මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ ඩොරිස් ලෙසිං ((1919-2013) 2007 දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ බ්‍රිතාන්‍ය ලේඛිකාව) විසින් විවිධ අවස්ථා වල විවිධ මාධ්‍ය සමඟ කරන ලද සාකච්ඡාවන් කොටස් වශයෙන් සෑම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම ‘ලේඛකයකු වීමට ඉගෙනීම’ යන නොපළ කෘතියෙහි 9 කොටස.
2007 නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ඩොරිස් ලෙසිං, සිය නොබෙල් දේශනය 2007 දෙසැම්බර් 7 වැනි සිකුරාදා ස්ටොක්හෝම් හි ස්වීඩිෂ් ඇකඩමියේදී ඇගේ බ්‍රිතාන්‍ය ප්‍රකාශකයා වූ නිකලස් පියර්සන් මගින් ඉදිරිපත් කළාය. ඇය එහි මාතෘකාව සඳහා යොදා තිබුණේ ‘On not winning the Nobel Prize’ යනුවෙනි:
හුස්ම හිරවෙන තරම් අතිරික්තයත් තිබෙන අපත් දවස් තුනකින් කෑමක් නැතිව පොත් සහ අධ්‍යාපනය ගැන කතා කරන ගැහැනියකුත් අපව නිර්වචනය කරයි.
දොරකඩක හිටගත් මම, නොකැපූ කැලෑ තවත් ඇතැයි කියන දිසාවට හමා යන දුහුවිලි වලා හරහා බලාගෙන හිටියා. ’56 අවුරුද්දේ මා දුටු අතිශයින් ලස්සන වනාන්තරයක් පිහිටි භූමියේ, කොටන් කෑලි සහ ගින්නෙන් දැවී අඟුරු වූ ශේෂ අතරින් ඊයේ මම වාහනය පදවාගෙන ගියා. දැන් සියල්ල විනාශ වෙලා. මිනිසුන්ට කන්න බොන්න ඕනෑ, ගිනි දැල්වීමට ඔවුන්ට ඉන්ධන ඕනෑ.
මේ අසූ ගණන්වල වයඹදිග සිම්බාබ්වේ රාජ්‍යය. ලන්ඩනයේ පාසල් ගුරුවරයකුව සිටි මාගේ මිතුරා බැලීමට මම යමින් සිටියා. අප කියන විදියට නම්, ඔහු පැමිණ සිටින්නේ ‘අප්‍රිකාවට උදව් කරන්නටයි’. තරමක් පරමාදර්ශී චරිතයක් වූ ඔහු ඒ පාසලේ දකින්නට ලැබුණු දෙයින් කම්පනයට පත්වෙලා විශාදය තත්ත්වයට පත්ව සිටි අතර, ඉන් මිදීම ඔහුට පහසු දෙයක් වුණේ නැහැ. මේ පාසලත් නිදහසෙන් පසු සෑදූ අනිත් හැම එකක්ම වගේ. එය ගඩොලින් එක පෙළට හදාපු, දූවිල්ල පිරුණු, එක දෙක තුන හතර යනුවෙන් විශාල කාමර හතරකින් සහ එක් කෙළවරක ඇති බාග කාමරයකින් යුක්තයි. ඒ තමා පුස්තකාලය. මේ පංතිකාමරවල කළුලෑලි තිබුණත්, මගේ මිත්‍රයා හුණු කූරු සාක්කුවේ දමාගෙන හිටියේ ඒවා හොරකම් කරන හින්දා. පාසලේ ලෝක සිතියමක්වත් ලෝක ගෝලයක්වත් නැහැ, පෙළපොත් නැහැ, අභ්‍යාස පොත් හෝ පෑන් පැන්සල් නැහැ. පුස්තකාලයේ ළමුන් කියවීමට කැමැති පොත් නැහැ. ඒ වෙනුවට තිබුණේ, ඇමරිකානු විශ්වවිද්‍යාලවලින් නිකුත් කරන ඔසවාගැනීමටවත් නොහැකි බරසාර පොත්, සුදු පුස්තකාලවලින් ඉවත් කළ පොත්, නැතිනම් පැරීසියේ සති අන්තයක්, සතුට ආදරය සොයාගනී වගේ නම් ඇති නවකතා විතරයි.
එතැන, පැරණි තණකොළවලින් ජීවිතය ගැටගහගන්න උත්සාහ කරන එළුවෙක් හිටියා. මුල්ගුරුවරයා පාසලේ මුදල් වංචා කළ නිසා ඔහුගේ සේවය අත්හිටුවා තිබෙන්නේ, අප හැමදෙනාටම හුරු පුරුදු, එහෙත් සාමාන්‍යයෙන් ගාම්භීර සන්දර්භයක් තුළ අසනු ලැබෙන ප්‍රශ්නයක් මතු කරවමින්: “හැමෝම බලාගෙන ඉන්න බව දැන දැනත් ඇයි මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ?”
මගේ මිතුරා ළඟ මුදල් නැහැ. මන්ද, ඔහුට වැටුප් ලැබුණු විට සිසුන්, ගුරුවරුන් ආදී හැම කෙනෙකුම ඔහුගෙන් මුදල් ණයට ඉල්ලාගන්නා නිසයි; බොහෝවිට ඒවා නැවත දෙනු නොලැබේ. අවුරුදු හයේ සිට විසි හය දක්වා සිසුන් එහි ඉන්නවා; මොකද, පාසල් යන්න බැරිවුණු සමහරු ඒ අඩුව පුරවාගන්න ඇවිත් හිටපු නිසා. හැම උදෑසනකම සමහර සිසුන් අව්ව, වැස්ස නොබලා, ගංගා තරණය කරමින් සැතපුම් ගණනාවක් ඇවිදගෙනයි පාසලට එන්නේ. ගමේ විදුලිබලය නැති නිසා ඔවුන්ට ගෙදරවැඩ කරන්න විදියක් නැහැ. දැල්වෙන කොටයකින් ලැබෙන ආලෝකයෙන් පාඩම් වැඩ කිරීම පහසු නැහැ. පාසල් යන්න පෙර සහ පාසල් ඇරී ආපසු ගෙදර එන ගැහැනු ළමයින්ට වතුර ගෙන එන්න සහ කෑම උයන්න තියෙනවා.
මම මගේ මිතුරා එක්ක ඔහුගේ කාමරයේ වාඩිවෙලා ඉන්න විට, මිනිස්සු ලජ්ජාවෙන් වගේ කාමරේට එබිලා පොත් ලබාදෙන ලෙස අයදිනවා. ‘කරුණාකරලා ඔබ ලන්ඩනයට ගියාම අපිට පොත් එවන්න,’ කියලා එක මනුස්සයෙක් කියනවා. ‘ඔවුන් අපට කියවීම ඉගැන්වූවා, ඒත් අපට කියවන්න පොත් නෑ,’ මට හමු වූ හැම කෙනෙක්ම, ඉල්ලා සිටියේ පොත්.
මම එහේ දින කීපයක් හිටියා. දූවිල්ල හමා ගියා. වතුර පොම්ප කැඩී තිබුණ නිසා ගෑනුන්ට සිදු වුණා ගඟෙන් වතුර ගේන්න. ලන්ඩනයෙන් ආ තවත් පරමාදර්ශී ගුරුවරයෙක් මේ ‘පාසලේ’ තත්ත්වය දැකලා අසනීප වෙලා හිටියේ.
අන්තිම දවසේ ඔවුන් එළුවා මැරුවා. ඔවුන් ඌව පුංචි කෑලිවලට කපලා, විශාල ටින් භාජනයක උයාගත්තා. ඒ තමයි හැමෝම පුල පුලා බලා සිටි වාරාවසාන පාටිය: තම්බාපු එළුමස් සමග කැඳ. ඒ වැඩේ කෙරීගෙන යද්දී මම ආපහු අර කැලෑවේ කොට කෑලියි, අඟුරු වුණ ශේෂයනුයි අතරින් වාහනය පැදගෙන එන්න ආවා.
මම හිතන්නේ නෑ මේ ඉස්කෝලේ සිසුන් බොහෝදෙනෙකුට තෑගි ලැබේවිය කියලා.
ඊළඟ දිනයේ මට තිබුණේ උතුරු ලන්ඩනයේ පාසලක කතාවක් පවත්වන්න. අපි කවුරුත් දන්නා බොහොම හොඳ පාසලක්. ඒක අලංකාර ගොඩනැගිලි සහ උද්‍යාන තිබෙන පිරිමි ළමුන්ගේ පාසලක්.
හැම සතියකම මේ පාසලේ සිසුන් දකින්න කවුරු හෝ ප්‍රසිද්ධ පුද්ගලයෙක් පැමිණෙනවා. ඒ තැනැත්තා ඔවුන්ගේ පියවරු, ඥාතීන්, ඇතැම් විට මව්වරු වීම ස්වාභාවික දෙයක්. කීර්තිමත් කෙනෙකු පාසලට පැමිණීම ඒ ළමයින්ට අමුත්තක් වුණ් නෑ.
මම ඔවුන් අමතමින් ඉන්නා අතර, මගේ හිතේ තිබුණේ වයඹදිග සිම්බාබ්වේහි හමා යන දුහුවිල්ල මැද පිහිටි ඒ පාසලයි. මා ඉදිරිපිට තිබෙන මධ්‍යම මට්ටමේ බලාපොරොත්තුසහගත ඉංග්‍රීසි මුහුණු දිහා බලාගෙන මා උත්සාහ කළේ පසුගිය සතියේ මා දුටු දේවල් ගැන ඔවුන්ට කීමටයි. පොත් නැති, පෙළපොත් නැති, ලෝක සිතියමක් ‐ අඩුම ගාණේ බිත්තියට තියා ඇණ ගහපු සිතියමක්වත් නැති පංතිකාමර. උගන්වන්නේ කොහොමදැයි කියා ඉගෙනගත හැකි පොත් ඔවුන්ට එවන ලෙස අයදින අවුරුදු දහඅට හෝ දහනමය වැනි වයස්වල ගුරුවරු. මම මේ ඉංග්‍රීසි ළමුන්ට කියනවා හැම කෙනෙකුම පොත් ඉල්ලා යදින හැටි: “අනේ කරුණාකර අපට පොත් එවන්න.” මට විශ්වාසයි කවදා හෝ කතාවක් පවත්වා තිබෙන කෙනෙකු, තමා ඉදිරිපිට ඇති මුහුණු හැඟීම්වලින් තොර හිස් බැල්මකට හැරී තමන් දෙස බලා සිටින ඒ මොහොත දන්නවා ඇතැයි කියා. ඔබේ අසන්නන්ට ඔබ කියන දේ ගෝචර වන්නේ නෑ. ඔබ කියන දේට ගැළපිය හැකි චිත්‍රයක් ඔවුන්ගේ මනසේ නෑ. මේ අවස්ථාවේදී නම් එය, වාරාවසාන සාදය වෙලේ මරා ලොකු ටින් කටාරමක තම්බාගත් එළුවෙක්, දූවිලි වලා අතරින් පෙනෙණ ජලය හිඟ පාසලක් පිළිබඳ කතාවකි.
ඇත්තටම මේ වරප්‍රසාද ලත් සිසුන්ට, දුගී බවේ අඩියෙහි තිබෙන එවැනි පාසලක් ගැන සිතාගැනීමට පවා බැරිද?
මම මගේ උපරිම උත්සාහය දරණවා. ඒගොල්ල හරිම විනීත ළමයි.
මට විශ්වාසයි ඉන් සමහරෙක් කවදා හෝ ත්‍යාග දිනා ගනීවි.
මගේ කතාව නිම වෙනවා. ඉන් පස්සේ මම ගුරුවරුන්ගෙන් අහනවා, පුස්තකාලය එහෙම කොහොමද, ළමයි කියවනවාද කියා. මේ වරප්‍රසාද ලත් පාසලේදී මට ඇහෙන්නෙත්, ඇතැම් අවස්ථාවල මම එවැනි පාසල්වලට සහ විශ්වවිද්‍යාලවලට පවා ගිය අවස්ථාවලදී ඇහෙන දේ මයි. “ඒ ගැන කියල වැඩක් නැහැ,” ගුරුවරයෙක් කියනවා, “පිරිමි ළමයි බොහෝ දෙනෙක් කිසිම දෙයක් කියවලා නැහැ. පුස්තකාලය පාවිච්චි වෙන්නේ බාගෙට.”
ඔව්, ඇත්ත වශයෙන්ම අපි හැමෝම ඒ තත්ත්වය දන්නවා.
අපි ඉන්නේ, දශක කීපයකට ඉහත අපි නිශ්චිතවම දැනගෙන හිටපු දේවල් ප්‍රශ්න කෙරෙන, අවුරුදු ගණනාවක් ඉගෙන ගැනීමෙන් පසුවත් ලෝකය ගැන මොකුත් නොදන්න, මොනවත් කියවාපු නැති, මොකක් හරි එකක් හෝ තව එකක් ‐ උදාහරණයක් විදියට, කොම්පියුටර් වගේ දෙයක් ‐ ගැන විතරක් විශේෂඥ වෙච්ච තරුණ ගැහැනු පිරිමි ඉඳීම සාමාන්‍ය දෙයක් බවට පත් වුණු කෑලිවලට කැඩී යන සංස්කෘතියක් ඇතුළේ.
අපට වුණ දේ තමයි, පරිගණක, අන්තර්ජාලය සහ රූපවාහිනිය නමැති විස්මිත සොයාගැනීම් බිහිවුණ එක. ඒක විප්ලවයක්. මානව වර්ගයාට මුහුණ දෙන්න සිදුවුණ පළවෙනි විප්ලවය මේක නෙවෙයි. මුද්‍රණ විප්ලවය: මේක දශක කිහිපයක වෑයමකින් බිහිවුණ දෙයක් නෙවෙයි; ඒකට දීර්ඝ කාලයක් ගතවුණා, එයින් අපේ මනස සහ චින්තන රටාව පරිවර්තනයකට ලක් කළා. මෝඩ වීරයෝ කණ්ඩායමක් වගේ අපි ඒ ඔක්කොම බාරගත්තා, හැමතිස්සේම කළ විදියට. මුද්‍රණය සොයාගැනීමත් එක්ක අපට දැන් මොනවද වෙන්න යන්නේ කියල ප්‍රශ්න කළේ නෑ. ඒ විදියටම, අපි අහන්න හිතුවේ නෑ අපේ ජීවිත, අපේ චින්තන රටාව, පරම්පරාවක්ම මෝඩකමින් මත් කරලා දාපු අන්තර්ජාලය නිසා වෙනස් වෙන්නේ කොහොමද කියලා. තමන් ඒකට ගැටගැහුණාට පස්සේ ගැලවීම බොහොම අමාරු බවත්, අන්තර්ජාලයේ සැරිසරමින් මුළු දවසක්ම ඔහේ ගතවී ගිය හැටිත් ඉතාම හොඳ ස්වයං‐විනිශ්චයක් ඇති අය පවා මාත් එක්ක පාපොච්ඡාරණය කරලා තියෙනවා.
මෑතක් වන තුරුම, සාමාන්‍ය අධ්‍යාපනයක් ලැබූ අය තුළ පවා ඉගෙනීමට, අධ්‍යාපනයට, සහ අපේ මහා සාහිත්‍ය ගබඩාවට ගෞරවයක් තිබුණා. ඇත්ත වශයෙන්ම අපි දන්නවා මේ සන්තෝසෙන් ඉන්න කාලේ මිනිස්සු පොත් කියවන බවක් අඟවනවා විතරයි, ඉගෙනීමට ගරු කරන බව අඟවනවා විතරයි. ඒත් වැඩකරන මිනිස්සු, ගැහැනු පොත්වලට ආශා කළ බව වර්තාවල තියෙන දෙයක්. වැඩකරන මිනිසුන් සඳහා 18 සහ 19 සියවස්වලදී පුස්තකාල, ආයතන සහ විද්‍යාල ඇතිකර තිබීමෙන් මේ කාරණය තහවුරු වෙනවා.
සාමාන්‍ය අධ්‍යාපනයේ කොටසක් හැටියටයි පොත් කියවීම පැවතුණේ.
තරුණ පෙළට කතාකරන වැඩිහිටියෝ තේරුම්ගත යුතු දෙයක් තමයි, පොත් කියවීම මොන තරම් විශාල අධ්‍යාපනයක්ද කියන දේ. මොකද, තරුණ පෙළ දන්නේ ඉතාම ටිකයි. ළමයින්ට කියවන්න බැරිනම්, ඒ කියන්නේ ඔවුන් කියවලා නැති බවයි.
අපි හැමෝම දන්නව මේ දුක හිතෙන කතාව.
ඒත් අපි නොදන්න දේ තමයි ඒකේ අවසානය මොකක්ද කියන එක.
අපි ‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ කියන පුරාණ ආප්තෝපදේශය ගැන හිතනවා නම් ‐ වැඩිපුර කෑම ගැන තියෙන විහිළු කතා අමතක කරලා ‐ කියවීම නිසා මිනිහෙක් හෝ ගැහැනියක් ඉතිහාසය සහ නොයෙකුත් වෙනත් දේ ගැන දැනුමින්, තොරතුරුවලින් පිරී යනවා.
අපි, බටහිර මිනිස්සු විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්නේ. සිම්බාබ්වේහි ජීවත් වුණ මගේ මිත්‍රයෙක් මෑතකදී කී දෙයක් තමයි, එක් ගමක හිටපු දවස් තුනකින් ආහාරයක් නොලැබුණු මිනිස්සු පොත් ගැන, ඒවා ලබාගන්නේ කොහොමද කියන එක, අධ්‍යාපනය ගැන කතා කරමින් සිටි බව.
ගම්වල මිනිසුන්ට කියවීමට පොත් ලබාදීමේ අරමුණින් ආරම්භ කළ සංවිධානයක මමත් සාමාජිකයක්. වෙනත් සංවිධානයක මිනිස්සු කණ්ඩායමක් වරක් සිම්බාබ්වේ සංචාරයක යෙදුණා ඒ රටේ බිම් මට්ටමේ ජීවිතය ගැන අවබෝධයක් ලබාගන්න. එගොල්ල මට කීවේ, වාර්තාවල තියෙනවාට වඩා මේ ගම් හරිම වෙනස්; ඥානවන්ත මිනිස්සු පිරිලා, විශ්‍රාමික ගුරුවරු, නිවාඩු පිට ඉන්න ගුරුවරු, පාසල් නිවාඩුව ගතකරන ළමයි, වයසක මිනිස්සු. සිම්බාබ්වේ මිනිස්සු කියවන්න කැමති මොන විදියේ පොත්ද කියලා සොයාගන්න කළ කුඩා සමීක්ෂණයකට මමත් වියදම් කළා. එහි ප්‍රතිඵල, ස්වීඩනයේ සිදුකළ මම නොදැන සිටි එවැනි සමීක්ෂණයක ප්‍රතිඵලවලට සමානයි. යුරෝපයේ ඉන්න අපි කියවන්න කැමති පොත්ම තමයි ඒ මිනිස්සුත් කියවන්න කැමති ‐ හැම වර්ගයකම නවකතා, විද්‍යා ප්‍රබන්ධ, කවි, රහස් පරීක්ෂක කතා, නාට්‍ය, සහ විවිධ වැඩ ‐ උදාහරණයකට, බැංකු ගිණුමක් විවෘත කරගන්නේ කෙසේද වගේ ‐ තනිවම කරගන්න විදිය කියාදෙන (Do‐it‐yourself) පොත්, සහ ෂේක්ස්පියර්ගේ කෘති ඔක්කොම. තියෙන්නේ මොන විදියේ පොත්ද කියලා නොදැන සිටීම තමයි ගම්වැසියන්ට පොත් සොයාගන්න තියෙන ගැටලුව. ඉතින්, පාසල්වල අධ්‍යයනයට නියම කළ කැස්ටර්බ්‍රිජ්හි නගරාධිපති (The Mayor of Casterbridge) වගේ පොතක් ජනප්‍රිය වෙන්නේ මොකද ඒක විතරයි එහේ තියන්නේ. පැහැදිලි හේතු මත, ගොවිපළේ පෙරළිය (Animal Farm) තමයි එහේ වඩාත්ම ජනප්‍රිය පොත.
(ඊළඟ කොටස ඉදිරි කලාපයේ)