ඇඹිලිපිටිය, කදුරුගස්ආර එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි සිරකරුවකු පහරකෑමට ලක්ව මියයෑම සම්බන්ධ නඩුවේ චූදිත, බන්ධනාගාර නිලධාරීන්ට ඇප ලබානොදෙන ලෙස රජයේ නීතිඥ කලණ කොතලාවල ඇඹිලිපිටිය මහාධිකරණයෙන් පෙරේදා (13) ඉල්ලා සිටියේය.
චූදිත බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා සාක්ෂිකරුවන්ට තර්ජනය කර ඇතැයි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.
2010 සොරකම් කළ රු.10,000
රුපියල් 10,000ක් සොරකම් කිරීමේ චෝදනාව මත ඔහු සිරගත කර ඇත. ඉන්පසු ඔහු ඝාතනය කෙරිණි. ඒ කෙසේද, කවුරුන් විසින් ද, කුමක් හේතුවෙන් ද යන ප්‍රශ්නවලට පිළිතුරු අධිකරණයකදී විසඳිය යුතුය.
ඇඹිලිපිටිය, කදුරුගස්ආර එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි ලලිත් චාමින්ද හෙට්ටිගේ ඝාතනය කර ඇත්තේ 2022 ජනවාරි 13දා ය. අකුරැස්ස, කනංකේ ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වූ රැඳවියා කදුරුගස්ආරට යොමුකර ඇත්තේ මාතර බන්ධනාගාරයේ සිට ය. 2010 වසරේදී ඔහුට අදාළ රුපියල් 10,000ක් සොරකම් කිරීමේ චෝදනාව එල්ල වී ඇත. 2021 වසරේදී ඒ සඳහා ඔහුට අධිකරණයෙන් වසර තුනක සිර දඬුවම් නියම කර තිබේ.
මෙරට අධිකරණ ක්‍රියාවලියම දඬුවමක් බවට පත්ව ඇති බව තහවුරු කෙරෙන මේ ආකාරයේ උදාහරණ කොපමණක් ද?
යහපත් කල්ක්‍රියාව
මාතර බන්ධනාගාරයේ සිට ඔහු කදුරුගස්ආර එළිමහන් සිර කඳවුරට යොමුකෙරෙන්නේ යහපත් කල් ක්‍රියාව නිසා බව සඳහන් ය. ඉන්පසු රැඳවියා බන්ධනාගාර නිලධාරීන් සමග සමීප සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඇති බවත්, නිතර පවුලේ ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමේ අවස්ථාව ද ඒ හරහා ලැබී ඇති බවත් ඥාතීහු පවසති. ඒ වෙනුවෙන් බන්ධනාගාර නිලධාරීන් වරින් වර මුදල් ලබාගෙන ඇති බවත්, ඉන්පසු රාත්‍රියේ තනිව කතා කිරීම වැනි වෙනත් යෝජනා කළ බවත් රැඳවියාගේ දියණිය පවසයි. මේ පිළිබඳ දැනගැනීමෙන් පසු රැඳවියා සහ බන්ධනාගාර නිලධාරීන් අතර ගැටළු ඇතිවීම ආරම්භ වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස යහපත් කල්ක්‍රියාවෙන් සිටි බව තහවුරු වූ, බන්ධනාගාර නිලධාරීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ රැඳවියාට බන්ධනාගාරය තුළදී විවිධ දඬුවම්වලට මුහුණ දීමට සිදු වේ.
2022 ජනවාරි 10දා සිට මෙසේ ‘පනිෂ්මන්ට්’ ඇරඹී ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සඳහන් කරයි. එය උච්චතම අවස්ථාවට පැමිණ ඝාතනය සිදු වී ඇති බවට සැක කෙරේ.
පරස්පර ප්‍රකාශ
රැඳවියාගේ ඝාතනයෙන් පසු බන්ධනාගාර නිලධාරීන් කරන ලද ප්‍රකාශ එකකට එකක් පරස්පර වේ. රැඳවියා එළිමහනේ වැඩ කරමින් සිටින අතරතුර, උදැල්ලත් රැගෙන පළා ගිය බව ඒ එක් ප්‍රකාශයකි. එසේ පළාගිය රැඳවියා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක නොකළේ කුමක් නිසාදැයි විමසන විට, ඊට ලැබී ඇති පිළිතුර වන්නේ සතුන් සිටින කැලයට ඒ අවස්ථාවේ යෑමේ හැකියාවක් නොතිබූ බවයි. පසුව ප්‍රදේශවාසීන් විසින් ඔහු අල්ලා, බරපතළ ලෙස පහර දී ඇති බවත්, බන්ධනාගාර නිලධාරීන් රැඳවියා නැවත රැගෙන විත් ආහාර ලබාදුන් බවත් ඒ පාර්ශ්වයෙන් පවසයි. ඉන්පසු රැඳවියාගේ තත්ත්වය බරපතළ නිසා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යන අතරමගදී ඇති වූ හුස්ම ගැනීමේ අපහසුවක් නිසා ඇඹිලිපිටිය රෝහලට රැඳවියා ඇතුළත් කළ බව ද ඔවුන් පවසා තිබේ. ඒ, එක කතාවකි.
රැඳවියාගේ දියණිය පවසන ආකාරයට මෙසේ රැඳවියා පළාගිය බවට බන්ධනාගාර නිලධාරීන් පවසන වේලාවන් එකිනෙකට පරස්පර වේ. පසුව නැවත රැඳවියා සොයාගත් බව පවසන වේලාවන් ද පරස්පර වන අතර, එක ම කතාව පරස්පර වේලාවන් සහිතව බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙකු විසින් පවසා තිබේ. ඒ, කියන්නේ එකම කතාවක් ඔවුන් සතු ය.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේෂ් නන්දිමාල් විසින් සිද්ධිය වාර්තාවීමත් සමග කදුරුගස්ආර එළිමහන් සිර කඳවුරේ ප්‍රධාන ජේලර්වරයෙකුට දුරකතනයෙන් කතා කර මේ පිළිබඳ විමසා ඇත. ඔහු පවසා ඇත්තේ තමන් රැඳවියා කොච්චි කඩන්නට යැවූ බවත්, එහිදී පළාගිය බවත් ය. මේ ආකාරයේ පරස්පර කතා රැසක් ඉදිරිපත් වී ඇති අතර, අධිකරණයේදී ඒවායේ සත්‍ය-අසත්‍ය බව තහවුරු වනු ඇතැයි විශ්වාස කෙරේ.
මහර කතාව
මහර බන්ධනාගාරයේ රඳවා සිටි කාවින්ද ඉසුරු නම් රැඳවියා ඝාතනය වීමෙන් පසුවද, බන්ධනාගාර නිලධාරීන් පවසා තිබුණේ ඔහු පළායෑමට උත්සාහ කළ බවයි. බන්ධනාගාර නිලධාරීන්ගේ පෙර වැරදි නිසාත්, පිටපත් රචනයේ දුර්වලතා නිසාත් දැන් ජනතාව ඔවුන් දෙස බලන්නේ ම සැකයෙනි. එසේ බලන්නට පසුබිම සකස් කළේ ද ඔවුන් විසින් ම ය.
වැලිකඩ ලැයිස්තුගත සමූහ ඝාතනය
2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාතනය සම්බන්ධයෙන් සකස් කෙරුණු නාට්‍ය පිටපතට අනුව එය අපරාධකරුවන් ශුද්ධ කිරීමේ මෙහෙයුමකි. කෙසේ වෙතත් අධිකරණය විසින් 2022 ජනවාරි 12 වැනිදා ලබාදුන් තීන්දුවත් සමග එතෙක් කල් පැවැති නාට්‍යය, අපරාධයක් ලෙස පිළිගැනිණි. එය වෙනම තලයක සිදු වූ, වෙනම පාර්ශ්ව මැදිහත් වූ අපරාධයක් බව සත්‍යයකි.
මෙහිදී ඇතැම් විට එවැනි මැදිහත්වීම් නැති විය හැකිය. තවම ඒවා කියන්නට කල් වැඩි ය. එහෙත් බන්ධනාගාර නිලධාරීන්ට සමාජයෙන් ලබාදී ඇති රැකවරණය නම්, ‘ඒ මැරුණේ අපරාධකරුවෙක් ය’ යන්න ය. මේ ඝාතනය වන්නේ රාජ්‍ය රැකවරණය යටතේ සිටින්නන් ය.
තමන්ගේ ඥාතියා ඝාතනය වන තෙක්, බහුතරය එය අනුමත කරන තැනක සිටී. එනම්, කවර තරාතිරමක හෝ ඝාතකයන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්නට දේශපාලනය හෝ බලය හෝ පමණක් නොව සමාජයෙන් ද උපරිම සහායක් ලබාදී තිබේ. වෙනස පටන්ගත යුත්තේ ගෙදරින් ය. තමන්ගෙන් ය.