(iHeart රේඩියෝ ආයතනය මඟින් බ්‍රයන් බොයිඩ් නම් ව්ලැදිමියර් නබොකෝ හැදෑරූ මහාචාර්‍යවරයා ඇතුළු පිරිසකගේ උදව් සහිත ව 2020 වසරේ නිෂ්පාදනය කළ Lolita Podcast නම් රේඩියෝ වැඩසටහනෙහි දී ලොලීටා චිත්‍රපට සහ හොලිවුඩ් අරභයා සිදු වූ කතාබස්වල සමහර කරුණු මෙයට අන්තර්ගත ය)
“How did they ever make a movie of Lolita” යන වැකිය මුල් කොටගෙන, හදවතක හැඩගත් ලොලිපොප් එකක් මුවඟ රඳවාගෙන, හදවත් දෙකක හැඩගත් අව් කණ්ණාඩියක් පැළඳ සිටින එවක තුදුස් වියැත්තියක ව සිටි සූ ලයන් රඟපෑ, ස්ටැන්ලි කුබ්‍රික් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය 1962 වසරෙහි දී තිරගත වන්නට පෙර සිට ම ලොලීටා හි කතුවරයා වන ව්ලැදිමියර් නබොකෝ සිය පොත පිළිබඳ දැරූ අදහසට හාත්පසින් ම වෙනස් වූ අතර, නබොකෝ හට අවැසි නොවූ වැරදි අර්ථකතනයක් ලොලීටා හට ලැබී අවසන් ව තිබිණි. මෙකී චිත්‍රපටයට පාදක වූ තිර පිටපත ස්ටැන්ලි කුබ්‍රික් අතින් සහ ව්ලැදිමියර් නබොකෝ අතින් ලියැවුණක් ලෙස සඳහන් කෙරුණ ද, 1960 ගණන්වල දී සිදුවූ සිදුවීම් ඊට තරමක් වෙනස් ය. ස්පාටකස් නම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමෙන් පසු, ලොලීටා කියවන්නට ලැබුණු තරුණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ ස්ටැන්ලි කුබ්‍රික්, ලොලීටා තිරයට නැඟිය යුතු යි කියා ද, එහි පිටපත ව්ලැදිමියර් නබොකෝ අතින් ලියැවිය යුතු යි කියා ද සිතී ය. ව්ලැදිමියර් නබොකෝ, ලොලීටා තමා පස් වසරක් වැය කර ලියූ සම්පූර්ණ යමක් ලෙස දිටී ය. තමාගේ ම නවකතාව තමා ම නැවතත් “අතපතගාන්නට යෑම” නුසුදුසු යි කියා සිතූ හේ, තම විනෝදාංශය වූ සමනලවේදය කෙරෙහි අවධානය යොමු කළේ ය. මඳ කලක් ගොසින්, සමනලුන්ගෙන් සිය අවධානය වෙන’තකට මඳකට යොමු කළ නබොකෝ, පිටපතක් ලිවීම ඇරඹී ය. අවසන, හෙතෙම පිටු හාරසියයකින් යුතු තිර පිටපතක් කුබ්‍රික් ට පිරිනැමී ය. එය පැය හතකට ආසන්න චිත්‍රපටයකට සෑහෙන තිර පිටපතකැයි කී කුබ්‍රික් සහ චිත්‍රපටයෙහි නිෂ්පාදකයා වූ ජේම්ස් බී. හැරිස්, පිටපත තවත් කෙටි කරන මෙන් නබොකෝ හට පැවසී ය. ඉන්පසු, පිටු දෙසියයක තිර පිටපතක් නබොකෝ ලබා දුන් නමුත්, එයට ද ඔවුන් එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඉන්පසු, හැරිස් සහ කුබ්‍රික්, නබොකෝගේ පිටපතෙහි සමහර තැන් උපයෝගී කරගෙන චිත්‍රපට තිර පිටපත රචනා කළා යැයි සැළකේ. 1955 වසරෙහි දී ලොලීටා ප්‍රකාශනය වන්නට පෙර, පොත් සමාගම් ලොලීටා අත් පිටපත ප්‍රතික්ෂේප කරනු ලැබුවේ එහි අන්තර්ගතය නිසාවෙනි. එසේ නම් 1962 වසරෙහි ප්‍රථම වරට තිරගත වූ ලොලීටා රූගත කිරීමෙහි දී කුබ්‍රික් හට කොපමණ ගැටලු තොගයකට මුහුණ පාන්නට සිදු වන්නට ඇත් ද?
ඉන් ප්‍රධානත ම ගැටලුව වූයේ පොතෙහි අන්තර්ගතය හරිහැටි තිරයට නැඟීමට අපහසු වීම ය. ලොලීටා හි දොළොස් හැවිරිදි ඩොලෝරස් හේස් සහ අවුරුදු 37 කට ආසන්න වයසක් දරන හම්බර්ට් හම්බර්ට් අතර හට ගන්නා සිදුවීම් තිරයට නැඟීම උගහට ය. කුබ්‍රික් ද මෙය පසුකාලීන ව සඳහන් කරන්නේ ය. ඔහුට අනුව, ලොලීටා සාර්ථක නොවුණේ එවක පැවති Hays Code නම් ව්‍යවස්ථාමාලාව නිසාවෙනි. බොහෝ පාඨකයින් කුබ්‍රික් ගේ ලොලීටා චිත්‍රපටයට කැමැත්තක් දක්වන්නේ නැත. නබොකෝ පවා චිත්‍රපටයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් ඔහු එය මුළුමනින් ම ප්‍රතික්ෂේප කළේ ද නැත. කුබ්‍රික්, චිත්‍රපටය පිළිබඳ ව බෙහෙවින් රහස්‍ය පිළිවෙතක් අනුගමනය කළේ ය. නබොකෝ ද සම්පූර්ණ චිත්‍රපටය දුටුවේ එය තිරගත වන්නට දින කීපයකට උඩ දී ය. නබොකෝ චිත්‍රපටය ගැන පැවසුවේ මෙවැන්නකි: “චිත්‍රපටියෙ තිබුණු ගොඩක් සිදුවීම්, මම කුබ්‍රික් ට ඉතා ප්‍රවේශමෙන් තෝරලා දීපු සිදුවීම් තරම් හොඳ ඒවා නෙවෙයි. කිසි කමකට නැති නිෂ්පාදනයකින් ලැබෙන හිරිහැර දරා ගන්න ගමන්, මාස හයක් ම ඒ කමකට නැති නිෂ්පාදනයේ ක්‍රමික විකාශනය දිහා බලාගෙන ඉන්න කුබ්‍රික් ඇතුළෙ තිබුණු ධෛර්යය මම අගය කරත්, මගේ කාලය නාස්ති වෙච්ච එක ගැන හුඟක් පසුතැවෙනවා.” කුබ්‍රික් ලයනල් ට්‍රිලිං ගේ අදහස් විශ්වාස කිරීම ද ගැටලුව ට හේතුවක් විය. ට්‍රිලිං, ලොලීටා දුටුවේ ආදර කතාවක් ලෙස ය. නබොකෝ එය ආදර කතාවක් නොවන බව පැවසී ය. ඔහු එය තමා ඉංග්‍රීසි භාෂාව උදෙසා ලියූ පෙම් හසුනකැයි පසුකාලීන ව පැවසූමුත්, කිසිදා නබොකෝ, ලොලීටා ආදර කතාවක් ලෙස නොදිටී ය. රෝලන්ඩ් බාර්ත්ස් ගේ ඩෙත් ඔෆ් දි ඕතර් නම් සිද්ධාන්තය මා විශ්වාස කරන මුත්, පොතෙහි අන්තර්ගතය සහ, නබොකෝ විසින් ම ලියූ සංඥාපනය මෙන් ම, මෙම සටහනෙහි පසුව සඳහන් කිරීමට උත්සහ කරන පොතෙහි ඇති සමහර අවස්ථා හා සලකා බලන කල, මෙය ආදර කතාවක් ලෙස දැකීම වැරදි අර්ථකතනයක් ය යන්න මාගේ මෙන් ම ලොලීටා කියැවූ පිරිසගෙන් සැළකිය යුතු ප්‍රමාණයක අදහස යි.
එවක චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ද මෙවැනි සබඳතා නොතිබුණා නොවේ. දාහතරහැවිරිදි සහ පහළොස් හැවිරිදි ගැහැනු දරුවන් දෙදෙනෙකු ප්‍රසූත කළ දරුවන් දෙදෙනෙකු ගේ පියා චාලි චැප්ලින් විය. ජොයිස් මිල්ටන් ලියූ, චාලි චැප්ලින් ගේ චරිතය අළලා ලියැවුණු ට්‍රෑමප් නම් අපදානයෙහි සඳහන් වන ආකාරයට, මේබෙල් ෆෝනියේ නම් දොළොස් හැවිරිදි දැරිවියක් කෙරේ කැමැත්තක් දැක්වූ චැප්ලින්, මෙවැන්නක් පවසා ඇත: “මං ගොඩ කාලෙක ඉඳන් පොඩි ගෑනු ළමයින්ට හරි ආදරෙයි. ඒ ආදරේ කාමුක එකක් එහෙම නෙවෙයි. මං ඉතින්, මේබෙල් ව හුරතල් කරන්න, වැළඳගන්න තියෙනව නං හරි කැමතියි. ඒ රාගික විදිහකට එහෙම නෙවෙයි. මං එයාව තුරුලට ගන්න කැමතියි.”
“ලොලීටා” ගේ චරිතය නිරූපණය කිරීමට නිළියන් 800කට අධික පිරිසක් සූදානම් ව සිටි අතර, එවක ප්‍රකට නිළියක ව සිටි හේලි මිල්ස් වැනි නිළියන් නොසැළකූ නබොකෝ, ටියුස්ඩේ වෙල්ස් නම් 17 හැවිරිදි නිළිය හමු විය. නිවසෙහි පියෙකුගේ භූමිකාව භාර වනුයේ ඇයට ය. නිවසෙහි ආදායමක් රැගෙන ආවේ ඇය ය. මේ තීරණය සුවිශේෂ එකක් වීමට ප්‍රධානතම හේතුව ඩොලෝරස් ගේ චරිතයට ඇය දැරූ සමහර සමානකම් ය. ඩොලෝරස් සේ ම ඇය ද, දොළොස් හැවිරිදි ගැහැනු දැරිවියක වූ කල පටන්, වැඩිහිටියන්ගේ අතින් ලිංගික හිරිහැරවලට භාජනය වූ යුවතියක් විය. ඇය, ඇයට වඩා විශාල වයස් පරතරයක් තිබූ මිනිසුන් කිහිපදෙනෙකු සමඟ ම සබඳතා පැවැත්වූ අතර, ඇයට වයස අවුරුදු දා හතරක් වන විට, එවක වයස අවුරුදු හතළිස් පහක් පමණ වූ ෆ්‍රෑන්ක් සිනාත්‍රා හා සම්බන්ධතාවයක් පැවැත්වූවා ය. එහෙත් නබොකෝ ඇය චරිතයට නොගැළපෙන බැව් පැවසී ය. පසුව ඇය හා පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක දී ඇය පැවසුවේ තමා හැබෑ ජීවිතයෙහි ලොලීටා වන බව ය. පසු කාලයක නබොකෝ, කුබ්‍රික් ට හමු වූ නිළියක වූ සූ ලයන් ලොලීටා ගේ චරිතයට ගැළපෙන බවට පැවසී ය. පසුකාලීන ව, සූ ලයන් ද දා හතර හැවිරිදි දැරිවියක වූ කල, චිත්‍රපටයෙහි නිෂ්පාදකවරයා ව සිටි ජේම්ස් බී. හැරිස් සමඟින් සම්බන්ධතාවක් පැවැත්වූවා යැයි කටකතාවක් ප්‍රකට විය. 1997 වසරේ දී ඒඩ්‍රියන් ලයින් නැවතත් ලොලීටා චිත්‍රපටයක් තිරයට නඟන්නට සූදානම් යන පුවත කණ වැකුණු කල, සූ ලයන්, ලොලීටා නිසා තම රංගන ජීවිතය විනාශය කරා ගිය බවත්, එම වයසෙහි පසු වන කිසිඳු ගැහැනු ළමයෙකු එම චිත්‍රපටය නිසා තමා අත්විඳි දේවල් අත්විඳිය යුතු නැති බව ද පැවසුවා ය. ඒඩ්‍රියන් ලයින් ගේ චිත්‍රපටය ද කුබ්‍රික් ගේ චිත්‍රපටය මෙන් නබොකෝ ගේ “හම්බර්ට් විශ්වාස කළ නොහැකි තැනැත්තෙක්” යන පාඨය මඟහැර ඇති සෙයක් පෙනිණි. ඒඩ්‍රියන් ලයින් ද වරෙක තමා ලොලීටා ආදර කතාවක් ලෙස දකින බැව් පවසා තිබිණි. චිත්‍රපටය කාමය සහ ශෘංගාරය පදනම් කරගත්, කුබ්‍රික් ගේ චිත්‍රපටයෙන් පොතට කළ සාධාරණයට වඩා සාධාරණයක් පොතට ඉටු කළ එකකි. එහෙත්, පෙර පැවති ගැටලුව අතුරුදන් ව තිබුණේ නැත. ඔවුන් ඩොලෝරස් සෙඩක්ට්‍රස් කෙනෙකු කොට තිබිණි. කුබ්‍රික් ද කළේ එය ම ය. ඊට අමතර ව ඔහු ක්විල්ටි පමණට වඩා ඉස්මතු කරන්නට ද, හාස්‍යෝත්පාදක අවස්ථා ගණන වැඩි කොට, පොතෙහි නැති අවස්ථා ඇතුළත් කරන්නට ද පෙළඹිණි. නබොකෝ ගේ අදහස වූයේ එය නොවේ. ඔහු ඩොලෝරස් “අසරණ කෙල්ලක්” බවත්, හම්බර්ට් “පාදඩයෙකු” බවත් පැවසී ය.
පිටකවර පිළිබඳ ව නබොකෝ දැරුවේ ද එවන් අදහසකි. ඔහු ගැහැනු ළමුන් කවරයේ සිටිය යුතු නැතැයි කියා තරයේ පැවසී ය. පොත් කවරය කෙසේ විය යුතු දැයි විස්තර කළේ ය. ඔහුගේ විස්තරයෙන් භූමිදර්ශනයක් ගැන කියැවුණ ද, එවන් භූමිදර්ශනයක් දිස්වුණු කවරයක් වෙළඳපොළට පැමිණියේ නැති. කුබ්‍රික් ගේ චිත්‍රපටයෙහි ඇති කණ්ණාඩිය ද, හදවතක හැඩ ගත් ලොලිපොප් එක ද, එම චිත්‍රපටයෙහි කොටස් ද, ලයින් ගේ චිත්‍රපටයෙහි කොටස් ද මූලික කොටගත් කවර ද, නිරුවත් හෝ අඩ නිරුවත් ගැහැනු ළමුන් ද, සමහර අවස්ථාවන් හි දී නබොකෝ ගේ ඡායාරූපයක් පමණක් පිටකවරයට ඇතුළත් කරගත් පොත් කවර යනාදී වශයෙන් ලොලීටා සඳහා පොත් කවර විටින් විට නිමැවිණි. මේ අතරින් පොතට උචිත යැයි සිතිය හැකි සහ ඇසට ප්‍රිය වර්ණමාලාවකින් යුතු, කවර ද, බිහි නොවුණා ම නොවේ. මෙම පොතෙහි මෙතෙක් ප්‍රකාශයට පත් වූ කවර පදනම් කොටගෙන Lolita, The Story of a Cover Girl නමින් පොතක් ම පළ වී ඇත. පුද්ගලික ව මා ලොලීටා පොතට බෙහෙවින් ම ගැළපෙන කවරය ලෙස දකින කවරය ප්‍රකාශයට පත් වූ එකක් නොවේ. එය සුන්දර කවරයක් ද නොවේ. එහෙත්, ලොලීටා ට ගැළපෙන ම කවරය ලෙස එය දකිමි. එය නම් හම්බර්ට් යැයි අනුමාන කළ හැකි මිනිසෙකු සිටින කවරය යි. සංකේත හෝ ගැහැනු ළමුන් හෝ චිත්‍රපටයෙහි විවිධ දෑවල ඡායාරූප මූලික කොටගෙන නිමැවුණු කවර අතරේ Perspective යන සංකල්පය බිහිකොටගෙන නිමැවුණු කවර අල්පය අතරේ පොත සඳහා උචිත ම කවර කිහිපය දිටිමි. මුළු කතාවෙහි ම ප්‍රබලත්වය රැඳී පවතින්නේ කියවන්නා ගේ දෘෂ්ටිකෝණය මත ය. සංඥාපනය හැරුණොකොට, මුළු පොත ම අප හමුවේ දිග හැරෙන්නේ හම්බර්ට් ගේ දෘෂ්ටිකෝණයෙනි. එසේ නම් හම්බර්ට් ගේ විස්තර කිරීම් හමුවේ අපට පෙනෙන ඩොලෝරස් ව කවරයකට නැඟීම උචිත ද යන ගැටලුව ඇතිවන්නේ ය. හම්බර්ට් කිසිදා ඩොලෝරස් දුටුවේ නැත. ඩොලෝරස් සහ ලොලීටා යනු එක් අයෙකු නොව, දෙදෙනෙකි.
හම්බර්ට් හම්බර්ට් ප්‍රබල වන අයුරු වටහාගැනීමට මෙම උදාහරණය පිළිබඳ සළකා බලන්න. මම අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන්නෙක්මි. ඇස් කණ්ණාඩි නොමැති ව දුර පිහිටි වස්තුවක් දෙස බලන කල, එකී වස්තුව මට පෙනෙන්නේ නොපැහැදිලිව ය; එය බොඳ ව යන්නේ ය. උපැස් යුවළ පැළඳගෙන පෙර කී වස්තුව දෙස ම බලන කල, පෙරට වඩා පැහැදිලි ව මා හට ඒ වස්තුව දැකිය හැකි ය. අපි සියල්ලෝ ම අවිදුර දෘෂ්ටිකත්වයෙන් හෝ දූර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන්නෝ යි මොහොතකට සිතමු. මෙම ආබාධ ඇති හෙයින් අපට ළඟ හෝ දුර ඇති මොනයම් ම හෝ වස්තුවක් දෙස බලන්නට නම්, උපැස් යුවළක් අපගේ නැහැදඬු මත රඳවාගන්නට වනු ඇතැයි කියා ද, එම උපැස් යුවළ පොඩිපට්ටම් ව ගොස් ඇතැයි කියා ද සිතමු. එසේ නැතොත් අපගේ ඇස් කණ්ණාඩි නැති ව ඇතැයි සිතමු. එවිට යම් දුරකින් හෝ අප ආසන්නයේ ඇති වස්තු අප හට පැහැදිලි ව නිරීක්ෂණය කළ හැකි නොවන්නේ ය. ලොලීටා කියවන විට පාඨකයා ද එවැනි දෘශ්‍යාබාධයකින් පෙළෙන්නෙකි. අපගේ ඇස් කණ්ණාඩි සියල්ල ම ව්ලැදිමියර් නබොකෝ සතු ය. ඇස් හරිහැටි පෙනෙන එක ම තැනැත්තා හම්බර්ට් හම්බර්ට් ය. නමුත් හම්බර්ට් සාමාන්‍යයෙන් පොතක සිටින චරිතවලට වඩා හාත්පසින් වෙනස් තැනැත්තෙකි. අපගේ දෑස් අන්ධ කිරීමේ හැකියාව ඔහු සතු ය. එහෙයින් ඔහු අප අන්ධ කරන්නට පවා දෙවතාවක් නොසිතන්නේ ය. ඔහු අපට පොතක් පෙන්වමින්, එය පුවත්පතකැයි කී පමණින්, අප දෘශ්‍යාබාධවලින් පෙළුණු පමණින්, හම්බර්ට් ට අප අන්ධ කිරීමෙහි හැකියාව තිබූ පමණින් අප ඔහු පවසන දේ විශ්වාස කළ යුතු නැත. පොතෙහි සංඥාපනය අවසානයෙහි හම්බර්ට් හම්බර්ට් ගේ කතන්දරය මානසික වෛද්‍යවරුන්ගේ අධ්‍යයනට නතු විය යුතු ය යන වැකිය සඳහන් ය. චාලට් ගේ මරණය පිළිබඳ ඩොලෝරස් හට සඳහන් නොකොට, ඔහු ඇය සමඟ නවාතැන්පොළවල නවතී. ඔහු ඇගේ සුළුපියා ද වන්නේ ය. “At the hotel we had separate rooms, but in the middle of the night she came sobbing into mine, and we made it up very gently. You see, she had absolutely nowhere else to go.” යන වැකිය, චාලට් ගේ මරණයෙහි පුවත කණ වැකුණු කල තනි ව ම හෝටල් කාමරයක වැළපෙන ඩොලෝරස් ගේ අසරණ බව හම්බර්ට් අප හමුවේ පවසන්නේ එක්තරා පාරම් බෑමක් මෙනි.
හම්බර්ට් තවත් අවස්ථාවක නිම්ෆට්වරුන් ගැන දීර්ඝ විස්තරයක් කරමින්, තමා අවුරුදු අටත්, දා හතරත් අතර සිටින ගැහැනු දරුවන් හට ආකර්ෂණය වන බව පවසමින්, එය සාධාරණීකරණය කරන්නට ඉන්දියාවේ සිදුවන බාලවයස් විවාහ, පීට්‍රාක් නම් කවියා සහ ලෝරීන් පිළිබඳ ව ද, ඩාන්ටේ බියට්‍රිස් කෙරේ දැක්වූ ප්‍රේමය පිළිබඳ සඳහනක් කරයි. ඔහු, ඩාන්ටේ බියට්‍රිස් හා පෙමෙන් බැඳෙද්දී බියට්‍රිස් ට අවුරුදු නවයක් වග පවසයි. එහෙත් හම්බර්ට් ඕනෑකමින් ම එක් කරුණක් පාඨකයාට නොපවසයි. එය නම්, බියට්‍රිස් හා පෙමෙන් බැඳෙද්දී ඩාන්ටේ ද නව හැවිරිදි දරුවෙකු මිස, හම්බර්ට් මෙන් වැඩුණු මිනිසෙකු නොව යන කරුණ ය. මුල සිට අග වන තෙක්, හම්බර්ට් අපට සත්‍යය ම පවසන්නේ නැත. කවියක් එක් බසකින් තවත් බසකට පරිවර්තනය කිරීමේ දී එහි මුල් ගුණය නැසී යන්නා සේ ම, ලොලීටා තිරයට නැඟීමේ දී ද එහි මුල් ගුණය නැසී ගොස්, නබොකෝ නොපැතූ තරම් වැරදි අර්ථකතන ගණනාවකට ලොලීටා මුහුණ පා ඇත. එහෙයින්, ලොලීටා නම් පොත මූලික කොටගෙන නිපදවනු ලැබූ එක ම චිත්‍රපටයක් හෝ නැරඹීම මඟින්, නබොකෝ ගේ මුල් අදහස ඔබට නොලැබෙන බව මාගේ අදහස යි.
ලොලීටා සහ නබොකෝ පදනම් කොටගෙන ගිය මා මීට පෙර ලිපි කිහිපයක් ම ලියා ඇත. එක් ලිපියක මම මෙහි කවරය පිළිබඳ ලීවෙමි. තවත් අවස්ථාවක මම නබොකෝ ගැන ලිපියක් ලීවෙමි. නබොකෝ ගේ පරිවර්තන ශෛලිය පිළිබඳ ලිපියක් ලීවෙමි. ලොලීටා රෝමාන්තිකකරණය විය යුතු ද යන පැණය විමසමින් ලිපියක් ලීවෙමි. ලොලීටා හි පළමු පරිච්ඡේදයෙහි ප්‍රබලතාව ගැන සඳහනක් කළෙමි. නේරුතුමා ලොලීටා අරභයා ගත් තීරණයක් පිළිබඳ ව ලීවෙමි. මෙය එකී ලිපි සියල්ලෙහි ම පාහේ එකතුවක් ලෙසින් සිතමි. සාහිත්‍ය ලොව වෙනස් කළ කෘති රාශියක් ඇත. ඒ අතරින් ලොලීටා සුවිශේෂී වන්නේ එය අදටත් වලංගු වන, තවමත් විචාරකයින් ගැටලුවලට ලක් කරන, ළදරුවෙකු සිත තුළ සිරකරගෙන සිටින වැඩිහිටියෙකු ගේ මනස විමසන, නූතනයේ බිහිවූ විශිෂ්ටතම කෘති අතරේ ඉහළින් ම වැජඹෙන, වචන මූලික කොටගත් පොත් අතරේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන නිසාවෙනි. ලොලීටා මුල්වරට කියැවූ කෙණෙහි වචනවල කෙතරම් ප්‍රබලත්වයක් තිබේදැයි මට වැටහිණි. එය සංකීර්ණ, කවිමය බස් වහරකින් හෙබි පොතකි. පොතක් දෙස මා බැලූ අයුරු වෙනස් කළේ ලොලීටා ය. එය ප්‍රහේලිකාවකි. ප්‍රවේශමෙන් රචනා වුණු පොතකි. එනිසාවෙන් ලොලීටාහි පොත් පිටකවර ගැන මා ලියූ ලිපියට පසු, ලොලීටා පිළිබඳ මාගේ අදහස් ඇතුළත් ලිපි පෙළක් ලියන්නට අදිටන් කරගත්තෙමි. නමුත් එකම මාතෘකාවක ඇලී සිටීමට තිබූ නොකැමැත්ත හේතුවෙන්, මම ඉඳහිට වෙනත් පොත් පිළිබඳ ව ද ලියුවෙමි. ලොලීටා අරභයා ලියන්නට සිතූ ලිපි ප්‍රමාණය ඉක්මවා ගිය බව ද සඳහන් කළ යුතු ය. නබොකෝ ගේ පරිවර්තන ශෛලිය පිළිබඳ වූ ලිපියට ජොයිස් ගේ කෘති පරිවර්තනයේ දී පරිවර්තකයින් මුහුණ දුන් ගැටලු ද ඇතුළත් කරමින් ලිපි පෙළෙහි ඒකාකාරී භාවය මඟ හරින්නට තැත් කළෙමි. මෙම ලිපි ලිවීමේ දී අදහස් දුන්, ලියූ ලිපි කියවා අදහස් දුන් පිරිසට තුති පුදමි.
කාව්‍ය තත්සර
2023 – 08 – 23