රැහැනෙන් බඳීයි ඔහු අප අසකු සේ…

Share post:

ප්‍රභාත් ජයසිංහගේ ‘වයඹ දිග වැසියෙකුගේ දින සටහන්’ නම් පළමු කෙටිකතා සංග්‍රහය මට හොයාගන්න ලැබෙන්නෙ ‘දේවකන්‍යා’ සිට අනෙක් කෙටිකතා සංග්‍රහ කිහිපයක් කියවල ඉවරවුණාට පස්සෙ, බොහොම මෑතක දි. පොතේ කියවපු පළවෙනි කතාව ‘ශ්වේත තුරඟ රමණ රිද්ම’. කියවද්දි හිටියෙ පාක් එකක. මුල් පිටුව කියවද්දි විතරයි අවට පාක් එකක් කියල දෙයක් තියෙනව කියල මට දැනුණෙ. අනික් පිටු ටිකත් කියවලා ඉවරවෙලයි මං ඔලුව ඉස්සුවෙ. වටපිට බලද්දි පාක් එක ඒ විදියට ම තිබුණා, කතාව කියවීමෙන් උපන් ප්‍රහර්ෂයට පත් මං හැර. කතාවෙ අස්වයගෙ රැහැන කතුවරයා මටත් දාලා වගෙ දැනුණෙ. මගේ කැළඹිලි සහගත, ඉන්න බැරි ප්‍රතිචාරය හිතේ තියන් හිටියෙ බොහොම අමාරුවෙන්.

මේ පොතේ කෙටිකතා අතරින්, පසුව ‘රස පොළොව’ ට එකතුවෙලා වර්ධනය වන, කෙටි කතා වගේ ම, ‘දිය ගොඩ සැම තැන’ කතාව එක්ක ම, මගේ අවධානය යොමුවුණු ප්‍රධාන ම කෙටිකතාවත් මේ අශ්ව කතාවයි.

මේ අශ්ව කෙටි කතාව ගොඩනැගෙන්නෙ ම අපේ කුතුහලය අවුස්සලා. අයෝධ්‍යා සරසවියේ සුදු අශ්ව යුවළෙන් වෙළඹ පැනලා ගිහින්. කතාව අපිට කියන කථකයා මේ ගැන එක් එක් පුද්ගලයාගෙන් විස්තර අහ අහ ඒ ලැබෙන තොරතුරු අනුව අශ්වයට වුණු දේ, වෙළඹ කළු වුණ හැටි, වෙළඹට වෙන අශ්වයෙක්ව ලැබුණු හැටි, අශ්වයා රේස් ගිය හැටි ආදිය කියමින් කතාව පුරවනවා. අර වෙළඹට මොකද වුණේ කියලා දැනගැනීමේ කුහුල හින්දා ම පාඨකයා මුල සිට අගට ම මෙරුවා බල්බ් එ‍කට ඇදෙනවා වගේ ඇලෙනවා. කෙටිකතාවෙ කියවෙන ස්ථාන ගලායාමත් විවිධත්වයකින් යුක්තයි. විශ්වවිද්‍යාලය, තුරඟ තරග පිටිය, කන්තෝරුව මේ හැම තැන‍දි ම ඒ ඒ චරිතය විසින් කතාව ගොතන්න වුවමනා අමුද්‍රව්‍ය රචකයාට සපයනවා. කවි බසයි, රූපක බසයි, සරල බසයි මේ සියල්ල ම සුදුසු තැන්වලදි භාවිත වෙනවා. ඒ වගේම අශ්වයන්ව පාවිච්චි කළත් මේ කියන්නෙ මිනිස්සු ගැනමයි කියලා පාඨකයට වැටහෙනවා. අයෝධ්‍යාව කිව්වාම සංස්කෘත සාහිත්‍යයත්, අශ්වයන් කිව්වම බටහිර සාහිත්‍යයත් සිහියෙ අත්වැල් බැඳගන්න නිසා, කථකයාමත් අපිට කතාවක් කියන නිසා මේ කතාව චමත්කාරජනක දෙයක් විදියට අපේ හිතේ අරක්ගන්න සමත් වෙනවා.

මට මේ කෙටිකතාවේ ලස්සන ම තැන තමයි, අර පැනලා ගිය කළු වෙළඹ වෙනත් අ‍ශ්වයෙක් සමඟ සිටිනවා කථකයා දකින අවස්ථාවෙ දි කථකයගෙ විපර්යාසය. එතෙක් වෙලා වාර්තාවකට කරුණු හොයනවා වගේ, තමන්ගෙ වීව් එක නොකියා අනෙක් අයගෙ අදහස් එකතුකරමින් කතාව කියාගෙන ආව කෙනාගෙන් තමන්ටත් නොදැනිම හිතේ හංගන් හිටි අමු හැඟීම එළියට එන්න ගන්නවා. කටින් ඇත්ත එළියට පනිනවා. තමන්ව නිරාවරණය වෙනවා. නැත්නම්, ‘බළලා මල්ලෙන් එළියට පනිනවා’. ඔහු වෙළඹට බනින මට්ටමට කථකයාගෙ චරිතයෙ අමුතු තැන් ප්‍රභාත් හෙළිදරව් කරනවා මේ වගේ ඉතා ම පොඩි අවස්ථාවලදි. මේ කළු වෙළඹ කථකයගේ පෙම්වතියව සිටියාවත්ද කියලා අපිට හිතෙන්න ගන්නවා. පුරුෂ මූලික සමාජයක කාන්තාවක් තමන්ගෙ නිදහස වෙනුවෙන් වන පලායාම, සාම්ප්‍රදායික පුරුෂයෙක් දකින කෝණය එහෙම තමයි කියලා රචකයා නොකියා කියනවා. කතාව පුරා තියෙන්නෙත් Male Gaze එක තමයි.

කෙටිකතාවෙන් මදක් එළියට ආවොත්, මං කැමතියි ලංකාවෙ කලාත්මකව ලියන කෙටිකතාකරුවන්(ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම) ගෙ කතා කියවලා රසවිඳිනවට අමතරව ඉගෙනගන්න. ප්‍රහර්ෂයට පත්වෙන්න වගේ ම, අවධානෙන් කියවන්න. මේ කියවන වැඩේ කාලයක් කරන් යද්දි, ඉල්ලම් මතුවෙනවා. අපි ලියන කියන ඒවලත් අඩුපාඩු අපිට ම පේන්න ගන්නවා. ඒක කියලවත් කරගන්න බැරි දෙයක්. තව කෙනෙක් කියනවට වඩා ඒක තමන්ට ම තේරුම් යන එක. මොකද එතකොට ආයෙ අපි එඩිට් කරන්න, ආයෙ ආයෙ ලියන්න, හොයන්න පෙළඹෙන නිසා. ඒ වගේම, කෙටිකතාවක ශිල්පීය ලක්ෂණ කියන්නෙ මාව වශීකරවන කොටසක්. මෑත අවුරුදු කිහිපයෙ වැඩිපුර ම ආකර්ෂණය වුණු සාහිත්‍ය ප්‍රවර්ගයත් ඒක වෙන්න ඕනෙ.

මේ කෙටි කතාව කියවලා මට දැනුණු ටික ලියාගෙන, ගෙදර ආ සැණින් කළේ ලියනගේ අමරකීර්තිගේ ‘කෙටිකතා කලාව’ පොතේ ප්‍රභාත් ගැන ලියලා තිබුණු කොටස් හොයාගෙන කියෙව්ව එකයි. සමහර පොත් සහ කතුවරු ගැන ඇතැම් දේවල් හිතේ තිබුණාට ඒවා වචනවලට ගන්න අමාරු වෙලාවල දි, මේ වගේ පොත්වලින් උදව් ලැබෙනවා. සුදුසු ම වචනෙ හරියට තිතට පෙන්වලා දෙන්න ඔවුන් සමත්වෙනවා. පහතින් දැක්වෙන උපුටනය මං පළකරන්නෙ ඒ අනුව යි. ප්‍රභාත්ගෙ කෙටිකතා ගැන ඔහු කියන මේ අදහස, මං කැමතියි මේ කෙටිකතාවට විශේෂයෙන් ආදේශ කරන්න.

“ප්‍රභාත් ජයසිංහගේ ඇතැම් කතා මා දකින්නේ ව්‍යුහමය සංකීර්ණත්වය හා අර්ථමය සංකීර්ණත්වය එකිනෙක ඌණපූරණය කරන විශිෂ්ට අවස්ථාවක් හැටියට ය”
[ කෙටි කතා කලාව | ලියනගේ අමරකීර්ති ]

ඩිල්ශානි චතුරිකා දාබරේ

Related articles

පාඨක, විචාරක විචාරාක්ෂියෙන් ගිලිහී ගියේ දෝ, හැඟෙන ‘නිදි නැති නිම්නය ‘

තමන්ට අනන්‍ය මගක, අනන්‍යතා ගුණයක රැඳෙමින් , සෙමෙන් එහෙත් ගැඹුරින් , බරට අඩි තබමින් ලේඛනයෙහි , ලිවීමෙහි නිරත...

මහීෂ්, ලෝක කුසලානය සහ ඉන්දියාව

ඊයේ දිනයේ තෝරාගත් ඉන්දියානු වෙබ් අඩවි කිහිපයකම ප්‍රධාන මාතෘකාව වූයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක්.ඔහු මහීෂ් තීක්ෂණ.මහීෂ් චෙන්නායි කණ්ඩායම නියෝජනය...

උසස් පෙළට නියමිත මහගම සේකරයන්ගේ ‘මාර යුද්ධය’ පද්‍ය පිළිබඳ සරල කියැවීමක්

සිංහල කවියේ ‘සේකර’ සලකුණ කවරෙකුට වුව ද පහසුවෙන් තැකිය හැක්කක් නොවේ. මහගම සේකරයන් කවියෙක්, ගී පද රචකයෙක්, චිත්‍ර...

‘සීනුව නාද කරපල්ලා’ – අනුරාධා නිල්මිණි

වරෙක තමන් හට එල්ල වුන අභියෝගයකින් ජය ගනු පිණිස අර්නස්ට් හෙමිංවේ කෙටිම කෙටි කතාව ලියන්නට පෙළඹුන බවත් ඒ...