සමාජමය, ආර්ථිකමය හා දේශපාලනමය වශයෙන් රටක සිදුවන සියලු විපර්යාස සියල්ල යහපත් නොවේ – ‘රුහිරු විකුණා යැපුණ මිනිසෙක්’

Share post:

‘රුහිරු විකුණා යැපුණ මිනිසෙක්’
පරිවර්තනය – චූලානන්ද සමරනායක

Chronicle Of A Blood Merchant Yu Hua

“රුහිරු විකුණා යැපුණ මිනිසෙක්” යන නමම ගත්කල හිත සංවේදී වීම හේතුවක් කොටගෙන හෝ හිතේ ඇතිවූ කුමක් හෝ හැඟීමකට ඉඩදෙමින් මම පොත කියවීම ප්‍රමාද කළෙමි. එය ඉක්මන් කරන්නට ඩිල්ස් එවූ කෙටි පණිවිඩ හේතුවක් වුණි. ඉතින් කියවා අහවර කළෙමි. මගේ හිත බරය. එයින් හමනා මානුෂීයත්වයේ උත්තරීතර බවටද සැහැල්ලු කරනට බැරි තරම් ඒ දුක්ඛ දෝමනස්සයන් බරය.

පශ්චාත් විප්ලවීය සමයේ චීනයේ සමාජය මෙසේ වී යැයි පෙන්වන කැඩපත මෙයින් පෙනේ නම් එය සතුටට කාරණාවක් නොවන්නේය. අති විශාල හදවත් සහිතව ජීවත් වන මිනිසුන් ගැන කියවුණද එය සුන්දර නැත. මනුෂ්‍යත්වයේ සුන්දර බව කියන්නට මෙතරම් දරුණු ඉරණමකට ඔවුන් හසු කරන්නට නොතිබුණා නොවෙද යන්න සිත කියන තවත් එක් කතාවක් රුහිරු විකුණා යැපුණ මිනිසෙක් තුළ කියවෙන බව මගේ හැඟීමයි.

තමා ශක්තිමත් බව ලේ විකිණීමෙන් ඔප්පු වන බව විශ්වාස කරන මිනිසුන් එක් පසෙකත්, ලේ විකිණීම තමන්ගේ මුතුනමිත්තන්ව විකිණීමකැයි සිතන මිනිසුන් අනෙක් පසත් සිටින පසුබිමක ජීවත් වන්නට සිදුවන ප්‍රථම වතාවට ලේ විකුණන්නට සෙල්ලමට මෙන් පෙළඹෙන මිනිසෙකුගේ ජීවිතයම එසේ ලේ විකුණා යැපෙන තත්ත්වයට පත් වීම කෙතරම් ඛේදජනකද යන්න තුළ කම්පා වියයුතු වන්නේ එය පුද්ගලානුබද්ධ කොටගෙන නොවේ. එකී චරිතය පෙන්නුම් කරන සමස්ත සමාජයකම දුක්ඛිත බව පිළිබඳව වටහා ගැනීම සමඟයි.

‘රුහිරු විකුණා යැපුණ මිනිසෙක්’ තුළ සාකච්ඡා කෙරෙන සමාජීය පසුබිම පෙන්වන්නට කැඩපතක් බඳු කතාවක් එහි ලියවීම උදෙසා මිනිසුන්ගේ හැඟීම්, දැනීම්, මොහොතක ආසාවන්, වැරදි හෝ එලෙස හඳුනාගන්නා සියල්ල පිළිබඳව විස්තර කෙරේ. මිනිසා විසින් සමාජය වෙත යහපත් දේ යයි ප්‍රකාශ කෙරෙන සියල්ලම එසේ නොවන බව හැඟුම් දනවන පරිදි කියාපායි.

ක්සූ සන්ගුවාන්ගේ පවුල තුළ සිදුවන්නාවූ ගැටුම්, අර්බූද සියල්ලම පෞද්ගලික ලෙස ගිණිය නොහැකි අතර ක්සූ යූලාන් වැනි කාන්තාවන් පිළිඹිබු කරන්නේ සියළු වැරදි දෙයෙහි හස්තය කාන්තාවන් වෙත යොමු කෙරෙන සාමාන්‍ය සමාජ රටාවමදැයි යන්න නොවිසඳුණු ගැටළුවක්ව ඉතිරි වේ. එය සැබවින්ම ඛේදජනකය.

සමාජයමය වශයෙන් ආර්ථිකමය වශයෙන් හා දේශපාලනමය වශයෙන් රටක සිදුවන සියළු විපර්‍යාසයන් සියල්ලම යහපත් නොවන බව රුහිරු විකුණා යැපුණ මිනිසෙක් අපිට කියාදෙයි. ඒ සියල්ල අතර ක්සූ සන්ගුවාන්ගේ මනුෂ්‍යත්වය හද රිදුම් දෙමින්, සියල්ලටම ඉහළින් බැබළෙමින් සියළු මිනිසුන්ට සරදම් කරයි.

ඉරේක්ෂා සෙනෙවිරත්න

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...