සහල් හිඟයක් එයි ද ? : නෑ – ඇමති : ආණ්ඩුවට ගැලවෙන්න බෑ – ගොවීන් : කාබනික ව්‍යාපෘතියේ බලපෑම වැඩියි – බතලගොඩ අධ්‍යක්ෂ

Share post:

පවතින සහල් තොග ලබන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් වන නිසා පිටරටින් සහල් ගෙන්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පැවසීය.

ජනාධිපති කාර්යාලයේ සංවිධානය කර තිබූ විද්වත් හමුවක් අමතමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

ගොවීන්ට අවශ්‍ය පොහොර වර්ග 03ම නිසි වේලාවට ලබාදීමත්, මූල්‍ය සහන ලබාදීමත් හේතුවෙන් පසුගිය මහ කන්නය සාර්ථක වූ බවත්, නියඟය නොමැති අනෙක් පළාත්වලින් ඉහළ අස්වැන්නක් ලැබුණු බවත් ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේ ද පැවසීය.

‘වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය බාරගන්නා විට තිබූ ලොකුම අභියෝගය වූයේ උද්ඝෝෂණ භූමියෙන් ගොවියා නැවත ගොවි භූමිය වෙත ගෙනඒමයි. ඒ වන විට වගා කටයුතු ආරම්භ වී තිබුණා. හෙක්ටයාර 275, 000ක් වගාකිරීමට සැලසුම් කර තිබුණත් පොහොර තිබුණේ නෑ. අනවශ්‍ය ලෙස ජනතාව බියවද්දන බවට ඇතැමුන් චෝදනා කළත් ආහාර හිඟයක් ඇති වන බව අප මෙන්ම ජාත්‍යන්තරය ද ප්‍රකාශ කළා. කෙසේ හෝ ගොවියා යළි ගොවි බිම වෙත යොමුකිරීමට අපට හැකි වුණා.

ඒ අනුව වසර 10 කට පසු යල කන්නයේ දී හෙක්ටයාර 512,000ක් වගාකිරීමට අවස්ථාව ලැබුණා. ඉන්පසු මහ කන්නයේ දී හෙක්ටයාර ලක්ෂ 08කට ආසන්න ප්‍රමාණයක් වගා කළා. එම වසරේදී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් අප රටින් ගෙනාවා. නමුත් මේ වසරේදීත් ඒ අයුරින් සහල් ගෙන්වීමට සිදු වූවා නම් විශාල ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවෙනවා. මොකද මේ වන විට ඉන්දියාව සහල් අපනයනය තහනම් කර තිබෙනවා.’

ඇමතිවරයාගේ ගැලවීමේ උපක්‍රම

කෙසේ වෙතත් ඇමතිවරයා පළකරන අදහස් සම්බන්ධයෙන් ගොවි සංවිධාන පෙන්වාදෙන්නේ ගොවීන් ඉතා අසීරුවෙන් මෙම යල කන්නයේ අස්වැන්න ලබාගත් බවයි. විධිමත් ලෙස පොහොර ලබානොදීම, නිසි කාලයට පොහොර ලබානොදීම, ඉහළ මිල ගණන්වලට පෞද්ගලික ව්‍යාපාරිකයන්ගෙන් පොහොර මිලදීගැනීමට සිදු වීම, ජලය මුදාහැරීමේ කටයුතු විධිමත්ව සිදුනොකිරීම වැනි අභියෝග රැසක් මධ්‍යයේ ගොවීන් කටයුතු කළ බවයි.

ආණ්ඩුවේ මෙම අසමත්කම් සියල්ල නියඟය පිටින් දමා වසාගැනීමට ඇමතිවරයා දරන උත්සාහය පිළිකුල් බව ද ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.

මෙරට සහල් අවශ්‍යතාව

මෙරට වාර්ෂික සහල් පරිභෝජන අවශ්‍යතාව හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 2.4ක් බව බතලගොඩ පිහිටි වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක සඳහන් කරයි.

‘වී කොටද්දි මෙහෙම දෙයක් තියෙනවා සාමාන්‍යයෙන්. හොඳටම පොලිෂ් කළොත් වී කිලෝ 100කට හාල් ලැබෙන්නේ කිලෝග්‍රෑම් 60ක ප්‍රමාණයක්. වාර්ෂිකව මෙරට වගා කරන කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 12 -13කට ආසන්න වෙනවා. එතකොට එහිදී සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 4.5 කියලා ගත්තත්, ඇත්තටම ලංකාවෙ අතිරික්ත සහල් නිෂ්පාදනයක් එනවා හැම කන්නයකදිම.

නමුත් පසුගිය කාලසීමාවෙදි එහි අඩුවක් වුණා කාබනික පොහොර යොදාගැනීම නිසා. 2021 වසරේ ගත්ත දත්ත අනුව බැලුවම රටේ සහල් නිෂ්පාදනයේ අතිරික්තයක් තිබුණා මෙට්‍රික් ටොන් මිලියන 0.8ක වගේ. ඒ කියන්නෙ අවශ්‍යතාවට වැඩිය සහල් තිබෙනවා අපිට.’

සහල් හිඟයක් ?

පවතින වියළි කාලගුණික තත්ත්වය මත ඉදිරියේදී රටේ වී අස්වැන්නේ අඩුවීමක් හෝ සහල් හිඟයක් ඇතිවීමේ හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන් කළ විමසීමකදී අධ්‍යක්ෂවරයා මෙසේ පැවසීය.

‘ඇත්තටම දැනට තියෙන දත්ත මත අපගේ ආර්ථික විශ්ලේෂකයන් සමග ඒ ගැන විශ්ලේෂණය කළා. ගිය මහ කන්නයෙන් සහ මෙවර යල කන්නයෙන් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන අස්වැන්න ගත්තොත් අපිට ඇත්තටම මාස 13කට අවශ්‍ය සහල් තියෙනවා.’

සහල් මෝල් හිමියන්

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් සතුව ඇති වී තොග සම්බන්ධයෙන් නිවැරදි සංඛ්‍යා ලේඛන රජය සතු ව නොමැති බවයි. ඔවුන් නිවැරදි දත්ත රජයට ලබානොදීම මෙවැනි තීරණාත්මක අවස්ථාවලදී දැඩි බලපෑමක් එල්ල කරන බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඉන්දීය තහනම

ඉන්දියාව සහල් අපනයනය තහනම් කිරීමට ගත් තීරණයෙන් ශ්‍රී ලංකාවට යම් බලපෑමක් ඇතිවේද යන්න සම්බන්ධයෙන් බීබීසී මාධ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයෙන් විමසීමක් කර තිබිණි.

ඊට පිළිතුරු දෙමින් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කර තිබුණේ මෙරටට පසුගිය වසරේ දී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරිමට කටයුතු කළ බවත්, ඉන් සියයට 95ක ප්‍රමාණයක් ආනයනය කරනු ලැබුවේ ඉන්දියාවෙන් බවත් ය.

‘මේ වෙනකොට ලංකාවට සහල් ආනයනය කිරීම තහනම් කරලා තියෙන්නෙ. මේ වෙද්දි රටේ සහල් තොග තිබෙනවා ඉදිරි පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට. නමුත් සහල් අතිරික්තයක් නැහැ. ඉන්දියාව සහල් අපනයනය සීමාකිරීමට ගත් තීරණය නිසා අපට සහල් අවශ්‍ය වුවහොත් පාකිස්තානය, බුරුමය හෝ වියට්නාමය වැනි රටවලට යන්න වෙනවා. නමුත් ඉන්දියාව එක්ස්පෝර්ට් බෑන් කළාට පස්සේ වියට්නාමයත් සහල් අපනයනය තහනම් කළා කියලයි මම හිතන්නෙ.’

වැඩිදුරටත් බීබීසී සමග අදහස් දක්වමින් ඔහු එසේ ද පවසා තිබිණි.

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ  ඉන්දියාව පනවා ඇති සහල් අපනයන තහනම හේතුවෙන් මෙරටට අවශ්‍ය කරනු ලබන බාස්මතී වැනි සහල් වර්ග ආනයනය කිරීමේ යම් ගැටලුවක් පැන නැගිය හැකි බවයි. ඒ හැර ජනතාව විසින් එදිනෙදා ‍පරිභෝජනයට ගනු ලබන නාඩු සහ සම්බා සහල් වර්ග රට තුළ පවතින බැවින් ඒවා ආනයනය කිරීමට අවශ්‍ය නොවන බව ද එම නිලධාරියා සඳහන් කළේය.

කුඹුරු අක්කර 50,000කට හානි

දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට කුඹුරු අක්කර 50,000කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මාධ්‍ය වෙත පවසා තිබිණි.

අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ පවතින වියළි කාලගුණය හේතුවෙන් වැඩිම කුඹුරු ඉඩම් ප්‍රමාණයක් හානියට පත්ව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බවයි. එමෙන්ම හම්බන්තොට, පොළොන්නරුව, අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ද කුඹුරු ඉඩම් හානියට පත්ව ඇති බව ඔහු පවසා තිබිණි. දැනට පවතින තත්ත්වය මත යල කන්නයේ වී අස්වැන්න සියයට 10කින් පමණ අඩු වනු ඇතැයි ද ලේකම්වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙන්වා දී තිබිණි.

කාබනික පොහොර ව්‍යාපෘතිය

බතලේගොඩ පිහිටි වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පෙන්වා දෙන්නේ කාබනික පොහොර ව්‍යාපෘතිය හේතුවෙන් පැහැදිලිවම අස්වැන්න අඩුවීමක් සිදු වූ බවයි. එහි අධ්‍යක්ෂවරයා ඒ සම්බන්ධයෙන් මෙසේ පැහැදිලි කළේය.

‘ඇත්තටම මට මතක විදිහට මුලින්ම හෙක්ටයාර එකකට මෙට්‍රික් ටොන් 2.8කට වගේ ආසන්න අස්වැන්නක් ලැබුණා. ඊටපස්සෙ හෙක්ටයාර එකකට මෙට්‍රික් ටොන් 2.6කට වගේ අස්වැන්නකට ගියා. ඊටපස්සෙ එය හෙක්ටයාර එකකට මෙට්‍රික් ටොන් 3.6ක අස්වැන්නකට ගියා. අපේ සාමාන්‍යයෙන් 2021 වෙද්දි තිබුණේ හෙක්ටයාර් එකකට වී අස්වැන්න මෙට්‍රික් ටොන් 4.75ක් වගේ. මේක කලාපයේ වැඩිම අස්වැන්නක් බංග්ලාදේශය ළඟට.

පොහොර නොයෙදීම සහ නුසුදුසු කාබනික පොහොර යෙදීම නිසා මේ අස්වැන්න බාගයකට වඩා අඩුවුණා පළමු අවස්ථාවෙදි. ඊටපස්සෙ මේ අස්වැන්න අඩු වුණා.’

Related articles

2020 මහ මැතිවරණය මතකද? : රවී – ශානි මේ වෙලාවෙ ගන්න ඕනෙ නෑ : නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ...

‘මිනිස්සු උපතින්ම ප්‍රචණ්ඩ නෑ. ප්‍රචණ්ඩත්වය කියන්නේ සංස්කෘතික දෙයක්’ – Horizon: An American Saga – Chapter 1

ඇමරිකානු භූමිය කියන්නේ රතු ඉන්දියානුවන් සහ ඇපාචි වගේ ස්වදේශිකයන්ට අයිතිව තිබුණු ඔවුන් ඉතා සාමයෙන් වාසය කළ භූමියක්. හැබැයි...

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...