(ලේඛකයකු වීමට ඉගෙනීම – ඩොරිස් ලෙසිං) 2
මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ ඩොරිස් ලෙසිං ((1919-2013) 2007 දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ බ්‍රිතාන්‍ය ලේඛිකාව) විසින් විවිධ අවස්ථා වල විවිධ මාධ්‍ය සමඟ කරන ලද සාකච්ඡාවන් කොටස් වශයෙන් සෑම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම ‘ලේඛකයකු වීමට ඉගෙනීම’ යන නොපළ කෘතියෙහි දෙවන කොටස.
‘තණනිල්ල ගී ගයයි’ ගැන කියන්න කලින් මම ඒවා ගැන කියලා ඉන්න ඕන – මම පොත් දෙකක් ලියලා හිටියේ. මම ඒ කාලේ වැඩ කළේ… දැන්කාලෙ වැඩ යෙහෙළියක් (au pair – ප්‍රංශ යෙදුමකි. ‘සම මට්ටමින් සලකනු ලබන්නා’ යන අරුත දෙයි. ආහාර, කාමරයක් සහ සුළු මුදලක් වෙනුවෙන් නිවසේ වැඩකටයුතු හෝ ළමුන් බලාකියාගැනීම කරන විදේශික තරුණ කාන්තාවන් මෙසේ හැඳින්වේ.) කියල කියන්නෙ… අන්න ඒ විදියට. දැන් වැඩ යෙහෙළිය කියන එකට ඒ කාලේ කිව්වේ ‘ළමයි බලාගැනීම’ කියලා. මම සැලිස්බරියේ වැඩකළා ළමයින් බලාගන්නා කෙනෙකු විදියට. වැඩ ඇරිලා ගෙදර යන්නේ ගොවිපලට. එහේදි මම නවකතා දෙකක් ලිව්වා. එකක් තමයි… ඇත්තටම මම ඒකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්ත. ඒක ලිව්වේ සාමාන්‍ය අත් අකුරින්, හරිම ඉක්මනට. කොතරම් ඉක්මනට ලිව්වාද කිව්වොත් ඒක මටම කියවාගන්න අමාරු වුණා. පැහැදිළිවම මට යම්කිසි අදහසකින් ජීවයක් ලැබිලයි තිබුණේ. ඊළඟට අනිත් පොත… ඒක ලියන්න මට දේවල් තිබුණෙ නෑ. මම කළේ සුදු සංස්කෘතිය විහිළුවට ලක් කරපු එක; මාව විශ්වාස කරන්න, ඇත්තටම ඒක විහිළුවට ගන්න පුළුවන් එකක්. ඒක ඒ තරමටම අසෝබන තත්වයක තිබුණේ. ඒත් මට ඒක ලියන්න තරම් අත්දැකීම් තිබුණෙ නැහැ. මට ඒක ලියාගන්න බැරි වුණා, මම දැනගෙන හිටියෙ නෑ ඒක ලියන්න ඕන මොන විදියටද කියන එක. ඉතින් මම ඒක ලිව්වේ බොහොම හැදිච්ච තාලෙට. දකුණු රොඩේෂියොවේ සැලිස්බරිවල සමාජය ගැන එහෙම හැදිච්ච තාලෙට පොතක් ලියන්න මට බලයක් ලැබුණේ කොහොමද කියල වත්, එහෙම හැදිච්ච තාලේ පොතක් ලියන්න මම කියවලා තිබුණු පොත්වලින් මට ආදර්ශයක් දීපු පොත මොකක්ද කියලවත් මම දන්නෙ නැහැ. මොකක් වුණත් ඒක බොහොම නරක එකක්. සන්තෝසයි කියන්න, මම ඒ පොත් දෙකම ඉරලා දැම්මා. එයින් පේනවා, මට ඒකාලෙදි පවා ලිවීම ගැන කිසියම් සංවේදීතාවක් තිබුණ බව. ඉතින් ඊළඟට මේ පත්තර කෑල්ලයි, ඒ සංස්කෘතිය ගැන අත්දැකීම් බොහොමයකුයි මට ලැබෙනවා. ඊට පස්සෙ තමයි මට තණනිල්ල ගී ගයයි ලියන්න වුණේ.
මේ තණනිල්ල ගී ගයයි නවකතාව ගැන මට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. එහි එක් කුඩා කොටසක් වෙන් වන්නේ ටර්නර්ලාගේ ජීවිතයේ සිදුවන දේවල් ගැන බලා හිටපු, මේ ගොවිපලේ ජීවත් වුණ සුදු ජාතික ගොවිපල සහායකයාටයි. ඒත් එහි ඉතිරි හරිය දිගු කතාවක්. මට එය ලිවීමේදී තවත් අත්දැකීම් තිබුණානම් එය හොඳවෙන්න ඉඩ තිබුණා.
ඔබ දන්නවද, ඒ කාලේ එංගලන්තෙ ඉඳලා එහේ ආපු සුදු සහායකයන් හිටියා. ආර්ථික පරිහානිය නිසා ඒගොල්ලෝ – කිසි කෙනෙක් ඒක අමතක කරන්න නරකයි, මම මේ කියන්නේ ’30 ගණන්වල එංගලන්තෙ ගැන – කාටවත්ම රස්සාවල් තිබුණෙ නැහැ. මම කියන්නේ, ඒ තමයි මෙහේ වැඩකරන ජනතාව අතරේ තිබුණු අතිශය ඝෝර දුප්පත්කම. ඒ වචන ටික – අතිශය ඝෝර දුප්පත්කම – දැන් අමතක වෙලා ගිහින් වගේ පේනවා. කිසි කෙනෙකුට රස්සා තිබුණෙ නැහැ, කිසිම දෙයක් තිබුණෙ නැහැ.
මට කණගාටුයි තවම ඒක ලියන්න බැරි වීම ගැන
කාගෙන් හරි – වෙන විදියකට කිව්වොත් මුදල් හදල් ඇති කෙනෙකුගෙන් – ගමන් ගාස්තුව ඉල්ලාගන්න පුළුවන් වුණ හැමෝම යටත්විජිතවලට ගියා. ඔය විදියට, දුම්කොළ හරි, වෙන දෙයක් හරි වගාකරන්නේ කොහොමද කියලා ගොවියකුගෙන් ඉගෙනගන්න පොරකාපු මධ්‍යම පාංතිකයන්ගෙන් දකුණු රොඩේෂියාව පිරුණා. ඔන්න ඔහොමයි මේ සුදු සහායකයෝ ආවේ. මේ සහායකයන්ට සිද්ධ වුණේ දේවල් දෙකයි: එකක් තමයි, කට්ටියක් තමන් ඇවිත් බැහැපු සමාජය ගැන දැඩි කලකිරීමකට පත් වුණා. අප්‍රිකානුවන්ට සලකන විදිය දැකලා දැඩි කම්පාවට පත්වුණ ඒ අය කළේ, කණ්ඩායමක් විදියට මුදල් ටිකක් එකතු කරගන්න පුළුවන් වුණ වහාම, ආපසු එංගලන්තෙට ගිය එකයි. අති විශාල පිරිසක් ඒ විදියට ආපහු ගියා. අනිත් කට්ටිය ඔවුන්ගේ හාම්පුතාලටත් වැඩිය නරක මිනිස්සු වුණා. යම් දෙයක් සම්බන්ධයෙන් ක්‍රියාකළ හැකි තවත් විදියක් තමයි ඒ. ඒගොල්ල බොහොම නරක අය හැටියට ප්‍රසිද්ධියට පත්වෙලා හිටියෙ – වඩාත් ක්‍රෑර සහ වඩාත් මුග්ධ මිනිස්සු.
එහේ කාලයක් තිස්සේ ජීවත්වුණ පැරණි තාලයේ සුදු ගොවීන් තුළ යම් ප්‍රමාණයක මනුෂ්‍යත්ව ගුණයක් ගොඩනැගී තිබුණා. ඒක හොඳයි කියන්න පුළුවන් මට්ටමක නොවුණත්, ටිකක් පීතෘ ආකල්පයක් වගේ දෙයක් එක්ක ගිය තරමක් හොඳ ගතියක්. ඉතින්, මේ සමාජයට ගැලපිලා ඉන්න හදන අය – වඩාත් වැදගත් දේ තමයි ඒ සමාජයට ගැලපී ඉඳීම – සුදු ගොවීන්ගෙනුත් නරකම කොටසටත් වඩා නරක අය වෙන්න ඉඩ තිබෙනවා. ඉතින් මම හිතුවා මගේ නවකතාවේ සුදු සහායක චරිතයක් සිටිය යුතුයි කියලා ආපහු එංගලන්තෙට යන්න තරම් කලකිරුණේ නැති – මොකද, එහෙම වුණානම් එතැනින් එහාට කියන්න දෙයක් නෑනේ – ඒ වගේම තමන්ගේ හාම්පුතුන්ටත් වැඩිය නරක කෙනෙක් වුණෙත් නැති. ඔහු එහි ඉන්න, ඒ වගේම කලකිරුණු කෙනෙක්. එතකොට එතැන හැදෙන්නේ ඇත්තටම මහා හාස්‍යජනක තත්වයක්. පරමාදර්ශී ඉංග්‍රීසි තරුණයෙක් – සුදු පදිංචිකාරෙයෝ හැමෝගෙම පිළිකුළටත් වෛරයටත් භාජනය වූ කොටසක්. තමන්ට දකින්න ලැබුණු දේවල්වලින් කම්පනයට පත්වෙලා, ඕනෑම කෙනෙකුව යහපත් තැනකට ගේන්න උත්සාහ කරන කෙනෙක් – ඒක පුදුමාකාර හාස්‍යජනක අදහසක්.
ඒක අපූරු අදහසක්. මට තවමත් කනගාටුයි ඒක ලියන්න බැරිවීම ගැන. මොකද, අද පවා මම ඒ ගැන – සුදු මිනිස්සු ගැන – කල්පනා කරද්දි, සුදු මිනිස්සු පංති දෙකක් ඉන්නවා. ඔන්න මම ආයෙත් පාරෙන් පිට යනව වගේ නේද? එක් පංතියක් තමයි විවාහයක් කරගන්න රටින් පිටවූ අය. මොකද, ඔබ දන්නව මෙහේ මිනිස්සුන්ට අතේ සතේ නෑ – ඒ හින්දා මෙහෙන් සැමියන් හොයාගන්න බැහැ. හැබැයි යටත්විජිතවලට ගියොත්, යන පමාවෙන් සැමියෙක් හොයාගන්න පුළුවන්, මොකද, ඒවයෙ ඇතිතරම් ගෑනු හිටියෙ නැති හින්දා. ඉතින් ඒගොල්ල වහාම විවාහයට පත්වුණා, ගොවියෙක් හෝ වෙනත් ඕනෑම කෙනෙක් එක්ක. ඔවුන්ට හමුවූ දේ ගැන විවේචනය නොකිරීමට වගබලා ගන්න මේ අයට සිද්ධවුණා, මොකද, එහෙම කළානම් ඔවුන්ට තමන්ගේ සැමියාව සැනෙකින් අහිමිවෙනවා, අතහරින්න වෙනවා. ඒගොල්ලෝ සුදු ස්වාමිදූන්ට වඩා නරක අය වුණා – සුදු බිරින්දෑවරු.
සුදු සහායකයෝ කාලයත් එක්ක ගොවීන් බවට පත් වුණා. ඒගොල්ලන්ගෙ ගොවිපොලවල් දැන් මුගාබේ පාලනය යටතේ අහිමි වෙලා ඇති. මොනව වුණත් මම මේ පරමාදර්ශී සුදු තරුණයාගේ චරිතය නිර්මාණය කළා – එංගලන්තෙන් ආ කොල්ලෙක්. ඔහු සුදු ගොවීන් හැමෝටම කියනවා, ‘උඹල දන්නවද, උඹල මේ කරන වැඩේ හොඳනැහැ. උඹල උන්ට එහෙම කතාකරන එක නරකයි. උඹල කරන්න ඕන… එහෙම නෙවෙයි, මම ඇත්තටම මේක උඹලට පැහැදිළි කරල දෙන්නම්.’
ඇත්තටම ඒක මහා හාස්‍යජනක අදහසක්, ඒත් මම ඒක වීසි කළා.
මට හරිගියේ නැති සේරම ඉවත් කළා
මගේ ඒ නවකතාව තිබුණේ කොටස් දෙකකට. එකක් තමයි, ලස්සන මෙන්ම හාස්‍යජනක අදහසක් වුණත් මම ලියන්න සූදානම් නොවුණ කොටස. අනික තමයි, සිදුවන දේ මොකක්දැයි කියලා තරුණ සුදු සහායකයා පරීක්ෂාවෙන් බලා සිටින වඩා කෙටි කොටස. මතක තියාගන්න, ඒ තමයි දෙවැනි ලෝක යුද්ධය පැවති කාලෙ. මුහුදේ හැමතැනම යූබෝට් ( U-boat: විනාශකාරී ජර්මානු සබ්මැරීනයක්.) මුරසංචාරයේ යනව. ඉතින් අපි මොනවාහරි තැපැල් කළොත්, බොහෝවිට ඒක මුහුදුබත් වෙනවා. ඉතිං මම මේ නවකතාවේ අත්පිටපත එංගලන්තෙට යැව්වා. ඒක දෙතුන් පාරක්ම ප්‍රතික්ෂේප වුණා. විශ්වාස කරන්න, යම් හේතුවකින් ඒක එහාට ලැබුණොත් ලැබෙන්නේ මාස ගණනකට පස්සේ. ඒක එයාල ආපහු මට එවලා, මට ලැබුණොත් ඒකටත් මාස ගණනක් යනව, ආයෙත් මම තව කෙනෙකුට යවනවා නම් එයාට ලැබෙන්න තවත් මාස ගණනක්… නැව ගිලුනෙ නැතිනම්. ඔන්න ඔහොමයි ඒවට ඒ තරම් කාලය ගතවුණේ. ලේඛකයෙක් වෙන්නට ඉගෙනගැනීම සිදුවුණ ඒ මුළු කාලපරිච්ඡේදයම ඉතාම විශිෂ්ට ආකාරයෙන් ඉවසීම පුහුණුකළ කාලයක් වුණා.
ඉතින් මේ අත්පිටපත ළඟ තියාගෙන හිටපු මට, එකපාරටම අදහසක් ආවා – මම ඒකෙන් තුනෙන් දෙකක් අයින් කරලා දැම්මොත්, ඉතාම අගනා කතාවක් මට ඉතිරි වෙනවා නේද කියලා. ඉතින් මම, අර මට හරිගියේ නැති කොටස් සියල්ලම ඉවත් කළා; ඒ කියන්නේ, අර සදාචාරය, විනීතකම, යුක්තිය, සහ තවත් නොයෙක් දේවල් ගැන උසස් අදහස් තිබුණු සුදු සහායකයා ගැන තිබුණ ටික. අනිත් ටික ඉතිරි කළා. ඒ ටික රත්තරන් වගේ. තණනිල්ල ගී ගයයි කියන්නේ ඒ ටික තමයි – අර මහා අත්පිටපතෙන් ඉතිරි වෙච්ච ටික. ඒක කෙටි නවකතාවක් වුණා. දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න මං ඒක දෙකට වෙන්කර දැමුවේ. මොකද, ඒක මාව ගිල්වාදමන්න සමත් නොවුණ හින්දා. ඔන්න තණනිල්ල ගී ගයයි කියන්නේ ඒකෙන් අපට ඉතිරි වුණ දේ තමයි.
ඉතින්, මේ අත්පිටපත මගේ ළඟ තිබුණා. මම ලේඛකයෙකු වෙන්න නියමිතව හිටියා. ඊළඟට මට වුණ දේ තමයි, ජොහැන්නස්බර්ග් ඉඳලා ආපු කෙනෙක් මගෙන් අහනවා, ‘ආ, මම ඔයාට ග්‍රන්ථ ප්‍රකාශකයෙක් හොයල දෙන්නද?’ කියලා. ඉතින් එයා ඒකත් අරන් ජොහැන්නස්බර්ග් වලට ගිහිල්ලා ග්‍රන්ථ ප්‍රකාශකයෙකුට විකුණනවා. මට ඒ ප්‍රකාශකයගෙ නම දැන් මතක නැහැ. ඒ පාර ඒ ප්‍රකාශක කියනව ඔහුට ඒක ප්‍රකාශයට පත් කරන්න බෑ, මොකද, ඒක හරිම රළු වැඩියි කියල. ඇත්ත, ඔබ දන්නවද, ඒකාලේ තිබුණ තත්වයන් එක්ක බැලුවම ඒක හරිම රළුයි තමයි – සමහර විට ඒක ප්‍රකාශයට පත්කරන්න බැරිවෙන්න පවා පුළුවන්. ඔන්න ඉතින් ඒක ආයෙත් පල්වෙන්න පටන් ගත්තා. අර දුෂ්ට ප්‍රකාශකයත් එක්ක මම අත්සන් කරපු ගිවිසුමේ පිටුවක් මගේ ළඟ තියෙනව කියලා මට මතක් වුණා. ඉතින් මම මගේ දරුවත් එක්ක එංගලන්තෙට ආවා. අතේ සතයක් තිබුණෙ නෑ, කිසිම ගැලපීමක් නැති ඇඳුම් ටිකක් තමයි මගේ ළඟ තිබුණේ. මම හිටියේ පෝටොබෙලෝ පාරේ – බොහොම දරුණු විදියට බෝම්බවලින් හානි වුණ තැනක්. බිත්ති කඩාවැටෙනවා. මම හිටපු හරියේ එ තරම් බෝම්බ වැදිලා තිබුණෙ නෑ ඒ වෙනකොට. හැබැයි මමත් කාමරෙන් කාමරේට මාරු වුණා, බිත්ති කඩා වැටෙද්දි. ඒ වගේම, මම උණුසුමට හුරු වෙච්ච රොඩේෂියානුවෙක්, මට ඒ සීතල උහුලන්න අතිශයින්ම අමාරු වුණා. දවසට කීප වතාවක් බිම් මහලට ගිහින් ගල් අඟුරු කැට ටික බැගින් අරගෙන එන්න ඕන. ඇත්ත වශයෙන්ම මම කිසිම විටෙක උණුසුම්ව හිටියෙ නැහැ.
ඉතින්, මම කළේ ලියපු එක. මම ලියපු කෙටිකතා වගයක් තිබුණා. මම ඒවා, ඒ කාලේ වගේම අදත් තියෙන විශාල නියෝජිතායතනවලින් එකක් වන කර්ටිස් බ්‍රවුන් එකට යැව්වා. ඒවා ලැබිල තිබුණේ ජුලියට් ඕහායි කියලා ගෑනු කෙනෙකුට. එයා මට ලියුමක් එව්වා – ඒවා සාමාන්‍යයෙන් එහෙමයි කෙරෙන්නේ, ඒත් මම ඒ බවක් දැනගෙන හිටියෙ නෑ – ‘අනේ මේවා හරිම ලස්සනයි. ඒත් ඔයා ළඟ නවකතාවක් එහෙම නැද්ද?’
මම එයාට ලිපියක් ලිව්වා – ‘මට නවතකාවක් තියෙනවා, ඒත් ඒක ජොහැන්නස්බර්ග්වල ඉන්න ප්‍රකාශකයෙකුට විකුණලයි තියෙන්නේ.’ ‘ඉතින් මට පෙන්නන්න ඔයාගේ ගිවිසුම’ කියල ඈ කිව්වා. මම ගිවිසුම පෙන්නුවාම ඇයට හොඳටම කේන්ති ගියා. ඈ කිව්වා, ඈ කිසිම දිනෙක ඒ තරම් නපුරු, ක්‍රෑර සහ නින්දිත දෙයක් දැකල නැහැයි කියලා. ඇය ඒ මිනිහාට ටෙලිග්‍රෑමයක් යැව්වා -මතක තියාගන්න, ටෙලිග්‍රෑමයක් – ‘මේ කතුවරියව ගිවිසුමෙන් නිදහස් කරපන්. එහෙම නොකළොත් මම උඹ වගේ හොරෙක් කරල තියෙන මේ බලු වැඩේ හෙළිදරව් කරනවා කියලා. ඉතින් ඔහු මාව ගිවිසුමෙන් නිදහස් කළා. ඈ මගේ පොත ඒ සති අන්තයේදී මයිකල් ජෝසෆ්ට විකිණුවා. අතුරු කතාව මේකයි – දිගු කාලයක් ගතවුණා – මයිකල් ජෝසෆ් ඇගේ ආදරවන්තයා වී සිට තිබෙනවා. ඈ ඔහුගෙන් පළිගැනීමට සූදානම් වී ඉඳලා තියෙන්නේ. ඈ ඔහුට පොත් විශාල ගණනක් විකුණලා – මගේ පොත ඉන් එකක් විතරයි. ඔන්න ඒක හෙළිවුණා. ඊළඟට මොකද වුණේ, ‘අපි ඔබේ පොත නැවත මුද්‍රණයක් කරනවා’ කියලා මට මයිකල් ජෝසෆ්ගෙන් දුරකථන ඇමතුම් එන්න ගත්තා. මම කොයිතරම් නොමේරූ කෙනෙකු වී සිටියාද කීවොත්, මම හිතුවේ හැම කෙනෙකුටම වෙන්නේ මේ විදියටය කියලා.
ඔන්න ඉතින් ඇත්තටම හිතාගන්න බැරි තරම් අහිංසක මම, හිතාගෙන ඉන්නවා, ඕනෑම කෙනෙකුගේ පොතක් ප්‍රකාශයට පත්වෙන්න කලින් නැවත මුද්‍රණය වෙනවාය කියලා. කොහොමහරි, පොත නිකුත් වුණා. ඊට හොඳ විචාර ලියවුණා. මොනව වුණත් ඒක එක පැත්තකින් බැලුවොත් වාසනාව. කිසිම කෙනෙකුට තමන්ගේ වෘත්තියේ ‘වාසනාව’ කියන අංගය කිසි ලෙසකින් අවතක්සේරු කරන්න බැහැ. බලන්න, ඊට යන්තමින් මාස හයකට ඉස්සරවෙලා දකුණු අප්‍රිකාවෙදි Cry, The Beloved Country (හඬනු මැන මා දේශය) කියන නමින් පොතක් පිටවුණා. ඒ පොතට පුළුවන් වුණා පුදුමාකාර විදියට ප්‍රතිචාර ලබන්න, කතාබහක්, උනන්දුවක් ඇතිකරන්න. මොකද, ඒ කාලේ මෙහේ කට්ටිය හිතාගෙන හිටියෙ මුළු දකුණු අප්‍රිකාවෙම ඉන්න කළු මිනිස්සු සන්තෝසෙන් සිංදු කිය කියා, නටනටා, ඒගොල්ලන්ව පාලනය කරන සුද්දන්ට පින් දෙනවා ඇති කියල. ඒ කාලෙ මිනිස්සු කතා කරපු දේ එක වාක්‍යයකින් කිව්වෙ මෙහෙමයි: ‘අපි ආදරය කරන්න පටන්ගන්නකොට, ඒගොල්ලො වෛර කරන්න පටන් ගනීවි’ – මේක තාමත් මේ විදියට උපුටා දක්වන වැකියක්. ඒත් ඇත්තටම වුණේ ඒකෙ අනිත් පැත්ත: ‘ඒගොල්ලො ආදරය කරන්න පටන්ගන්නකොට, අපි වෛර කරන්න පටන් ගනීවි.’ අන්න එය තමයි ඇලන් පැටන්ගේ හඬනු මැන මා දේශය මුළු පොත පුරාම විහිදී තිබුණේ. ඉතින් හැම කෙනෙක්ම මගේ පොතටත් කැමැත්ත දක්වන්න පටන් ගත්තා. හැබැයි, අර නවකතාව ආවෙ නැතිනම් මේ නවකතාව – තවත් එක් නවකතාවක් විතරයි – ඒ තරම් විශේෂ අවධානයකට ලක්වෙන එකක් නැහැ.
ඉතින් මම කියන්නේ, ඒක වාසනාවට වුණ දෙයක්. ඔන්න ඊට පස්සෙ දකුණු අප්‍රිකාව ගැන එකපාරටම තවත් පොත් මහා ගොඩක් එක දිගටම එන්න පටන් ගත්තා. එකපාරටම දකුණු අප්‍රිකාව සිතියම උඩට ආවා – කලින් එහෙම එකක් තිබුණෙ නැහැ. බලන්න දකුණු රොඩේෂියාව – ඒක බ්‍රිතාන්‍ය යටත්විජිතයක් නිසා – ඒක දිහා බැලුවේ දකුණු අප්‍රිකාවට වැඩිය හොඳ රටක් විදියට; ඒත් එහෙම නැහැ. ඇත්තටම, දෙකම එකයි.
ඔන්න ඒක තමයි මම කළු ජාතිකයකුව සිටි – කළු අප්‍රිකානු ලේඛකයකුව සිටි – යුගය. මම අවධි කීපයක් පසු කර යනවා, ඔබට පේනවා ඇති. ඉතින්, ඒක තමයි කළු අප්‍රිකාව පිළිබඳව ලියන ලේඛිකාවක හැටියට මාව හැඳින්වෙන අවධිය.
(ඊළඟ දිනයට “අපිට ඕන නෑ උඹල දුක් විඳපු හැටි දැනගන්න”)