ලස්සනයි කියන්නේ මොකක්ද? කැතයි කියන්නේ මොකක්ද?

Share post:

මෙන්න මෙහෙම අහන්නේ බියුටි. බියුටි කියන්නේ කවුද කියලා ඔයගොල්ලො දන්නවා. බියුටි ඇන්ඩ් ද බීස්ට් අපි අනන්තවත් අහලා තියෙන සුරංගනා කතාව. හැබැයි ඊයේ වේදිකාගත වුණ නිල් රෝස මල වේදිකා නාට්‍යය ටිකක් වෙනස් එකක්. ගේබ්‍රියෙල් සුසෑන් කියන ප්‍රංශ ජාතික නවකතාකාරිය තමයි මේ සුරංගනා කතාව ලියන්නේ 1740 වගේ ඈත කාලෙක. එතන ඉඳලා මේ කතාවේ විවිධ අනුවර්තනයන් ලෝකේ පුරාම තියෙනවා.

මේ ඇසුරින්ම නිර්මාණය කළ ‘නිල් රෝස මල‘ වේදිකා නාට්‍යය වේදිකා ගත වෙන්නේ සඳමිණි ගීගනගේ නාට්‍ය නිර්මාණයක් විදියට. මේකේ අධීක්ෂණ කටයුත්ත කළේ ප්‍රවීණ නාට්‍යකරු චාමික හත්ලහවත්ත. සනත් විමලසිරි ඇතුළු දක්ෂ නළු නිළියො පිරිසක් නාට්‍යයේ චරිතවලට පණ පොවනවා.
වේදිකාව කියන්නේ සජීවි තැනක්. එතනදී ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගන්න නම් හැම කෙනෙක්ම තමන්ගේ කාර්යය හරියට නෙමේ උපරිමයටත් එහා කරන්න ඕන. මේ දර්ශනයේදී නම් ඒක උපරිමයෙන් වුණා. විශේෂයෙන් සනත් විමලසිරි වගේ නළුවෙක්, තමන් නළුවෙක් කියලා ඔප්පු කරලා සෑහෙන කල්. හැබැයි ඊයේ නාට්‍යයෙය්දී ඔහු තනියම ප්‍රේක්ෂකාගාරයක් හඬවනවා.

ප්‍රේක්ෂකාගාරයක් හිනස්සන එක වගේම අඬවන එකත් ලේසි නැහැ. ඔහුගේ මුහුණේ හැඟීම් ප්‍රකාශනයම පුදුම තාත්විකයි. ඒ වගේම බියුටි සහ බීස්ට් කියන චරිත දෙකට රඟපාන නළු නිළි යුවළත් මේ හැඟීම් ප්‍රකාශනය ඒක උපරිමයෙන්ම කළා. ඒ වගේම මම කලින් කිව්ව විදියටම සෙසු චරිත සහ වේදිකා පරිපාලනය, සංගීතය, මේ හැමදෙයක්ම උපරිම මාත්‍රාවට. ඉතාම ලස්සන ගීත කිහිපයකුත් ඇතුළත්.

කලාව කියන්නේ මනුෂ්‍යයා මෘදු මොළොක් කරන්න පුළුවන් දෙයක්. මේ වේදිකා නාට්‍යය බලන වෙලාවෙදි අපි හිනාවෙනවා, අඬනවා, පුදුම වෙනවා, දුක් වෙනවා, මේ වගේ අපේ භාවයන් සියල්ලම කම්පනය කරනවා. ඊයේ බලපු නිල් රෝස මල අන්න එහෙම අපේ භාවයන් කළඹවලා ගන්න සමත් එකක්. මේ යුගයේදී මිනිස්සුන්ට අඬන්න පවා වෙලාවක් නෑ. ඉතින් අඩුම තරමින් අඳුරු ප්‍රේක්ෂකාගාරයක එකතු වෙලා මෙහෙම සාමූහිකව කඳුළු බිඳුවක් හෙළුවේ නැත්නම් අපි මිනිස්සු බව අපිට දැනෙයිද? අපි තවත් යන්ත්‍ර නොවෙයිද? අන්න ඒකයි මේ කලාවේ වැදගත්කම. මේ වගේ විෂමකාරී, අවිවේකී, දුක්ඛිත සමාජයක අපිට අපි මිනිස්සු බව පැයකට හරි මතක් කරලා දෙන එක. ඒ වෙනුවෙන් ස්තූතියි!

නිල් රෝස මල කියන්නේ අන්න එහෙම අපිට අපි මිනිස්සු බව මතක් කරලා දෙන වේදිකා නාට්‍යයක්. ඒ වගේම මුල් කතාවට වඩා මේකේ අවසානය වෙනස්. ඒ වෙනසට මම කැමතියි. ඒ අවසානය ඔබ ගිහින්ම නරඹන්න ඕන නිසා මම ඒ ගැන කියන්නෑ. හැබැයි මේ නාට්‍යයේ තැනක බියුටි අහන ලස්සන කියන්නේ මොකක්ද? කැත කියන්නේ මොකක්ද කියන එක අපිට ආයෙත් හිතන්න පුළුවන් තැනක නාට්‍යය ඉවර කරලා තියෙනවා.

ලස්සන හෝ කැත කියන්නේ මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ අපි වරද්ද ගත්තු තැනක්. ඒ නිසාම මේ යුගයෙත් මේ ප්‍රශ්නය ඇසීම වැදගත්. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් කැත තාරාවා ලිව්වේ ඔහුගේම ජීවිත කතාවෙන්. ඉතින් ඒ වසඟකාරී අත්දැකීම ඔබත් ලබාගන්න.

රශ්මික මණ්ඩාවල

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...