ජනපති – අගමැති ඉන්දියාවට : උතුරු මුහුද ගැන අවසන් තීරණයක් : නැගෙනහිර හිස් ඉඩම් ගැන කඩිනම් වාර්තාවක් !

Share post:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන ලබන සතියේ ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත ය.

ඉන්දීය රජයෙන් සිදු කළ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. මෙම සංචාරය සඳහා විදේශ ඇමතිවරයා ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.

ඉන්දීය ධීවරයන් විසින් උතුරු මුහුදේ මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ තීරණයක් ගනු ඇතැයි ද සඳහන් ය.

උතුරු මුහුද

මේ අතර උතුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා ඉන්දීය ධීවරයන්ට නීත්‍යනුකූල අවසරයක් ලබාදීම සම්බන්ධයෙන් වන සාකච්ඡා පිළිබඳ දැඩි විරෝධය පළකරන බව යාපනය එක්සත් ධීවර සංගමය අවධාරණය කරයි.

මුල් වටයේදී තෝරාගත් පිරිසකට මෙම අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ආණ්ඩුව එකඟ වී ඇතැයි වාර්තා වන බව එම සංගමය පවසයි. දැනටත් ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලන බවත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් එම සංගමය පෙන්වා දෙයි. වරින්-වර එවැනි ධීවරයන් අත්අඩංගුවට ගැනීම් සිදුකළද, එය කිසිසේත්ම ඔවුන්ට බලපෑමක් නොවන බවත්, එසේ අත්අඩංගුවට ගන්නේද යාපනයේ ධීවරයන් නාවික හමුදාවට දැඩි විරෝධය දක්වන අවස්ථාවලදී පමණක් බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

ඉන්දීය ධීවර ඇමති එල්. මුරුගන් විසින් මීට අදාළ කටයුතු සිදුකරන බව ද ඔවුහු පවසති.

ඉදිරියේදී සිදුකිරීමට නියමිත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී මීට අදාළ අවසාන තීරණයක් ගැනීමට නියමිත බව ද එම සංගමය වෙනුවෙන් අදහස් පළකරමින් එහි සභාපති එස්. ජේසුරාසා අවධාරණය කර සිටී.

මේ අතර The Times of India වෙබ්අඩවිය එරට ධීවර ඇමතිවරයා උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ තමිල්නාඩුව සහ යාපනය අතර සමීප සම්බන්ධතා ආරම්භ කිරීම සඳහා වන සාකච්ඡා සාර්ථකව පැවැත්වෙන බවයි.

මෙම සංචාරයේදී ඉන්දීය විදේශ ඇමති එස්. ජයිශන්කර් සමග එරට ප්‍රධාන පෙළේ ආයෝජකයන් පිරිසක් සමග ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

නැගෙනහිර ඉඩම්

මේ අතර පසුගිය සතියේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර, එහිදී නැගෙනහිර පළාතේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එම සංචාරයෙන් පසු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් එම පළාතේ ඇති රජයේ ඉඩම් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...