දේශපාලකයින්ගේ රෙදි ගැලවූ පඬු කරඳ අනුහස

Share post:

ශ්‍රී ලංකාවේ මෑතකදී වඩාත්ම විවාදයට ලක්වූ වෘක්ෂය වන දාරළුවේ පඬු කරඳ ගස දැන් සිටුවා තිබෙන්නේ ගම්පහ අස්ගිරිය උද්භිද උද්‍යානයේය. එය නැවත යථා පරිදි දළු දමා තහවුරු වේ ද යන්න උද්භිද විද්‍යාවට ගැනෙන කාරණාවකි. ඒ කෙසේ වෙතත් වසරකට වැඩි කාලයක් ඇදී ගිය පඬු කරඳ ගහේ කතාවෙන් මෙරට දේශපාලනයේ සැබෑ නිරුවත හෙළිදරව් විය. අවසානයේ ජය ගත්තේ විධායකය නොව අධිකරණයයි.

මහා මාර්ග ඇමති බන්දුල ගුණවර්ධනගේ කැබිනට් පත්‍රිකාවේ කතාව රෑ තුන් යම නැටූ තොවිලයකින් හමාර විය. පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ උඩස්ගිරියේ සමිත හිමියන් යුක්තිය හා සාධාරණත්වය උදෙසා අධිකරණය කෙරෙහි තැබූ විශ්වාසය මල් පල ගැනිණ. ඇමැති බන්දුල ගුණවර්ධන ගස කපා දැමීම සඳහා කැබිනට් තීරණයක් ඇති බව ප්‍රකාශ කරමින් අගනා වෘක්ෂය රහසිගතව කපා වලලන ලදී. හෙතෙම එසේ කළේ ගසෙහි ආරක්ෂාව සහතික කරන බවට මාර්ග සංවර්ධන අධිකාරිය 2022 වර්ෂයෙහි අභියාචනාධිකරණය හමුවේ දෙන ලද ප්‍රතිඥාවක් ද නොසලකා හරිමිනි .

කැබිනට් පත්‍රිකාවක් ගැන කතා කළ නමුත් කැබිනට් පත්‍රිකාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටි අවස්ථාවේ ඔවුන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ නැත. විධායක බලයක් සහිත ජනාධිපතිවරයෙකු සිටින ආණ්ඩුවක් දාරළුවේ ජනතාව නින්දේ සිටියදී මහ රෑ ගස කපා වලලන්න ට තරම් නිවට වීම හිතා ගන්නටවත් අසීරු බාල වැඩකි.

කැබිනට් අනුමැතියක් තිබුනානම් රෑ හොරෙන් ගස කැපුවේ මන්දැයි පාර්ලිමේන්තුවේදී විපක්ෂය ප්‍රශ්න කළ විට ඇමති බන්දුල උත්තර දුන්නේ රාජ්‍ය නිලධාරීන් ක්‍රියාකාරීන් පිරිසක් වීම නිසා කැබිනට් තීන්දුව ලබාගත් මොහොතේම ගස කපා වල දැමූ බවය. තෙත් කලාපයේ ශාකයක් වන පඬු කරඳ පැල යාපනයේ සහ කතරගම සිටුවා ඇමතිවරයා අපූරු ප්‍රහසනයක් ද පසුගිය දිනවල ඉදිරිපත් කළේය.

පඬු කරද ගස ආරක්ෂා කිරීමේ වගකීම බාර ගම්පහ අතිරේක දිසා වන නිලධාරි තැන , ගස කැපුවේ කවුදැයි දැන සිටියේ නැත. රටේ මහජනතාව සතු පොදු දේපලක්වූ රතු දත්ත පොතට ඇතුළත් crudia zeylanica වෘක්ෂය අතුරුදහන්වීම පිළිබඳව දිසා වන නිලධාරී විසින් වහාම ගම්පහ අධිකරණය දැනුවත් කරන ලදී . එතැන් සිට ඉදිරි කටයුතු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නියමයන් අනුව සිදුවිය .

පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ උඩස්ගිරියේ සමිත හිමියන් මෝසමක් ඉදිරිපත් කිරීම මගින් සම්බන්ධ වී අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය. සමිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්දිනු ධීරසේකර ගරු අධිකරණය දැනුවත් කර තිබුණේ අදාල වෘක්ෂය ශ්‍රී ලංකා රජය සතු පොදු දේපලක් බැවින් එහි ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමට රටේ පුරවැසියන්ට අයිතියක් ඇති බවය.

පඬු කරද ගස රහසිගත වල දමා දින 18 කට පසුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය පැමිණිල්ලේ කරුණු දැක්වීමට අදාළව අතිශය වැදගත් නියෝගයක් ලබා දෙන ලදී. පඬු කරද වෘක්ෂය වළදමා තිබූ ස්ථානයෙන් ගොඩගෙන ගම්පහ උද්භිද උද්‍යානයේ නැවත සිටුවන ලද්දේ ඒ අනුවය .

කැබිනට් මණ්ඩලය ගන්නා ලද තීරණයක් අභිබවා යෑමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැතැයි මහා මාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය දිගින් දිගටම කරුණු දක්වා තිබිණ. එසේ වුවද ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මූලික ස්ථානයෙහිලා සැලකෙන්නේ ජනතා පරමාධිපත්‍යය බවත්, ව්‍යවස්ථාදායකය අණපනත් සම්මත කර තිබෙන්නේ එකී ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම සඳහා බවත්, විධායකයට එම අනුලංඝනීය අයිතිය යටපත් කළ නොහැකි බවත් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් පෙන්වා දී තිබුණි.

පඬු කරද ගස තිබූ බිම් කොටස අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා රජයට පවරා ගන්නා ලද්දක් බැවින් එහි ඕනෑම ආකාරයක කටයුත්තක් කිරීමට රජයට බලය තිබේ යැයි ඇමැති බන්දුල දැක්වූ අදහස මුළුමනින්ම නිෂ්ප්‍රභ විය . ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ ශාකයක් වූ පඬු කරඳ ගස ආරක්ෂා කර ගැනීම උදෙසා රටම අවදි වූයේ ඒ නිසාය .

ආණ්ඩුවට මෙයින් දෙන පණිවිඩය වන්නේ දේශපාලකයින්ගේ උද්දච්ච කම් මත රටේ ජාතික සම්පත් සම්බන්ධයෙන් වැරදි තීරණ ගන්නට අයිතියක් නැති බවය. රටේ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීම උදෙසා නිවැරදි තීන්දු ගන්නා අධිකරණයක් තවදුරටත් ශ්‍රී ලංකාවේ පැවතීම ජනතාවට මහත් අස්වැසිල්ලකි.

උදේනි සමන් කුමාර

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...