ප්‍රතිවිරෝධී හැඟීම් එකම මොහොතක අත්දැකීම කෙනෙකුට ජීවිතයේදී සවිඥානිකව ළඟා කර ගත හැකි ඉලක්කයක් නොවේ. සවිඥානයේදී මෙකී හැඟීම් අතර ඇත්තේ පැල්මකි. එහෙත් අවිඥානය ක්‍රියා කරනුයේ ඊට වෙනස් ආකාරයටය.එහිදී මෙම හැඟීම්වලට පසමිතුරුතාවකින් තොරව මුසුවීමට බාධාවක් නොමැත. සැබැවින්ම අප ආශා කරනුයේ එයටය. මිනිස් හැඟීම්වල මෙකී ප්‍රතිවිරෝධයන් මුසුවීමේ ප්‍රහර්ශය පාඨකයෙකුට විඳිය හැකි කෙටිකතා සංග්‍රහයක් ලෙස විරාජිනී තෙන්නකෝන් ගේ ‘අන්ධයා සහ සුරුට්ටු න්‍යාය’ හැඳින්විය හැකිය.
එහිදී අපි බලහත්කාරී නිවාස අඩස්සියක සිටින්නෙකුගේ වේදනාබර සතුට අත්දකිමු. සිරකරුවන් මෙන්ම එහි කාර්යමණ්ඩලයටද වැලඳෙන කැස්සෙහි කායික වේදනාවත් මානසික සහනයත් එකවර විඳිමු. දිවිනසා ගැනීමේ අපේක්ෂාවත් ජීවත්වීමේ ආශාවත් එකම මොහොතක පවත්නා අයුරු දකිමු. මිනිසුන්ගේ ව්‍යාජ සහ අව්‍යාජ බවටත් මිනිසුන් හඳුනා ගැනීමේ සංකීර්ණත්වයට සහ සරල බවටත් එකවිට අභිමුඛ වෙමු.
නීතිය පාදක කොට ගත් කෙටිකතා දෙකක් මෙහි අන්තර්ගත වේ. මෙහිදී නීතියට සම්බන්ධ ප්‍රධාන කොටස්කරුවන් වන විනිසුරන්ගේ, නීතිඥයන්ගේ මෙන්ම පොලිස් නිලධාරීන්ගේ සිතිවිලි සහ චර්යාවන්හි ක්‍රියාකාරිත්වය අපූරු ප්‍රබන්ධමය මානයකට හසු කර ගැනීමට කතුවරිය සමත් වේ. එම මානය තුළ උත්ප්‍රාසාත්මක අනුකම්පාවක් නොඅඩුව ගැබ්ව තිබේ. මෙම දෙබස් ඛණ්ඩ ඊට දෙස් දෙයි.
“බල්ලන්ගෙ පුකට පයින් ගහන්න එපා සර්. රිදෙන්නෙ රටේ නීතියට”.
“මීයො වුණත් නඩු පොත් කන්නෙ නෑ. තිත්ත රහයි”.
තවත් විටෙක විනිසුරුවරයෙකුට මී කතුරක් මිලදී ගැනීමට අවශ්‍ය වේ.මෙම මී කතුරු සහිත යකඩ බඩු කඩය පිහිටා ඇත්තේ පාර්ලිමේන්තු වීදියේය.
විරාජිනී මෙම කෙටිකතා සියල්ලම නිශ්චිතව නම් කළ හැකි සහ හඳුනා ගත හැකි භෞතික පසුබිමක ස්ථානගත නොකිරීම මෙහි ප්‍රමුඛ ලක්ෂණයකි. එහෙයින් ඇය පෙරවදනෙහි සඳහන් කරන්නාක් මෙන් “ඔබට අවැසි බිමක මේ කෙටිකතා පැල කරවා ගන්න”.