වැඩට යන සුන්දර කෝච්චිය – මගේ ජංගම පුස්තකාලය !

Share post:

වැඩට යන සුන්දර කෝච්චිය
මගේ ජංගම පුස්තකාලය

වැඩට යන සුන්දර කෝච්චිය
මගේ ජංගම පුස්තකාලය.

ශබ්ද කෝෂ ද
විශ්ව කෝෂ ද
පැද්දි පැද්දී යාය හිටගෙන

ඩිම්බ කෝෂ ද
වෘෂණ කෝෂ ද
සද්ද නොකර ම ඉබේ නැටවෙන.

වැඩට යන සුන්දර කෝච්චිය
මගේ ජංගම පුස්තකාලය.

ඓතිහාසික දත්ත බේරෙන
මහත්තුරු යති තට්ටෙ පෑදුණ
භෝග විද්‍යා බීජ රුව ගුණ
වීජ ගණිතය සමඟ ජීරණ.

රෝස මල් ස්ත්‍රී සුලෝචන
සූප විද්‍යා කමල භාෂණ.
කාසි අහුරක් උඩින් හිටගෙන
මේස හැන්දක් වගේ නැටවෙන

කොමල කන්‍යා දේහ සසොබන
කළඹවන පොදු පුරුෂ සූචන
නාරි විද්‍යා පොතක බේරෙන
සානුකම්පිත ක්ෂණික මෝචන

මසක ඉපිලෙන තෛල මෝහන
පොතකි මේදය ගැන උගන්නන
කෘශව ගිය බවලතුන් හිටගෙන
ප්‍රසව වේදය මට කියාදෙන

වැඩට යන සුන්දර කෝච්චිය
මගේ ජංගම පුස්තකාලය

හීනි අත පය නහර පෑදුණ
පුරාවිද්‍යා පොත් ය වෑරුණ
නිකට පටුනක් උඩ තියාගෙන
දනෝ කජු කති බිම බලාගෙන

විනෝදය හක්කට තියාගෙන
ළමෝ සක්වල දෙස බලාගෙන
ප්‍රමෝදය අත්විඳින පුහුදන
මනෝ විද්‍යා වමාරා කන

මුකුළු පානා කැකුළු යුවතිය
කෘතිම බුද්ධියකින් හිනාවෙන
අසම චතුරස්‍රයක හිටගෙන
දසම ගණනට දසන් දක්වන

ලෝක සිතියම දිගේ රූටන
හීන ලාවා සමඟ වළඳන
දනෝ තෙරපී දරා පීඩන
භූමි කම්පා මට කියාදෙන

වැඩට යන සුන්දර කෝච්චිය
මගේ ජංගම පුස්තකාලය

ළයේ පෙනහලු බැලුන් පුම්බන
ළඳුන් උහුලන වායු පීඩන
වලාකුළු පපුවට තියාගෙන
කාල ගුණ විද්‍යා කියාදෙන

චුවිංගම් කන ළඳුන් අපමණ
කාන්දම් බල මට කියාදෙන
අඳුන් දිවියන් වගේ පැන පැන
මහත්තුරු ‍යති ගුරුත්වය දැන

කිරි බිබී වැඩෙනා හුදී දන
ජීවවිද්‍යාවෙන් හිනාවෙන
පාරිභෝගික මුවින් ලොඹුකර
පාරිභාෂික වදන් වළඳන

වැඩට යන සුන්දර කෝච්චිය
මගේ ජංගම පුස්තකාලය

යෝග ඉරියව් පාන ආසන
රෝග නිට්ටාවට ම සුව දෙන
කාම මිථ්‍යාචාර පරදන
ජාන විද්‍යා පොතක ඔවදන

සාසනේ පපුවට තියාගෙන
ස්වාස නාලය අතට අරගෙන
ධාතු වේලුණ සැදැහැවත් දන
යාතු කර්මය බෙලෙන් නැඟිටින

තලතුනා මෙවලම් නැමීගෙන
ජ්‍යාමිතික හැඩ තල කියාදෙන
මාලිමා යන්ත්‍රයක ගෑවුණ
මාජරින් බටහිරට බේරෙන

තිත් කොමා පෙරවදන් අරගෙන
පීලි දෙක උඩ යන පැද්දෙමින් යන
ඉස්මුදුන් සිට දෙපා දක්වා
ඇස් පනා පිට පිටු දිගෑරෙන

වැඩට යන සුන්දර කෝච්චිය
මගේ ජංගම පුස්තකාලය

කුමාර හෙට්ටිආරච්චි

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...