රශ්මික සහ ත්‍රිමූර්තිය

Share post:

රශ්මික මණ්ඩාවල කියන්නෙ, ඔහුවම අභියෝගයක් කරගත්තු ලියන්නෙක්. මුහුණු පොතේ ඉන්න විවිධාකාරයේ සටහන් තබන්නො අතර රශ්මික තමන්ගෙ තැන සලකුණු කරන්නෙ සාහිත්‍ය සටහන් ලියන්නෙක් විධියට. ඒ සටහන් අතර නොබෙල් හා බුකර් සම්මාන හිමිකරගත් ලේඛකයෝ, සහ කෘති පිළිබඳ සටහන් විශේෂයි. ඉන් ඇතැම් කෘති සහ ලේඛකයන් පිළිබඳ මම පළමුවර දැනගත්තෙත් එම සටහන් ඇසුරෙන්. ඉන් ඇතැම් සටහනක් තොරතුරු දැක්වීමෙන් ඔබ්බට ගිය යම් අධ්‍යයනික වටිනාකමක් සහිත සටහන්. රශ්මිකගෙ මුහුණු පොත් මිතුරන් අතරත් බහුතරයක් එම සාහිත්‍යමය සටහන් ප්‍රේමීන් කියල තමයි මට හිතෙන්නෙ. මේ හරහා යම් දැනුවත් පාඨකයෙක් නිමවන්නට රශ්මික දරන වෙහෙසට ස්තූතියි. මේ සටහන ඇරඹුමේදී මා පැවැසූ පරිදි ලියන්නෙකු ලෙස, විශේෂයෙන් ස්වතන්ත්‍ර ප්‍රබන්ධ රචකයෙකු ලෙස ඔහුට ඔහු අභියෝගයක් වන වටපිටාව නිර්මාණය වන්නේද එයින්මය.

කෙටිකතාවේදී මොනාලිසාගේ මිසර ගමනින් ඔහු එයට අභිමුඛ විය. එහිදී සෑහෙන තරමින් එය ජයගත් බව ලංකාවේ කෙටිකතාව තුළ සුවිශේෂී දක්ෂතා දැක්වූ, ලංකාවේ කෙටිකතාව වෙනම හැරවුමකට රැගෙන ආ පියල් කාරියවසම් වැන්නෙකුගේ ප්‍රතිචාරයන්ගෙන් එය පිළිඹිබු විය.

ප්‍රබන්ධ පරිවර්තනයෙහි ලා ලංකාවේ සිංහල පාඨකයන්ට ඔල්ගා තොකර්චුක් නම් විශිෂ්ට පෝලන්ත නවකතාකාරිය හඳුන්වා දෙමින් ඇයගේ විශිෂ්ට නවකතාවක් මරණයේ රළ නැගුම නමින් කළ පරිවර්තනය ද බොහෝදෙනකු අතර ඔහු ජනප්‍රිය වන්නනට හේතු විය.
දැන් හේ ත්‍රිමූර්ති නමින් ස්වතන්ත්‍ර නවකතාවක් එළි දැක්වීමට සූදානමින් පසුවෙයි.

රශ්මික ලේඛනකරණයට පිවිසෙනුයේ ශුක්රාන් කටාර් නමින් වන මැදපෙරදිග රැකියාවේ අත්දැකීම් ඇසුරෙන් ලියූ කෘතියෙනි. එය මා දන්නා තරමින් විදෙස් රටක රැකියාවේ අත්දැකීම් පාදක කරගෙන ලියවුණ පළමු වැඩබිම් සාහිත්‍ය කෘතියයි.

ඉතින් ඉහතින් දැක්වූ සියල්ල රශ්මික මණ්ඩාවල නම් මිනිසා උපයා සපයාගත් සාහිත්‍යමය වත්කම්ය. එම උපයාගත් සාහිතමය වත්කම් අතර ත්‍රිමූර්ති ලංකාවේ පාඨක ප්‍රජාව තුළ කොතනක ස්ථානගතවේ දැයි පැවසීමට තවමත් වේලාසන වැඩිය. ඒ පාඨකයන් මේ සටහන කොටන මො⁣හොතේ පවා එය කියවා නොමැති හෙයිනි.

එහෙත් ⁣මුලින්ම පොතේ අත්පිටපත කියවූ පළමු පාඨකයා ලෙසින් මට ඒ පිළිබඳ ඇත්තේ සාධනීය හැඟීමකි.
කියවීම කොහොමත් පෞද්ගලික වැඩකි. එහෙයින් පොත පිළිබඳ මගේ ආලෝලනයන්ද පෞද්ගලිකය.

ත්‍රිමූර්ති බැලූ බැල්මට සුලබ අත්දැකීමකි. එය මතුපිටින බැලූවිට පාසල් වියේ යෞවනයෙකුගේ පෙු්ම චාරිකාවකි. එම පාසල් වියේ යෞවනයාගේ ප්‍රේම චාරිකාව ප්‍රබන්ධමය ගුණයෙන් අනූන ජීවන චාරිකාවක් බවට රශ්මික වැඩි කලබලයකින් තොරව ප්‍රවේශමෙන් හරවාගන්නා අයුරු මනරම්ය. එහිදී තණ්හා රතී, රඟා ලෙසින් ඔහු සිය ආඛ්‍යානය කොටස් කරයි.

ඕනෑම ප්‍රේම චාරිකාවක පළමු ආ⁣ලය තරම් සිත ආලෝලනය කරවන මිහිර කැටිවුණු වේදනාත්මක මතක ගබඩාවක් වෙන කිසිදු ප්‍රේමයකට අත්පත් කරගත නොහැකිය.

කතාව පුරාම තණ්හාව දිවයන්නේ ඒ අහිමි වූ ප්‍රථම ප්‍රේමයේ වේදනාත්මක කාන්සියේ ලාලසාවන් තුළය. කතාවේ මුනිවර ප්‍රේමය අපට හමුවන්නේද ඒ මඟහරවාගත් ප්‍රේමයේ මතකයන් ඇසුරේය. එය මේ ත්‍රිමූර්තිය ඇතුළේ දී අපට මුණගැසෙනා පළමු මූර්තියද වේ.

කතාවේ රතිමය කලාපය ඇරඹෙනුයේ ද කතාව ක්‍රමයෙන් ප්‍රබන්ධමය ගැඹර කරා කිදාබසින්නේද කන්ද උඩ රටේදීය. ඒ රන්ජන් උසස් පෙළ විභාගයෙන් අනතුරුව සිය නැන්දනියගේ නිවසේ නතරච සිටියෙදී දිගහැරෙනා සිද්ධිදාමයත් සමගිනි. මගේම විදිහකින් කියන්නේ නම් කතාවේ පළමු අර්ධය පුරා රැඳුණු නවකතාවක් තවකතාවක් වීමේ අනතුරෙන් කතුවරයා තීරණාත්මක ලෙස ගැලවීගන්නේත් නවකතාව වෙතට පාඨකයා ඇදබැද ගැනීම ඇරඹෙන්නේත් මෙහිදීය.

ප්‍රබන්ධ කියවන්නෙකුට වගේම පුබන්ධ රචකයෙකුට ද ඉතා වැගත් වන කරුණක් මෙහිදී ඉස්මතු කිරීම වැදගත්ය. එනම් වර්තමානයේ දිගහැරණා කතාවකට ඉතා සකසුරුවමට ඓතිහාසිකත්වය රැගෙන එන්නේ කෙළෙසින්ද යන්නය.

ඒ සඳහා ඔහු පාදක කරගන්නේ සෙංකඩගල රජකළ පළවෙනි විමලධර්මසූරිය රාජ්‍ය සමයේ පුරාවෘත්තයකි. මෙහිදී රචකයා සුවිශේෂී වන්නේ පුරාවෘත්තයක් තම ප්‍රබන්ධය තුළ බහාලීම නිසා නොව සිය පුබන්ධයට අවැසි පරිදි උක්ත පුරාවෘත්තය අතවැසි කරගන්නට ඔහු දක්වන බුහුටිකම හේතුවෙනි. නවකතාවේ වර්තමානයට රතුකොණ්ඩාකාරියගේ ආගමනය සිදුවනුයේ මෙම පුරාණෝක්ති පසුබිමෙනි. එම ඓතිහාසිකත්වය වර්තමානය හා ගැටගැසෙද්දී නවකතාව වඩාත් ගැඹුරු ප්‍රබන්ධ මානයක් වෙත පාඨකයා රැගෙන යයි.

නවකතාවේ අවසන් අර්ධය රඟාගේ කරළිගත වීමත් සමගින් ඇරඹෙන අතර ප්‍රේම චාරිකාවකින් ගමන අරඹන සුහුඹුල් යෞවනයා පරිපාකයට පත් වූ පරිණත මිනිසෙකු ලෙස අපට හමුවනුයේ ත්‍රිමූර්තියේ තෙවන මූර්තිය සමගිනි.

රශ්මික මණ්ඩාවලගේ පළමු ස්වතන්ත්‍ර නවකතාව වන ත්‍රිමූර්ති ලංකාවේ පාඨකයන්ට නවමු ප්‍රබන්ධ අභිමුඛවීමක් වනු ඇතැයි මට සිතෙයි. එය හැම විටෙකම පාඨක අනුමානයන් අතික්‍රමණය කරනා අපූර්ව ප්‍රබන්ධයකි. විටෙක ආලය ද විටෙක කුතුහලය ද විටෙක ශෘංගාරයද ඔබ වෙත ගෙන එන ත්‍රිමූර්තිය අපූරු ප්‍රබන්ධමය අත්දැකීමක් පාඨකයාට ලබා දීමට සමත් කෘතියකි. ජීවිතයේ දෛනිකත්වය සහ මේ මොහොත තූළ තබා ඓතිහාසිකත්වයක් කැටිකර ගනිමින් නිමවී ඇති එය අපූර්ව නවකතාවකැයි මට සිතේ. විටෙක ඔල්ගාත් විටෙක මුරකමිත් තවත් විටෙක කාලෝස් සපොනුත් මෙම පුංචි නවකතාව කියවීමේදී මගේ මනසට ඇවිත් ගියේ නිරායාසයකිනි. එහෙත් මෙහි ඇත්තේ ඒ කිසිවෙකුත් නොව රශ්මිකමය. දැන් මම පටන්ගත් වැකියට නැවත යමි.
රශ්මික මණ්ඩාවල කියන්නෙ ඔහුවම අභියෝගයක් කරගත්තු ලියන්නෙක්. ඔහු ඒ අභියෝගය ජයගත හැකි ලියන්නෙක් වෙන ළකුණු ත්‍රිමූර්තිවලින් සනිටුහන් කර තිබීම සතුට දනවන්නක්

ප්‍රියන්ත ලියනගේ

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...