සම්පූර්ණ සිව්පද කවියෙන් රචනා වූ ‘ස්නේහයේ කඳු හිස කරා’

Share post:

දෙපද කවියක අවසාන පේළියෙන් climax එක මතුකරන ආකාරයේ කවි ලියන ඉන්ද්‍රා ලියනගේගේ ‘ස්නේහයේ කඳු හිස කරා’ කාව්‍ය සංග්‍රහය සම්පූර්ණ සිව්පද කවියෙන් රචනා වූවක්. මේ කවි පොතේ ඇත්තේ, මුහුණුපොතේ අප කියවූ ඇගේ සුපුරුදු දෙපද කවි හෝ ඒ කවිවලට ඉතුරු පද දෙකක් එක් කර සම්පූර්ණ කළ සිව්පද කවි නොවේ, පෙනෙන තරමින් වෙනත් අලුත් සිව් පද කවි.

විමලරත්න කුමාරගම, චින්තක සමන්ගේ, සිව්පද කවිවල ඇති නිරායාස බව, ආඛානමය ස්වභාවය සහ ස්වාභාවෝක්තිය ඉන්ද්‍රාගේ බොහෝ කවිවලට පොදුයි. නිරායාස බව යනුවෙන් අදහස් කළේ, ආයාසයෙන් අසීරුවෙන් හරඹ කරන්නට නොයන, කවිය මැදදී කියවන්නාව ඇනහිටින්නා සේ නොසිතෙන, ඉබේ ගලායන්නා සේ පෙනෙන ලකුණයි. ආඛ්‍යානමය බව නම් කවියෙන් කතාවක් කීමට තැත්කිරීමයි, යම් දීර්ඝ සිදුවීමක කොටසක් ලෙස කවිය ඉදිරිප‍ත් කිරිමයි. යමක ස්වභාවය ඒ ඇති සැටියෙන්ම කීම ස්වභාවෝක්තියයි. නමුත්, එහිත් කවි ගුණය රැඳවීමට ඇය දන්නවා.

මේ කවිවල අරුත් තේරුම්ගැනීමට ටීකා ටිප්පනි අවශ්‍ය නැහැ. පැහැදිලි යි. ගැයිය හැකි වගේ ම, ‍මෙලෙක සහිත යි. ලස්සනයි.

සත් සමුදුරින් එ‍පිටට පා කර යැවුණ
අත්තටු ඇවිත් මලකට හිම මත වැඩුණ
ඇත්ත ම ගස සොයාගෙන මල පිළිසිඳුණ
වත්තට ඇවිත්, දැක මව් ගස ගැන සිහින

(විදෙස් යුවළකට හදාගැනීමට දුන් ලාංකේය බිලිඳිය තරුණවියට පැමිණ දිවයිනට ආ පුවත සහිත කවිපන්තියෙන්)
ඉන්ද්‍රා ලියනගේ ලියන කවි, භාවාත්මකයි. බොළඳයි. සහෘද යි. කවියේ දි, ඉන්ද්‍රා ඉන්ද්‍රා ලෙසින් ම පෙනීසිටිනවා, වෙන අයෙකු වන්නට යන්නෙ නැහැ. ‘අනේ’, ‘දෙවියනේ’ වැනි පද ඒනිසා මෙහි හමුවෙනවා. ඇතැම් කවි ජනකවි වැනී. තවත් කවි හිටිවන කවි වැනි. කොළඹ කවිත් වැනි. ඉන්ද්‍රාගේ රුචිකම් ඒ
පැත්තට නැඹුරු බවයි පෙනෙන්නේ.

ලොකු ම ලොකු හිතක් බර වැඩි නිසයි පිපිරුණේ
පුදුම වෙන්නට දෙයක් නොවෙන්නැති සිදුවුණේ
සුදු ම සුදු අශ්වයෙකු මිනිසෙකු ව මට පෙනේ
පිදුම කන්ථකට, එය වරදක් ද මිතුරනේ?
(මේ පිදුම කන්ථකට)

නිතර වැඩි හරඹ නොකළත් අවැසි තැනදි බල්ටියක් ගසා කරනමක් පාන්නට වුණත් ඇය නොමැළි යි. වචන රිද්මය එක්ක මුහුවෙන්නෙ ඉබේ වගේ. මේ එවැන්නක්.

කුදු වෙමින් බිම දුවන තණ පතක ඇස් ඇර
තුරුවියන් පෙන්වීම විය මඳක් දුෂ්කර
මුඩු බිමින් සුවඳ මල් උපද්දන සැත්කම
බුදු බවින් මෙහා ඇති පිරිසිදු ම වත්කම
(ගුරු හදක් කහ ඉරක් වූ වග)

ඒවගේ ම, සම්පූර්ණ කවි පන්තියක් කියවද්දිටත් වඩා මට මේ කවි පොතේ එයින් තෝරගත්ත කවියක් කියවද්දි වැඩි රසක් දැනෙනවා.

“සිහිනයට එගොඩ වුණු ගඟේ ලී ඒ දණ්ඩ
ගං පතුලෙ ගිලෙන්නැති සොයා අවසන් නින්ද
දුරින් හිඳ කවි කියූ තිරිවානගල කන්ද
තවම ඇති, නොකිය ආ නිසා තව තරහින්ද”
(නොනැවතුණු නැවතුම)

කවියට ගන්න අත්දැකීම්, අනුභූති, තේමා, පසුබිම් කලාප, පවත්නා තැනින් තව ඉදිරියට එනු දකින්න කැමතියි. ගුරුවරයා, තංගමී, පිපෙන මල්… මේ කියන තැන්වල ම ඇය රැඳී සිටිය යුතු නැහැ. ඇයගෙ ඉදිරි කවිවලට නව නිමිති මතුවේවි කියා හිතනවා.

මේ පොතේ සිව්පද කවි පන්ති පුරා විහිද යන විසිරෙන කවි ලකුණු, ඇය දෙපද කවියෙ දි එක තැනකට සියුම් ව වත්කර පෙරා එක් කරන බවයි මගේ අදහස. ඈ දෙපද – කෙටි කවිවලදි, ඒ සීමිත ඉඩකඩ පාවිච්චි කරනවා, දෙවෙනි පදය අවසානය උච්චස්ථානය ලබාගන්නවා මං පෙර කිවු ලෙසින් ම සහ සම්පූර්ණ බලය අතට ගන්නවා, තීව්‍ර වෙනවා. ඒවගේ ම, කවි පොතේ දි සිව්පද කවියෙ දි ඇය පූර්ණ නිදහස භුක්ති විඳිනවා.

ඩිල්ශානි චතුරිකා දාබරේ

Related articles

2014 – 2019 : අපරාධ රාජ්‍යයක සුරේෂ් සලෙයිගේ භූමිකාව !

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයෙන් තුවාන් සුරේෂ් සලෙයි ඉවත් කෙරිණි. ඔහු මීට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ...

ඊබ්‍රාහිම්ගේ පිදුරු ගහේ එල්ලීම සහ මිස්ලීඩින් !

‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ අවස්ථාවට අදාළ දෙමටගොඩ, මහවිල ගාඩ්න්ස්හි පිහිටි නිවසේ පදිංචිව සිටි දෙවැනි සැකකාර...

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...