පරිසරවාදය සහ පරිසර දේශපාලනය සඳහා දාර්ශනික එළඹුමක් ! – වෛද්‍ය ප්‍රසන්න කුරේ

Share post:

වෛද්‍ය ප්‍රසන්න කුරේ

වෛද්‍යවරයෙකු, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලකයෙකු, පර්යේෂකයෙකු, ගවේෂකයෙකු, මාධ්‍යවේදියෙකු, පරිසරවේදියෙකු, ලේඛකයෙකු ඇතුළු භූමිකා රැසක් නියෝජනය කළ විද්වතෙකු වූ වෛද්‍ය ප්‍රසන්න කුරේ අද (24) අභාවප්‍රාප්ත වූ අතර, මෙය ඔහු විසින් ලියන ලද අවසාන ලිපි කිහිපය අතරින් මෙතෙක් පළනොවූ ලිපියක් ලෙස සැලකිය හැකිය. වෑකඳවල රාහුල හිමියන් වෙත ප්‍රසන්න කුරේ විසින් යොමුකරන ලද මෙම ලිපිය, www.thetime.lk වෙත ලබාදුන්නේ උන්වහන්සේ විසිනි.

අද වන විට අප රට පමණක් නොව මුළු සමස්ත ලෝකයම විශාල පාරිසරික අර්බුදයකට මුහුණ දී ඇත. එහි අවසන් ප්‍රතිඵලය ලෙස (අද අප ජෛවගෝලය මුහුණ දෙන දෙන තවත්  පාරිසරික ගැටළු ගණනාවකට අමතරව) ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම හා දේශගුණික විපර්යාසය අද වන විට දීර්ඝකාලීන ලෙස සමස්ත ලෝකයම මුහුණ දෙන  ප්‍රධානතම ගැටලුව බවට ව ඇත.

සමස්ත ගෝලීය  පරිසර විනාශය අඩුම වශයෙන් සියවස් තුනක් හෝ හතරක් තිස්සේ සිදුවෙමින් පවතින ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. විශේෂයෙන්ම මෙය කාර්මික විප්ලවයේ ප්‍රධානතම අතුරුඵලයක් ලෙස සැලකිය හැක. (ගෝලීය පරිසර විනාශයේ අනාගත අභියෝග පිළිබඳව මුලින්ම සඳහන් කළ අය අතර කාල් මාක්ස් විශේෂිත ය. 1848 ඔහු විසින් පළ කළ පළමු Communist Manifesto හී මෙය පැහැදිලිව සදහන් වේ.)

  • සමස්ත පරිසර විනාශයේ එකම හේතුව කාර්මික විප්ලවය ද? 
  • එය වලකා ගැනීමට විශේෂයෙන්ම සාපේක්ෂව වඩාත් “දියුණු” බටහිර ලෝකයට නොහැකිවුනේ ඇයි? 
  • ඒ සදහා අවශ්‍ය දාර්ශනික පසුබිමක් ඔවුනට / ලෝකයට තිබුණිද? 
  • එසේ නැත්නම් එහි අවශ්‍යතාවයක් ඇත්ද ?

මේ අද අප උත්තර සැපයිය යුතු ප්‍රශ්න අතරින් කීපයක් පමණි.

මේ අතරින් “දාර්ශනික ප්‍රශ්නය” වඩාත්ම වැදගත් ප්‍රශ්නය වනු ඇත. එයට උත්තරයක් සොයාගැනීම සහ එම උත්තරයේ පරිපූර්ණත්වය අප අනාගතයේදී ගොඩනගන පරිසර කේන්ද්‍රීය සමාජ ආර්ථික දේශපාලනික දර්ශනයේ පදනම සහ පැවැත්ම තීරණය කරනු ඇත.

පුරාතන පෙරදිග චින්තනය සහ එයින් පෝෂණය වූ පෙරදිග  ආගම්, පරිසරය මූලික වූ සමාජ ආර්ථික දේශපාලනික දර්ශනයක් ලෝකයට උරුම කර දී ඇත. (අවාසනාවකට නූතන සමාජය විසින්  western hegemony ය වැළද ගැනීම තුළ බටහිර මූලික කරගත් චින්තන රටාවකට සහ ජීවන රටාවකට ක්‍රමයෙන් අනුවර්තනය වීම තුළ විශේෂයෙන්ම දැනට පරම්පරා දෙකක් හෝ තුනක් තුළ සියවස් ගණනක් තුළ පෝෂණය වූ පෙරදිග දර්ශනය සහ ජීවන රටාව ප්‍රතික්ෂේප කිරීමටත් එය අවමානයට ලක් කිරීමටත් යොමු වී ඇත. ඒ අතර නූතන බටහිර චින්තනය සහ ජීවන රටාව හා සම්බන්ධව ඇසිය යුතු අනෙක් වැදගත් කරුණ විය යුත්තේ එයට පදනම් වූ දාර්ශනික එලබුම කුමක්ද යන්නයි (what is the philosophy that guides western ideology)? 

බටහිර චින්තනයට හේතු පාදක වූ පැහැදිලි  චින්තනයක් කිසිදු විටෙක තිබුණා දැයි යන්නම ප්‍රශ්නයකි. 

“භෞතිකවාදයෙන් පරිබාහිර යථාර්ථය” බටහිර චින්තනය තුළ සෑම විටම ප්‍රශ්නයක් ලෙස තිබුණි.

රෙනේ ඩෙකාට්ගේ “I think therefore I am” ප්‍රසිද්ධ වදන තුළ දක්නට ඇත්තේ මෙය නොවේද ? 

බර්ට්‍රන්ඩ් රසල් ගේ History of Western Philosophy මේ අඩුව ඊට බොහෝ කලකට පසුව පුරවන්නට ගත් උත්සාහයක් යයි මම සිතමි. 

නූතන බටහිර චින්තනය කෙතරම් දුරට පුරාණ ග්‍රීක රෝම චින්තනයෙන් පෝෂණය ලබා ඇත්ද ? 

එහි පැවැත්මට පසු කලෙක ක්‍රිස්තියානි ආගම සහ නූතන විද්‍යාව හා තාක්ෂණය කෙබඳු ලෙස බලපා තිබේ ද?

පසු කලෙක බටහිර ශිෂ්ටාචාරය තුළ ගොඩ නැගෙන ධනවාදය, සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, ලිබරල් වාදය සහ (බටහිර) හරිතවාදය සහ පරිසරවාදය ආදී බොහෝ දුරට එකිනෙකට වෙනස් මතවාද ඇතිවීම තුළම පෙන්නුම් කරන්නේ මේ (දාර්ශනික) අඩුව නොවේද?

එය එසේ නම් (ලෝකය පුරාම) අද මේ ඇති වී තිබෙන සමස්ත සමාජ ආර්ථික දේශපාලනික පාරිසරික අර්බුදය බටහිර හෙජමනිය දිගින් දිගටම පවත්වාගෙන යෑම මගින් නිර්මාණය වූ  ගැටලුවක් නොවේද ?

එය එසේ නම් මේ ගැටළුවට සොයන විසදුම් මේ ක්‍රියාවලිය පිළිබඳව සංවේදී වී මෙයින් මතවාදීව පරිබාහිරව සිදුවිය යුතු යැයි මම සිතමි. 

ඒ සඳහා සංකල්පමය එළඹුම වසර දහස් ගණනක් අඛණ්ඩව අද දක්වා පවතින පුරාතන පෙරදිග දර්ශනවාදයන් වන සනාතන ධර්මය (වසර 5000 ට වැඩි) , බෞද්ධ ධර්මය (වසර 2500 ට වැඩි) සහ අනෙකුත් පෙරදිග  ධර්මතාවයන් ඇසුරෙන් ගොඩනැඟිය හැකි යැයි මම යෝජනා කරමි.

නූතන (බටහිර) විද්‍යාව හා තාක්ෂණය සහ පුරාතන පෙරදිග ධර්මතාවන් සහ තාක්ෂණය අතර පැහැදිලි සෛධාන්තික වෙනස්කම් ගණනාවක් ඇත. (මෙය ලයිස්තුගත කිරීම අප හට  හොඳ ක්‍රියාකාරකමක් විය හැක).

මෙහි ලා සෛධාන්තික (fundamental) වෙනස්කම් ලෙස මා හදුනා ගන්නා මූලිකම කරුණ වනුයේ මනුෂ්‍ය මනස (human mind) සම්බන්ධව දෙපාර්ශවය දරන මතයන්  හී ඇති පරස්පරතාවයන් ය.

උදාහරණ ලෙස :

බටහිර චින්තනයට/ විද්‍යාවට අනුව “මනස”ට හිමි වනුයේ ඉතා අඩු වැදගත්කමකි. (Descartes දකින්නෙත් මේ ප්‍රශ්නයමයි). පංච ඉන්ද්‍රිය පදනම් වූ  (five senses based) දැනුමක් බටහිර විද්‍යාවට අනුව විග්‍රහ කෙරෙතත් පෙරදිග චින්තනයට/ විද්‍යාවට අනුව එය සළායතන පදනම් වූ දැනුමකි. හයවන ආයතනය “මනස” වන අතර මෙය සෙසු සියලු භෞතික ඉන්ද්‍රීන් ට වඩා විශේෂ ස්ථානයක් ගනී.

මනස පෙරදිග චින්තනයට අනුව “අධ්‍යාත්මය” ද (spirit) වේ. 

බෞද්ධ දර්ශනයට අනුව මානසික ඒකාග්‍රතාවය (mental concentration)  මිනිසා ලැබිය හැකි  සුපිරිම තත්ත්වය වන අතර එය බෞද්ධයන් ගේ ජීවිත අභියෝගය ද වනු ඇත.

එසේම එය සනාතන ධර්මය ට අනුව විශ්වයේ සහ මනුෂ්‍යයාගේ (ජීවීන්ගේ) පොදු සවිඥානය (consciousness) වන අතර එය පරමාත්ම-ජීවාත්ම ද්විත්වය (duality) ලෙස විග්‍රහ කෙරේ. එහි සුසංයෝගය (coexistence) සනාතන ධර්මය ට අනුව මනුෂ්‍ය ජීවිතයේ සුපිරි ඵලය වේ. එමගින් බලාපොරොත්තු වනුයේ මානවයා  පරිසරයේ සංඝටකයක් බවත්, එයට යටත් (subordinate) බවත්, එයට අනුගතව, එය රකිමින් හා එයට බාධාකාරී නොවන ලෙස ජීවත් වීමෙන් ඔහුට  මෝක්ෂ ලබාගත හැකි බවත්ය.

පරිසරය සහ පරිසර  සංරක්ෂණය පිළිබදව බුදුදහමෙහි විශාල වශයෙන් කියවේ. බුදු දහමේ ඉගැන්වීම් සහ විකාශනය ද පරිසර මූලික  යයි කෙනෙකුට කිව හැක. උදාහරණයක් ලෙස බුදුන්ගේ උත්පත්තියේ සිට බුද්ධත්වය ලැබීම පිරිනිවන් පෑම යන ප්‍රධාන සන්ධිස්ථාන සියල්ලක්ම පරිසර මූලිකව විග්‍රහ කෙරේ. එසේම පරිසරය රැකීම පිළිබඳව විනය පිටකයේ විශේෂයෙන් කියවේ. පරිසර මූලික උපහැරණ මගින් විවිධ සූත්‍ර විග්‍රහ කෙරේ. (මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡාවක් අප අතර  සිදුවිය යුතුය). 

මේ අනුව අපට කිව හැක්කේ බෞද්ධ දර්ශනය සහ බුද්ධ ධර්මය ඉතා පරිසර කේන්ද්‍රිය බවයි.

පරිසර කේන්ද්‍රීය ජීවන රටාවක සහ සංවර්ධනයක සිට පරිසර විනාශකාරී ජීවන රටාවකට සහ සංවර්ධනයකට අප  අවතීර්ණ වීමට මූලික හේතුව ලෙස මා දකින්නේ  බටහිරය විසින් අප හට ලබාදුන් “නූතන විද්‍යාව” ලෙස හඳුන්වන විෂය පථය සහ සංවර්ධන ක්‍රියාමාර්ගය කිසි ප්‍රශ්න කිරීමකින් තොරව අප කරපින්නා ගැනීමය. (මෙය ඉන්දියාව, චීනය,  ජපානය  ඇතුළු ඇතැම් ආසියාතික රටවල එයාකාරයෙන්ම සිදුනොවිය).

“නූතන විද්‍යාව” ලෙස අද අප හදුන්වන ප්‍රධාන වශයෙන්ම බටහිර කේන්ද්‍රිය කොටගෙන සංවර්ධනය වූ විෂය පථය පරිපූර්ණ දර්ශනයකින් තොරවීම නිසා එය පත්ව ඇති අර්බුදය මා මීට පෙර සදහන් කළෙමි. මෙය Descartes සිට Russell දක්වා විවිධ දාර්ශනිකයන් කළ කී දේ මගින් ප්‍රත්‍යක්ෂ කර ගත හැක. දර්ශනයකින් මෙහෙය නොවුනු නූතන විද්‍යාව විද්‍යාවට වඩා “තාක්ෂණයක්” බව මම සිතමි. (එසේ නොවේ නම් එමඟින් පරමාණු බෝම්බය සහ ඉන් පසුව ඇතිවුණු අති විනාශකාරී නිර්මාණ කිසිවක් ඇති නොවනු ඇත).  

(එසේම නූතන විද්‍යාවට ධාර්මික පදනමක් සැපයීමට ක්‍රිස්තියානි ආගමට හැකි නොවිණි. 

ඊට එක් හේතුවක් ලෙස මා දක්වන්නෙ අද භාවිතා වන ක්‍රිස්තියානි ධර්මය ජේසු වැදෑරූ ධර්මයට වඩා පාවුලු තුමා වැදෑරු ධර්මය වීමත්, අද භාවිතා වන බයිබලය ප්‍රධාන කොටම සාන්ත අගොස්තීනු තුමා (Augustine of Hippo) විසින් සම්පාදනය කළ ලියැවිල්ලක් වීමත්ය. මේ නිසා ජේසුතුමාගේ සැබෑ ක්‍රිස්තියානි ධර්මය අද ක්‍රිස්තියානි ධර්මය හෝ බයිබලය තුළ පිළිබිඹු නොවේ).

එසේම බටහිර ශිෂ්ටාචාරයන්ගේ විකාශනය සඳහා වැදගත් වූ ග්‍රීක දර්ශනය පසු කලෙක ක්‍රිස්තියානි ව්‍යාප්තවාදය විසින් වනසන ලදී. (ක්‍රි.ව. 415 දී ඇලෙක්සැන්ඩ්‍රියාවේදී ක්‍රිස්තියානි පල්ලිය විසින් මරා දමනු ලබන Neoplatonist දාර්ශනිකයෙකු සහ ගණිතඥ / තාරකා විද්‍යාඥ වරියක වූ Hypatia මේ සඳහා වැදගත් එක් නිදසුනක් පමණි). පසු කාලයක ලෝකය පුරා කතෝලික සහ ක්‍රිස්තියානි ආගම් බලහත්කාරයෙන් ව්‍යාප්තකිරීම සිදුකෙරුණු අතර ඒ සදහා පුරාතන ආගම් සහ දැනුම පසුගාමී  ලෙස දැකීම මහඟු පිටුවහලක් විය.

කෙසේ නමුත් ජේසුතුමාගේ මුල් ඉගැන්වීම් තුළ පරිසර සංවේදීතාවය සහ ප්‍රගතිශිලීත්වය පැහැදිලිව පෙනෙන්නට තිබුණි. උදාහරණයක් ලෙස “පක්ෂීන් වපුරන්නේ වත් අස්වැනු රැස් කරන්නේවත් නැත” යන උපමාව (මතෙව් 6:23) මගින් අධි පරිභෝජනයෙන් තොර සරල ජීවන රටාවක වැදගත්කම පිළිබඳව එතුමා විස්තර කරයි. “ලුණු රස නැති ලුණු” (මතෙව් 5:13)  පිලිබද උපමා කතාව මගින් ලෝකයේ මූලික සංඝටක වල මූලික ගුණාංග එයාකාරයෙන් පැවැත්මේ ඇති වැදගත්කම පිළිබඳව කතා කරයි. එසේම තම අනුගාමිකයන් තුළ තිබිය යුතු ප්‍රගතිශිලීත්වය පිළිබදව ශු. පීතර තුමාට “මසුන් අල්ලන්න නොව මිනිසුන් අල්ලන්නන්” (ලූක් 5: 1-11)  වන්නට යෝජනා කිරීමෙන් පෙන්වා දී ඇත. එසේම ජේසුතුමා තම තරුණ කාලය (වයස 12 – 30 අතර) ඉන්දීය උප මහද්වීප කලාපයේ වාසය කරමින් ඉන්දීය යෝගි සහ ඍෂිවරුන්ගේ ආශ්‍රයෙන් තම දැනුම වර්ධනය කර ගත් බවට ද පුරාවිද්‍යා සාක්ෂි ඇත. (Jesus Lived in India : Holger Kersten) (මෙය මා දන්නා පරිදි ක්‍රිස්තියානීන් විසින් ප්‍රතික්ෂේප කරයි).

ඉතා කර්කශක පරිසරයක බිහිවන ඉස්ලාම් ධර්මය තුළ ද ගස්කොලන් පිළිබදව වැඩිපුර කතා නොවුනත් විශේෂයෙන් පරිසරයේ ආහාරයට ගන්නා සතුන් පිළිබඳව අනුගමනය කළ යුතු  පැහැදිලි චාරිත්‍ර සහ වතාවන් පිළිබඳව සදහන් වේ. උදාහරණ ලෙස මළ සතුන් අනුභව නොකිරීමටත් ආහාර පිණිස සතුන් මැරීමේදී අනුගමනය කළජෛව තුලනය රැකීම සහ නාස්තිය අවම කිරීම එහි එක් පරමාර්ථයක් වේ. උදාහරණයක් ලෙස ගවයකු මැරිය හැක්කේ 400 දෙනෙකු සදහා වේ. හතළිස් දෙනෙකු සදහා එළුවකුද 7 දෙනෙකු සදහා කුකුළකු ද මැරීම අනුමත කර ඇත. 

අද ලෝකයේ දැකිය හැකි  ධනේශ්වර අර්ථ රටාව සහ අධි පරිභෝජන ජීවන රටාව මානව ශිෂ්ටාචාරය හසුරුවීම සදහා අවශ්‍ය දාර්ශනික හෝ මතවාදී ප්‍රවේශයක් නොමැතිකම නිසා අයාලේ යන තත්ත්වයකට පත්ව ඇති අතර එය මේ වන විට සමස්ත භෞතික සහ ජෛවී පරිසරයට විශාල හානීන් ප්‍රමානයක් සිදු කර ඇත. මේ පිළිබඳව දැනුවත් භාවයෙන් අනාගත සමාජ ආර්ථික  දේශපාලනික ගමන් මග හැඩගස්වා ගැනීමෙන් මේ විනාශකාරී ගමන අවසන් කිරීමට හැකි වනු ඇත.

(මෙය මූලික සංකල්පමය අදහස් දැක්වීමක් පමණි. සාකච්ඡාමය වැඩපිළිවෙලකින් කාගේත් දායකත්වයෙන් මෙය වැඩි දියුණු කිරීමට යෝජනා කරමි.)

Related articles

‘මිනිස්සු උපතින්ම ප්‍රචණ්ඩ නෑ. ප්‍රචණ්ඩත්වය කියන්නේ සංස්කෘතික දෙයක්’ – Horizon: An American Saga – Chapter 1

ඇමරිකානු භූමිය කියන්නේ රතු ඉන්දියානුවන් සහ ඇපාචි වගේ ස්වදේශිකයන්ට අයිතිව තිබුණු ඔවුන් ඉතා සාමයෙන් වාසය කළ භූමියක්. හැබැයි...

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...