Frame නොකළ ප්‍රේම්ගේ ලෝකය

Share post:

රේම් ගේ “ප්‍රේම පුරාණය” අගෝස්තු 25 එළිදකී

ප්‍රේම් දිසානායක වසර 50 ක් පුරා ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාවෘත වූ කලාකරුවෙක්. ඔහු පොත් ප්‍රකාශකයකු ගේ භූමිකාවට පණ දෙන්නේ පුවත්පත් කලාව, සංගීතය, සිනමාව, නාට්‍ය, චිත්‍ර කලාව ඇතුළු ක්ෂේත්‍රයන්හි නිමග්න දිවියේ අද්දැකීම් සහ බහුවිධ සමාජ සබඳතා හදවතෙහි දරාගෙන.
අඩසියවසක ජීවිත හා වෘත්තීය අත්දැකීම් අළලා ප්‍රේම් විසින් රචිත ස්වයං ලිඛිත චරිතාපදානය ‘ප්‍ර්මෙ පුරාණය’ ජීවන විත්ති කෘතිය අගෝස්තු 25 පස්වරු 3.30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදකිනවා.

මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය සරත් අමුණුගම, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ආචාර්ය මාලිනී ෆොන්සේකා, තිලකරත්න කුරුවිට බණ්ඩාර, කුලරත්න ආරියවංශ, ප්‍රසන්න විතානගේ සහ සමන් අතාවුද හෙට්ටි මෙහි දෙසුම් පැවැත්වීමට නියමිතයි.

ප්‍රේම් සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් ලියන ලද මෙම ලිපිය 2012 දෙසැම්බර් 02 වැනිදා රාවය පුවත්පතෙහි පළවූවක්.

ගොඩ මඩ දෙකම සරුසාරය ඵලබරය කියනකොට ගුරුතුමා ඒක කළුලෑල්ලේ ඇන්දා. ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය කියනකොට ගඟකුත් අඳිනවා. මේ රූපාවලියත් එක්ක පාඩමට පුදුම ඇල්මක් ඇතිවෙනවා. පන්තියක හතළිස් දෙනකුගේ මනස වෙනස් කළහැකි ඒ චින්තන ධාරාවට සමාජයටත් බලපෑමක් කළ හැකියි. ඒත් රස්සාව වෙනුවට ශිෂ්‍යයා සමාජගත කරපු ඒ ගුරුවරුන්ගේ භූමිකාව අවසන්වෙමින් තිබෙනවා. අනෙක් අතට ඒ විඳීමත් අහෝසි වෙලා තිබෙනවා.

ප්‍රේම් දිසානායක Fastads පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාය. එය ඔහු පිළිබඳ සරල හැඳින්වීමක් වන්නේ ප්‍රේම් නිරත ක්ෂේත්‍ර ගණනාවක වැඩ කටයුතු ඉන් තරමක් ලඝු කැරෙන ස්වභාවයක් තිබෙන නිසාය. ප්‍රේම් යනු සාහිත්‍ය, චිත්‍ර කලාව, පුවත්පත් කලාව, කවි හා කෙටිකතා රචනය, සිනමාව ගැන ලිවීම ආදී කලාප රැසක පරිචයක් හා සතතාභ්‍යාසයක් ඇති නිර්මාණවේදියෙකි. ඒ සියල්ලටමත් වඩා හෙතෙම මිතුරන්ට බිතුසිතුවම් රූ බඳු හැර නොයන මිතුරෙකි. උපකාරක මිත්‍රයෙකි.

“මම උසස් පෙළට කළේ විද්‍යා විෂයයන්. කලාව පැත්තට යොමුවෙන්නෙ මට ඒ ගැන තිබුණු ඇල්ම නිසයි. සාහිත්‍යයත්, චිත්‍ර ශිල්පයත් සංවේදී ලෙස මිනිස්සුන්ට ආමන්ත්‍රණය කළ හැකි මාධ්‍ය දෙකක්. මම මේවායේ කායිකාව හැසිරෙන්න වැඩි කැමැත්තක් දැක්වූවා. කලාවෙන් පුද්ගලයකුගේ හැසිරීම් රටාවේ වෙනසක් කළ හැකියි. තමන්ගෙ අධ්‍යාපනය පසෙකලා ආශාව මත ශිල්පයක නියැලිලා ජීවිතය ජයගන්නවා කියන එක අභියෝගයක්. හැබැයි නිවැරදිව හා අවංකව ඒ කටයුත්තෙහි යෙදෙනවා නම් ඒ අභියෝගය ජයගත හැකියි.

තාත්තාගේ බලාපොරොත්තුව වූයේ ප්‍රේම් වෛද්‍යවරයකු වනු දැකීමය. ඒ බලාපොරොත්තුව ඉටුකරදීමට නොහැකිවීම ගැන ප්‍රේම් එදා දුක්වූ නමුත් අටලෝ දහමින් කම්පා නොවන්නකු වූ ප්‍රේම්ගේ පියා, වෛද්‍යවරයාගේ සිහින් සිහිනය ප්‍රේම් තුළින් බොඳවී යෑම ගැන කිසිසේත්ම දුක් නොවන්නට ඇති බව අද තමන්ට ප්‍රත්‍යක්ෂ වී ඇති බව කියයි. එහෙත් එදා මේ පිළිබඳ සාංකාකූල හැඟීමකින් මඬනා ලද නව යෞවනයකු වූ ප්‍රේම් ඉක්මනින් යැපීම් මගක් සොයාගැනීමට යුහුසුලු වුණේය. හෙතෙම පාසල් සමය නිමවූ සැණින් එනම් 1967දී ‘ඇත්ත’ පුවත්පතට සම්බන්ධවන්නේ බලාපොරොත්තු බිඳීයෑම හා අනාගතය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් යටතේය.

“මම වාමාංශික අදහස් දරපු කෙනෙක්. හිතේ තිබුණු දේවල් ලියාගන්න ‘ඇත්ත’ හොඳ තැනක් වුණා. වියට්නාම් යුද්ධය පිළිබඳව අපි ඒ කාලෙ ඇමරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධව කවි ලිව්වා. කර්තෘ බී.ඒ. සිරිවර්ධන. ආරියවංශ පතිරාජ, සිරිලාල් කොඩිකාර, ජැක්සන් සේනාරත්න, රිචඩ් විජේසිරි වගේ කට්ටිය එකට වැඩ කළේ. ඒගොල්ලොත් එක්ක ගත කරන්න ලැබුණු ජීවිතය හරිම තෘප්තිමත් එකක් වුණා. ලිය ලියා ඉන්න අතරෙ හදිසියෙම මට අඳින්නත් සිද්ධ වුණා. ඒ අපිත් එක්ක වැඩ කරපු මොටාගෙදර කාටද ගහලා ඒක දුරදිග ගිහින් හදිසියෙම අස්වෙච්ච නිසා. ඊට පස්සෙ ඇත්තේ චිත්‍ර ශිල්පියා වුණේ මම.” ප්‍රේම්ට එක තැනක ඉන්න බැරි ප්‍රශ්නයක් තිබුණු බව පෙනේ. ඇත්තෙන් සමුගත් ඔහු ඉක්මනින්ම ලේක්හවුස් ආයතනයට බැඳුණේය. අනතුරුව ටයිම්ස් එකට ආවේය. එතැනිනුත් දවසටය. මේ විදියට පත්තර ගණනාවක වැඩ කළ ප්‍රේම්ට තවත් යන්නට තරම් අලුත් පත්තරයක් රටේ නොමැති විය.

“ඒක මම ඉව අල්ලගෙන ගිය ගමනක්. ඒත් අන්තිමට මට ඒ වැඩෙත් ඒකාකාරීවෙලා පූර්වකාලීනව අඳින්න පටන් ගත්තා. දවසක් මට රාජ්‍ය මැණික් සංස්ථාවෙ දැවැන්ත බෝඩ් එකක් අඳින්න ලැබුණා. මම දැන් දැවැන්ත බෝඩ් එකක් ලොරියක පටවගෙන ඉලක්කයක් නැතුව ඔහේ යනවා. වැඩේ භාරගත්තට මේක ගෙනිහින් තියාගෙන අඳින්න තැනක්වත් මට තිබුණේ නැහැ. මීතොටමුල්ල පැත්තට ඔහේ යනකොට ජැෆර්ජි බ්‍රදර්ස් පිටිපස්ස පැත්තෙ විශාල තාප්පයක් තියනවා මං දැක්කා. ලොරිය නවත්වන්න කියලා දැවැන්ත බෝඩ් එක වදෙන් පොරෙන් අර තාප්පෙට හේත්තු කර ගත්තා. එතනම පලංචියකුත් ගැහුවා. ඒ කාලෙ මම මේ වගේ සමහර වැඩ කළේ අත්තනෝමතික විදියට. හැබැයි මම හිතුවක්කාර විදියට ගත් පියවරයන් වැරදුණේ නැහැ.”

ප්‍රේම් සහ තවත් සගයන් දෙදෙනකු සති දෙකක් පුරා මැණික් සංස්ථාවේ දැන්වීම ඇන්දෝය. ඒ උදව්කාරයන් දෙදෙනා අද වන විට විශ්වවිද්‍යාලවල උසස් තනතුරු දරන බව ප්‍රේම් කීවේය. ඔවුන් කළ වැඩේ ගැන තෘප්තිමත් වූ ආයතන ප්‍රධානියා ප්‍රේම්ට තවත් වැඩ ගණනාවක් පවරා තිබේ. ඒ සියල්ල මනාව ඉටු කරන අතර අසුවන සෑම වැඩක්ම ප්‍රේම් අත් නොහරින්නටද වගබලා ගත්තේය.

78 වන විට ලංකාවේ ගීත කැසට් පට ව්‍යාපාරය හිස ඔසවන්නේ ශීඝ්‍රයෙනි. කැසට් කවර නිර්මාණය නමැති විෂය තුළ නව අත්හදා බැලීම් කිහිපයක් සිදුකරන ප්‍රේම් ඉක්මනින්ම ලංකාවේ වඩාත් නිර්මාණාත්මක කැසට් කවර නිර්මාණවේදියා බවට පත්වෙයි. මේ සඳහා විශාල ඉල්ලුමක්ද ඇතිවෙයි.

“මේ වැඩේ ලංකාවට ආධුනිකයි. වර්ණ මුද්‍රණ කටයුතු මෙරටදී කෙරුණෙත් නැහැ. ආර්ට්වර්ක් හදලා සිංගප්පූරුවට යවනවා ප්‍රින්ට් කරන්න. ඒවා මුද්‍රණයේදී කුඩා කළ යුතු ප්‍රමාණය, දිග පළල ආදී උපදෙස් අපි ඒ සමගම සිංගප්පූරුවේ මුද්‍රණකරුට ලියා යවන්නත් ඕනෙ. මොකද කවුරුහරි අතේනෙ මේක ඒ දවස්වල සිංගප්පූරුවට ගෙනියන්නෙ. කැසට් කවර නිර්මාණයෙන් මම හොඳට සල්ලිත් හම්බ කළා. ඒ මිල ලැබුණෙ නිර්මාණාත්මක ගුණයටයි.”

අනතුරුව ප්‍රේම් තම වියදමින් ‘කලා’ පත්තරය අරඹයි. සතියකට 35000 දක්වා එහි පිටපත් අලෙවි ඉහළ යන අතර රමණී බර්තොලමියුස්ගේ මරණය සිදුවූ අවස්ථාවේ එකම පුවත්පතේ මුද්‍රණ තුනක් පිටකර තිබේ. ජෝති මියගිය වෙලාවේ මුද්‍රණ දෙකකි. 89 දේශපාලන වාතාවරණය බරපතළ තත්ත්වයට පත්වූ අවස්ථාවේ කලා පත්තරය නවතා දමන විට එහි අලෙවිය සතියකට පිටපත් 27000කි. ප්‍රේම් තරුණයකු ලෙස වාමාංශික දේශපාලන මතයක් දැරූ නමුත් කිසිවිටෙකත් ක්‍රියාකාරී දේශපාලනයකට නොගියේය. ඇතැම්විට දේශපාලන ක්‍රියාකාරීත්වයට වඩා කලාව තුළ ක්‍රියාකාරීවීම ඔහු විෂයෙහි බලවත් වූවා වන්නටද පුළුවන.

මම Fastads පටන් ගත්තෙ 89 අග. මට ඕනෙ වුණේ දැන්වීම් කලාව තුළ දේශීය නැඹුරුවක් ඇති කරන්න. එමෙන්ම කාර්යක්ෂම සේවයක් ඉටු කරන්න. ඒ වෙනකොටත් දැන්වීම් කලාව තිබුණේ ඉහළ පැලැන්තියෙ වැඩක් හැටියටයි. සමහර ආයතන වැඩක් භාර දුන්නම බොරුවටත් කල් මරනවා. ලංකාවෙ ප්‍රධාන දැන්වීම් ආයතනයකට භාරදීලා දින 45ක් තිස්සේ නොකැරුණු වැඩක් අන්තිම මොහොතෙ මට ආවා. මම විනාඩි 45කින් ඒ වැඩේ කරලා දීලා ඒ මුළු ආයතනයම දිනාගත්තා. ඊට පස්සෙ දිගටම ඒගොල්ලො වැඩ කළේ මාත් එක්ක.

ටයර් දැන්වීමකට ගෑනියෙකුගෙ කකුලක් පෙන්නලා දැන්වීම් හදන කාලෙ අලුත් විදියකට දැන්වීම් සංදර්භය ගොඩනගන්නයි මම උත්සාහ කළේ. දැන්වීම් කලාවට වෙනම භාෂාවක් රූප රාමුවක්, උචිත ආඛ්‍යානයක් අවශ්‍යයි. ඕඩිකොළොන්වලට පාවිච්චි කරන ආඛ්‍යානය බුල්ඩෝසර්වලට හරියන්නෙ නැහැ. බුල්ඩෝසර්වලට භාවිත කරන අකුරක් ඕඩිකොලොන්වලට දාන්න බැහැ. ඔය දෙක කලවම් නොකරගන්න පරිස්සම් වෙන්න ඕනෙ. මහජන සම්පත ලොතරැයිය ඉස්සර සූදුවක් විදියටයි හඳුන්වා දුන්නෙ. ඒ වෙනකොට එක දිනකට ටිකට් පත් 3,60,000ක් විකිනුණා. මට ඔවුන් කිව්වෙ ඒක පන් ලක්ෂය කරලා දෙන්න කියලයි. මම මේක සූදුවක් කියන සාම්ප්‍රදායික අදහසින් බැහැරවෙලා මේක දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ඉටු කරගත හැකි, නිවාස නැති අයට ඒ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහාත් අවස්ථාවක් කරගත හැකියි යන පැත්තෙන් ලොතරැයි දැන්වීමට ප්‍රවේශ වුණා. ඒ අදහස වැඩ කළා. දෛනික ස්විප් වෙළෙඳාම ලක්ෂ පහට නෙවෙයි ලක්ෂ 21ට නැග්ගා. සමහර බැංකු අද නිවාස සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් පාවිච්චි කරන්නේ මම එදා ඉදිරිපත් කළ ඔය අදහසයි. සූදුවක් කියන සංකල්පයෙන් මේක බැහැර කිරීමයි මම මූලික වශයෙන් කළේ. අශ්ව රේස් වුණත් ඕනෑනම්, තමන් නිර්මාණාත්මක නම් ඒ විදියට වෙනත් රූපයකින් ඇඩ්වර්ටයිසින් කරන්න පුළුවන්. ඒත් ඒ සමහර දේවල් පිළිබඳව පරිස්සමින් වැඩ කළ යුතුයි.

ප්‍රේම් කාන්තා ගිණුමද නව ක්‍රමවේදයකින් වර්ධනය කළේය. එහිදී ඔහු භාවිත කර තිබුණේ ගැමිකමට කාන්තාවන් දක්වන ආකර්ෂණයයි. නගරයේ පර්චස් දහයක සිටියත් ඒ තුළ ක්ෂුද්‍ර වශයෙන් හෝ මිනිසුන් සිය ගැමියාව අවධි කරගන්නා බව කියන ඔහු ඒ සියුම්භාවය ස්පර්ශ කිරීමෙන් කාන්තා ගිණුම ප්‍රවර්ධනයේදී ප්‍රතිඵල අත්කර දුන් බවද කියයි. ප්‍රේම්ගේ ඇඩ්වර්ටයිසින් ඕනෑම විදියකුට ඕනෑම දෙයක් විකුණන ප්‍රතිපත්තියේ නැත. ඔහු හැමවිටම ආචාර ධාර්මික ක්‍රමවේද කරා ගොස් ඇති බව ඔහුගේ දැන්වීම් නිර්මාණ පිරික්සීමේදී පෙනීයයි. බොරු කියලා බඩු විකුණන්න බැහැ. අපිට සිද්ධවෙනවා ඇත්ත කියලා විකුණන්න. ඒ ප්‍රේම්ගේ වර්තමාන සිතුවිල්ලය.

හෙතෙම මුද්‍රණ කර්මාන්තයට අතගසන්නේද ඒ පිළිබඳව කිසිවක් නොදැනය. එහෙත් අද වනවිට ඔහු ෆාස්ට් පබ්ලිෂින් ප්‍රයිවට් ලිමිටඩ් නම්වූ අංගසම්පූර්ණ ප්‍රකාශනායතනයක් ගොඩ නංවා තිබේ.

ප්‍රේම් එක් කාරණයකින් ලංකාවේ ජනාධිපතිවරයා සදිසිය. ජනාධිපතිවරයා රටේ නාඳුනන කෙනෙක් නැත. ප්‍රේම් දිසානායකත් නාඳුනන කෙනෙක් නැත. කාටත් හෙතෙම ප්‍රේම් අයියාය. ප්‍රේම් කවදාහරි ජනාධිපති කෙනෙක් වුණොත් වත්මන් ජනාධිපතිතුමා සම්බන්ධයෙන් වුණා වගේ අයියා කෑල්ල හලන්නට කාට කාටත් නිසැකවම සිදුවේ.

“ජීවත්වෙන්න මම රස්සාවල් ගොඩක් කළා. එතකොට විශාල පිරිසක් අඳුනගන්න ලැබුණා. මං අදත් ඒ මිනිස්සු අවංක සිතින් ආශ්‍රය කරනවා. ඒක දිගටම පවතින ඥාතිත්වයක් වගේ එකක්.”

ප්‍රේම්ට තරහකාරයො නැද්ද? මම මේ කතාබහ අතරතුර ඇසූවිට ඔහු කීවේ දැනුවත්ව නම් නැහැ, මං කාව හරි විවේචනය කළත් ඒක ද්වේෂයෙන් කරන එකක් නෙමෙයි, අදාළ පුද්ගලයාගේ දියුණුව පතා කරන එකක් කියාය. මම අවසාන ප්‍රශ්නයටත් පැමිණියෙමි. ඒ ඕනෑම කෙනකුගේ ප්‍රශ්නයකදී නිර්ලෝභීව උදව් කිරීමේ ඔහු සතු උත්තුංග ප්‍රතිපත්තිය ගැනය. යේසුස් වහන්සේ පේදුරුට මාළු නොදී මාළු අල්ලන හැටි ඉගැන්නුවේය. එයින් පේදුරු ස්වයං ආර්ථිකයක් හදාගත්තේය. ප්‍රේම් ඔබ කැමති මාළු දෙන්නද? මාළු අල්ලන හැටි කියා දෙන්නද යන්න මගේ ප්‍රශ්නය විය.
ප්‍රේම් මොහොතක්වත් කල්පනා නොකර ක්ෂණයකින් කීවේ මම ඒ දෙකම දෙනවා කියාය.

විමලනාත් වීරරත්න

ඡායාරුප . රවීන්ද්‍ර පුෂ්පකුමාර

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...