ෆොන්සේකාගේ කෙටි කතා රංඟනය

Share post:

තිලංග ෆොන්සේකාගෙ “බල්ලා කැටුව ගිය කාන්තාව ඒ මගේ අම්මා” කෙටි කතා පොත කියවල ටික දවසක් වෙනව.ඒ ගැන ඉක්මනින් යමක් ලියන්න ඕන කියල හිතුනත් තව ටිකක් කතා ටික ඔළුව ඇතුලෙ කැරකෙන්න දුන්න.දැන් ඒ ගැන මට හිතෙන දේවල් ටික ලිහල දාන්න අවස්ථාව.
පොතේ කෙටි කතා හතයි.හතම එත මට්ටමේ නැතත් ඒ කතා කියෙව්වම එක එක⁣ දේවල් දැනිල එක එක අදහස් එන්න ගත්ත.මේ මට එහෙම ආපු අදහස් ටිකක්.මේක මේ කෙටි කතා පොත ගැන විචාරයක්වත් විමසුමක්වත් විග්‍රහයක්වත් ඇගැයිමක් හෝ ගැරහීමක්වත් නෙවෙයි.මේව ඒ කතා කියවල මගේ ඔළුවට ආපු (ඇතැම් විට විකාර සහගත) අදහස් ටිකක් විතරයි.මේ දේවල් හරහා පොත කියවන්න උනන්දුවක් ඇති වෙයිද නැද්ද කියල මම හරියට දන්නෙ නෑ.

පළවෙනි කෙටි කතාව”මධ්‍යම ප්‍රතිපදාව”.

සේනක කියන සිත්තරා සහ වැඩිදුර අධ්‍යාපනයට විදෙස්ගතව පැමිණි සේනක⁣⁣ගෙ විශ්ව විද්‍යාල මිතුරා රිචඩ් අතරෙ තමයි කතාව යන්නෙ.සරසවි ප්‍රේමයක් අබිලික් වෙලා ලයිෆ් එක චොර කරගෙන පොඩි අපිස් ජීවියකට සෙට්වෙලා චිත්‍ර ඇඳ ඇඳ ඉන්න සේනක බලන්න කාලෙකට පස්සෙ රට ඉදල ආපු රිච්ඩ් ඇදල ගන්න පරණ කතාවලින් තමයි දෙන්නගෙ ස්ටෝරිය හෙළිදරව් වෙන්නෙ.මේ කතාව මැද්දෙන් ඉන්නව සේනකගෙ නවාතැන කිට්ටුව පදිංචි රෝජා කියල දෙමළ කාන්තාවක්.සේනකට කෑම එහෙම දෙන්නෙ එයා.

බැලූ බැල්මටම සිම්පල් මීට කලින් අහල කියවල පුරුදුත් වගේ සිද්ධි ටිකක්.හැබැයි මට මේකෙ කතාව තියෙන්නෙ මේ කියන ටිකේ නෙවෙයි.මෙතනින් එහාට මම කතාව ලියාගන්නව.ඒක ෆිල්ම් ස්ක්‍රිප්ට් එකක් වෙන්න පුළුවන්.මේ කතාව දිගේලි කරල එහෙම වැඩක් කරන්න පුළුවන්.සේනකගෙයි රිචඩ්ගෙයි රෝජාගෙයි කතා තුන සමාන්තරව දිිවෙන ලිවිල්ලකදි මම වැඩියෙන්ම හාරාවුස්සල ගන්නෙ රෝජගෙ කතාව.තිලංග මෙතන චුට්ටක් කියල නවත්තන රෝජගෙ කතාවෙන් තමයි මට වැඩේ දිග්ගස්සන්න හිතුනෙ.ඒක ගැඹුරට කණින්න හිතෙන චරිතයක්.

දෙවෙනි කතාව “බල්ලා කැටුව ගිය කාන්තාව – ඒ මගේ අම්මා”

මේ පොතේ තියෙන තිලංග අතින් ලියවුණු බරපතලම කෙටිකතාව මේක කියල මට හිතෙනව.ස්ට්‍රක්චර් එක වගේම ඒ ගෙතුම සිරා එකක්.පරිවර්තන කෙටි කතාවකට ඉතාම ආසන්නයි.කතාව මුල ඉදල අගට කියන්න යන්නේ නෑ.මේ කතාවෙ මාව දරුණු විදියට තිගස්සපු තැන ගැන විතරක් කියන්නම්.දෙදෙනෙකුගෙ සම්බන්ධයකින් තුන්වැන්නෙකුගේ පපුවට වදින කරන්ට් එක ගැන මීට පෙර නොදැනුන දෙයක් මේකෙන් මට දැනුන.ඒ තමයි කාන්තාවක් තමන්ගෙ පිරිමියා වෙනත් කාන්තාවක් එක්ක කොයිතරම් සම්භෝග ගනුදෙනුවක යෙදිල අහුවෙනවටත් වඩා බය වෙන එක තමයි ඔහු ඒ කාන්තාවට ඇත්තටම ප්‍රේම කරනව දැනෙන එක කියල මේ කතාවෙ සදහන් වෙන එක.
මට තිලංගට හග් එකක් දෙන්න මේ කතාව විතරක් ඇති.

තුන්වෙනි කතාව “පශ්චාත් ‘නුතන’ ගුරු ගීතය”

රවින්ද්‍රනාථ කියන විශ්ව විද්‍යාල ආචාර්යවරයගෙ කාමරයට හොරෙන් රිංගපු එයාගෙ ශිෂ්‍යාව එක්ක අපිවත් ඒ කාමරේ පැය කීපයක් රඳවන තිලංග මට මම දන්න කියන අපේ විශ්ව විද්‍යාල ආචාර්යවරු කීප දෙනෙක් සිහිකැදවනව.හඳගමගෙ “ඇගේ ඇස අග” ඇතුළු මීට ළගින් යන චිත්‍රපටි නවකතා කෙටිකතා කීපයක් සිහිකැදවනව.මේ ගනුදෙනුව පිටස්තරයින්ගෙන් වහන් කරන්න කාමරේ දොරඟුලට කඩදාසි ගුලි එබුවට මිනිහගෙ හෘද සාක්ෂියේ සිදුරු වහන්න නම් ඔබන්න දෙයක් නෑ.කතාවෙ එන්ඩ් එක සිරා.ලෙක්චර්යගෙ කාමරේ ඉදන් මිනිහගෙ දිහා බලන් ඉන්න චේ සහ ඕෂෝගෙ ෆොටෝ වෙන තැනක එල්ලන්න මිනිහ තීරණය කරනව.ම දන්න මේ ටයිප් කැම්පස් ගුරාලගෙ නම් කීපයක් තව පොඩ්ඩෙන් මෙතන ලියවෙනව.

“වික්ටෝරියා නම් නොසන්ඩාල ස්ත්‍රිය” කතාවත් හෘද සාක්ෂිය එක් හැප්පෙන මිනිහෙකුගෙ කතාවක්.ගෑණු කිසිම දෙයක් නොකර මිනිස්සුන්ව කොයිතරම් භීතියට පත්කරනවද කියල හිතෙනව.

“ද ගෝඩ් ෆාදර්” අපිව කොයිතරම් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකේ හිරකාරයො කරලද කියල හිතල බය වෙන්න බල කරන කතාවක්.
“සෙවනැලි ඝාතක” කතාවෙ එන ජාතියෙ තමන්ගේ ඇත්ත අතීතයට බයේ ඒකට නිතර නිතර පිහි පාරවල් ඇනල විනාස කරන්න මාන බලන පොලිටීෂියන්ල මට ඇත්තටම හම්බවෙලා තියෙනව.

“මං පැරදුනේ ගැහැනියකට” කතාව ඇතුලෙ ගෑණු එක්ක භජනෙට ගිහින් පිරිමින්ට කෙලවෙන්න පුළුවන් විලාස සොබාව මරුවට ලිහල දානව.
මේ කිව්වේ මේ කෙටි කතා ගැන පුංචි ටිප්ස් කීපයක්.මේ කතාවලින් මම තව කතා රැසක් හිතේ ප්‍රතිරචනා කරගත්ත.ඒ කතා මේ කතාවලට සම්බන්ධ නොවේ. සම්බන්ධ නොවන්නේද නොවේ.මේ කතා දිගේලි කරල මගේ අතිනුත් තව කතාව දෙකක් ලියවෙන්න බැරි නෑ.

ප්‍රියන්ත කොඩිප්පිලි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...