හදිසියේ ඇති වූ හෘද්‍යාබාධ තත්වයක් නිසා ලංකාවේ විශිෂ්ඨතම ලේඛිකාවක් සහ සටන්කාමී පුවත් කතෘවරියක්ද වූ අනුල ද සිල්වා මහත්මිය තම ජීවන ගමන නිම කරයි . ඇගේ දේහය අවසාන ගෞරවය දැක්වීම සඳහා ජයරත්න මල් ශාලාවේ තබා ඇති අතර අවසන් කටයුතු ලබන 14 වන සඳුදා බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
අනුලා ද සිල්වා උපත ලැබුවේ 1941 ජනවාරි 27 වැනිදා අම්බලන්ගොඩ පොල්වත්ත ගම්මානයේය. අනුලා සිය පළමු නවකතාව “උන්මන්තකයෝ” ප්‍රකාශයට පත් කළේ 1964 දීය. ඉන්පසු ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් නිර්මාණාත්මක ලේඛන පිළිබඳ පුවත්පත් කලාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සම්පූර්ණ කළාය. අනුලා 1964 දී ගුරුවරියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. ඒ අතරම තරුණ ලේඛිකාවක් ලෙස ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වීමට ඇයට අවස්ථාව ලැබුණි. එමගින් ඇය “මිහිර” හි පූර්ණ කාලීන ලේඛිකාවක් බවට පත් වූවාය.
1982 දී ඇය විජය නිවුස් පේපර්ස් හි කාන්තා සතිපතා වන “සිරිකත” හි ප්‍රථම කර්තෘවරිය ලෙස සම්බන්ධ වූවාය. වසර කිහිපයකට පසු ඇය ශ්‍රී ලංකාවේ ජාතික තරුණ සේවා සභාවේ තරුණ සංවර්ධන කටයුතු සඳහා ඇගේ දායකත්වය ලබා දුන්නාය. ප්‍රවීණ ගත්කරු සෝමවීර සේනානායක 1986 දී ලිට්ල්රෝස් ප්‍රකාශණ සමාගමට සම්බන්ධ වූ ඇය එහි ළමා ප්‍රකාශණය වූ “හඳමාමා” පුවත් පත අරම්භ කළාය. අණතුරුව නැවතත් විජය පුවත් සමාගමේ කාන්තා සතිපතා සඟරාව වන “වනිතා විත්ති” ආරම්භ කිරීමට ඇරයුම් ලැබූ ඇය එහි ප්‍රථම කතෘවරිය විය. ඇය කාන්තාවන් පිළිබඳ ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවීය.
නවකතා, පරිවර්තන සහ ළමා පොත් ඇතුළු පොත් 125 කට වඩා ලියා ඇති ඇය සිය කාන්තා සතිපතා, ගුවන්විදුලි වැඩසටහන් සහ පොත්පත් කාන්තාවන් සහ ඔවුන්ගේ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කිරීමට සහ කාන්තාවන් ඔවුන්ගේ ගැටලුවලට ධෛර්යයෙන් මුහුණ දීමට ධනාත්මක ගුණාංග සහ සාරධර්ම වර්ධනය කර ගත යුතු ආකාරය භාවිතා කළාය. ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දීමට කාන්තාවන්ට ශක්තියක් ඇති බව ඇය විශ්වාස කරයි, ඇයට අවශ්‍ය වන්නේ කාන්තාවන් තමන්ගේම ශක්තිය සොයා ගැනීමයි. ඇය සිය පරිවර්තන හරහා ලෝක සාහිත්‍යයේ නිර්භීත කාන්තා චරිත සිංහල පාඨකයන්ට හඳුන්වා දීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි.
මගේ දෙවැනි මව මෙන් වූ ඇය මට මුලින්ම මුන ගැසෙන්නේ ලිට්ල්රෝස් ප්‍රකාශණ සමාගමේදී 1986 දීය. අනුල ද සිල්වා මෙන්ම ආධුනික පුවත්පත් කලාවේදියෙක් ලෙස මාද එම සමාගමට බැඳුනේ සෝමවීර සේනානායකයන් නිසාවෙනි. එම සමාගම වෙනුවෙන් “හඳමාමා” පුවත් පත සැළසුම් කරමින් සිටි අනුල අක්කා ඡායාරූප ගැනීමට සහ ඇතැම් ලිපි ලිවීමටත් මට බාර කලේය. ඇය සමග වැඩ කිරීම මට සතුටක් වූ අතර ආධුනිකයෙක් වන මට අවශ්‍ය ගුරු හරුකම් ඇය ඉතා නිහතමානීව ලබා දුන්නාය. පසුව ඇය එයින් ඉවත් “වනිතා විත්ති” ආරම්භ කිරීමට විජය ප්‍රකාශණ සමාගමට ගිය අතර ඇගේ සහයට මමද එයට එකතු විය. වනිතා විත්ති ආරම්භ කර වසකට පමණ පසුව මට Sunday Times හි ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියෙකු වීම සඳහා ඇය ඉතා කාරුණිකව වනිතා විත්ති හි සේවා වගකීම් වලින් මාව නිදහස් කලාය. පසු කලෙක ඇය මගේ විවාහයේ සාක්ෂිකාරිය වූවාය.
ජනාකීර්ණ මෝදර නිවාස සංකීර්ණයේ ජීවත් වූ ඇය, තම සැමියා මිය ගිය පසුව තම දරුවන් දෙදෙනා ඉතා හොඳින් හදා වඩා ගත්තාය. ඔවුන් විවාහ වී වෙන්ව ගිය පසුව, දරුවන් වෙත නොයා හුදකලාව මෝදර නිවසේ ජීවත් වූ ඇය දවසින් වැඩි කාලයක් ගත කලේ පොත පත ලිවීම සඳහාය. මට ලංකාවෙන් බැහැර වීමට සිදුවීම ගැන ඇය දුක් වූවත් මට ධෛර්යය දෙමින් ඇය වරින් වර දුරකථනයෙන් අපගේ සැප දුක් විමසා සිටියාය. සම්ප්‍රදායික ලාංකික කාන්තා ප්‍රතිරූපයෙන් බැහැර වූ ඇය ස්වාධීන නිදහස් මතධාරිනියකි. කම්පාවීමට ඇගේ ජීවිතය තුල ඉඩක් නොතිබුනු අතර ඇය ඒවා අකුරු බවට අනුවර්තනය කරමින් ඇගේ බාවයන් පොදුබාවයන් බවට පත් කලාය.
අනුරුද්ධ ලොකුහපුආරච්චි