වැඩට යන සුන්දර කෝච්චිය – මගේ ජංගම පුස්තකාලය !

525

වැඩට යන සුන්දර කෝච්චිය
මගේ ජංගම පුස්තකාලය

වැඩට යන සුන්දර කෝච්චිය
මගේ ජංගම පුස්තකාලය.

ශබ්ද කෝෂ ද
විශ්ව කෝෂ ද
පැද්දි පැද්දී යාය හිටගෙන

ඩිම්බ කෝෂ ද
වෘෂණ කෝෂ ද
සද්ද නොකර ම ඉබේ නැටවෙන.

වැඩට යන සුන්දර කෝච්චිය
මගේ ජංගම පුස්තකාලය.

ඓතිහාසික දත්ත බේරෙන
මහත්තුරු යති තට්ටෙ පෑදුණ
භෝග විද්‍යා බීජ රුව ගුණ
වීජ ගණිතය සමඟ ජීරණ.

රෝස මල් ස්ත්‍රී සුලෝචන
සූප විද්‍යා කමල භාෂණ.
කාසි අහුරක් උඩින් හිටගෙන
මේස හැන්දක් වගේ නැටවෙන

කොමල කන්‍යා දේහ සසොබන
කළඹවන පොදු පුරුෂ සූචන
නාරි විද්‍යා පොතක බේරෙන
සානුකම්පිත ක්ෂණික මෝචන

මසක ඉපිලෙන තෛල මෝහන
පොතකි මේදය ගැන උගන්නන
කෘශව ගිය බවලතුන් හිටගෙන
ප්‍රසව වේදය මට කියාදෙන

වැඩට යන සුන්දර කෝච්චිය
මගේ ජංගම පුස්තකාලය

හීනි අත පය නහර පෑදුණ
පුරාවිද්‍යා පොත් ය වෑරුණ
නිකට පටුනක් උඩ තියාගෙන
දනෝ කජු කති බිම බලාගෙන

විනෝදය හක්කට තියාගෙන
ළමෝ සක්වල දෙස බලාගෙන
ප්‍රමෝදය අත්විඳින පුහුදන
මනෝ විද්‍යා වමාරා කන

මුකුළු පානා කැකුළු යුවතිය
කෘතිම බුද්ධියකින් හිනාවෙන
අසම චතුරස්‍රයක හිටගෙන
දසම ගණනට දසන් දක්වන

ලෝක සිතියම දිගේ රූටන
හීන ලාවා සමඟ වළඳන
දනෝ තෙරපී දරා පීඩන
භූමි කම්පා මට කියාදෙන

වැඩට යන සුන්දර කෝච්චිය
මගේ ජංගම පුස්තකාලය

ළයේ පෙනහලු බැලුන් පුම්බන
ළඳුන් උහුලන වායු පීඩන
වලාකුළු පපුවට තියාගෙන
කාල ගුණ විද්‍යා කියාදෙන

චුවිංගම් කන ළඳුන් අපමණ
කාන්දම් බල මට කියාදෙන
අඳුන් දිවියන් වගේ පැන පැන
මහත්තුරු ‍යති ගුරුත්වය දැන

කිරි බිබී වැඩෙනා හුදී දන
ජීවවිද්‍යාවෙන් හිනාවෙන
පාරිභෝගික මුවින් ලොඹුකර
පාරිභාෂික වදන් වළඳන

වැඩට යන සුන්දර කෝච්චිය
මගේ ජංගම පුස්තකාලය

යෝග ඉරියව් පාන ආසන
රෝග නිට්ටාවට ම සුව දෙන
කාම මිථ්‍යාචාර පරදන
ජාන විද්‍යා පොතක ඔවදන

සාසනේ පපුවට තියාගෙන
ස්වාස නාලය අතට අරගෙන
ධාතු වේලුණ සැදැහැවත් දන
යාතු කර්මය බෙලෙන් නැඟිටින

තලතුනා මෙවලම් නැමීගෙන
ජ්‍යාමිතික හැඩ තල කියාදෙන
මාලිමා යන්ත්‍රයක ගෑවුණ
මාජරින් බටහිරට බේරෙන

තිත් කොමා පෙරවදන් අරගෙන
පීලි දෙක උඩ යන පැද්දෙමින් යන
ඉස්මුදුන් සිට දෙපා දක්වා
ඇස් පනා පිට පිටු දිගෑරෙන

වැඩට යන සුන්දර කෝච්චිය
මගේ ජංගම පුස්තකාලය

කුමාර හෙට්ටිආරච්චි