ලස්සනයි කියන්නේ මොකක්ද? කැතයි කියන්නේ මොකක්ද?

Share post:

මෙන්න මෙහෙම අහන්නේ බියුටි. බියුටි කියන්නේ කවුද කියලා ඔයගොල්ලො දන්නවා. බියුටි ඇන්ඩ් ද බීස්ට් අපි අනන්තවත් අහලා තියෙන සුරංගනා කතාව. හැබැයි ඊයේ වේදිකාගත වුණ නිල් රෝස මල වේදිකා නාට්‍යය ටිකක් වෙනස් එකක්. ගේබ්‍රියෙල් සුසෑන් කියන ප්‍රංශ ජාතික නවකතාකාරිය තමයි මේ සුරංගනා කතාව ලියන්නේ 1740 වගේ ඈත කාලෙක. එතන ඉඳලා මේ කතාවේ විවිධ අනුවර්තනයන් ලෝකේ පුරාම තියෙනවා.

මේ ඇසුරින්ම නිර්මාණය කළ ‘නිල් රෝස මල‘ වේදිකා නාට්‍යය වේදිකා ගත වෙන්නේ සඳමිණි ගීගනගේ නාට්‍ය නිර්මාණයක් විදියට. මේකේ අධීක්ෂණ කටයුත්ත කළේ ප්‍රවීණ නාට්‍යකරු චාමික හත්ලහවත්ත. සනත් විමලසිරි ඇතුළු දක්ෂ නළු නිළියො පිරිසක් නාට්‍යයේ චරිතවලට පණ පොවනවා.
වේදිකාව කියන්නේ සජීවි තැනක්. එතනදී ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගන්න නම් හැම කෙනෙක්ම තමන්ගේ කාර්යය හරියට නෙමේ උපරිමයටත් එහා කරන්න ඕන. මේ දර්ශනයේදී නම් ඒක උපරිමයෙන් වුණා. විශේෂයෙන් සනත් විමලසිරි වගේ නළුවෙක්, තමන් නළුවෙක් කියලා ඔප්පු කරලා සෑහෙන කල්. හැබැයි ඊයේ නාට්‍යයෙය්දී ඔහු තනියම ප්‍රේක්ෂකාගාරයක් හඬවනවා.

ප්‍රේක්ෂකාගාරයක් හිනස්සන එක වගේම අඬවන එකත් ලේසි නැහැ. ඔහුගේ මුහුණේ හැඟීම් ප්‍රකාශනයම පුදුම තාත්විකයි. ඒ වගේම බියුටි සහ බීස්ට් කියන චරිත දෙකට රඟපාන නළු නිළි යුවළත් මේ හැඟීම් ප්‍රකාශනය ඒක උපරිමයෙන්ම කළා. ඒ වගේම මම කලින් කිව්ව විදියටම සෙසු චරිත සහ වේදිකා පරිපාලනය, සංගීතය, මේ හැමදෙයක්ම උපරිම මාත්‍රාවට. ඉතාම ලස්සන ගීත කිහිපයකුත් ඇතුළත්.

කලාව කියන්නේ මනුෂ්‍යයා මෘදු මොළොක් කරන්න පුළුවන් දෙයක්. මේ වේදිකා නාට්‍යය බලන වෙලාවෙදි අපි හිනාවෙනවා, අඬනවා, පුදුම වෙනවා, දුක් වෙනවා, මේ වගේ අපේ භාවයන් සියල්ලම කම්පනය කරනවා. ඊයේ බලපු නිල් රෝස මල අන්න එහෙම අපේ භාවයන් කළඹවලා ගන්න සමත් එකක්. මේ යුගයේදී මිනිස්සුන්ට අඬන්න පවා වෙලාවක් නෑ. ඉතින් අඩුම තරමින් අඳුරු ප්‍රේක්ෂකාගාරයක එකතු වෙලා මෙහෙම සාමූහිකව කඳුළු බිඳුවක් හෙළුවේ නැත්නම් අපි මිනිස්සු බව අපිට දැනෙයිද? අපි තවත් යන්ත්‍ර නොවෙයිද? අන්න ඒකයි මේ කලාවේ වැදගත්කම. මේ වගේ විෂමකාරී, අවිවේකී, දුක්ඛිත සමාජයක අපිට අපි මිනිස්සු බව පැයකට හරි මතක් කරලා දෙන එක. ඒ වෙනුවෙන් ස්තූතියි!

නිල් රෝස මල කියන්නේ අන්න එහෙම අපිට අපි මිනිස්සු බව මතක් කරලා දෙන වේදිකා නාට්‍යයක්. ඒ වගේම මුල් කතාවට වඩා මේකේ අවසානය වෙනස්. ඒ වෙනසට මම කැමතියි. ඒ අවසානය ඔබ ගිහින්ම නරඹන්න ඕන නිසා මම ඒ ගැන කියන්නෑ. හැබැයි මේ නාට්‍යයේ තැනක බියුටි අහන ලස්සන කියන්නේ මොකක්ද? කැත කියන්නේ මොකක්ද කියන එක අපිට ආයෙත් හිතන්න පුළුවන් තැනක නාට්‍යය ඉවර කරලා තියෙනවා.

ලස්සන හෝ කැත කියන්නේ මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ අපි වරද්ද ගත්තු තැනක්. ඒ නිසාම මේ යුගයෙත් මේ ප්‍රශ්නය ඇසීම වැදගත්. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් කැත තාරාවා ලිව්වේ ඔහුගේම ජීවිත කතාවෙන්. ඉතින් ඒ වසඟකාරී අත්දැකීම ඔබත් ලබාගන්න.

රශ්මික මණ්ඩාවල

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...