දම්පාට මේකුළකි
ශෝකයෙන් මිරිකෙන
විටින් විට
රිදී පෑ ඔටුන්නක් පලදින
2020 ගොඩගේ අත්පිටපත් තරඟයෙන් ඇගයීමට ලක් වූ මේඛලා උදාරි ලියනගේ කිවිඳියගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය ඉතා සාර්ථක නිර්මාණ රැසක එකතුවකි. එම නිර්මාණයන් හැඩ වී ඇත්තේ අප සමාජයේ මිනිසුන් මිනිසුන් අතර පවතින සම්බන්ධතාවන්ගේ නෙක වර්ණයන්ගෙන් බව සිතමි.
වත්මන් වෙළඳ පොල ආර්ථිකය විසින් ගෝත්‍රික කළ පිරිමියාට සිදුව ඇත්තේ සිය කුටුම්භය නඩත්තු කිරීම සඳහා මුදල් දඩයම් කිරීමට ය. ඔහු දඩයම් වෙනුවෙන් පමණ ඉක්මවා කාලය ගත කරන විට සිය ගෙවත්ත පාළුවට යයි. සාම්ප්‍රදායික ගෝත්‍රික සමාජය එහි වැරැද්ද පවරන්නේ ද ස්ත්‍රීයට ය. “වඳ කෙහෙල් ගහකට” යන මැයෙන් හමුවන කවිය එවැනි පසුබිමක් අත්දැකීම කරගත් නිර්මාණයකි. කවියේ අවසානය මෙවැනිය. නැන්දම්මා සහ ලේලිය අතර පවතින, ඝට්ටනය මාතෘකා කරගන්නා කවියේ ලේලිය පරිභවයට ලක්වන්නේ දරු පල ප්‍රමාදය බැවිණි. එය කථකයා වන ලේලියට ද ඉමහත් මානසික තැවුලකි. ඇය ඒ බව අපට පවසන්නේ “ඉදි ඉදී වැටෙන අඹ සහිත ගස අති පැත්තට” යන්නට ඇයට හිත හදාගත් නොහැකි බව කීමෙනි. මෙය අපට කවිය වෙනත් අරුතක් සඳහා ආලෝකය සපයයි. එහෙත් කම්පා නොවන කථකයා ව්‍යංගයෙන් සැමියා අමතයි. නැන්දම්මා සමඟ සුහඳව කටයුතු කරණු පිණිස සිය සැමියා වෙත ඇති තතු පහදයි.
“ඉස්කෝලෙ යන කාලේ මමත්
ජීව විද්‍යාව ආසම
අම්මාට කියා දෙනවාද වීරෙ
“පරාගනය” ගැන පාඩම
තවත් කවියක අපට හමුවන්නේ, බීමත්කම නිසා සියල්ල අහිමි කරගත් සැමියකුගේ බිරිඳක් පිළිකාවකට ගොඳුරු වූ අවස්ථාවක එම සැමියාගේ පසුතැවිළි වීමයි එම කවිය “මහරගම අහස යට” හිසින් අපට හමු වෙයි. සැමියාද සිය බීමත්කම නිසා රෝගාතුරුව මහරගම ඉන්නා බවට ඉඟි ලැබෙතත් ඒ බව විවෘතව ඇති බැවින් කියවා ගැනීම රසිකයාට බාර කටයුත්තකි. සැමියා විසින් නිරන්තර පාරවනු ලැබූ බිරිඳගේ සිත රිදී නැගී සුළි සුසුම් පපුවේ කැටි ගැසී තියෙන්නට ඇතැයි කථකයා හිතන සිතුවිල්ල රසික සිත තුළ බීමත් සැමියා කෙරෙහි පවා සානුකම්පිත හැඟීම් ඇති කරයි.
ලොකු දූම පහක් තව මද්දු හතරක් උරා
පොඩ්ඩා විතරයි හිටියේ දෙකහමාරෙන් වරා
ටිකෙන් ටික බිම බැලුම පුදුමයක් නොව බන්
කොයිතරම් නම් වෙහෙස වෙන්නැතිද ශිරා
මහ වාද මිස තිබුණේ නැත ප්‍රේම සංවාද
හැමදාම මම කළේ නුඹෙ රුවට අපවාද
නුඹේ හිත රිදෙන්නැති සුළි සුසුම් නැඟෙන්නැති
ඒ සුසුම් වත් පපුවෙ කැටි ගැසී තිබුණාද
ප්‍රේමය කරුණාවන්තය ඉවසිලිවන්තය. සියල්ල දරා ගන්නා බව ශුද්ධ බයිබලයේ සඳහන් ය. කවියන් ප්‍රේමය යනු අත හැරීම හෝ යන්නට දීම යයි ද පවසයි. බොහෝ දෙනා ප්‍රේමය වෙනුවෙන් විවිධ නිර්වචන දෙති. ඒ සෑම නිර්වචනයක් පිටුපස ම ඇත්තේ මානුෂික සම්බන්ධතාවකි. කිවිඳිය 15 වන කවියේ නිමිත්ත ලෙස ගන්නේ ස්ත්‍රින් දෙදෙනෙක් සහා පිරිමියෙක් අතර පවතින ප්‍රේමයකි. මේ ස්ත්‍රීන් දෙදෙනා එකට මුණ ගැසුණ පසු අනෙක් ස්ත්‍රිය පිරිමියා කෙරෙහි දක්වන ප්‍රතිචාරය තුළ අනෙක් ස්ත්‍රීය කෙරෙහි උපන් අතීශය මානුෂික ප්‍රේමයක් ගැබ් වී ඇත. ඇයද තමා වැනිම කාන්තාවක් නොවේදැයි කථකයාට සිතුනා වැනිය. බටහිර ස්ත්‍රීවාදයෙන් හෝ පශ්චාත් ස්ත්‍රීවාදයෙන් හෝ දැනුවත් නැති සරල පෙරදිග ස්ත්‍රියකගේ “ඒත් ගැහැනියක්නේ මා වගේම” වැනි තැනකින් කවිය අවසන් වන්නේ, අනෙකාගේ යහපත පිණිස ප්‍රේමය අත හැර දැමූ කථකයා කෙරෙහි භක්තියක් ඇති කරමිනි. කවියේ අවසන් පද මේ ආකාරයෙනි.
ජීවිතේ පුරවාන ඔයාගෙන් හිස් ටික
විඳවන්න බෑ මතක් වේවි ඒ ඇස් දෙක
හොයන්නට එපා මම නැති වේවි බෝඩිමේ
මේ තමයි ගමට යන අන්තිම ම බස් එක.
කාව්‍ය සංග්‍රහය තුළින් මතු වන මානුෂික සබඳතා ගැන කතා කරන විට කතා නොකර ම බැරි තවත් කවියකි “හිමියනි මම ජීවක නම් වෙමි”යන හිසින් හමුවන කවිය. මෙම කවියේ අන්තර්ගතය විවිධ කාව්‍ය රස වින්දන වේදිකාවන් මත බොහෝවර සංවාදයට බඳුන් වී ඇත.
“හිමියනි මම ජීවක නම් වෙමි
කාසලිහී වෙසෙමි
මෙහි නිතරෝම අඟුල්මල් පිරිත් මිමිණෙති
පෙකෙණි වැල් කැපෙති
රාහුලයෝ සසර දුක දෝතින් දරා පැමිනෙති.”
සසර දුක දෝතින් දරා පැමිණෙන රාහුලයන්ගේ හිත සුව පිණිස බොහෝ කවි පබඳින්නට කිවිඳි, මේඛලා උදාරි ලියනගේට ශක්තිය සහ හැකියාව නිරන්තරයෙන් ලැබෙන්නට සුබ පතමි.
පසු සටහන.
දම්පාට මේ කුළ කාව්‍ය සංග්‍රහය 2020 ගොඩගේ අත් පිටපත් තරඟයේ ඇගයිමට ලක් වූ අතර 2021 එකී තරඟයෙන් ඇය “හෙටත් ලියවිය යුතුය තව කවි” නම් කාව්‍ය සංග්‍රහය සඳහා ද ඇගයිමට පාත්‍ර විය. එය මා විසින් මිලදී ගත යුතු පොත් ලැයිස්තුවට එක් කරගෙන ඇත.