සම්පූර්ණ සිව්පද කවියෙන් රචනා වූ ‘ස්නේහයේ කඳු හිස කරා’

Share post:

දෙපද කවියක අවසාන පේළියෙන් climax එක මතුකරන ආකාරයේ කවි ලියන ඉන්ද්‍රා ලියනගේගේ ‘ස්නේහයේ කඳු හිස කරා’ කාව්‍ය සංග්‍රහය සම්පූර්ණ සිව්පද කවියෙන් රචනා වූවක්. මේ කවි පොතේ ඇත්තේ, මුහුණුපොතේ අප කියවූ ඇගේ සුපුරුදු දෙපද කවි හෝ ඒ කවිවලට ඉතුරු පද දෙකක් එක් කර සම්පූර්ණ කළ සිව්පද කවි නොවේ, පෙනෙන තරමින් වෙනත් අලුත් සිව් පද කවි.

විමලරත්න කුමාරගම, චින්තක සමන්ගේ, සිව්පද කවිවල ඇති නිරායාස බව, ආඛානමය ස්වභාවය සහ ස්වාභාවෝක්තිය ඉන්ද්‍රාගේ බොහෝ කවිවලට පොදුයි. නිරායාස බව යනුවෙන් අදහස් කළේ, ආයාසයෙන් අසීරුවෙන් හරඹ කරන්නට නොයන, කවිය මැදදී කියවන්නාව ඇනහිටින්නා සේ නොසිතෙන, ඉබේ ගලායන්නා සේ පෙනෙන ලකුණයි. ආඛ්‍යානමය බව නම් කවියෙන් කතාවක් කීමට තැත්කිරීමයි, යම් දීර්ඝ සිදුවීමක කොටසක් ලෙස කවිය ඉදිරිප‍ත් කිරිමයි. යමක ස්වභාවය ඒ ඇති සැටියෙන්ම කීම ස්වභාවෝක්තියයි. නමුත්, එහිත් කවි ගුණය රැඳවීමට ඇය දන්නවා.

මේ කවිවල අරුත් තේරුම්ගැනීමට ටීකා ටිප්පනි අවශ්‍ය නැහැ. පැහැදිලි යි. ගැයිය හැකි වගේ ම, ‍මෙලෙක සහිත යි. ලස්සනයි.

සත් සමුදුරින් එ‍පිටට පා කර යැවුණ
අත්තටු ඇවිත් මලකට හිම මත වැඩුණ
ඇත්ත ම ගස සොයාගෙන මල පිළිසිඳුණ
වත්තට ඇවිත්, දැක මව් ගස ගැන සිහින

(විදෙස් යුවළකට හදාගැනීමට දුන් ලාංකේය බිලිඳිය තරුණවියට පැමිණ දිවයිනට ආ පුවත සහිත කවිපන්තියෙන්)
ඉන්ද්‍රා ලියනගේ ලියන කවි, භාවාත්මකයි. බොළඳයි. සහෘද යි. කවියේ දි, ඉන්ද්‍රා ඉන්ද්‍රා ලෙසින් ම පෙනීසිටිනවා, වෙන අයෙකු වන්නට යන්නෙ නැහැ. ‘අනේ’, ‘දෙවියනේ’ වැනි පද ඒනිසා මෙහි හමුවෙනවා. ඇතැම් කවි ජනකවි වැනී. තවත් කවි හිටිවන කවි වැනි. කොළඹ කවිත් වැනි. ඉන්ද්‍රාගේ රුචිකම් ඒ
පැත්තට නැඹුරු බවයි පෙනෙන්නේ.

ලොකු ම ලොකු හිතක් බර වැඩි නිසයි පිපිරුණේ
පුදුම වෙන්නට දෙයක් නොවෙන්නැති සිදුවුණේ
සුදු ම සුදු අශ්වයෙකු මිනිසෙකු ව මට පෙනේ
පිදුම කන්ථකට, එය වරදක් ද මිතුරනේ?
(මේ පිදුම කන්ථකට)

නිතර වැඩි හරඹ නොකළත් අවැසි තැනදි බල්ටියක් ගසා කරනමක් පාන්නට වුණත් ඇය නොමැළි යි. වචන රිද්මය එක්ක මුහුවෙන්නෙ ඉබේ වගේ. මේ එවැන්නක්.

කුදු වෙමින් බිම දුවන තණ පතක ඇස් ඇර
තුරුවියන් පෙන්වීම විය මඳක් දුෂ්කර
මුඩු බිමින් සුවඳ මල් උපද්දන සැත්කම
බුදු බවින් මෙහා ඇති පිරිසිදු ම වත්කම
(ගුරු හදක් කහ ඉරක් වූ වග)

ඒවගේ ම, සම්පූර්ණ කවි පන්තියක් කියවද්දිටත් වඩා මට මේ කවි පොතේ එයින් තෝරගත්ත කවියක් කියවද්දි වැඩි රසක් දැනෙනවා.

“සිහිනයට එගොඩ වුණු ගඟේ ලී ඒ දණ්ඩ
ගං පතුලෙ ගිලෙන්නැති සොයා අවසන් නින්ද
දුරින් හිඳ කවි කියූ තිරිවානගල කන්ද
තවම ඇති, නොකිය ආ නිසා තව තරහින්ද”
(නොනැවතුණු නැවතුම)

කවියට ගන්න අත්දැකීම්, අනුභූති, තේමා, පසුබිම් කලාප, පවත්නා තැනින් තව ඉදිරියට එනු දකින්න කැමතියි. ගුරුවරයා, තංගමී, පිපෙන මල්… මේ කියන තැන්වල ම ඇය රැඳී සිටිය යුතු නැහැ. ඇයගෙ ඉදිරි කවිවලට නව නිමිති මතුවේවි කියා හිතනවා.

මේ පොතේ සිව්පද කවි පන්ති පුරා විහිද යන විසිරෙන කවි ලකුණු, ඇය දෙපද කවියෙ දි එක තැනකට සියුම් ව වත්කර පෙරා එක් කරන බවයි මගේ අදහස. ඈ දෙපද – කෙටි කවිවලදි, ඒ සීමිත ඉඩකඩ පාවිච්චි කරනවා, දෙවෙනි පදය අවසානය උච්චස්ථානය ලබාගන්නවා මං පෙර කිවු ලෙසින් ම සහ සම්පූර්ණ බලය අතට ගන්නවා, තීව්‍ර වෙනවා. ඒවගේ ම, කවි පොතේ දි සිව්පද කවියෙ දි ඇය පූර්ණ නිදහස භුක්ති විඳිනවා.

ඩිල්ශානි චතුරිකා දාබරේ

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...