මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ ඩොරිස් ලෙසිං ((1919-2013) 2007 දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ බ්‍රිතාන්‍ය ලේඛිකාව) විසින් විවිධ අවස්ථා වල විවිධ මාධ්‍ය සමඟ කරන ලද සාකච්ඡාවන් කොටස් වශයෙන් සෑම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම ‘ලේඛකයකු වීමට ඉගෙනීම’ යන නොපළ කෘතියෙහි 10 කොටස.
ආරම්භයේ ඉඳලම අපේ සංවිධානයට නෝර්වේ සහ, ඊළඟට ස්වීඩන් රාජ්‍යයෙන් උදව් ලැබුණා. ඒ වගේ උදව්වක් නොතිබුණා නම් අපේ පොත් සැපයුම හිඳී යනවා. පුළුවන් හැම තැනකින්ම අපි පොත් අරගත්තා. මතක තියාගන්න: නැමෙන කාඩ්බෝඩ් පිටකවරය සහිත පොතක එංගලන්තයේ මිල සිම්බාබ්වේ මිනිහෙකුගේ මාසයක වැටුපට සමානයි. ඒ මුගාබේගේ භීෂණ පාලනයට කලින්. දැන්, උද්ධමනයත් එක්ක එවැනි පොතක් ගන්න අවුරුදු ගණනක වැටුප වියදම් කරන්න ඕන. ඉතින්, පොත් පෙට්ටියක් ගමකට අරගෙන ගියාම ‐ මතක තියාගන්න, පෙට්‍රල් කියන්නේ හරිම දුර්ලභ දෙයක් ‐ මාව විශ්වාස කරන්න, ඔවුන් එය පිළිගන්නේ සතුටු කඳුළු හෙළමින්. පුස්තකාලය කියන්නේ ගහක් යට ගඩොල් කීපයක් උඩ තියාපු ලෑල්ලක් වෙන්න පුළුවන්. සතියක් යන්න පෙර සාහිත්‍ය පංති පටන් ගනීවි ‐ කියවන්න පුළුවන් අය බැරි අයට කියලා දෙනවා; පුරවැසි පංති ‐ ටොංගා නමැති භාෂාවෙන් කිසිම නවකතාවක් නැති නිසා, එක ගමක පිරිමි ළමයි දෙන්නෙක් වාඩි වුණා ටොංගා බසින් නවකතා ලියන්න. සිම්බාබ්වේ රටේ ප්‍රධාන භාෂා හයක් විතර තිබෙනවා. ඒ හැම භාෂාවකින්ම නවකතා තිබෙනවා: ඒවා ප්‍රචණ්ඩ, අසම්මත, අපරාධ සහ මිනීමැරුම්වලින් පිරිලා.
මිනිස්සුන්ට ලැබෙන්නේ ඔවුන්ට හිමි විය යුතු ආණ්ඩුවයි කියලා කියමනක් තිබෙනවා. ඒත් මම හිතන්නේ නැහැ සිම්බාබ්වේ සම්බන්ධයෙන් ඒක නිවැරදියි කියලා. අප මතක තබාගත යුතුයි, පොත් කෙරෙහි මේ තරම් පිපාසයක් එන්නේ මුගාබේගේ පාලනය කෙරෙන් නොවන බව. එය පැමිණෙන්නේ ඊට පෙර තිබුණු සුදු පාලනයෙන්. මේ පොත් බඩගින්න හරිම විස්මයජනක සංසිද්ධියක්. එය කෙන්යාවේ සිට සුබපැත්මේ තුඩුව දක්වා හැම තැනකම දකින්නට තිබෙනවා.
මේක එක්තරා අනුමාන තොරතුරක් එක්ක බැඳෙනවා: මා හැදී වැඩුණේ කටුමැටි ගහපු පැලක. පන් හෝ තණකොළ තිබෙන, සුදුසු මැටි තිබෙන, බිත්ති සඳහා කෝටු තිබෙන සෑම තැනකම මේ විදියේ ගෙවල් හැදුණා. උදාහරණයක් විදියට සැක්සන් එංගලන්තය ගන්න පුළුවන්. මා හැදුණ ගෙදර කාමර හතරක් තිබුණා, එකකට අල්ලලා අනික. ඒවා පුරවලා තිබුණේ පොත්වලින්. මගේ දෙමව්පියෝ එංගලන්තයේ සිට අප්‍රිකාවට එන විට පොත් අරගෙන ආවා විතරක් නෙවෙයි, මගේ අම්මා අපට එංගලන්තයෙන් පොත් ඇණවුම් කරලා තැපෑලෙන් ගෙන්වා ගත්තා. පොත් ආවේ විශාල දුඹුරුපාට කඩදාසි පාර්සල්වල. ඒවා නිසා තමයි මා කුඩා කාලේ සන්තෝෂ වුණේ. පොත්වලින් පිරුණු කටුමැටි ගෙයක්.
සමහර විට තවමත් විදුලිබලය හෝ නළ ජලය නැති ‐ හරියට අපේ දික් හැඩැති කටුමැටි ගේ වගේ ‐ එක්තරා ගමක මිනිසුන්ගෙන් මට තවමත් ලියුම් ලැබෙනවා. ‘මමත් ලේඛකයකු විය යුතුයි,’ ඒගොල්ල කියනවා, ‘මොකද, මම ඉන්නෙත් ඔබ හිටියා වගේම පැලක.’
ඒත්, ඒකම නොවේද ගැටලුව?
ලිවීම, ලේඛකයා, පොත්වලින් තොර නිවසකින් බිහි වන්නේ නැහැ.
අන්න ඒකයි පරතරය, ඒකයි ප්‍රශ්නය.
ඔබේ ත්‍යාගය දිනාගත් සමහර විශිෂ්ටයන් කී කතා මම බැලුවා. පමුක් නමැති විශිෂ්ටයා දෙස බලන්න. ඔහු කීවා ඔහුගේ පියා සතුව පොත් 500ක් තිබුණාය කියලා. ඔහුගේ ප්‍රතිභාව නිකම් හුළඟින් ආපු දෙයක් නෙවෙයි. ඔහු ඒ විශිෂ්ට සම්ප්‍රදායට සම්බන්ධ වී සිටි කෙනෙක්.
බලන්න වී. එස්. නායිපෝල්. ඔහු කියනවා ඔහුගේ පවුලේ අය වේදය මතකයෙන් දැන සිටියාය කියා. ඔහුගේ පියා ඔහුව ලිවීමට පෙලඹවූවා. එංගලන්තයට පැමිණි පසු ඔහු බි්‍රතාන්‍ය පුස්තකාලය භාවිත කළා. ඒ නිසා ඔහුත් ඒ විශිෂ්ට සම්ප්‍රදාය සමග හිටපු කෙනෙක්.
අපි ජෝන් කොඑට්සි දෙස බලමු. ඔහු ඒ මහා සම්ප්‍රදාය ඇසුරු කළා විතරක් නෙවෙයි, මහා සම්ප්‍රදාය ඔහුයි. ඔහු කේප්ටවුන්වල සාහිත්‍යය ඉගැන්නුවා. ඔහුගේ පංතියක ඉන්නට බැරිවීම ගැන, එවැනි පුදුමසහගත ලෙස නිර්භීත කෙනෙකු වෙතින් ඉගෙනගන්නට බැරිවීම ගැන මා කොයිතරම් දුක් වෙනවාද!
ලියන්න නම්, සාහිත්‍යය නිපදවන්න නම්, පුස්තකාල සමග, සම්ප්‍රදාය සමග ළඟ සම්බන්ධයක් කෙනෙකුට තිබිය යුතුයි.
මගේ මිතුරෙක් ඉන්නවා සිම්බාබ්වේවල, කළු ජාතික ලේඛකයෙක්. ඔහු ජෑම් බෝතල්වල, පළතුරු ඇසිරූ ටින්වල ලේබල් කියවලා තමයි, කියවීම තනිව ඉගෙන ගත්තේ. මම ඔහු හැදුණ වැඩුණ ප්‍රදේශය හරහා මෝටර් රථය පැදගෙන ගිහින් තිබෙනවා. ග්‍රාමීය කළු ජාතිකයන් සඳහා වූ ප්‍රදේශයක්. වියළි බොරලු පොළවක එහෙන් මෙහෙන් පොඩි පඳුරු. යමක් කමක් තියෙන අයගේ හොඳට නඩත්තු කරපු පැල් වගේ නෙවෙයි ඔවුන්ගේ දුගී පැල්. පාසලත් මම කලින් කී විදියේ එකකට සමානයි. කුණුගොඩක තිබිලා හම්බ වුණු, වීසි කරපු ළමා එන්සයික්ලෝපීඩියාවකින් තමයි ඔහු ඉගෙන ගත්තේ.
1980 දී නිදහස ලැබෙනකොට සිම්බාබ්වේවල හොඳ ලේඛක කණ්ඩායමක් හිටියා. ඇත්තටම කිව්වොත් සිංදු කියන කුරුල්ලෝ වගේ. ඔවුන් ඇති දැඩි වුණේ පැරණි දකුණු රොඩේෂියාවේ, සුදු පාලනය යටතේ ‐ මිෂනාරි පාසල්වල, හොඳ පාසල්වල. ලේඛකයෝ සිම්බාබ්වේවල නිෂ්පාදනය වෙන්නෙ නැහැ, පහසුවෙන් වෙන්නෙ නැහැ, මුගාබේ යටතේ ඒක වෙන්නෙ නැහැ.
ලේඛකයකු වීම පැත්තක තබන්න; හැම ලේඛකයෙකුගේම සාහිත්‍යාගමනය වුණත් සිදුවුණේ දුෂ්කර ගමන් මඟක. ජෑම් බෝතල්වල මුද්‍රිත ලේබල් සහ වීසිකරපු විශ්වකෝෂවලින් කියවන්නට ඉගෙනගැනීම දුර්ලභ දෙයක් වුණේ නැහැ. අපි කතා කරන්නේ ඔවුන්ගේ මට්ටමට එහා ගිය අධ්‍යාපන තත්ත්වයක් සඳහා පිපාසිතව සිටින, වැඩවලින් මිරිකුණු මව්වරු දරුවන් රාශියක් සමග පැල්වල ජීවත් වන, සහ ආහාර සහ ඇඳුම් වෙනුවෙන් අරගල කරන ජනතාවක් ගැනයි.
මේ හැම අමාරුකමක්ම තිබියදීත් ලේඛකයෝ බිහි වුණා. ඒ වගේම අප මතක් කරගත යුතුයි, මේ කතා කරන්නේ අවුරුදු සීයකට මෙහාපැත්තේ යටත් කරගනු ලැබූ සිම්බාබ්වේ කියන රට ගැනයි කියන එක. මේ මිනිසුන්ගේ මුතුන්මිත්තෝ වාචික සම්ප්‍රදාය අනුගමනය කළ විශිෂ්ට කතන්දර කියන්නන්ව සිටින්න ඇති. පරම්පරාවක් දෙකක් ඇතුළත, මතකයේ තබාගත් කතන්දර ඊළඟ පරපුට උරුම කිරීම වෙනුවට මුද්‍රණයට, පොත්වලට මාරු වුණා. මොන තරම් ජයග්‍රහණයක්ද!
පොත්ල වචනාර්ථයෙන්ම ගත්තොත් කුණු ගොඩවල්වලින් උදුරාගත්, සුදු මිනිහාගේ ලෝකයෙන් එළියට වීසි කළ පොත්. එහෙත්, කඩදාසි ගොඩක් කියන්නේ එකක්, ප්‍රකාශයට පත්කළ පොතක් කියන්නේ එහෙම පිටින්ම වෙනස් දෙයක්. අප්‍රිකාවේ පොත් ප්‍රකාශන සන්දර්භයේ තිබෙන සිද්ධි කීපයක්ම මට ලැබිලා තියෙනවා. උතුරු අප්‍රිකාව වගේ වඩාත් වරප්‍රසාද සහිත තැන්වල, ඔවුන් සතු යහපත් සම්ප්‍රදාය තුළ පවා, පොත් ප්‍රකාශනය කියන්නේ සිහිනයක්.
මා කතා කරන්නේ නොලියවුණු පොත් ගැන, ප්‍රකාශකයන් නැති නිසා පොත් පළකරගන්න බැරිවුණ ලේඛකයන් ගැන. නෑසෙන කටහඬවල්. අපතේ යන මේ මහා ප්‍රතිභාව, මහා ශක්‍යතාව කොතරම්ද කියා මනින්න පුළුවන්කමක් නැහැ. ඒත්, ප්‍රකාශකයෙක් උවමනා වෙන තැනට පොතක් පැමිණෙන්නට පෙර, ඊට කලින් වියයුතු දිරි දීමක් වගේ යම් දේක අඩුවක් තිබෙනවා.
ලේඛකයන්ගෙන් නිතරම අහන දෙයක් තමයි, ඔබ ලියන්නේ කොහොමද? වර්ඩ් ප්‍රොසෙසර් එකකින්ද? විදුලි යතුරුලියනයකින්ද? පිහාටු පෑනකින්ද? සාමාන්‍ය අත් අකුරින්ද? ඒත් වැදගත්ම ප්‍රශ්නය වෙන්නේ, ඔබ ලියන විටදී ඔබ වටා තිබිය යුතු අවකාශය, ඒ හිස් අවකාශය ඔබ සතුව තිබෙනවද? ඔබේ කතාවේ චරිත දොඩමළු වන හැටි, ඔවුන්ගේ වචන, අදහස්, ඒ අවකාශය තුළින් ඔබට ඇහෙනවද ‐ නිර්මාණ ආවේශය ලැබෙනවද?
ලේඛකයකුට මේ අවකාශය ලැබෙන්නේ නැතිනම්, කවි සහ කතා මළදරු උපත් වගේ වේවි.
ලේඛකයෝ එකිනෙකා සමග කතාබහ කරන අවස්ථාවලදී ඔවුන්ගේ සාකච්ඡාව වෙන්වන්නේ මෙකී පරිකල්පිත අවකාශය ගැන, වෙනත් කාලයකට අයිතිවන ඒ අවකාශය ගැන කතා කරන්නයි. “ඔබට එය අහු වුණාද? ඔබ එය අතනෑර අල්ලාගෙනද ඉන්නේ?”
මීට වෙනස් වගේ පේන දර්ශනයක් දිහා අපි දැන් බලමු. අපි ඉන්නේ මහා නගරවලින් එකක් වන ලන්ඩන්වල. අලුත් ලේඛකයෙක් ඉන්නවා. අපි බොහොම හීන උනන්දු ඇතිව අහනවා, ඈ ලස්සනද? පිරිමි කෙනෙක් නම්, ඔහු ආකර්ෂණීයද? කඩවසම්ද? අපි විහිළු කරනවා, ඒත් ඒක විහිළුවක් නෙවෙයි.
අලුතින් සොයාගනු ලැබූ මේ ලේඛකයාට විශාල පිළිගැනීමක් දෙනු ලබනවා, සමහර විට විශාල මුදල් සම්භාරයක් පවා ලැබෙනවා. පැපරාසීන්ගේ කසු කුසු ඔවුන්ගේ අසරණ කන් තුළ රැව් දෙනවා. ඔවුන් වෙනුවෙන් උත්සව පැවැත්වෙනවා, ගුණ ගායනා කෙරෙනවා, ලෝකය පුරා වේගයෙන් පැතිරෙනවා. මේවා සියල්ල දැක තිබෙන අප වැනි වියපත් උදවිය, සිදුවන්නේ කුමක්දැයි කිසිදු අවබෝධයක් නැති මේ නවකයා ගැන දුක්වෙනවා.
ඔහුව, ඈව, බොරුවට පුම්බා සතුටට පත්කරවීමයි සිදුවන්නේ.
නමුත්, ඔහු හෝ ඇය ඒ පිළිබඳව කුමක් සිතන්නේද කියා අවුරුද්දකට පස්සේ අහලා බලන්න – “ඒ තමයි මට සිද්ධ වුණ නරකම දේ.” යනුවෙන් ඔවුන් කියන හැටි මා අසා තිබෙනවා.
හුඟක් ප්‍රසිද්ධ වුණු සමහර නවක ලේඛකයෝ නැවතත් කිසිවක් ලියා නැහැ; එහෙම නැතිනම් ඔවුන්ට උවමනා වූ දේ, ඔවුන් විසින් ලිවිය යුතුව තිබූ දේ, ලියලා නැහැ.
ඉතින්, මේ නාකි අපිට ඕනෑ ඔවුන්ගේ අහිංසක කන්වලට මෙහෙම කොඳුරන්න: ‘ඔබට ඔබේ අවකාශය ලැබී තිබෙනවාද? ඔබේ ආත්මය, ඔබේම හඬවල් ඔබට කතා කරන ඔබටම අයිති සැබෑ ස්ථානය, ඔබ තනිව සිහින දකින ස්ථානය ඔබට ලැබී තිබෙනවාද? එය අල්ලාගන්න. ඒක ඔබට අතහැරෙන්න දෙන්න එපා.’
(ඊළඟ කොටස ඉදිරි කලාපයේ)