කවියෙන් මානව ගුණ මතුකරන්න, හදවත් අමතන්න ඔහුට පුළුවනි

Share post:

මුරකමිගෙ, මාකේස්ගෙ, රුෂ්ඩිගෙ කෙටිකතාවලට මෙච්චර බැඳෙන්නෙ ඇයි කියල ළඟකදි හිතමින් ඉද්දි මතුවුණු කරුණු අතරින් එකක් තමයි, ඔවුන් නවකතාවකට දෙන එෆර්ට් එක ම කෙටිකතාවටත් ලබාදීම කියන කාරණය. මුලින් කෙටිකතා ලියලා පසුව නවකතා ලියූ අය පවා. කතුවරයා දරන මහන්සිය පාඨකයටත් දැනෙනවා එක කතාවක් කියවලා ඉවරවෙද්දි. කතාව කියෙව්වම ඒ දවසට ඇති, පිරෙනවා. ඒකෙ අඩුවට වෙන කතා කියවන්න ඕනෙවෙන්නෙ නෑ. ඒ කතාව ගැන ම හිත හිත දවසම ඉන්න පුළුවන්. ඒ වගේම, ඔවුන්ට කියන්න කතා තියෙනවා.

ඒ එක්ක ම නදුන් යසිත පැත්තට හැරුණ ම මම හිතනවා මෙහෙම කියන්න පුලුවන් කියලා. කෙටිකතාකරුවෙක් කෙටිකතාවක් ලියන්න දෙන එෆර්ට් එක තරම් ම එෆර්ට් එකක්, ඔහු කවියක් ලියන්න යොදවනවා. ඒ ඇතැම් කවි මට කෙටිකතා ලකුණු වගේ.

(කවි ගැන කියන්න ගිහින් කෙටිකතා ගැන කීම අභූත නැහැ. මොකද මේ සාහිත්‍ය ප්‍රවර්ග වෙන වෙන ම කියවන්න බැහැ එකිනෙක මූට්ටු වෙන තැන් තියෙනවා). ඒ වගෙම ඔහුට කියන්න දෙයක් තියෙනවා. කියන්න දෙයක් නැතුව නිකම් ලියන්නෙ නැහැ, වචන ආවාට. නදුන් එෆර්ට් එක දෙන්නෙ, පරිකල්පනය පැත්තෙන් වීමයි විශේෂ. වැඩි වැඩ කොටසක් කරන්නෙ හිතෙන්, ඔලුව ඇතුළෙ දි. කවිය ලියන් යද්දි, අතරමග හිතෙන හිතෙන තැනදි ඒක කරන්නෙ නෑ. සම්පූර්ණ කවිය ඔලුව ඇතුළෙ ලියාගෙන සැණින් පොතට ගන්නව වගේ මට දැනෙන්නෙ.

අනික, ඔහුගේ කවි අපිට දැනෙන භාවගුණයෙන් යුක්තයි, ආත්ම කථන ආකාරයි, සමීප ම කෙනෙක් එක්ක කතාකරනවා වගේ. ඇතැම්විට හැඟීම්බරයි. මනු ගුණ දරනවා. ඔහු කවියට වැඩිය පාවිච්චි නොවන වචන, රයිම් එක එන වචන ගෙනත් භාෂා ප්‍රාතිහාර්යයක් කරන්න වෙහෙසෙන්නෙ නෑ. සරල වහරෙන් වැඩේ කරන්න ඔහු දන්නවා. ඔහුගෙ පරිකල්පන වැඩ කොටස බරපතල වුණත්, අපිට එහි බර දැනෙන්නෙ නෑ මොකද ඒ එෆර්ට් එක අප වෙත ගලා එන්නේ අර භාෂාවෙ සහ කවිය කියන විදියෙ සැහැල්ලුවකුත් එක්කමයි.

නඳුන් ශිල්පීය පක්ෂයෙන් හරඹපාන්නට නොයාම තවත් ලකුණක්. ඔහු අන්තර්ගතයට අවධානය ලබාදෙනවා. ඔහු කවිය ‘වවන්න’ දන්නවා. මේකෙ තේරුම මොකක් වෙන්න ඇද්ද කියල හිත හිත කියවන්නාව වෙහෙස නොකර, කවියෙන් මානව ගුණ මතුකරන්න, හදවත් අමතන්න ඔහුට පුළුවනි.
කවිය ලියන්න කලින් ගන්න හුස්ම ඔහු බිම තියන්නෙ කවිය ලිව්වට පස්සෙ. කවියෙ තේමාව ‘බස්සා’ නම්, ඔහු කවියෙ ඉතුරු ටික ගොඩනගන්නෙත් බස්සා අනුව. බකුසු නද, බකුසු පෙනුම…වගේ දේවල් බස්සා අනුවම යමින් කවියට ගන්නවා, මිනුස්සුන්ට ආදේශ කරමින්. කෙටියෙන් කියනවා නම් ඔහු තේමාව අරා සිටිනවා. කෙටිකතාවක් වගේ. මට මතක්වෙන්නෙ චින්තක රණසිංහගෙ ‘මදුරුවෝ’ කෙටිකතාව. මේ පොතේ එන “බකුසු නද අස්සෙන්” කවිය, සනීප රිද්මයක් ඇතැයි හැඟෙන එකක්. ඔහු කවිය වවන හැටියට අපිටත් ‘හ්ම්’ ගෑවෙනවා. කවියේ කථකයාමත් ආකර්ෂණීය චරිතයක්.

“බස්සෙක් කළු කැත කුරුල්ලෙක් නේද
අහන්නට හිතේ පැටලුණත් හ්ම් කියවුණා විතරයි මට
මගේ හීනෙට ඇවිත් වාඩිවෙන බස්සෙක් මිසක්
කොහෙද කැත කුරුල්ලෙක් දැන්?

පසුවදා සිට සොයාගෙන කියවමි බකුසු කවි
අඳුර’ස්සෙන් ඇසෙන නාදයක් වාගෙ මිහිරි කවි
අම්මා උන්න නම් කියවන්න කියන්න තිබුණා මෙහෙම කවි
එහෙම මූසල නෑ කියා මං කියන හැටි මතක් වෙයි මැවී මට”

නඳුන්ගේ පරිකල්පන දැති රෝද ඇණ මුරිච්චි හොඳින් ම වැඩකරන්නේ පිය-පුතු සබඳතා තේමාකරගනිමින් ලියවෙන කවිවලදි කියලයි මට හිතෙන්නෙ. මේ කවිපොතේ විතරක් නෙමෙයි කලින් පොත්වලදි පවා. මිනිස් සබඳතා ගැන කතාකරන කවිවලදි, ඔහු ඒ වටා පසුබිම, අත්තිවාරම අල්ලන්න සූක්ෂමයි. කවිය කියන හැටියෙන්, එ‍ය ගලායන්න සලස්වන හැටියෙන්, එයට බහුමාන එක්කරන හැටියෙන්, සියුම් චීන කඩදාසි කැටයමක් වගේ ලකුණක් අපේ හිතේ ඉතිරි කරනවා. නමුත්, මේ පිය-පුතු කවිවලදි ඔහු විශේෂ නිදහස් බවකින් ලියනවා. මුළු හිතෙන් ම ලියනවා. ඔහුගේ කවි භූමිකාව, මේ පිය භූමිකාවෙන් පෝෂණය කවි පොතේ මගෙ ප්‍රියතම කවිය, ‘ප්ලේන් හදවත්’, පියා සහ පුතා ඇසුරින් ලියැවුණක්. මීට පෙර ඔහු ලියූ, ‘දුරේක්ෂ මානන්නා හෙවත් තාරුකා පාරන්නා’ පොතේත් මෙවැනිම ප්ලේන් කවියක් තිබෙනවා, එහිත් පුතු ගැන ඔහු කියනවා. මේ ප්ලේන් කවිය කියවද්දි, සරත් විජේසූරිය සර්ගෙ හඬින් මට කවිය ඇහෙන්න ගන්නවා. සම්පූර්ණ කවිය උපුටන්නෙ නැතුව කොටසක් මෙහි පළකළත්, හැකි පළවෙනි වතාවෙ ම මේ සම්පූර්ණ කවිය ම කියවන්න.

“කුඩා කල තාත්තා අරන් දුන්
ඇන්ජිමේ හදවතක් ඇඳපු
සෙල්ලම් ප්ලේන් එක
උඩ ගියේ නෑ ඒක
වයින් කෙරුවම බිම දිගෙයි ගියේ
හැමදාම නතර වුණේ ම
තාත්තා ඉඳගන්න පුටුව ළඟ

ප්ලේන් එකකට තටු දෙකක් තිබුණට
අම්මා අරන් එන්න ඩුබායි යන්න බැරිබව
තාත්තා මට කියලා තිබුණා
එහෙනම් මොකටද
ප්ලේන් එකකට තටු දෙකක්
එදා ඒ තටු දෙක ම මං කැඩුවා”

මේක කෙටි කතාවක් වගේ කවියක්. කතාවකින් කියන්න පුලුවන් දාහක් දේ, මේ නිර්මාණයෙ තියෙනවා. පවුල් සංස්ථාව, රට රැකියාවලට යාම්, කැඩිම් බිඳීම් සිරීම්, පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රශ්න දිව යන හැටි, ළමයෙක්ගෙ හිත වැඩකරන විදිය, සෙල්ලම්බඩු…
‘සබන් පෙණ නම් සිහින’, ‘මගෙ කුඩා බෝංචි වැල’, ‘කුඩා කඩදාසි ඔරුවක් ඉටිපන්දමක් සහ අපි’ ආයෙ ආයෙ කියවන්න හිතෙන චමත්කාරජනක නිර්මාණ.
“මේ විසල් ලෝකය අපට හමුවනු බැරිතරම් විසල් යැයි තවමත් සිතමි මම” කියලා නඳුන් කියූවත්, ඒ හමුවීම ඔහුගෙ කවියෙන් කරන්න පුලුවන් බව අවසන් වශයෙන් ලියා තියන්නම්.

ඩිල්ශානි චතුරිකා දාබරේ

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...