“අපිට ඕන නෑ උඹල දුක් විඳපු හැටි දැනගන්න”(‘ලේඛකයකු වීමට ඉගෙනීම’- 3)

Share post:

මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ ඩොරිස් ලෙසිං ((1919-2013) 2007 දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ බ්‍රිතාන්‍ය ලේඛිකාව) විසින් විවිධ අවස්ථා වල විවිධ මාධ්‍ය සමඟ කරන ලද සාකච්ඡාවන් කොටස් වශයෙන් සෑම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම ‘ලේඛකයකු වීමට ඉගෙනීම’ යන නොපළ කෘතියෙහි 3 කොටස.

ඒ දවස්වල අපිට අතේ සතේ නැහැ. ඒත්, එහෙම සල්ලි තිබිය යුතුයි කියල අපිට හිතුණෙත් නැහැ. අපි කොහොම කොහොම හරි හෙමිහිට ජීවිතේ ගතකළා. මම අදහස් කළේ, මම එංගලන්තෙට ආ කාලේ හිටපු අය – ඒගොල්ලො ලේඛකයෝ, කලාකාරයෝ, කොමියුනිස්ට්කාරයො. හැම කෙනෙක්ම එක්කෝ කොමියුනිස්ට්කාරයෙක්, එහෙම නැතිනම් කොමියුනිස්ට් කාරයෙක් වෙලා ඉඳලා ඒකෙන් බැහැර වුණ කෙනෙක්; ඒ දෙකෙන් එකක තමයි හැම කෙනෙක්ම හිටියෙ. පොදුවේ සෝවියට් සංගමයයි කොමියුනිස්ට්වාදයයි ගැන ප්‍රචණ්ඩ වාද විවාද කරපු වාතාවරණයක තමයි මම ජීවත් වුණේ. ඉතින් මම කිව්වා වගේ, අතේ පැන්සයක්වත් නෑ අපි කාගෙවත් ළඟ. ඒත් අපි ඒ ගැන විශේෂයෙන් හිතුවෙ නෑ. ඔබට හිතාගන්න පුළුවන්ද එහෙම දෙයක්? ඒ දිහාව ආපසු හැරිලා බැලුවොත්, අපි බඩගින්නේ හිටියා හෝ අපි කිසිවක් ඉපයුවේ නෑ කියන එක හෝ නෙවෙයි මම අදහස් කරන්නේ. සරලවම, අපි ළඟ මොනවත් තිබුණෙ නෑ කියන එකයි. අපට මොනවත් ඕනෑ වුණෙත් නැහැ, මොනවත් තිබුණෙත් නැහැ. කම්කරුවකුගේ සාමාන්‍ය ඉපයීම් මට්ටමට ළඟා වෙන්න මට අවුරුදු දහයක් ගතවුණා. මට දැන් මතක නැහැ ඒ කීයක්ද කියලා. කවුරුහරි මගෙන් වතාවක් ඇහුවා, ‘ඔබ ඇත්තටම කීයක් උපයනවද කියලා ඔබ කවදාහරි ගණන් බලලා තියෙනවද?’ කියලා. ඉතින් කවුරුහරි කෙනෙක් ඒක මට කරලා දුන්නා. එයා කිව්වා, ‘මම උපයන්නේ සාමාන්‍ය කම්කරුවෙක් උපයන මුදල,’ කියල. අවුරුදු දහයක් වැඩකරලා තමයි එතැනට මම ඇවිත් හිටියෙ. ඒ මුළු කාලය තුළ මම බොහොම මහන්සියෙන් වැඩ කළා. අපි ඔක්කොටම තරමක් හොඳ ජීවන මට්ටමක් ලැබෙන්න යන බවක් ඒ මොහොත වෙනකොට මට දැනුණා. ආපහු හැරිලා බලනකොට මට පුදුමයි – එංගලන්තය හරිම ශෝකජනක, දුගී, ඒ වගේම තීන්ත නොගෑ තැනක් – ඒක තමයි මගේ හිතට වඩාත්ම වැදුණු දේ; එහෙමයි තිබුණේ. යුද්ධය පැවැති සම්පූර්ණ කාලය තුළම කිසිම දේක තීන්ත ගාලා තිබුණෙ නෑ. දෙයියනේ, එහෙම තැනක්.

ඔන්න එකපාරටම, ජනෙල් පඩිවල තිබුණු මල්පෙට්ටිවල මල් හැදෙන්න ගත්තා. මට ඒක නම් අමතක වෙන්නෙ නැහැ. ඒක එතරම් ආශ්චර්යයක්. උන් හිටි ගමන් කෝපි අවන්හල් මතුවුණා, ඉතාලිකාරයන්ට පින් සිද්ද වෙන්න. ඒ කාලේ ඒවා සැලකුවේ බරපතල විදියට රාජාණ්ඩුවට විරුද්ධව යෑමක් හැටියට. ඒ වගේම, ඒවා බොහොම නරක තැන් හින්දා තරුණ තරුණියන් ඒවාට නොයා යුතුය කියලා මතයක් තිබුණා. මම දන්නෙ නෑ ඒ මොකද කියල – පොලිසිය විතරයි කල්පනා කරන්න කැමති වුණේ ඊටත් වඩා නරක තැන් තව තියෙනවද කියල.

ඊළඟට, කෑමවල තත්වය වඩාත් හොඳ අතට හැරෙන්න පටන් ගත්තා, ඉන්දියන්කාරයන්ට පින්සිද්ද වෙන්න. මොකද, කන හැමෝම කෑවා ඇතිවෙන්න. අපි ඉන්දියානු කෑම කෑවා, අපිට හරිහමන් අවන්හලකින් කන්න මුදල් තිබුණෙ නැති හින්දා. ඔබ දන්නවද, අපේ කෑම විකුණපු හොඳ අවන්හල් තිබුණා. ඒත් ඒවාට යන්න කිසි කෙනෙක් ළඟ මුදල් තිබුණෙ නැහැ. ඔන්න ඒගොල්ල ඊළඟට හැදුවා යුදකාලීන අවන්හල් – ඒවා තවමත් තියෙනව, හැබැයි කාටත් අමතක වෙලා. යුද්ධ කාලේ ඇතිකරපු මේ ලාබ අවන්හල්වලින් අපි කෑවේ, මොකද ඒවයෙ කෑමවල මිල හරිම අඩුයි. කෑම වේලක තිබුණෙ රෝස්ට් කරපු හරක්මස් කෑල්ලක්, ස්ටූ එකක්, පිටිවලින් හදාපු පුඩිමක්(Batter pudding) , වතුරෙන් තම්බාපු කියන්න බැරිතරම් නරක එළවළු ටිකක්, ඔබට හිතාගන්න පවා බැරි පුදුමාකාර පුඩිං ජාති – ඉංග්‍රීසි පුඩිමක්, මේ ඔක්කොටම වෙන්නේ… අදකාලෙ හැටියට බැලුවොත් ස්ටර්ලිං පවුම් දෙකක් විතර. යුදකාලීන අඩුමිල අවන්හලක් කියන්නෙ ඒකට. ඒවා එහෙම තියෙන අතරේ, හරිහමන් විදියට කන්න දීපු අවන්හලුත් තිබුණා. ඊළඟට තිබුණා ඉන්දියානු අවන්හල් – ඒවා තමයි අපිව බේරාගත්තේ. ඉතින් එංගලන්තෙ පණ ගහලා එන්න පටන් ගත්තා.

තවත් දෙයකුත් සිද්ධ වුණා. මොකක්ද කියනවා නම්, තරුණ පිරිස – අලුත් පරම්පරාව – යුද්ධය ගැන කතාකරන්න කැමති වුණේ නෑ. මම ආපු කාලේ හැම කෙනෙක්ම, දිවා රෑ කතා කළා යුද්දෙ ගැන. එක්කෝ ඒගොල්ලන්ට හදිසි හමුදා ප්‍රහාර එල්ල වෙලා, ඒගොල්ල ඒ හැම එකකටමත් අහුවෙලා, වැටිච්ච බෝම්බවලින් කොහොමහරි බේරිලා, එක්කෝ එයාල එක එක යුද පෙරමුණුවල ඉඳලා ආපු අළුත, එහෙමත් නැත්තං ඒගොල්ල හිර කඳවුරු ඇතිකරපු අළුත. අපිට කතා කරන්න තිබුණේ හරිම දුක්බර දේවල් ගැන – මට මතක තියෙන විදියට, කතාබහෙන් වැඩි හරියක් ඒ වගේ. ඒත් හිටි අඩියෙම, හංගේරියාවේ සිද්ධිය (සෝවියට් සහාය ලැබූ හංගේරියානු ජනරජය (1949-1989) ට එරෙහිව 1956 දී පැන නැගුණු ජනතා නැගිටීම.) වගේ දේවල් හින්දා ’56 දි වගේ තරුණ පිරිස හිතන්න පටන් ගත්තා යුද්ධය කියන්නේ හරිම එපාකරපු දෙයක් කියන එක. ඒ ගැන මම දැන් කොහොමවත් පුදුම වෙන්නෙ නෑ, මොකද මම මගේ තාත්තගෙ කාලය දක්වා ආපස්සට ගියොත් – පළමුවැනි ලෝක යුද්ධය කාලේ – පැරණි සොල්දාදුවෝ අතර තිබුණා දුක්බර විහිළුවක්, ‘කියන්න බැරි මහා දේ’ කියල. ඒගොල්ල අගල්වලින් පිටවුණා, පණ පිටින් හරි නැතුව හරි. එහෙම මිනිස්සු යුද්ධය ගැන කතා කරන්නෙ නැහැ. ඉතින් මේ තරුණ පරපුර යුද්ධය ගැන කතා නොකරනකොට මම කිව්වා, හොඳයි කමක් නැහැ, ඒක මීට ඉස්සරත් මෙහෙම වුණා කියල. මිනිස්සුන්ට ඒ ගැන කතාකිරීම විඳදරා ගන්න බැහැ.

එක්කෝ ඒගොල්ලන්ට ඒක දරාගන්න බැහැ, එහෙම නැත්තං ඒගොල්ලන්ට තේරෙනවා ඒක සිම්බාබ්වේ නිදහස් සටනෙදිත් වුණා නේද කියලා. දවසක් මං එළියට ගිය වෙලාවක – ඒක එකපාරටම තේරුම් ගත්තා – හැමෝම යුද්දෙ ගැන කතා කරනවා; දිවා-රෑ, කළු-සුදු බේදයක් නැතිව, හැම කෙනෙක්ම. ඔන්න එකපාරටම එතැන හිටපු තරුණ කණ්ඩායම කිව්වා, ‘අපිට උඹලගෙ යුද්ධය වැඩක් නෑ! අපිට ඕන නෑ උඹල දුක් විඳපු හැටි දැනගන්න’ – මම ඔවුන්ව උපුටා දක්වන්නේ – ‘අපිට ඒ කිසිදේකින් වැඩක් නෑ. අපිට ඕන විනෝදෙන් ඉන්න.’ ඉතින් ඔන්න ඕකයි වෙන්නේ, ඔබට පේනවද? ඒ ගැන හිත නරක් කරගන්න එක තේරුමක් නෑ, මොකද, ඒක ඒ විදියටයි වෙන්නේ.

ඉතින් මම ඒ වෙනකොට එංගලන්තෙට සංක්‍රමණය වෙලා හිටියේ. මම හිතුවා Golden Notebook (රන් සටහන්පොත) ලියන්න කාලෙ හරි කියල. ඒත් නෑ… ඒ වෙනකොට මම Martha Quest (මාර්තාගේ ගවේෂණය) ලියලා තිබුණේ.

ලේඛකයා බලන්නේ ක්‍රියාවලියක් දිහා

මම පටන්ගත්තේ ආදර්ශමත් කතාවකින්. මේකට ආරම්භය වෙන්නේ රූපවාහිනියේ ගිය දෙයක් – ශාස්ත්‍රාලයීය උගතෙක් සෝල් බෙලෝ (Saul Bellow (1915-2005) – කැනේඩියානු-ඇමරිකානු ලේඛකයෙකි. සිය සාහිත්‍ය මෙහෙවර වෙනුවෙන් පුලිට්සර් ත්‍යාගය, නොබෙල් සාහිත්‍ය සම්මානය සහ ජාතික කලා පදක්කම ආදී සම්මානවලින් පිදුම් ලැබුවේය.) එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරනව. මේක ගියේ ටික කලකට ඉස්සර. ඒ ඔහුගේ පොතක් මුද්‍රණයෙන් පිටවුණ අළුත වගේ. හැමවෙලාවකම සිද්ධ වෙන විදියට අර උගතා බෙලෝගේ නවකතාව තවත් නවකතාවක් එක්ක සංසන්දනය කරන්න හදනවා. එයා කියනවා සෝල් බෙලෝට, ‘දැන් බලන්න බෙලෝ මහත්තයා, මට මේ පොතේ හිතට වදිනම දේ තමයි මේක කොයිතරම් දුරට – මොකද්ද මංදා, අර මියුසල්ගෙ පොත, ‘හොඳ ගති නැති මිනිහෙක්’, එහෙම නැත්තං ප්රූස්ට්ගේ, පොත – වගේම නේද කියන කාරණේ.

එතකොට සෝල් බෙලෝ කියනවා, ‘නෑ නෑ නෑ, ඒක කොහොමටවත් ඒ වගේ නෙවෙයි. ඔබ දන්නවද, ඒක ඒ වගේ නෙවෙයි.’

එතකොට අර උගතා කියනවා, ‘ඒක පාතරාසය වෙලාවේ සිදුවන සිද්ධියක්. හරියට දොස්තෝව්ස්කිගෙ එකක් වගේමයි!’

එතකොට සෝල් බෙලෝ කියනවා, ‘නෑ නෑ, ඔන්න බලන්න. මොකක්ද දන්නවද ඔබ කළයුත්තේ, බලන්න. ඉර පායලාද? සමහර විට හිම වැටෙනවා වෙන්න ඇති. මොකක්ද වෙන්නෙ? මොනවගේ සුවඳක්ද? ඒගොල්ල ඒ කුස්සියේ පාන් හදලද? ඔහුයි බිරියයි කලින්දා රෑ එකට නිදාගෙනද? ඒගොල්ල එකිනෙකාට කැමැතිද? මං කියන්නෙ මොකද්ද කියල ඔහේට තේරෙනව නේද?’

ඔන්න ඕකයි ලේඛකයා හිතන විදිය. එහෙම මිසක් වෙන මොකක්හරි පොතක් ගැන නෙවෙයි.

‘හොඳයි,’ උගතා කියනව. ‘හොඳයි එහෙනම්, ඔබ දන්නවද ඒක හරියටම රයිඩර් හැගාර්ඩ්ගෙ එකක් වගේ, අර බල්ල ගැන තියෙන කෑල්ල…’

‘නෑ නෑ,’ සෝල් බෙලෝ කියනව. ‘එහෙම නෙවෙයි.’

ඒක මෙන්න මෙහෙම හිතාගන්න. ඔබේ වීරයා වත්තේ ඉන්නවා බල්ලත් සමඟ. බල්ලා – මොකක්ද බල්ලාගෙන් එන ගන්ධය? ඔබ දන්නව, ටිකක් සැර ගන්ධයක් – ඒ වගේම බල්ලගෙ ලොම් ඔබේ අතට දැනෙන හැටි.

‘දැන් ඔබට පේනවා,’ සෝල් බෙලෝ කියනව, ‘ඔබ වත්තේ ඉන්නවා බල්ලත් එක්ක, බල්ලා උඩ පනිනවා නටනවා, ඌ ගෙයින් පිටත ඉන්න හරිම කැමතියි. ඒ වගේස ඒක ලස්සන දවසක්. හැමෝම සන්තෝසෙන්, මිනිස්සු…’

ඔන්න ඊළඟට උගතා, ‘දැන් බෙලෝ මහත්තයා බලන්න, මම මේ පොත කියවාගෙන යද්දි මගෙ හිතට නොනවත්වාම එන්න ගත්තේ…’ කියලා, කියෙකගාඩ් (Søren Kierkegaard – සෝරන් කියෙකගාඩ් (1813-1855). ඩෙන්මාර්ක දේවධර්මාචාර්යවරයෙකි, චින්තකයෙකි, කවියෙකි.) හරි තවත් මොනවාහරි දෙයක් හරි කියාගෙන ගියා. ඔන්න ඔහොම මේ සංවාදය සෝල් බෙලෝ සහ ශාස්ත්‍රාලයීය උගතා අතර කෙරීගෙන යනව; දෙන්නටම එක තැනකට එන්න බෑ.

ඊළඟට මගේ අත්දැකීම මෙහෙමයි. ඒගොල්ලන්ට ලිවීම ගැන මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ. මමත් කී වතාවක් මේ වගේ සංවාදවල යෙදිලා ඇත්ද. මම පටන්ගනිද්දිම මේක කිව්ව හේතුව තමයි, මං හිතනවා මම මේ කියන දෙය නිසා ලේඛකයන් සහ ශාස්ත්‍රාලයීය උගතුන් අතර තිබෙන මේ අඬාවැටෙන්න තරම් විශාල පරතරය දුරුවී යන්න උදව්වක් වේවි කියල. ඒගොල්ල දකින්නෙ එකිනෙකට වෙනස් දේවල්. මුල ඉඳලාම ඒක එහෙමයි.

පොතක් පළවෙනවා – ආ මෙන්න පොතක්, බලන්න කොයිතරම් අලංකාරද! හරිම ලස්සනයි. ලස්සන කවරෙකුත් තියෙනව, ඉස්තරම් නිමාව – අන්න ඒකයි වැඩේ, නිමාව. ඒක නිමා කරල තියෙන්නෙ. ඔබට පේනවද, ඒක නිම කරල තියෙන්නෙ. ඔබ ඒක බලනවා, කොමා ටික හරි තැන්වල තියෙනවා… ඔන්න ශාස්ත්‍රාලයීය උගතා හිතනවා, ‘බලන්න, හැබෑම ලස්සන පොතක්. මට මොකද්ද මේක දැක්කම මතක් වෙන්නේ?’ ඔන්න ඔහොමයි මේ අය හිතන්නෙ. ඒගොල්ලන්ට ඊට වැඩිය වෙනස් විදියකට හිතන්න බෑ.

ඒ අතරේ, ලේඛකයා හිතන්නෙ මොනවද – ‘දෙයියනේ, ඔබ හිතනවද ඒ පින්තූරෙ ගැලපෙනව කියල? මං කොච්චර මහන්සි වුණාද ඒක කවරෙට දාගන්න… අම්මාහ්! ලස්සනයි නේ. අපොයි මං මාස කීයක් නං මහන්සිවෙලා වැඩකළාද, සමහරවිට අවුරුදු ගණන්. ඒ අස්සෙ මගේ අම්මයි තාත්තයි මාව බලන්න ආ වෙලාවෙ මට සති තුනක් ඒගොල්ලන්ව බලාගන්නත් වුණා. මට කොහොමටවත් මගේ වැඩේට යෙදෙන්න වුණේ නෑ. එතකොට මං අසනීපෙන් හිටි දවස් කොච්චරද… මොකක් හරි එකක් නැත්තං තවත් එකක් මට වුණා. මොන තරං ලොකු උත්සාහයක්ද, ඒ හැම දෙයක්ම!’ ඔන්න ඔය විදියට දිගින් දිගටම, එහෙමයි ලේඛකයාට හිතෙන්නෙ. ඒක නිකම්ම නිකං දෙයක් නෙවෙයි – ඒගොල්ල බලන්නේ ක්‍රියාවලියක් දිහා; ලේඛකයා හිතන්නේ ඒක. මෙතැන ක්‍රියාවලියක් තියෙනව, ඒත් ශාස්ත්‍රාලයීය උගතා ඒ කිසිවක් දකින්නෙ නෑ, නමුත් ලේඛකයා ඒක දකිනවා.
ඔහු ආරම්භ කරන්නේ මනසේ හටගන්නා නොපැහැදිළි අදහසකින්. අවුරුදු ගණනාවක් ගියාම ඔහු හිතනවා, හොඳයි, මම මේක, මේ කාලය ගැන ලියන්න ඕන කියලා. මම ලියන්න ඕන – ඒත් කවද්ද? ඊට පස්සෙ මොකුත් වෙන්නෙ නෑ. ඔන්න එකපාරටම නියම වෙලාව එනවා, පොත ලියවෙනවා; ඒ සම්පූර්ණ ඉතිහාසයම මේ කලාකෘතිය තුළ තිබෙනවා. ඒකේ අත්පිටපත – කොළ ගොඩක් වෙන්නත් පුළුවන්, වර්ඩ් ප්‍රොසෙසර් එකකින් හදාපු මොනවාහරි එකක් වෙන්නත් පුළුවන් – එය ප්‍රකාශකයකුට යවලා, නිමා කළ පොතක් ආපසු ලැබෙන එක තරම් පුදුමාකාර අවස්ථා ලේඛකයෙකුගේ ජීවිතේ තවත් තියෙනවනම් ඒ බොහොම ටිකයි. ඔහු දකින්නේ පුදුමාකාර කලා කෘතියක්, ප්‍රකාශන ආයතනයේ සේවකයන් බොහෝදෙනෙකුගේ වැඩක ප්‍රතිඵලයක්. ඒකත්, පොත ලියවුණේ කොහොමද කියන එකත් අතර කිසිම සම්බන්ධයක් නෑ.

(ඊළඟ දිනයට ‘අදහස් ලැබෙන්නෙ කොහෙන්ද?’)

පරිවර්තනය – මොහාන් ධර්මරත්න

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...