රටින් පිටවූ පසු සීඅයිඩියෙන් විදෙස් තහනමක් ගත් දේවගැති ජෙරොම් ලෝකෙ පුරා ඇවිදී : නීතිය දෙමගක යද්දී යුක්තිය වෙනුවෙන් වූ අරගලයක නතාෂා සලකුණ !

Share post:

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පුරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබේ.

ඔහු මෙසේ එක්සත් රාජධානියට ගොස් ඇත්තේ මෙරට මුදල් විශුද්ධිකරණය, ආගමික අපහාස ඇතුළු චෝදනා කිහිපයකට අදාළ ව පරීක්ෂණ පැවැත්වෙන පසුබිමක ය. ජෙරොම් ප්‍රනාන්දුගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ද පළකර ඇති සටහනකට අනුව ඔහු එක්සත් රාජධානියේ දේව මෙහෙයක් සඳහා සහභාගි වේ. ‘ජෙරොම් ප්‍රනාන්දු දේවගැති ජූලි 06 බ්‍රහස්පතින්දා සිට දින 03ක එක්සත් රාජධානියේ භෞතිකව දේවසේවයේ යෙදෙනු ඇත’ යනුවෙන් එම සටහනේ දැක්වේ.

මේ අතර මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහුගේ බිරිඳ සහ දරුවන් පසුගිය ජුනි 02දා සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බවයි.

ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා එල්ල වන විට ඔහු ලංකාවෙන් පිට විය. ඔහු පිටත් වූ දින පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගැනීමට කටයුතු කරන ලදි.

නතාෂා !

මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නතාෂා එදිරිසූරියට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ද ඊයේ (06) ඇප නියම කෙරිණි. ඇයට චෝදනා එල්ලවී තිබූ දණ්ඩ නීති සංග්‍රහයේ 120, 291 (ආ) හා 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 06 වැනි වගන්තිය ප්‍රකාර වැරදි සම්බන්ධයෙන් මෙසේ ඇප ලබාදෙන ලදි.

නතාෂාට සහ ජෙරොම් ප්‍රනාන්දුට එක ම චෝදනා එල්ල වන පසුබිමක් පැවතියද, දෙදෙනාට අදාළ ව නීතිය ක්‍රියාත්මක වූයේ දෙයාකාරයකට බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු අවධාරණය කරති.

ICCPR !

එසේ ම නතාෂා එදිරිසූරිය රුපියල් ලක්ෂයක පෞද්ගලික ඇපයක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය පෙරේදා (05) නියෝග කළේය.

ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් නියෝගය නිකුත් කරනු ලැබීය.

ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කළ දැනුම් දීමෙන් පසුව විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.

පෙත්සම්කාර නතාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් අප්‍රේල් මස කොළඹ පැවති “මෝඩාභිමානය” නමැති වැඩසටහනකදී සැකකාරිය කළ ප්‍රකාශයකින් බුදුදහමට අපහාස කළේ යැයි චෝදනා කරමින් අත් අඩංගුවට ගත් ඇය මේ වනවිට එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බව සඳහන් කළේය.

ඇය ප්‍රහසන වැඩසටහන් ශිල්පිනියක් බවත් ඇය විසින් කළ ප්‍රකාශය තුළින් බුදු දහමට හෝ බුද්ධ දර්ශනයට අපහාස කිරීමේ චේතනාවක් ඇය තුළ නොතිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

කෙසේ වෙතත් ඇයගේ ප්‍රකාශයෙන් කිසියම් ආගමික කණ්ඩායමකට හෝ ජන කණ්ඩායමකට සිත් රිදීමක් ඇති වූයේ නම් ඒ සම්බන්ධයෙන් ඇය සමාව අයැද සිටින බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

නීතිපති !

“ස්වාමීනී.. මෙම තැනැත්තිය “මෝඩාභිමානය” වැඩසටහන් තුනක් පවත්වා තිබෙනවා. තුන්වෙනි වැඩසටහන ඇය යොදා ගත්තේ බුදු දහමට නිග්‍රහ කිරීමටයි. ඇය ආගම ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ඇය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ උගත් තැනැත්තියක්. ඇය 2017 වසරේ සිට විශාදය නමැති රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා බවටත් සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයෙන් පෙළෙන බවටත් පරීක්ෂණවලින් පෙනී ගොස් තිබෙනවා. මෙවැනි තැනැත්තියක් ප්‍රහසන වැඩසටහන් ඉදිරිපත් කිරීමට යාම කොයිතරම් භයානක ද කියලා එකෙන් පේනවා. ඇය මුළු වැඩසටහන පුරාම ඉදිරිපත් කර තිබෙන වචන අසභ්‍ය මෙන්ම අශ්ලීල බවින් යුක්තයි. අසභ්‍ය හා අශ්ලීල බව සරල කරමින් සමාජගත කිරීම තමයි ඇය සිදු කර තිබෙන්නේ. එපමණක් නෙවෙයි මේ වගේ වීඩියෝ පට යූ ටියුබ් නාලිකාවට උඩුගත කරලා ඇය වාර්ෂිකව රුපියල් ලක්ෂ 14ක පමණ ආදායමක් උපයාගෙන තිබෙනවා”යනුවෙන් සඳහන් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් අධිකරණයට කිසියම් ලේඛනයක් ද ඉදිරිපත් කළේය.

නීතිවිරෝධී ද ?

ලේඛනය පරික්ෂා කළ මහාධිකරණ විනිසුරුවරයා “ඕනම පුද්ගලයෙකුට යූටියුබ් නාලිකාවට වීඩියෝ උඩුගත කරන්න පුළුවන්. ඒ තුළින් උපයාගන්නා ආදායම නීතිවිරෝධී කියලා කොහේ හරි නීතියක් තිබෙනවද?” යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු ලබාදුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් සඳහන් කළේ එසේ මුදල් උපයා ගැනීම නීතිවිරෝධී නොවන බවය.

මෙම පුද්ගලයින් ද්වේශ සහගත තොරතුරු ඇතුළත් වීඩියෝ යූ ටියුබ් නාලිකාව මුදා හැර මුදල් උපයා ගන්නා බව සඳහන් කිරීම සඳහා තමා මෙම ලේඛනය ඉදිරිපත් කළ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

වෛරී ප්‍රකාශයක් ද ?

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඇමතූ විනිසුරුවරයා “මේ තැනැත්තිය ඉදිරිපත් කරන වචන සම්බන්ධයෙන් මටත් ගැටලුවක් තිබෙනවා. නමුත් යම්කිසි දෙයක් ඉදිරිපත් කළ පමණින් ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද? විද්‍යාව ගැන තරයේ විශ්වාස කරන පුද්ගලයෙකුට ආගම්වල තිබෙන ඇතැම් කාරණා ප්‍රායෝගික දැයි ප්‍රශ්න කරන්න පුළුවන්. ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද? යම් යම් ප්‍රකාශවලින් විවිධ පුද්ගලයින්ගේ හා ජන කණ්ඩායම්වල සිත් රිදීම් හා සිත් තැවුල් ඇතිවෙන්න පුළුවන්. ඒත් ඒ සියල්ලක්ම වෛරී ප්‍රකාශ යන්නට ඇතුළත් කරන්න බැහැ.” යනුවෙන් පැවසීය.

බුදුරජාණන් වහන්සේ පවා තමා යමක් කී පමණින් එය විශ්වාස නොකරන ලෙසත් හොඳින් සොයා බලා යමක් විශ්වාස කරන ලෙසත් දේශනා කර ඇති බවත් මෙහිදී විනිසුරුවරයා සඳහන් කර සිටියේය.

අනතුරුව විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේ “එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා විසින්. එසේ ඉදිරිපත් කරමින් එම පනත් කෙටුම්පතේ සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය යහපත් කිරීම සඳහා මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බව. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත තුළ අන්තර්ගත අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මූලික අයිතිවාසිකම් වශයෙන් පිළිගෙන නොමැති අයිතිවාසිකම් මෙරට තුළ තහවුරු කිරීම සඳහා තමයි අදාළ පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකය සම්මත කළේ.

ඉතින් ඒ පනත් කෙටුම්පතේ 3 (1) වගන්තියේ සඳහන් වෙනවා “වෛරී ප්‍රකාශ” පිළිබඳව. මේ වෛර ප්‍රකාශ මොනවාද? යන්න එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කළ වෛරී ප්‍රකාශ පිළිබඳ වැඩ සටහනේ සඳහන් වෙනවා. එක්සත් ජාතීන්ගේ නිර්ණායකයට අනුව වෛරී ප්‍රකාශ වර්ග තුනක් තිබෙනවා. සමූල ඝාතන පිළිබඳ වෛරී ප්‍රකාශ, මධ්‍යම මට්ටමේ වෛරය ප්‍රකාශ සහ හුදු නඩු පැවරීම් වලට හේතු වන වෛරී ප්‍රකාශ. ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3(1) වගන්තිය යටතේ සඳහන් “වෛරී ප්‍රකාශ” යන්න අර්ථකථනය කිරීමට සිදු වන්නේ එක්සත් ජාතීන්ගේ නිර්ණායක සමඟයි. එසේ නොකොට භික්ෂූන් වහන්සේ නමක් හෝ බලවත් පුද්ගලයෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පමණින් “වෛරී ප්‍රකාශ” යටතේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න හැකියාවක් තිබෙනවාද යන ප්‍රශ්නය මතුවෙනවා. මොකද මෙරටට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත හඳුන්වා දීමේදී ව්‍යවස්ථාදායකයේ අරමුණ වුණේ මෙරට මානව හිමිකම් තත්ත්වය වර්ධනය කිරීම. ඊට පටහැනිව මේ ආකාරයෙන් අත්අඩංගුවට ගැනීම් සිදු කළහොත් ව්‍යවස්ථාදායකයේ අරමුණු බිඳ වැටෙන්න පුළුවන්” යනුවෙන් විනිසුරුවරයා දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

යුද්ධය නැවතත් ?

එම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව දැනටමත් තිස් අවුරුදු යුද්ධයකින් බැට කෑ ජාතියක් සිටින රටක් බවය.

මෙවැනි ප්‍රකාශ හරහා ආගමික යුද්ධයක්ද මතු වීමට ඉඩකඩ පවතින නිසා බැලූ බැල්මටම වරදක් අනාවරණය වන හෙයින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පරීක්ෂණ ආයතනවලට සිදුවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත් සැකකාරිය තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පශ්චත්තාපයට පත්ව සමාව අයදින බව ප්‍රකාශ කරන නිසා ඇයට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේය.

මහජන කැළඹීම !

ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ සැකකාරියගේ ප්‍රකාශය තුළින් මහජන කැළඹීමක් ඇති වූ බව තහවුරු කෙරෙන කරුණු කිසිවක් ඇය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති බී වාර්තාවේ සඳහන් නොවන බව ය.

ඒ අනුව බැලූ බැල්මටම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3(1) වගන්තියෙන් සඳහන් වැරදි සම්බන්ධයෙන් කරුණු අනාවරණය නොවන හෙයින් සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවශ්‍ය නොවන බවත් ඒ අනුව ඇය රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදාහරින ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර සිටියේය.

සීඅයිඩි !

සැකකාර නතාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ජුනි 7දා කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ස්වාමීනි… මාගේ සේවාදායිකාව කළ ප්‍රකාශයක් නිසා බෞද්ධයින් කලබලයට පත්වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. මෙවැනි සිද්ධීන්වලින් බෞද්ධයින් කවදාවත් කලබලයට පත්වෙන්නේ නෑ. මෙවැනි ප්‍රකාශ නිසා බෞද්ධයින් කවදාවත් වෛරය පතුරුවන්නෙත් නෑ. වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන කරුණ තමයි බෞද්ධයාගේ මූලික පදනම. ඒ නිසා මාගේ සේවාදායිකාවගේ ප්‍රකාශය හේතුවෙන් බෞද්ධයින් ප්‍රචණ්ඩත්වයට යොමු විය හැකි බවට පොලිසිය කරන ප්‍රකාශය පිළිගන්න බැහැ.” යනුවෙන් පැවසීය.

ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ, “මෙම ප්‍රකාශය අප්‍රේල් මස පළමු වැනිදා “මෝඩාභිමානය” නැමැති වැඩසටහනක දී සිදුකරන ලද්දක්. බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රය දේශනා කරමින් සඳහන් කර තිබෙනවා තමන් වහන්සේ කියන දෙයක් පවා එකවරම පිළිගන්න එපා කියලා. හොඳට හොයලා බලලා පිළිගන්න කියලයි උන්වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. මේ සැකකාරිය සිදු කළ ප්‍රකාශයෙන් බුදුරජාණන් වහන්සේට හෝ බෞද්ධ දර්ශනයට අපහාසයක් සිදුවී නෑ. එම ප්‍රකාශය නිසා බෞද්ධයින් අතර කැළඹීමක් ඇති වෙලත් නෑ. ඒ නිසා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ චෝදනා පවත්වාගෙන යන්න බැහැ” යනුවෙනි.

රහත් බව !

මෙහිදී පුජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝජ් ගමගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ස්වාමීනි… ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ආගමක් සම්බන්ධයෙන් මත පළ කරන්න පුළුවන්. ඒත් අපහාස කරන්න බැහැ. මෙම සැකකාරියගේ ප්‍රකාශයෙන් බුදුදහමට දැඩි අපහාසයක් සිදුවී තිබෙනවා. බුදු දහම කියන්නේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා සුරක්ෂිත කොට පෝෂණය කර තිබෙන ධර්මයක්. ලංකාවේ වැඩි පිරිසක් බෞද්ධ බව ඇත්ත. ඒත් ඒ හැමෝම රහත් වෙලා නැහැ. මෙම ප්‍රකාශය නිසා බෞද්ධයින් අතර කැළඹීම් ඇති වෙන්න පුළුවන්. මිනීමැරීම් වැනි අනතුරු පවා ඇතිවීමට හැකියාව තිබෙනවා”යනුවෙන් පැවසීය.

සිංහල රාවය සංවිධානයේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් “මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව ඇතැම් පුද්ගලයින් මාධ්‍ය සංදර්ශන පවත්වා ඔවුන් නිදොස් කොට නිදහස් කළ යුතු බවට බලපෑමක් කර ඇති බව අවධාරණය කළේය.

අධිකරණ අපහාස

” ස්වාමීනී.. මෙම සිද්ධියෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ විදර්ශන කන්නන්ගර, තරිඳු ජයවර්ධන, ලක්මාලි හේමචන්ද්‍ර, බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙම සැකකරුවන් නිදොස් කොට නිදහස් කළ යුතු බවට ප්‍රකාශ කර තිබෙනවා. මේක කෙලින්ම අධිකරණයට කරපු බලපෑමක්. අධිකරණයේ ස්වාධීනත්වයට කරපු අපහාසයක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතුයි” යනුවෙන් ඉල්ලීමක් කළ එම නීතිඥවරයා අදාළ ප්‍රකාශ අඩංගු වීඩියෝ පටයක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ජුනි 7දා නියෝග කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පසුගිය 04දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණි.

යළිත් අභියාචනයක් !

එසේ ම මහේස්ත්‍රාත් අධිකරණයකට තම අධිකරණ පරිශ්‍රයෙන් පිටතදී සිදුකරන අධිකරණ අපහාසයක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත නොහැකි බව තරිඳු ජයවර්ධන විසින් මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබිණි. එම පෙත්සම ඊයේ (06) අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරිණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට අභියාචනා කිරීමේ හැකියාවක් තරිඳු ජයවර්ධනට ඇති බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු අවධාරණය කරති.

අන්තර්ජාතික ඇස !

ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කළේ, ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම පිළිබඳ තම සංවිධානයේ අවධානය යොමුවී ඇති බවය. ප්‍රකාශනයේ නිදහසට ඇති අයිතිය යනු, ගැඹුරු අහිතකර ප්‍රකාශ ඇතුළුව සියලු වර්ගවල තොරතුරු සහ අදහස් ඊට අදාළ වන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.

වෛරී ප්‍රකාශ ව්‍යාප්ත කිරීමට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් සියලුම නීති, ප්‍රතිපත්ති සහ භාවිතයන් සුළු ජාතීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අසාධාරණ ලෙස සීමා කිරීම්වලට තුඩු නොදෙන පරිදි, කෙටුම්පත් කර දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සහතික විය යුතු බවද එම සංවිධානය අවධාරණය කළේය.

තරුණ ජනමාධ්‍යවේදීන් !

මේ අතර නතාෂාට එරෙහිව ICCPR යටතේ කටයුතු නොකරන ලෙස ඉල්ලමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිවරයාට ලිපියක් යවන ලදි.

මෑත කාලීනව ශ්‍රී ලංකා පොලිසිය මෙම පනත භාවිත කළේ පුද්ගලයන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සීමා කිරීමට බව සිදුවීම් කිහිපයකදීම පැහැදිලි වී ඇති බව පවසන ඔවුහු, මෙම සම්මුතියේ 20 වැනි වගන්තියේ සඳහන් වන කරුණු සලකා බැලිය යුත්තේ එම සම්මුතියේ 19 වැනි වගන්තියේ සඳහන් වන අදහස් ප්‍රකාශය කිරීමේ නිදහස සමඟ බව වැඩිදුරටත් එහි සඳහන් කොට තිබේ.

ඇප නියෝගයේදී සඳහන් කළ රබාත් ක්‍රියාකාරී සැලැස්ම යනු කුමක්ද ?

2012 වසරේ ඔක්තෝබර් 05 දින මොරොක්කෝවේ රබාත් නගරයේදී සම්මත කරන ලද රබාත් ක්‍රියාකාරී සැලැස්ම අදහස් ප්‍රකාශනයේ නිදහස පිළිබඳ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.

එහි සඳහන් වන්නේ යම් ප්‍රකාශයක් සාපරාධී වරදක් ලෙස සැලකීම සඳහා නිශ්චිත කරුණු 6ක් සම්පූර්ණ විය යුතු බවයි.

01.සන්දර්භය : නිශ්චිත ප්‍රකාශයන් හරහා ඉලක්කගත කණ්ඩායමකට එරෙහිව වෙනස්කම් කිරීම්, සතුරුකම් හෝ ප්‍රචණ්ඩත්වය ඇති කළ හැකිද යන්න තක්සේරු කිරීමේදී සන්දර්භය ඉතා වැදගත් වන අතර, එය අභිප්‍රාය හා හේතුව යන දෙක සමග සෘජු ව සම්බන්ධ විය හැකිය.

02.කථිකයා : කථිකයාට සමාජයේ තිබෙන තත්ත්වය හෝ තැන, විශේෂයෙන් කතාව යොමුකෙරෙන ලද ප්‍රේක්ෂකයාගේ සන්දර්භය තුළ පුද්ගලයාගේ හෝ සංවිධානයේ ස්ථාවරය සැලකීමට භාජනය කළ යුතුය.

03.අභිප්‍රාය : ICCPR හි 20 වගන්තිය යටතේ යම් ක්‍රියාවක් වරදක් ලෙස නම් කිරීමට නම් නොසැලකිල්ල සහ නොසැලකිලිමත්කම පමණක් ප්‍රමාණවත් නොවේ. මෙම වගන්තිය හුදෙක් ද්‍රව්‍යමය බෙදාහැරීම හෝ සංසරණයට එහා ගිය පෙනීසිටීම හා පෙළඹවීමක් සඳහන් කරයි.

04.අන්තර්ගතය සහ ස්වරූපය : කතාවක අන්තර්ගතය අධිකරණ විශ්ලේෂණයන්හිදී ප්‍රධාන අංගයක් ලෙස සැලකෙන අතර, එය පෙළඹවීමකදී ද තීරණාත්මක අංගයකි.

05.කථන පනතෙහි පරිමාණය : කථන පනතෙහි පැතිරීම, එහි පොදු ස්වභාවය, එහි විශාලත්වය සහ ප්‍රේක්ෂක ප්‍රමාණය වැනි ඇඟ පරිමාණයට ඇතුළත් වේ.

06.සමීපස්ථය ඇතුළු ව සම්භාවිතාව : නිර්වචනයානුකූල ව පෙළඹවීම අසම්පූර්ණ අපරාධයකි. ඒ අනුව පෙළඹවීමේ කතාවක් මගින් යම් ක්‍රියාවක් ප්‍රවර්ධනය කරන විට එය අපරාධයක් ලෙස නම් කිරීමට එම ක්‍රියාව නියත වශයෙන් සිදුවීම අත්‍යවශ්‍ය නොවේ. කෙසේ වුවද එමගින් තරමක හානියක් වීමේ අවදානම හඳුනාගත යුතුය. එයින් ගම්‍ය වන්නේ ඉලක්කගත කණ්ඩායමට එරෙහිව සත්‍ය ක්‍රියාමාර්ගයක් ගැනීමට එම කතාව සමත් වනු ඇති බවට සාධාරණ සම්භාවිතාවක් ඇති බව අධිකරණය විසින් තීරණය කළ යුතු අතර, එවැනි හේතු සෘජු විය යුතු බව ද පිළිගැනීමයි.

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...