“හැම මූලාශ්‍රයකින්ම ඔබට ලංකාවේ තේ වැවිලිකරුවන් ගැන තොරතුරු ගලාගෙන ඒවි” (‘ලේඛකයකු වීමට ඉගෙනීම’ – 6)

Share post:

මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ ඩොරිස් ලෙසිං ((1919-2013) 2007 දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ බ්‍රිතාන්‍ය ලේඛිකාව) විසින් විවිධ අවස්ථා වල විවිධ මාධ්‍ය සමඟ කරන ලද සාකච්ඡාවන් කොටස් වශයෙන් සෑම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම ‘ලේඛකයකු වීමට ඉගෙනීම’ යන නොපළ කෘතියෙහි 6 කොටස.

තොරතුරු සහ සිහින

මම හිතන්නේ අවුරුදු ගණනක් වුණත් කතා කරන්න පුළුවන් සටහනක් මගේ ළඟ තියෙනවා. ඒවා තමයි පොතක් ලියනකොට සොයාගන්නට ලැබෙන දේවල්. ඒක තමයි මම හිතන විදියට ලේඛකයන් බොහොම දෙනෙක් පිළිගන්නා දෙය: ඔබ පොතක් ලියාගෙන යන්න පටන් ගත්තාට පසු ඔබට සොයාගන්නට ලැබෙන දේවල් තමයි ඔබට ලැබෙන හොඳම ත්‍යාගය වෙන්නේ. ඔබ දන්නෙ නැහැ ඔබට මොනවගේ දේවල් සොයාගන්නට ලැබේවිද කියලා. මම කතාකරන්නේ තනිකරම නවකතා ගැන විතරක් නෙවෙයි – ලිපියක්, පර්යේෂණයක්, ඕනෑම දෙයක්. ලංකාවේ තේ වැවිලිකරුවෝ – මේ තේමාව ඔබට ලැබුණු මොහොතේ සිටම, හැම මූලාශ්‍රයකින්ම ඔබට ලංකාවේ තේ වැවිලිකරුවන් ගැන තොරතුරු ගලාගෙන ඒවි – පුස්තකාලයෙන්, පත්තරවලින් – මිනිස්සු කතාකරාවි ඒ ගැන. ඒක හරියට ඔබව ලංකාවේ තේ වැවිලිකරුවන් ගැන මොකක් හරි තරංග ආයාමයකට සම්බන්ධ වුණා වගේ. ඔබට අතිශයින් පුදුමසහගත දේවල් සොයාගන්න පුළුවන් වේවි. මෙන්න මේක තමයි නවකතාවක් ලිවීමේදී ඇත්තවශයෙන්ම මම කැමතිම දේ. මම කැමතියි – පොතේ තේමාවට අදාල දේවල්වලට විතරක් නෙවෙයි, ඊට අනුබද්ධ වන වෙනත් තේමාවන් ගැන පවා – මට සොයාගන්න ලැබෙන දේවල්වලට.

මේක මම වඩාත් නොසලකාහරින හරිම අමුතු විෂයයක්. ඇයි එහෙම වෙන්නෙ? ඔබව සම්බන්ධ වන්නා වූ – මොකද, ඔබව අනිවාර්යයෙන්ම ඒකට සම්බන්ධ වෙනවා – මේ තරංග ආයාමය මොකක්ද? ඔබට ඒක වෙනවද කියලා උත්සාහ කරල බලන්න පුළුවන් – නිකම් විනෝදෙට වගේ කරලා බලන්න. මොකක් හරි දෙයක් ගැන උනන්දුවක් ඇතිකරගෙන බලන්න, වැඩි වෙලාවක් යන්න කලින් මිනිස්සු ඒ ගැන කතාකරන්න පටන් ගන්න හැටි. ඔබට ලංකාවේ තේ වැවිලිකරුවන් ගැන මහා ගොඩක් තොරතුරු දැනගන්න ලැබේවි.

ඒත්, ඒක වෙන්නෙ කොහොමද?

මම හිතනවා ලේඛකයෙකුට හරිම වැදගත් වියහැකි දෙයක් තමයි සිහින. ලේඛන කාර්යය සඳහා සිහින භාවිත කිරීම. සමහර ලේඛකයන්ගෙන් ‘ඔබ සිහින භාවිත කරනවද?’ කියල ඇහුවොත් ඔවුන් කියාවි, ‘අනේ නෑ, මම හීන දකින්නෙ නෑ,’ කියලා. ඒත් තවත් කෙනෙක් කියන්න පුළුවන්, ‘ඔව්’ කියලා. අන්න එතකොට මේ ගැන උනන්දුව වැඩෙනවා.

ලේඛකයෝ විතරක් නෙවෙයි. අපට මතක නම්, එක්තරා විද්‍යාඥයෙක් පරමාණුවේ ව්‍යුහය සොයාගත්තේ ඔහු දැකපු හීනයක් නිසා; පරමාණුක ව්‍යුහය සොයාගත් විද්‍යාඥයා – ඔහු ඒක හීනෙන් දැක්කේ. ඔන්න තියෙනවා ඕනෑම දේකට යොදාගන්න පුළුවන් වැඩකරන තාක්ෂණයක්, එහෙම පිටින්ම. මොකකට වුණත් කමක් නැහැ. ඔබට ගැටලුවක් තියෙනවා නම්, ඔබ දන්නව මොකක්ද කළ යුත්තේ කියලා.

තාක්ෂණය තමයි; ඔබට ගැටළුවක් තියෙන නිසා, කොහොමටත් ඔබ ඒ ගැන නිතරම කල්පනා කරමින් ඉන්නේ. එහෙත් ඔබ නින්දට යන්න ඉස්සරින් ඒ ගැන හිතුවා නම්, ඔබේ නින්ද පරක්කු කරගෙන හාන්සි වෙලා ඒ ගැන – ගැටළුව ගැන – කල්පනා කළා නම් සහතිකවම ඔබට මොකක්හරි ප්‍රතිචාරයක් නින්දෙදි ලැබෙනවා. උදේ ඇහැරෙනකොට අවශ්‍ය විස්තරේ ඔබ ළඟ.

ඔබ දන්නවද, බොහෝ අය කරන දෙයක් මේ. මමත් නින්දට යන්නේ එහෙමයි – ඒ හින්දයි මට මේ තාක්ෂණය පහළ වුණේ. ඔබත් ඒ විදියට නින්දට ගියොත් ඔබටත් ඒ ආකාරයටම තොරතුරු ලැබේවි. මම පොත් ලියද්දී මේ ක්‍රමය අනුගමනය කිරීමෙන් මහා විශාල සහයෝගයක් ලබා ගත්තා. සමහරවිට මුල් කාලයේදී මම මොනවද මේ කරන්නේ කියලා දැනගෙන හිටියෙ නෑ. මම ඒක කළේ තේරුමක් නැතිව. හැබැයි කරන්න කරන්න, ඒක වඩාත් හොඳින් වැඩකරන්න පටන් ගන්නව. දැන් මම කියන්න හදන්නේ, මේ ක්‍රමය පොතක් ලිවීමේදී හොඳන්ම වැඩකරපු අවස්ථාවක් ගැන. මේ තරම් ඉහළ මට්ටමින් ඒක හැම තිස්සේම වැඩකරන්නේ නැහැ.

මම නවකතාවක් ලිව්වා, Mara and Dann (මාරා සහ ඩාන්) නවකතාවේ දෙවැනි කොටසක් විදියට. ඒක නම්කළේ General Dann, Mara’s Daughter, Griot and the Snow Dog (ජෙනරාල් ඩාන්, මාරාගේ දියණිය, ග්‍රියට් සහ හිම බල්ලා) කියල – හරිම දිග නමක්. මම මේ නවකතාව සම්පූර්ණයෙන්ම මගේ මනස තුළ සැලසුම් කරලා තිබුණේ. හැම දෙයක්ම අඩංගු වෙන විදියට, ලස්සනට සූදානම් කළා, හැම දෙයක්ම සමබරයි, පුදුමාකාරයි. ඉතින් මම ලියාගෙන යන්න පටන් ගත්තා. මොකක්ද වුණේ? මම සුදානම් කරගෙන හිටපු නැති චරිතයක් උන්හිටිගමන් ඒක ඇතුළට ආවා. මේවගේ දෙයක් මට වෙන්නේ බොහොම කලාතුරකින්. සැලසුම් නොකළ චරිතයක් – ග්‍රියට්. ග්‍රියට් කියන්නේ උතුරු අප්‍රිකාවේ වචනයක් – මේක ප්‍රංශ, නැතිනම් ඉංග්‍රීසි විය හැකියි. ඒකේ තේරුම කතන්දර කියන්නා, රජතුමාට ප්‍රශස්ති ගී ගයන්නා; නැතිනම් යකැදුරා කියන තේරුමටත් ආසන්න වෙනවා. ඔන්න ඔය ආසන්නයේ ඉඳලා ඔහු බොහොම බලවත් විදියට කතාවට ඇතුලු වෙනවා. ඒ කියන්නේ මොකක් හරි මායා බලයකින්, එහෙම නැතිනම් අසාමාන්‍ය විදියකට කියන එක නෙවෙයි – ලොකු පරිකල්පනයක් නැති, ඒත් ප්‍රායෝගික, ස්ථායී මිනිහෙක් විදියට. මුළු නවකතාවම අවුල් වුණා මේකෙන්. හැම දෙයක්ම සී සී කඩ ගියා, සමබරතාව නැතිවුණා. මොකක්ද කරන්නේ කියල මට හිතාගන්න බැරි වුණා. ලියපු ඔක්කොම වීසි කරලා දාන්න ඔන්න මෙන්න කියලා තිබුණෙ. ඒ කතාවට හඬක් තිබුණෙ නෑ.

එතකොට මම හිතුවා, පොඩ්ඩක් ඉන්න – අපි මෙහෙම උත්සාහ කරලා බලමු. මම මේ අසමබර කතාවේ තිබෙන ගැටලුව ගැන හිතන්න පටන් ගත්තා. මොකක්ද මේක ගොඩදාන්න කරන්න පුළුවන්… ඉතින් මම හීන දකින්න පටන් ගත්තා. මම ඒක මගේ යටි හිතට දාගත්තු මුල්ම රැයේදිම මම මේ හීනය දැක්කා: පොකුණක හරි, මඩවගුරක හරි ඉවුරේ කවුරුහරි හිටගෙන ඉන්නවා. ඒ පොකුණේ හෝ වගුරේ ගිලුණු සතුන් තුන්දෙනෙක් ඉන්නවා. ඊළඟට පැහැදිළි වෙනවා උන් හිම බල්ලෝ කියලා. එක බල්ලෙකුට ඒ වනවිටත් පණ තියෙනවා. ඩාන් ඒ පණ තියෙන බල්ලාව ගොඩට ගන්නවා. උගේම වූ උනන්දුවක් තිබෙන මේ බල්ලා නවකතාවේ ප්‍රධාන චරිතයක් වෙනවා. ඌ කථා වස්තුවේ එක් කොටසක් – නිකම් අලංකාරෙට ඔබාපු එකෙක් නෙවෙයි.
ඉතින් ඔය විදියට, මගේ සිහිනය මට අවශ්‍ය වූ දේ එක රැයින් ලබා දුන්නා. ඒක හැම තිස්සෙම ඒ විදියටම වෙනවා කියලා දැන් මම හිතන්නෙ නෑ. ඒත් ඒක වෙන්න පුළුවන් දෙයක්. ඉතින් මම කියන්නේ, ඒක වෙන් පුළුවන් දෙයක් නිසා, මිනිස්සු තම තමන්ගේ යටිසිත ගැන විශ්වාසය තියලා එය කරලා බලන්න ඕන, මොන වගේ පුදුමාකාර ප්‍රතිඵල ලැබෙනවද කියා බැලීමට.

මම සිහින ගැන කතා කරද්දී, සමස්තයක් හැටියට ගත්තම මේ සංස්කෘතිය ඒ අදහස කෙරෙහි සාණුකම්පිත නැහැ. ‘අපොයි! මම කවදාවත් හීන දකින්නෙ නැහැ,’ කියලා ඔබට කිව හැකියි. එතැන තියෙනවා කිසියම් අධිකාරී ස්වරයක්. එහෙම නැතිනම් කෙනෙකුට කිව හැකියි, ‘අපොයි ඔව්! මම තිස්සේම හීන දකිනවා. සමහර වෙලාවට ඒක හරිම ප්‍රයෝජනවත්,’ කියලා. එතැනත් යම් ස්වරයක් – අමුතු ස්වරයක් – තියෙනවා; හැබැයි ඒක අධිකාරී ස්වරයක් නෙවෙයි. ඒක හරියට, ඒගොල්ලන්ට යමක් අහුවුණා, ඒක ඒ අයගෙන් උදුරාගන්නවාට ඒ අය අකැමැතියි; මොකද, මේ සංස්කෘතිය ඒ වගේ අදහසක් කෙරෙහි උපකාරී බවක් නොදක්වන නිසා.

පොඩ්ඩක් ඉන්න – ආයෙත් පාරෙන් පිට… දරුවන් හදාවඩා ගන්නට සිහින උපකාරී කරගන්නා එක්තරා සමාජයක් තියෙනවා ගිනිකොනදිග ආසියාවේ. උදේම ළමයින්ව වැඩිහිටියන් ළඟට අඬගහලා අහනවා, ‘මොනවද ඔයා හීනෙන් දැක්කේ?’ කියල. ඒ ළමයි හීනෙන් දැකපු දේවල් අනුව ඔවුන් කවුද, ඔවුන්ට මොන විදියේ හැඟීම්ද තියෙන්නේ, කියන එක හෙළිදරව් වෙනවා. ඔවුන් හීනෙන් දකින දේ ක්‍රියාත්මක කරන්න කියන එකයි ඒ ළමයින්ට නිතරම දෙන උපදේශය.

ලෝකය දැන් මේ විදිය නම්, මම හිතන්නේ සමහර විට ඒ සංස්කෘතිය නැතිවෙලා ගිහින් ඇති; මොකද, මෑතක් දක්වා නැතිවෙලා ගිය හැම සංස්කෘතියක්ම නැතිවෙලා ගියේ අපේ විදියේ අදහස් නිසායි. එ්ත්, මේක නම් හිතාමතාම සිහිනවලින් ප්‍රයෝජන ගත් සංස්කෘතියක්. ඒ වගේම අපි රතු ඉන්දියානුවන් යැයි කියන මිනිස්සුත්, අන්‍යොන්‍යව සහ ඔවුන්ගේ දරුවන් සම්බන්ධයෙන් සිහිනවල උපකාරය ලබාගත් අයයි.

සම්භාව්‍ය මට්ටමේ ත්‍රාසජනක කතාවක්

දැන් මම යනවා මාරා සහ ඩාන් වෙත – ඒ කියන්නෙ, ජෙනරාල් ඩාන් නවකතාවට කළින් එකට. එය ත්‍රාසජනක අත්දැකීම් සහිත කතාවක්. මේ කතාවත් මගේ හිතේ අවුරුදු ගණනාවක් තිස්සේ වැඩුණු අදහසක්. මට උවමනාවක් තිබුණා ත්‍රාසජනක අත්දැකීම් සහිත කතාවක්, සම්භාව්‍ය මට්ටමින් ලියන්න.
ක්ෂණිකවම ප්‍රශ්නයක් මතු වුණා. වර්තමානයේ සිදුවෙන ත්‍රාසජනක කතාවක් ලිව්වොත් ඒක වේගයෙන් යන කාර්, හෙලිකොප්ටර්, අවි ආයුධ, මත්ද්‍රව්‍ය, ඔය වගේ තව මොන මොනවා සම්බන්ධ වුණ කතාවක් වෙයිද කියල දෙයියො තමා දන්නේ. මොකක්ද අර එහෙම කථා මාලාවක් තිබුණේ… මට දැන් ඒක මතකයට එන්නෙ නෑ. හොඳයි කමක් නැහැ – මොනව වුණත් ඔබ දන්නව නේ, මේ කාලේ ත්‍රාසජනක අත්දැකීම් කිව්වාම ඒක හැරෙන්නේ මොන පැත්තටද කියලා. ඒක හැරෙන්නේ මට හොඳටම කම්මැලි හිතෙන පැත්තකට. ඉතින් මම ආයෙත් පාරෙන් ටිකක් පිට පනිනවා – මම හිතන්නේ මේක ලිංගිකත්වය හා සම්බන්ධ දෙයක් කියලා. දැන් මම තවත් ටිකක් පිටට පනිනවා – මම ඒ බව හරියටම සොයාගත්තේ කොහෙන්ද කියල කියන්න.

ඒ සදාම් සහ කුවේටය අතර යුද්ධය පටන් ගත්තු මුල් කාලේ, මම හීත්රෝ ගුවන්තොටුපළේ ව්‍යාපාරික පංතියේ ඉඳගෙන ඉන්නවා. ඒගොල්ල මහ විසාල රූපවාහිනී තිරයක යුද්ධයේ අලුත්ම තත්වය පෙන්වනවා. අපි ඔක්කොම හිටියේ වාඩිවෙලා. පිරිමි ඔක්කොම තිරය ඉදිරියට ගිහින් – ඒගොල්ල මන්මත් වෙලා හිටියෙ. ඒගොල්ල මිනීමරු යුද්ධ ටැංකිවලට වහවැටිලා! ගෑනු පාඩුවේ වාඩිවෙලා ගොතනවා, නැතිනම් නිදා වැටෙනවා. පිරිමි අර යුද්ධෝපකරණ දිහා බලනවා – ඒ අයගේ උනන්දුව ඇතිවෙන්නේ ඒවාට. ඉතින් මම හිතුවේ මොකක්ද දන්නවද? ඒක හරියට, පිරිමියි ගෑනුයි සමාන නොවන්නේ ඇයි කියන එක කියලා දෙන පාඩමක් වගෙයි ඒක. අපි එතැන වාඩිවෙලා පැය දෙකක් හිටියා – ගුවන් යානය පරක්කු වෙලා පිටත් වුණේ. පිරිමි ඔක්කොම අතනට වෙලා හිටියා, හරියට ඔවුන්ට රිවට් ගහලා හයිකළා වගේ.

හෙලිකොප්ටර්, මත්ද්‍රව්‍ය, තුවක්කු වගේ දේවල් තියෙන නවකතාවක් ලියන්න මට සිද්ධ වුණොත්, මට ඒක එපාවෙන වැඩක් වේවි; හරිම මෝඩ වැඩක්. ඒ වගේම කියවන හැම ගැහැනියකටම මම ඒක එපා කරවාවි. ඒත් පිරිමි අය නම් ඒකට කැමති වෙනවා. ඉතින් මම කල්පනා කළා අපේ ශිෂ්ටාචාරයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න. මම ඒකෙන් සම්පූර්ණයෙන්ම ඈත් වුණා. එහෙම කළේ හිම යුගයක් නිර්මාණය කිරීමෙන්. යුරෝපයේ මුදුනේ වාඩිවෙලා ඉඳීම හරිම අපූරු දෙයක් වුණා. හිම යුගය එන බව දැනගෙන හිටපු මිනිස්සු, අපේ විශාල නගරවල අනුරූ හැදුවා උතුරු අප්‍රිකාවේ. උතුරු අප්‍රිකාව තමයි ඊළඟ නිත්‍ය තුහින (Permafrost – වසර දෙකකට වැඩි කාලයක් එක දිගට හිමෙන් වැසී තිබෙන ප්‍රදේශය.) බිම් ප්‍රදේශය වෙන්නෙ.

මෙන්න මෙතැනදි තමයි අපට තේරෙන්න පටන්ගන්නේ අපි කොයිතරම් පුදුමාකාර ශිෂ්ටාචාරයක්ද කියලා. අපි – ඒ කියන්නේ අපේ මේ පුදුමාකාර ශිෂ්ටාචාරය. ඔන්න මේ වගේ නගර එහි තිබෙනවා. මාරා සහ ඩාන්… මම එතැනට එන්නේ ලොකු වටයක් ගහගෙන. මට සහෝදරයෙක් හිටියා; මට එයා එක්ක කොහොමටවත් හොඳින් ඉන්න බෑ. හැබැයි එයා පුංචි කාලේ මම එයාට හරිම ආදරෙයි. ඒ වුණත්, වැඩුණු අය හැටියට මට ඔහුව හරිගියේ නැති නිසා මම නැඹුරු වුණා, මං කොයිතරම් එයාට පුචි කාලේ ආදරය කළාද කියන එක අමතක කරන්න.

මට ඉන්නවා සහෝදරයෙකුයි සහෝදරියකුයි – මාරා සහ ඩාන් – මාරා ඇගේ සොහොයුරාට හරිම ලෙන්ගතු සොහොයුරියක්. ඈ ඔහුව රැක බලා ගන්නවා. ඒ කතාව ලියාපු මුළු කාලය පුරාම – අඩුම ගා‍නේ කතාවෙන් තුනෙන් පංගුවක් – මම හැම රෑකම හීනෙන් දැක්කා ඊළඟ දිනයේ ලියන කොටස. ඒක හරියට දිගහැරුමක් වගේ – කතාව මගේ මනසේ වැඩ කරනවා – සොහොයුරා සහ සොහොයුරිය ගැන. හරියට ඒක ලියන්නේ මම නෙවෙයි වගේ – මගේ යටිහිත තමයි ඒක ලිව්වෙ. මේක වෙන්න පුළුවන් – සාහිත්‍යයේ සිදුවෙනවාට වඩා වෙනස් විදියට, ඕනෑම තැනක වෙන්න ඉඩ තියෙනවා. ඒත් මේක බොහොම අසාමාන්‍ය අත්දැකීමක් වුණා. මොකද, මට මේ ශිෂ්ටාචාරයෙන් ඉවත්වෙන්න උවමනා වුණ නිසා ඒ අත්දැකීම අර්ධ-වනචාරී පසුබිමකට තත්ත්වාන්තරණය කරගත් හින්දා.

මට ඒක බොහොම වේදනාකාරී දෙයක්; මොකද, මට මතක් වෙන්න ගත්තා මම කොයි තරම් ඒ ළමයට ආදරේ කළාද කියන එක, ඒ වගේම මම ඒ ගැන අමතක කරන්න ගත්තු තීරණය. ඔන්න බලන්න, එහෙම දේවලුත් වෙනවා: ඔබට කොහෙත්ම උවමනා නැති මතක පවා ආවර්ජනය කරන්න සිද්ධ වෙනවා.

(ඊළඟ දිනයට “කතන්දර සහ සිංදු”)

පරිවර්තනය – මොහාන් ධර්මරත්න

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...