මැයි 09 ප්‍රචණ්ඩ ක්‍රියා : පෙත්සම ප්‍රතික්ෂේප කළේ කාලයේ ප්‍රශ්නයක් නිසා : පොලිසිය නිවැරදි බවක් ශ්‍රේෂ්ඨාධිකරණය කියා නෑ !

Share post:

ගෝල්ෆේස් සහ රට පුරා 2022 මැයි 09දා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පොලිසිය නිසි පියවර ගැනීමට අපොහොසත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

‘රයිට් ටු ලයිෆ්’ සංවිධානය ඉදිරිපත් කර තිබූ අදාළ පෙත්සම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මතු කළ මූලික විරෝධතා පිළිගනිමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය.

මෙම පෙත්සම ඊයේ (19) එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් වසරේ මැයි 09දා පෙරවරුවේ ගාලු මුවදොර ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ පස්වරුවේ දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පොලිසිය නිසි පියවර ගැනීමට අපොහොසත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට චෝදනා කළේය.

එහිදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මූලික විරෝධතාවක් මතුකරමින් කියාසිටියේ පෙත්සම්කරුවන් මෙම පෙත්සම නිසි නීතිමය කාලසීමාව තුළ ඉදිරිපත් කර නොමැති බවයි. නියමිත කාලය ඉක්මවා ගිය පසු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති නිසා එය පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බවත් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක ඇමැතිවරයා, බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 10දෙනකු සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

මෙම පෙත්සම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අප කළ විමසීම් කිහිපයකදී ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් කිහිපදෙනෙකු ම පැවසුවේ මෙය තාක්ෂණික දෝෂයක් මත සිදු කළ ප්‍රතික්ෂේප කිරීමක් බවයි. පොලිසිය එදින නිවැරදිව කටයුතු කළ බවක් එමගින් අදහස් නොවන බව ද එම නීතිඥවරුන් විසින් පෙන්වා දෙන ලදි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...