔවුන් භාවිත කළ ජංගම දුරකථන යෙදවුමට අදාල සමාගමෙන් අදාල විස්තර ඉල්ලා සිටියද ඔවුන් එය ලබා නොදුන් බව ද අබේසේකර මහතා පැවසීය.
කොමිසම – සහරාන් ඇතුළු පිරිස මෙම ජංගම දුරකතන යෙදවුම භාවිත කරමින් සන්නිවේදනය කළ බව ප්‍රහාරයට පෙර සිටම දැනගෙන සිටියාද?
ශානි අබේසේකර – ඔව් ස්වාමිනි. එලෙස ප්‍රහාරයට පෙර දැනුම්වත්ව සිටියා. ඒ සම්බන්ධයෙන් තොරතුරු අප ඉල්ලා සිටියා. නමුත් අදාල තාක්ෂණික ආයතනවලින් එම තොරතුරු නිසි පරිදි ලැබුණේ නැහැ.
පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍යය තොගයක් හමුවීමේ සිද්ධියේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු මුදා හැරියේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ද කොමිෂන් සභාවේදී ප්‍රශ්න කෙරිණි. එම පුද්ගලයන් දෙදෙනා මුදා හැරීමට තමා මැදිහත් නොවූ බව ශානි අබේසේකර මහතා කීවේය.
ශානි අබේසේකර – මේ සම්බන්ධයෙන් එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වුණා. ඊට එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආසාද් සාලි සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහත්වරුත් සහභාගී වුණා. අසාත් සාලි සහ ෆයිසර් මුස්තාපා මහත්වරු එම සැකකරුවන් දෙදෙනා මෙම සිදුවීමට සම්බන්ධ නැති නිසා මුදාහරින්න කියලා ඉල්ලිම් කළා.ඒ වෙලාවෙ මම කිව්වා මම ඒකට විරුද්ධයි, ඒ අයට දැන් ඩිඕ ගහලා තියෙන්නේ කියලා. මෙම විමර්ශනය කළ නිලධාරියා පසුව ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වුණා මේ දෙදෙනාට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි නැහැ කියලා. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනාධිපතිවරයා දැනුම්වත් කරලා කොන්දේසි හතක් යටතේ ඔවුන් මුදා හැරීමට පියවර ගත්තා. මගේ වැඩ තහනම්කරනතුරුම ඔවුන් දෙදෙනා සෑම මසකම අවසන් සෙනසුරාදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී ඉඳලා අත්සන් කළා.
මේ අතර නීතීපතිවරයා විසින් පවරනු ලැබූ නඩුවලට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ නිසා තමා අද මෙවන් තත්ත්වයකට පත්වී ඇති බව අබේසේකර මහතා කීවේය. ඔහු කීවේ තම විමර්ශනයවලදී කිසිසේත්ම දේශපාලනය අදාල කර නොගත් බවයි. තමන් සෑමවිටම සිදු කළේ දේශපාලනඥයන් කළ ඉල්ලීම්වලට ප්‍රතිවිරුද්ධ දේ බවද අබේසේකර මහතා කීවේය.
නඩරාජා රවිරාජ් ඝාතනය නඩුවට අදාළව විත්ති පාර්ශ්වය වෙනුවෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි ලබා දුන් බව ශානි අබේසේකර මහතා ප්‍රකාශ කළේය. පොලිස් නිලධාරීයකු මෙවැනි නඩුවක විත්ති පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂි ලබාදීම සාමාන්‍ය තත්ත්වයක් නොවන බවත්, එම නඩුව මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා හෝ නීතිපති දෙපාර්තමේන්තුව දැනුම්වත් කිරීමක් නොකර නිලන්ත ජයවර්ධන මහතා එලෙස විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි බවත් අබේසේකර මහතා කීවේය.
නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය හරස් ප්‍රශ්න අසමින් ශානි අබේසේකර මහතාගෙන් විමසා සිටියේ නඩරාජා රවිරාජ් ඝාතන නඩුවට අදාළව විත්තිය පාර්ශ්වය වෙනුවෙන් නිලන්ත ජයවර්ධන මහතා ලබාදුන් සාක්ෂියෙ අන්තර්ගතය පිළිබඳ දැනුම්වත්ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් අබේසේකර මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තමා දැනුම්වත් නොමැති බවයි. එවකට ආරක්ෂක ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ සිද්ධියකට අදාළව එදින නිලන්ත ජයවර්ධන මහතා එම සාක්ෂිය ලබා දුන් බව නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය ප්‍රකාශ කළාය.
ශානි අබේසේකර මහතාගේ සාක්කියෙන් පසු සාක්කි ලබා ගැනීම අවසන් කෙරිණි. කොමිෂන් සභාවේ කටයුතුවලට සහාය වූ විමර්ශන කණ්ඩායමට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස ජනාධිපති කොමිෂන් සභාව අවසානයේ නියෝග කළේය. එසේ එම ප්‍රහාරයට අදාළ කවර තරාතිරමක හෝ වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවට වර්තමාන ආණ්ඩුව ලබාදුන් තවත් පොරොන්දුවක් එසේ අවසන් විය.
පොලිස් නිලධාරීන්ගේ කන්නලව්ව – ව්‍යාජ තොරතුරු මගින් පාස්කු ප්‍රහාරය වෙනතක යැවීමේ උත්සාහයක් ද?
පාස්කු ප්‍රහාරයේදී රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා ඉවත් කර දෙන ලෙසට මහ නාහිමිවරුන් බැහැ දැක ඉල්ලා සිටි උසස් පොලිස් නිලධාරීන්ගේ ඇතැම් ප්‍රකාශ සාවද්‍ය බවත්, ඇතැම් ප්‍රකාශ පොලිස් නිලධාරීන්ට නොගැළපෙන ප්‍රකාශ බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම ආරක්ෂක ක්ෂේත්‍රයේ විශේෂඥයෝ අවධාරණය කළහ.
ඔවුන් කළ ප්‍රකාශ සහ එම ප්‍රකාශවල ගැටලුසහගත තැන් මෙසේ පෙළගැස්විය හැකිය.
මහ නාහිමිවරුන් බැහැදැකීමට ගිය පොලිස් කණ්ඩායමේ සිටි මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත් මහතා ජනමාධ්‍ය වෙත ලබා දුන් ප්‍රකාශයක් සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මහ නාහිමියන් හමුවේ කරනු ලබන ප්‍රකාශයක් ජනමාධ්‍ය වාර්තා කළේය.
‘අවුරුදු 30ක් මේ රටේ යුද්ධයේදී රාජකාරි කරලා තුවාල වෙලා, ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරලා ජීවිතය බේරගෙන අද දක්වා රාජකාරි කරන නිලධාරි කණ්ඩායමක් අපි. හැබැයි අද මෙතැන්ට ආවෙ 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය දවසේ රාජකාරි කරලා, ඒ රාජකාරි කරපු එක වරදක් වෙලා වෙන කියාගන්න කෙනෙක් නැතුව, අපිට එල්ලුම් ගහ හරි මහ උළුගෙදර හරි නැත්නම් රැකියාව නැතිවෙලා ගෙදර යන්න හරි වෙන එක වළක්වගන්න. මල්වතු, අස්ගිරි නායක හාමුදුරුවො හමුවෙලා දළදා වහන්සේට කියලා කන්නලව් කරලා රස්සාවයි, ජීවිතයි, අපේ යැපෙන අයයි බේරාදෙන්න කියලා ඉල්ලන්නයි ඇවිත් ඉන්නේ.’
මෙම පොලිස් නිලධාරීන් පිරිස ජනගත කරන්නට උත්සාහ කරන්නේ අමූලික බොරුවකි. 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය දවසේ රාජකාරි කිරීමේ වරදට තමන්ට එරෙහිව කටයුතු කරන්නට යන බව ඔවුහු කීමට උත්සාහ කරති. නමුත් චෝදනාව තිබෙන්නේ පාස්කු ප්‍රහාරය දිනයේ රාජකාරි කිරීම සම්බන්ධයෙන් නොව, පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු අනුව කටයුතු කර පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙනි.
යුද්ධය පෙන්වා ගැලවීම
ඊළඟට මේ පිරිස යුද්ධය ගැන කතා කරති. යුද්ධය යනු ඔ්නෑම අපරාධයකින් ගැලවීමට තිබෙන පළිහක් නොවේ. යුද්ධය ගැන කතාකරන මේ මහත්වරුන්ගෙන් ඇතැමෙක් අඩු තරමේ යුද සමයේ, යුද්ධය පැවැති ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපති ධුරයක්වත් දැරුවෝ නොවෙති. එල්ලුම්ගහට හෝ මහ උළුගෙදරට යෑමෙන් හෝ රැකියා නැතිවීමෙන් හෝ වළක්වා ගත හැක්කේ මහ නාහිමිවරුන්ට ඇවිටිලි කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් නොව, ඉහළ නිලධාරීන්ට, ඉහළ උසාවිවලට අභියාචනා කිරීමෙන් බව මෙම නිලධාරීන් නොදන්නේ නම්, ඔවුන් කිසිසේත්ම පොලිසියට ගැළපෙන්නේ නැත.
‘2019 පාස්කු ප්‍රහාරයේදි 300කට වඩා අහිංසක ජනතාව මියගියා. තවත් ඒ හා සමාන පිරිසක් තුවාල ලැබුවා. අද මේ රැස්වෙලා ඉන්න අපි හැමෝම එදා ඒ ජීවිත පරිත්‍යාග කළ අයගේ මළ සිරුරු දෑතින් උස්සගෙන රෝහල්ගත කළ කණ්ඩායමක්. එදා ඒ විදිහට කැපවීමෙන් රාජකාරි කළ කණ්ඩායමට අද කරකියාගන්න දෙයක් නැතුව ගිහින් තියෙනවා මොනවා වෙයිද කියලා. එවකට පැවැති යහපාලන රජය ප්‍රහාරයක් එල්ල කරනවා කියලා මේ තොරතුරු දැනගෙන ඒ තොරතුර සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කිසිදු පැහැදිලි නියෝගයක් ලබානොදී, මේ තොරතුරු හොයන්න කියලා විතරක් අපට දැනුම් දී තිබුණු අවස්ථාවක අනපේක්ෂිතව මේ ප්‍රහාරය සිද්ධ වුණා. මේ ප්‍රහාරය දවසේ මේ ඉන්න නිලධාරීන් සියලුදෙනා රාජකාරි කළා. අද ජීවිත සිය ගණනක් ජීවත් වෙනවා එදා අපි ක්‍රියාමාර්ග ගත්තු නිසා.’
පාස්කු ප්‍රහාරයට කිසිවෙකු ජීවිත පරිත්‍යාග කළේ නැත. ජීවිත පරිත්‍යාග කිරීම යනු තමන්ට මරණය අත්විය හැකි බව දැන-දැනම යම් යහපත් අරමුණකින් යමක් කිරීමට යෑමයි. ප්‍රහාරයක් එල්ල වන බව දන්නේ නම්, එම ජනතාව අදාළ ස්ථානවලට යන්නේ ද නැත. මෙය ඝාතනයකි. මරණය අත්වන බව දැන-දැනම මිය ගිය ප්‍රහාරකයන් හැර අනෙක් පිරිස් එම ස්ථානයට නොගියද, මරණය අත්කරදිය හැකි මෙවැනි ප්‍රහාරයක් එල්ල වන බව මෙම පොලිස් නිලධාරීන් පිරිස දැන සිටි බව නම් පාස්කු කොමිෂන් සභාවේදී අනාවරණය විය.
විමර්ශන කණ්ඩායම් මගහැරියේ ඇයි?
‘යහපාලන රජය මෙම ප්‍රහාරය එල්ල කරන බවට තොරතුරු දැනගෙන ඒ තොරතුර සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ කිසිදු නියෝගයක් නොදී මේ පිළිබඳ තොරතුරු සොයන්න කියලා විතරක් අපට දැනුම් දුන්නා’ යැයි පොලිස් නිලධාරීන් කීමෙන් ඔවුන් තම රාජකාරිය ගැන මොන තරම් දැනුම්වත් බවකින් සිටින්නේද යන්න පිළිබඳ බරපතළ ගැටලුවක් මතු වේ. පළමු කාරණය මෙම ප්‍රහාරය එල්ල කරන බවට යහපාලන රජය දැනගෙන සිටියා ද යන්නයි. ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් ජනාධිපති කොමිසමෙන් හෝ වෙනත් විමර්ශන කණ්ඩායමක් විසින් තොරතුරු හෙළි කර නැත. ඒ බව මෙම නිලධාරීන් පිරිස දන්නේ නම් කළ යුත්තේ මහා නාහිමිවරුන් බැහැදැකීමට යෑම නොව විමර්ශන කණ්ඩායම් මුණගැසී තමන් දන්නා කරුණු ඉදිරිපත් කිරීම ය.
ආණ්ඩුවෙන් ප්‍රහාරය ගැන ගත යුතු ක්‍රියාමාර්ග ගැන නියෝගයක් නොදී, තොරතුර සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන සොයාබැලීමට පමණක් කී බව පොලිස් නිලධාරීහු කියති. විමර්ශන පැවැත්වීම හෝ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හෝ ආණ්ඩුවේ රාජකාරියක් නොවේ. එවැනි තොරතුරක් ලදහොත් එය පොලිසියට හෝ වෙනත් විමර්ශන කණ්ඩායමකට දැනුම්දීම ආණ්ඩුවේ වගකීමකි. මේ පොලිස් නිලධාරීන් කියන ආකාරයට ආණ්ඩුව වගකීම ඉටු කර ඇත. වගකීම ඉටු කර නැත්තේ මොවුන් කියන ආකාරයට පොලිසියයි. ඒ ප්‍රහාරය ගැන යොමු කළ තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් නොකර පැහැර හැරීම ය. තොරතුර තමන්ට යොමු කළ බව පොලිස් නිලධාරීන් ම පිළිගනී. එසේ නම් ඒ සම්බන්ධයෙක් කළ විමර්ශනය කුමක්ද? ප්‍රහාරය වළක්වා ගැනීමට ගත් ක්‍රියාමාර්ග මොනවාද?
යුක්තිය ඉල්ලන තැන
‘හැබැයි අද වෙනකොට මේ යහපාලන රජය පත්කරපු කොමිෂන් සභාව දුන්නු අසාධාරණ තීන්දුව නිසා හෙට දවසේ අපිට එල්ලුම්ගහ හිමිවෙනවා, එහෙම නැත්නම් හිරගෙදර තපින්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් රැකියාව අහිමි වෙලා වෙනත් රැකියාවකට යන්න බැරිව ගෙදර යන්න සිද්ධ වෙනවා. එවැනි තත්ත්වයකට අපි දැන් පාත්‍රවෙලා ඉන්නේ. ඒ දුක කියන්න කිසිම කෙනෙක් නෑ. අපි මේ වෙනකොට කියන්න තියෙන හැමතැනකට ම කිව්වා. ඒ යහපාලන රජය ගත්තු අසාධාරණ තීන්දුවෙන් සමස්ත පොලිසියම කඩාවැටිලා. අපේ පවුල්, දරුවෝ, නෑදෑයෝ, දෙමාපියෝ සියලුදෙනාම අඬා වැටෙනවා. මොකද හෙට දවසේ අපි සිරගතවෙයි, එල්ලුම්ගහට යයි කියලා. ඉතින් ඒ දුක කියන්න තමයි, අපි මෙතැන්ට ආවෙ. කන් ඇහෙන, ඇස් පේන මේ මහ නාහිමිවරුන්ට කියලා අපිට යුක්තිය ඉෂ්ඨ කරලා දෙන්න කියන්නයි අපි මෙතැන්ට ආවෙ.’
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එසේ කීවද, කොමිෂන් සභාව පත් කළේ යහපාලන රජය නොව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි. ජනාධිපති සිරිසේන මහතා පත්කළ කොමිෂන් සභාවේ කාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දීර්ඝ කළේය. කොමිසමේ සභාපතිවරයා වූයේ එවකට අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයෙකි. ජනාධිපති කොමිෂන් සභාවකින් වැරදි නිර්දේශ ලබාදී ඇත්නම්, කළ යුත්තේ මහ නායක හිමිවරුන් ඉදිරිපිටට යෑම නොවේ. කළ යුත්තේ අභියාචනාධිකරණයට ගොස් මෙම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තීන්දුවක් ලබාගැනීම ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ දේශපාලන පළිගැනීම් සොයන උපාලි අබේරත්න ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, රජයේ නීතිඥ ජනක බණ්ඩාර, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා ඇතුළු පිරිසක් අභියාචනාධිකරණයට ගියහ. එසේ නීතිමය ප්‍රතිපාදන තිබියදී උසස් පොලිස් නිලධාරීන් පිරිසක් නීතිය නොතකා වෙනතක යෑම බරපතළ තත්ත්වයක් නොවේද?
‘කාදිනල් උන්නාන්සේට අපි කිසිම දෙයක් කියන්නේ නැහැ. උන්නාන්සේ දැක්කා අපි දෑත්වල ලේ තවරගෙන ජීවිත බේරගන්න කටයුතු කළ ආකාරය. කාදිනල් හිමි තමුන්ගේ කණ්ඩායම වෙනුවෙන් කතා කිරීම සාධාරණයි. හැබැයි අපි වෙනුවෙන් කතාකරන්න රජය හෝ වෙනත් කිසිම කෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ. අපිට මේක කියන්න කිසිම කෙනෙක් නැහැ. පොලිස් නිලධාරීන් 20 – 25ක් මේ අසාධාරණයට ලක්වෙලා.’
තවත් බෙදා වෙන්කිරීමක්
කාදිනල් හිමියන් තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් කතා කරන බව කියමින් බෙදීමට උත්සාහ කිරීම ද පොලිස් නිලධාරීන්ට තරම් නොවේ. මේ පොලිස් නිලධාරීහු තමන්ට වූ අසාධාරණය කුමක්දැයි නොකියා රජය හෝ වෙනත් කෙනෙකු තමන් වෙනුවෙන් ඉදිරිපත් නොවීම ගැන කතා කරති. තමන්ට මෙය කියන්න වෙන කිසිම තැනක් නැතැයි ඔවුහු කියති. හැබැයි ඔවුන්ට මෙය කියන්නට තැනක් තිබේ. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ දී කියන්නට තිබිණි. විමර්ශන කණ්ඩායම්වලට කටඋත්තර දෙමින් කියන්නට තිබිණි. නීතිවිරෝධී යමක් සිදුවන්නේ නම්, නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීමක් සිදුවීමට යන්නේ නම් ඒ ගැන පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමේ හැකියාව තිබිණි. නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්ට පැමිණිලි කිරීමට තිබිණි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන්නට තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් දමන්නට තිබිණි. මේ ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට මහ නාහිමිවරුන් බැහැ දැකීමට ගියේ ඇයි? නීතිවිරෝධී ව වැඩ තහනමකට ලක්කරනවා නම්, රාජ්‍ය සේවා කොමිසමේ අදාළ නියෝගවලට එරෙහිව පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයට ද අභියාචනා කිරීමේ හැකියාව තිබේ.
‘දළදා වහන්සේට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ජීවිත නැතිවුණා. ජයසිරි මහ හාමුදුරුවන්ට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ජීවිත නැති වුණා. ලෝකයේ අනන්තවත් මේ වගේ ප්‍රහාරවලින් ජීවිත නැතිවෙනවා. හැබැයි ලෝකයේ කිසිම තැනක එදා දවසේ රාජකාරි කළ නිලධාරීන්ට විරුද්ධව මේ වගේ තීන්දුවක් අරන් නැහැ. අසාධාරණයක් කරලා නැහැ. මේක කියන්න කෙනෙක් නෑ.’
ලංකාවේ උදාහරණය
බෝම්බ ප්‍රහාර එල්ල වූ අවස්ථාවල අදාළ ප්‍රදේශය භාර පොලිස් නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ අවස්ථා තිබේ. හොඳම උදාහරණය අකුරැස්ස, ගොඩපිටිය පල්ලියේ ආගමික උත්සවය අවස්ථාවේ එල්ල කළ බෝම්බ ප්‍රහාරයයි. එදා පොලිසියෙන් ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලුම ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන තිබුණද, එම උත්සවයට පැමිණි එවකට අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, මහින්ද විජේසේකර, ඒ.එච්.එම්. ෆවුසි ඇතුළු ඇතුළු දේශපාලනඥයන් පිරිස ඉලක්ක කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එවකට අදාළ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා වූයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස සේනානායක මහතා ය.
පාස්කු ප්‍රහාරයට පෙර බුද්ධි තොරතුරු ලැබුණා සේ මෙම ප්‍රහාරයට පෙර බුද්ධි තොරතුරු ලැබුණේ ද නැත. එසේ තිබියදී ඉහළ නිලධාරීහු විසින් පොලිස් ස්ථානාධිපති තිස්ස සේනානායක මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත්හ. ඔහුගේ වැඩ තහනම් කෙරිණි. උසස්වීම් අහිමි කෙරිණි. අවසානයේ විනය නියෝගය ලබාදෙමින් ඔහු සේවයෙන් පහකළේය. තිස්ස සේනානායක පොලිස් නිලධාරියා මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක හඬා වැටීමට ගියේ නැත. ඔහු විනය නියෝගයට එරෙහිව පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයට අභියාචනා කළේය. මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු ගොනු කළේය. අවසානයේ ඔහුට එරෙහි විනය ක්‍රියාමාර්ගය නීතිවිරෝධී බව අභියාචන ක්‍රියාවලියේ දී තහවුරු විය. ඔහුට රැකියාව ලැබිණි. අධිකරණ සහ අභියාචනා ක්‍රියාවලි මගින් අහිමිව තිබූ උසස්වීම් ද ලබාගත්තේය.
ස්ථානාධිපතිවරුන් එලෙස කටයුතු කරද්දී මෙම නිලධාරීන් මහ නාහිමිවරුන් බැහැදැකීමට යෑමෙන් පෙන්නුම් කරන්නේ ස්ථානාධිපතිවරුන්ට තරම්වත් නීතිය පිළිබඳ දැනුමක් උසස් පොලිස් නිලධාරීන්ට නැතිකම ද?
‘මේ අසාධාරණ තීන්දුව වෙනස් කරලා අපිට විරුද්ධව නඩු පවරනවා නම්, නවත්වන්න කියලා අපි ඉල්ලන්නේ. සාධාරණ විනිශ්චයක් දෙන්න. අපිට මේ ගැන දැනුවත් බවක් තිබුණේ නැහැ. දැනගෙන හිටියා නම් කවමදාවත් වෙන්න දෙන්නේ නැහැ. අපේ උසස් නිලධාරීන්ට දැනුම් දීලා තිබුණේ මේක සම්බන්ධව තොරතුරු සොයන්න කියලා විතරයි. එහෙම කියලා දවසක්-දෙකක් වගේ කාලයකදී අනපේක්ෂිත ලෙස ප්‍රහාරය එල්ල වුණා. වසර 30ක් පැවැති යුද්ධය ඉවර කරලා, රට සාමාකාමී වෙලා තිබුණු අවස්ථාවක මේක එල්ල වුණේ. ඒක ඒ වෙලාවේ බලයට ඇවිත් හිටිය යහපාලන රජය කරපු වරද. ඒ චෝදනාව කාගෙ හරි පිටින් යවන්න ඕනෙ නිසා අහිංසක පොලිස් නිලධාරීන් 25 – 30ක කණ්ඩායමකගේ රස්සාව අහිමි කරලා සිරගත කරන්න සූදානම් කරනවා. අපිට විරුද්ධව විනය පරීක්ෂණ ආරම්භ කරන්න හදනවා. ඒවා නවත්වන්න කියලයි කියන්නේ.’
නොමග යැවීමේ උත්සාහයක්
විමර්ශනයකින් පසු නඩු අහන්නේ මහ නාහිමිවරුන් ද, එසේත් නැත්නම් විමර්ශන කණ්ඩායම් ද, නීතිපති ද යන්න පිළිබඳව මෙම නිලධාරීන් දැනුවත් නොවීම බරපතළ තත්ත්වයකි. නඩු පැවරීම අසාධාරණ නම් ඒ පිළිබඳව පැවසිය යුත්තේ මහ නාහිමිවරුන්ට ද? නැතහොත් ඊට අදාළ පාර්ශ්වවලට ද? ‘යහපාලන රජය කරපු වරද’ යනුවෙන් කීමෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අදාළ පොලිස් නිලධාරීන් පැහැදිලි කර නැත. උසස් නිලධාරීන්ට දැනුම් දී, දින දෙක-තුනකින් ප්‍රහාරය එල්ල වූ බව කීම ද අසත්‍යකි. ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු පොලිස්පතිවරයා විසින් පහළ නිලධාරීන්ට ලබාදී තිබුණේ සති කිහිපයකට පෙරදී බව කොමිෂන් සභා සාක්ෂි විමසීමේදී කියැවිණි. මීට පෙර ද සඳහන් කළ පරිදි විනය පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඉල්ලීම් කළ යුත්තේ විනය බලධාරීන්ගෙන් මිස මහ නාහිමිවරුන්ගෙන් නොවේ.
කියන විදිහට වැඩේ වුණා ද?
‘පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ බස්නාහිර පළාතත්, නැගෙනහිර පළාතත් රාජ්‍ය බුද්ධි අංශයත් භාරව සිටි පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මෙතැන සිටිනවා. ප්‍රහාරය සම්බන්ධ තොරතුරු සියල්ලම ප්‍රමාදයකින් තොරව කඩිනමින් පොලිස් නිලධාරීන්ට යවන්න පියවර ගෙන තිබුණා. ඒ බව ජනාධිපති කොමිෂන් සභාවේදී නිලධාරීන් ලබාදුන් ප්‍රකාශ මගින් සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙනවා. එසේ තිබියදී ඒ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ගතයුතු නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව එවකට පැවති රජය හෝ ආරක්ෂක අමාත්‍යාංශය හෝ පැහැදිලි උපදෙසක් පොලිස් නිලධාරීන්ට ලබාදී තිබුණේ නැහැ. ඒ අවස්ථාවේ යුද්ධය නිමවී රටේ සාමාකාමී වාතාවරණයක් ගොඩනැගී තිබුණා. සංහිඳියාව කියන තේමාව යටතේ තමයි, ඒ දවස්වල රජය ක්‍රියාත්මක වුණේ. විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව සමඟ ඉතා සමීප සම්බන්ධතාවක් තිබීම නිසා අයිඑස්අයිඑස් වගේ සංවිධාන ගැන ගැඹුරින් සොයාබැලීමක් සිදුවුණේ නැහැ.’
‘සම්පූර්ණ සාමාකාමී වාතාවරණයක් රටේ පැවතුණා. ඒ වාතාවරණය තුළ සිදුවූ මේ අවාසනාවන්ත සිද්ධිය නිසා අහිංසක මිනිස් ජීවිත 300ක් පමණ රටට අහිමි වුණා. මේ ආකාරයේ ත්‍රස්තවාදී ප්‍රහාර ශ්‍රී මහා බෝධිය, මහ බැංකුව වගේ ස්ථානවලත් සිදුවුණා. ඇමරිකාවට පවා ත්‍රස්ත ප්‍රහාර එල්ල වුණා. ලෝකයේ කොහේවත් සිදු නොවන ආකාරයට ඒ අවස්ථාවේ රාජකාරි කිරීම පදනම් කරගනිමින් තමයි, පොලිස් නිලධාරීන්ට එරෙහිව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කොමිෂන් සභාව ක්‍රියාක්මක වුණේ.’
‘තිස් අවුරුදු යුද්ධය නිමා කරන්න කැපකිරීම් කළ විශාල පිරිසකට මේ කොමිසම මගින් අසාධාණයක් සිදුව තිබෙනවා. මේ අයගේ විශ්‍රාම දිවියට පවා ගැටලුවක් වෙලා. ත්‍රස්තවාදී ප්‍රහාරයට ඍජුව හෝ වක්‍රව සහාය දුන් නිලධාරියෙකු විනා, ඒ ප්‍රදේශයේ රාජකාරි කළ නිලධාරීන් පීඩනයකට ලක්කරනවා නම් එය සමස්ත පොලිස් නිලධාරීන්ගේ මානසිකත්වය පහත වැටීමට බලපාන කාරණයක් වෙනවා.’
මෙම උසස් පොලිස් නිලධාරීන් දිගින්-දිගටම චෝදනා කරන්නේ පැවති යහපාලන ආණ්ඩුව ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය නියෝග ලබානොදුන් බවයි. යහපාලන ආණ්ඩුව ප්‍රහාරය ගැන දැනුවත් වී සිටියේද යන්න මේ වනතෙක් හෙළිවී නැති තත්ත්වයක් තුළ, උසස් පොලිස් නිලධාරීන් මෙසේ ප්‍රකාශ කිරීමෙන් හඟවන්නේ කුමක්ද? එවකට ආණ්ඩුව මේ ගැන දැනගෙන සිටියා නම්, ඒ බව අදාළ කොමිෂන් සභාවේදී නොකීවේ ඇයි? අදාළ විමර්ශන කණ්ඩායම් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළේ ද? එලෙස දැනගෙන සිට, ආණ්ඩුව බේරාගැනීමට ඒ බව නොකීවේ ද? මේවා බරපතළ ගැටලු ය.
නොකියා කියන කතාව
මුස්ලිම් ප්‍රජාව සමඟ හොඳින් සිටි නිසා අයිඑස්අයිඑස් සංවිධානය ගැන සොයා නොබැලූ බව මෙම උසස් පොලිස් නිලධාරීහු කියති. එම සංවිධානය මේ ප්‍රහාරය එල්ල කළ බවට කිසිම තැනකදී අනාවරණය නොවී තිබියදී, මේ නිලධාරීන් මෙවැනි ප්‍රකාශයක් කරන්නේ කුමන අරමුණකින් ද? ඒ සංවිධානයට ප්‍රහාරයේ වගකීම බාරගන්නා ලෙස මාතලේ සහරාන් නම් පුද්ගලයෙකු හරහා පැවසීමට බුද්ධි අංශ නිලධාරියෙකු උත්සාහ කළ බවක් පාස්කු කොමිෂන් සභාවේදී කියැවිණි. මේ රංගනයත් එහි කොටසක් ද? මේ බව දන්නේ ඔවුන් ම පමණි. තමන්ට ලැබුණු බුද්ධි වාර්තාව ගැන සොයා බලා කළ විමර්ශනය ගැන හෝ අත්අඩංගුවට ගත් පිරිස් ගැන නොකියා මෙවැනි දෑ ප්‍රකාශ කරන්නේ ඇයි? රාජකාරි කිරීම නිසා තමන්ට හානියක් වන බව පුන-පුනා කීමට උත්සාහ කළ ද, චෝදනාව තිබෙන්නේ ප්‍රහාරයට පෙර වගකීම් පැහැර හැරීම ගැන බවට මෙම නිලධාරීන් ප්‍රකාශ කරන්නේ නැත.
මහනුවර ගොස් මහ නාහිමිවරුන් බැහැදැක, උසස් පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අමූලික බොරු නොවේ ද? මේ කරන්නේ තවත් වටයකින් ජනතාව නොමග යැවීමක් නොවේ ද?
මහ මොළකරුවන් !
නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බවත් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සනාථ කර ඇතැයි ද ඔහු ප්‍රහාරයේ මහ මොලකරු භූමිකාව රඟපා ඇති බවට ඇමෙරිකාවේ විමර්ශන අනුව පැහැදිලි බවත් මහජන ආරක්ෂාව පිළිබද රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් විරසේකර පාර්ලිමේන්තුවේදී වරක් ප්‍රකාශ කළේය.
ඔහු නවුෆර් මව්ලවිවරයා සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළේය.
“මෙහිදී මොහොමඩ් නවුෆර් මවුලවි ගැනත් යමක් කිව යුතුයි. පොලිස් පරීක්ෂක අනුවත්, ඇමෙරිකානු විමර්ශන අනුවත් මෙම ප්‍රහාරයේ මහ මොලකරු භූමිකාව නවුෆර් මවුලවි විසින් රඟපා ඇති බව පැහැදිලි වෙනවා.
01. ඔහු තමයි IS මතවාදය ලංකාවට ගෙනවිත් 2016දී සහරාන්ව ඒ මතවාදයට යොමු කළේ. ඒක සහරාන්ගේ බිරිඳ සාදියාගෙනුත් සනාථ වෙනවා.
02. ඔහු තමයි IS පුහුණු පාඨමාලාව සම්පූර්ණයෙන්ම ගෙන ගියේ. ඔහුගේ පොත්පත් වලින් සහ ලැප්ටොප් වලින් එය සනාථ වෙනවා. එහි විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම සකස් කළේ ඔහු. නුවරඑළිය සහ හම්බන්තොට පුහුණු කඳවුර අධීක්ෂණය කළේ නවුෆර් මවුලවි.
03.නවුෆර් තමාගේ බිරිඳගේ නංගිව සහරාන්ට විවාහ කර දුන්නා. ඔවුන් එකම මත්ද්‍රසා පාසලේ, සලා මද්‍රසා පාසලේ ඉගෙන ගත්තේ නවුෆර් සහරාන්ගේ ජ්‍යෙෂ්ඨයා හැටියට කටයුතු කළා. දරූල් අදාල් සංවිධානයේ නවුෆර් ප්‍රධාන චරිතයක් රඟ පෑවා. ඒකෙ සහරානුත් හිටියා.
නවුෆර් මෙම ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව FBI එකෙනුත් සනාථ කොට තිබෙනවා. මේ ප්‍රහාරයට විදේශීකයින්ද සම්බන්ධයි.”
නමුත් අයිඑස්අයිඑස් වෙත භෞතික සහය ලබාදීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් නවුෆර් මවුලවි, මොහොමඩ් අනවර් මොහොමඩ් රිස්කාන් සහ අහම්ඩ් මිල්හාන් හයාතු මොහොමඩ්ට එරෙහිව ලොස් ඇන්ජලිස් ෆෙඩරල් අධිකරණයේ චෝදනා ගොනු කරමින් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මෙසේය.
“මොහොමඩ් නවුෆර්, ශ්‍රී “ලංකාවේ අයිඑස්අයිඑස්” (ISIS in Sri Lanka) යනුවෙන් හඳුන්වාගත් අයිඑස්අයිඑස් ආධාරකරුවන් කණ්ඩායමේ ” දෙවන එමීර්වරයා” වේ. කණ්ඩායමේ ප්‍රචාරක වෑයම් සඳහා නායකත්වය දීම, අයිඑස්අයිඑස් සමගින් සම්බන්ධවීමට තවත් අය බඳවාගැනිම සහ මිලිටරි වර්ගයේ බහුදින පුහුණු මාලාවක් පැවැත්වීම සම්බන්ධයෙන් චෝදනා ඇත. (Mohamed Naufar, the “second emir” for the group of ISIS supporters that called itself “ISIS in Sri Lanka,” who allegedly led the group’s propaganda efforts, recruited others to join ISIS, and led a series of multi-day military-type trainings)
එම නඩු පැවරීම සම්බන්ධයෙන් ඉකුත් ජනවාරි අට වැනිදා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනයේ සිංහල පරිවර්තනය පහතින්..
“අයිඑස්අයිඑස් වෙත භෞතික සහය ලබාදීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් විදේශිකයන් තිදෙනකුට එරෙහිව ලොස් ඇන්ජලිස් ෆෙඩරල් අධිකරණයේ චෝදනා ගොනු කෙරේ.
මෙම තැනැත්තන් 268 දෙනකුට මරු කැඳවමින් 2019 පාස්කු දින ශ්‍රී ලංකාවේ දී ත්‍රස්තවාදී ප්‍රහාර සිදුකළ අයිඑස්අයිඑස් ආධාරකරුවන් කණ්ඩායමක සාමාජිකයන් බව කියැවේ.
ලොස් ඇන්ජලීස් හීදී විදේශ ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් නම් කරන ලද සංවිධානයකට (අයිඑස්අයිඑස්) භෞතික සහය ලබාදීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු ත්‍රස්තවාදය සම්බන්ධ වරදවල් සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනකුට එරෙහිව නිල වශයෙන් චෝදනා එල්ල කර ඇති බව අධිකරණ දෙපාර්තමේන්තුව අද දින නිවේදනය කළේය. අද දින මුද්‍රා විවෘත කරන ලද ෆෙඩරල් අපරාධ පැමිණිල්ලකට අනුව, මෙම තැනැත්තන් “ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස්” යනුවෙන් හඳුන්වාගනු ලැබු අයිඑස්අයිඑස් ආධාරක කණ්ඩායමක කොටසක් වන අතර එක්සත් ජනපද පුරවැසියන් පස් දෙනකු ඇතුළුව 268 දෙනකුට මරු කැඳවමින්, තවත් 500 ඉක්මවන පිරිසකට තුවාල කරමින් 2019 පාස්කු දිනයේදී දකුණු ආසියානු රටක් වන ශ්‍රී ලංකාවේ සිදුකළ ප්‍රහාර සඳහා එම කණ්ඩායම වගකිව යුතු බවට චෝදනා කෙරේ.
2019 අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ කොළඹ, මීගමුව සහ මඩකලපුව යන නගරවල එකම විටක පාහේ සිදුකරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දක්වා මගපාදන ලද සිදුවීම් සහ එම කුමන්ත්‍රණය සඳහා මෙම විත්තිකරුවන් නිරූපණය කළ භූමිකා පැමිණිල්ලේ සැකෙවින් දක්වා තිබේ. මියගිය එක්සත් ජනපද පුරවැසියන් අතරින් එක් අයෙක් රාජකාරී කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ගොස් සිටි වාණිජ දෙපාර්තමේන්තු සේවකයකු වේ.
ප්‍රහාරයෙන් දින දෙකකට පසුව එම මරාදැමීම් “ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන්” විසින් සිදුකරන ලදැයි දක්වමින් එම ත්‍රස්තවාදී ක්‍රියාවන් තමන් විසින් සිදුකරන ලදැයි අයිඑස්අයිඑස් විසින් ප්‍රකාශ කරන ලදී. 2019 අප්‍රේල් අග භාගයේදී, සිරියාවේ බැගුස්හි ඊට පෙර මාසයේ දී අයිඑස්අයිඑස් පරාජය කිරීම වෙනුවෙන් “බටහිරට” එරෙහිව කළ පළිගැනීමක් වශයෙන් එකල අයිඑස්අයිඑස් නායකයා ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් වර්ණනා කළේය.
අයිඑස් සංවිධානය 2019 අප්‍රෙල් 21 ශ්‍රී ලංකාවේ සිදුකළ පාස්කු ප්‍රහාරයෙන් ඇමරිකානුවන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 268 දෙනෙකු මිය ගියා. බොහෝ දෙනෙක් මිය ගියේ ඔවුන් වන්දනාමාන කරමින් සිටියදීයි.” යැයි ජාතික ආරක්ෂාව පිළිබඳ සහකාර නීතිපති ජෝන් සී ඩෙමර්ස් පැවසීය.
ලෝකයේ කුමන හෝ ස්ථානයක දී ඇමෙරිකා පුරවැසියන් ඉලක්ක කරන ත්‍රස්තවාදීන් යුක්තිය ඉදිරියට පමුණුවන බව සහතික කරගැනීමට එක්සත් ජනපදය ඒකාන්ත ක්‍රියාමාර්ග ගන්නා බව මෙයින් පැහැදිලිවම පෙන්නුම් කරනවා.” යනුවෙන් එක්සත් ජනපද ඇටෝර්නි නික් හැනා පැවසීය. “වරදකරුවන් යුක්තිය ඉදිරියට පැමිණවීම සඳහා ශ්‍රී ලංකාවේ බලධාරීන්ට ඇති හැකියාව සම්බන්ධයෙන් එක්සත් ජනපදය විශ්වාසයෙන් සිටිනවා. – විත්තිකරුවන් යුක්තිය මගහැර යන්නට වෑයම් දැරුවහොත් අප මෙම චෝදනා සමගින් ඊට සූදානම්ව සිටින බව මෙම පැමිණිල්ලෙන් පැහැදිලිව පෙන්නුම් කරනවා”
ශ්‍රී ලංකාවේ සිදුවූ අයිඑස්අයිඑස් පාස්කු ප්‍රහාරවලින් ඇමෙරිකානු ජාතිකයින් පස් දෙනකු ඇතුළුව 268 දෙනෙක් මරාදමනු ලැබුවා. ඉන් බොහෝ දෙනා වන්දනාවමාන කරමින් සිටින අතරේයි මෙය සිදුවුනේ” යනුවෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ සහකාර නීතිපති ජෝන් සී ඩිමර්ස් සඳහන් කළේය. ” එම මරණවල වගකීමෙහි ඔවුන් දැරූ කොටස වෙනුවෙන් අද අපි මෙම විත්තිකරුවන්ට චෝදනා එල්ල කරනවා. එම චෝදනාවලට අනුව මෙම විත්තිකරුවන් අයිඑස්අයිඑස් වෙනුවෙන් කැපවූ ආධාරකරුවන්. අයිඑස්අයිඑස් හී ප්‍රචණ්ඩ අභිප්‍රායන් සඳහා අනෙකුත් අය බඳවාගෙන තිබෙනවා. IED සඳහා අමුද්‍රව්‍ය මිලට ගෙන ඒවා සාදා තිබෙනවා. ප්‍රහාරවලට සහභාගි වූ අනෙකුත් අය සූදානම් කිරීමටත් පුහුණු කිරීමටත් උදවු කර තිබෙනවා. මෙම භයානක විදේශ ත්‍රස්ත සංවිධානයේ නාමයෙන් මිනීමැරුම් සිදුකර තිබෙනවා. ඔවුන් ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවනවා. මේ ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන විමර්ශනය නඩු පැවරීම සඳහා අප සම්පූර්ණයෙන් ම ලබාදෙන අතර මෙම විත්තිකරුවන් ඔවුන්ගේ අපරාධ සදහා වගවන බව සහතික කරගැනීමේ අපගේ පොදු පරමාර්ථය හඹායාම සදහා අපි එරට බලධාරීන් සමගින් තවදුරටත් වැඩ කරනවා.ඒ සමග,විදේශ රටවල දී අපගේ පුරවැසියන්ට හානිකරන තැනැත්තන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සදහා එක්සත් ජනපද අධිකරණ පද්ධතිය තවදුරටත් බලවත් මෙවලමක් වන බව මෙම චෝදනාවක් පිළිඹිබු කෙරෙනවා.මෙම සාහසික ප්‍රහාරවල වින්දිතයින් වෙනුවෙන් සහ ත්‍රස්තවාදයේ වින්දිතයින් වූ සියළුම ඇමෙරිකානු ජාතිකයින් වෙනුවෙන් අපි නොනැවතී යුක්තිය සොයා යනවා.
ලොස් ඇන්ජලිස් නුවර එක්සත් ජනපද දිස්ත්‍රික් අධිකරණයේ දෙසැම්බර් 11 වැනි ගොනුකර ලද අපරාධ නඩුකරය, ක්‍රිස්තියානි පල්ලි සහ බටහිර රටවල පුරවැසියන් නිතර යන එන සුඛෝපභෝගී හෝටල් ඉලක්ක කරගනිමින් සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ බලධාරීන්ට සහයෝගය ලබාදුන් FBI ආයතනය විසින් දෙවසරකට ආසන්න කාලයක් සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයයි.
“විදේශ රටක සිදු වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් දේශීයව අද නිවේදනය කළ මෙම චෝදනා,සංචාරය කරන ඇමරිකානු වින්දිතයින් වෙනුවෙන් යුක්තිය ලබාදීමටත් මෙරට සහ විදේශයන් හි ඇමරිකානු ලැදියාවන් ආරක්ෂා කිරීමටත් FBI දක්වන කැපවීම නියෝජනය කරනවා” යනුවෙන් ලොස් ඇන්ජලිස් නුවර FBI ක්ෂේත්‍ර කාර්යාල භාර සහකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටි කේ. ජෙන්සන් පැවසුවා ය.
“දශක ගණනාවක සිට,සහ විශේෂයෙන්ම 9/11 සිදු වූ පසුව, ගෝලීය වශයෙන් ත්‍රස්තවාදයට එරෙහිව සටන්වැදීම සදහා වන පොදු අරමුණ වෙනුවෙන්,විමර්ශනමය අවසානයක් ඇතිකරගැනීමටත් ඒ ඒ රටවල අදාළ පාර්ශව සමගින් සම්බන්ධීකරණය කිරීමටත් FBI ආයතනය ලෝකයේ විවිධ රටවලට නියෝජිතයන් යොදවා තිබෙනවා.අප දිගින්දිගටම බලාපොරොත්තු වන්නේ දේශීයව හෝ විදේශීයව සිදුකෙරෙන සාපරාධි නඩුපැවරීම් ඔස්සේ මේ භයංකර ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී මියගිය හෝ තුවාල ලැබූ සියගණනක් වින්දිතයින් වෙනුවෙන් යම් හෝ අන්දමක සාමයක් ලැබෙනු ඇතැයි යන්නයි.”
මෙම ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක කෙරෙන අනෙකුත් පුද්ගලයින් ද සමගින්, මෙම පැමිණිල්ලේ නම් කර ඇති විත්තිකරුවන් දැනට ශ්‍රී ලංකාවේ රැදවුම් භාරයේ සිටින අතර මේ සම්බන්ධයෙන් එහි දැනට අපරාධ විමර්ශනයක් සිදුකෙරෙමින් පවතියි.
පැමිණිල්ලට අනුව චූදිත විත්තිකරුවන් තිදෙනා සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේදී මිය ගිය ත්‍රස්තවාදීන් අට දෙනා ඇතුළුව මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ අනෙකුත් අය (1) අයිඑස්අයිඑස් කෙරෙහි එහි දෘෂ්ටිවාදය කෙරෙහි අයිඑස්අයිඑස් අරමුණු ඉදිරියට ගෙනයෑමට ප්‍රචණ්ඩ ප්‍රහාර සැලසුම් කිරීම හා දිරිගැන්වීම කෙරෙහි කැපවුණු අයිඑස්අයිඑස් ආධාරකරුවන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීම, පවත්වාගෙන යාම සහ එහි සාමාජිකයන් වශයෙන් කටයුතු කිරීම; (2) පුපුරන ද්‍රව්‍ය සහ IED සංඝටක ලබාගැනීම ; (3) අවසානයේදී ප්‍රහාරයට යොදාගත් වර්ගයේ IED ද ඇතුළුව IED නිපදවීම සහ පරීක්ෂා සිදුකිරීම; (4) ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස් කණ්ඩායම සඳහා තවත් සාමාජිකයන් බඳවාගැනිම; (5) ප්‍රහාරය සිදුකළ අයට සහ ඒ අයගේ සම-කුමන්ත්‍රණකරුවන්ට ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය පරිහරණය සම්බන්ධයෙන් උපදෙස් දීම හා පුහුණු කිරීම සඳහා අයිඑස්අයිඑස් විසින් නිර්මිත පුහුණු ද්‍රව්‍ය යොදාගැනිම; (6) නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අතින් අනාවරණය වීම මගහැර යමින් පාස්කු ප්‍රහාර ඇතුළුව අයිඑස්අයිඑස් නාමයෙන් ප්‍රහාර සඳහා සූදානම් වීමට කණ්ඩායමට රැකවරණ ස්ථාන සම්පාදනය කිරීම ; (7) සාපරාධී කුමන්ත්‍රණ සඟවා තබාගැනීම පිණිස end to end encrypted තාක්ෂණය සහිත විශේෂිත පණිවිඩ යෙදුම් (messaging applications) භාවිතය සඳහා අයිඑස්අයිඑස් විසින් ලබාදී ඇති විධාන පිලිපැදීම ; (8) එම නිලධාරීන්ගේ ගිනිඅවි ලබාගැනීම සඳහා ශ්‍රී ලාංකික පොලිස් නිලධාරීන් දෙදෙනකු මරා දැමීම ; සහ පොලිස් ඔත්තුකරුවකු වශයෙන් සැකකළ තැනැත්තකු මරා දැමීම ඇතුළු විවිධ ක්‍රියා ඔස්සේ අයිඑස්අයිඑස් වෙත සේවාවන් සහ පුද්ගලයන් ඇතුළුව භෞතික සහය ලබාදීමට කුමන්ත්‍රණය කිරීම, ඒවා ලබාදීම සහ ලබාදීමට වෑයම් කිරීම සිදුකර තිබේ.
සාපරාධී පැමිණිල්ලේ නමි කර ඇති විත්තිකරුවන් තිදෙනා පහත දැක්වේ. මේ සියලු දෙනා අයිඑස්අයිඑස් කෙරෙහි පක්ෂපාතී වීමට ප්‍රතිඥාදුන් අය වේ.
මොහොමඩ් නවුෆර්, ශ්‍රී “ලංකාවේ අයිඑස්අයිඑස්” (ISIS in Sri Lanka) යනුවෙන් හඳුන්වාගත් අයිඑස්අයිඑස් ආධාරකරුවන් කණ්ඩායමේ ” දෙවන එමීර්වරයා” වේ. කණ්ඩායමේ ප්‍රචාරක වෑයම් සඳහා නායකත්වය දීම, අයිඑස්අයිඑස් සමගින් සම්බන්ධවීමට තවත් අය බඳවාගැනිම සහ මිලිටරි වර්ගයේ බහුදින පුහුණු මාලාවක් පැවැත්වීම සම්බන්ධයෙන් චෝදනා ඇත.
මොහොමඩ් අනවර් මොහොමඩ් රිස්කාන් පාස්කු ප්‍රහාරවලට යොදාගත් IED නිෂ්පාදනය සඳහා සහය දුන් බවට චෝදනා ඇත.