සන්ධ්‍යාව ආනන්දයක් ද?

Share post:

‘කීර්ති වැලිසරගේ’ විසින් රචිත “සන්ධ්‍යානන්දය” කෘතියේ නාමාර්ථය දුටු කල්හි එය සන්ධ්‍යාව ආනන්දයකැයි වැටහී යා හැකිය. එහෙත් කෘතිය කියැවීම තුළ සැබැවින් ම සන්ධ්‍යාව ආනන්දයක් ද? යන්න ප්‍රශ්න කරන්නට පාඨකයාට සිදුවනු ඇත. එය හුදෙක් සමාජ සන්දර්භය තුළින් මෙන් ම ඓකකයන් ලෙස තම තමන්ගෙන් ද අසනු ලබන ප්‍රශ්නයක් විය හැකි ය.

සන්ධ්‍යා සමය යනු ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදයයි. කෙටියෙන් කිව හොත් ලංකාව වැනි රටවල නම් විශ්‍රාම සුවයෙන් දිවි සැරිය ගෙවන අවසන් කාල පරිච්ඡේදයයි. එය නිශ්චිතව අර්ථ ගත කළ නොහැක්කකි. මන්ද පුද්ගල සමාජය, රට, සංස්කෘතිය, බුද්ධිය ආදි පදනමින් මෙම සන්ධ්‍යා සමය අර්ථ ගැන්වීම මෙන් ම විඳීම ද වෙන වෙනස් ලෙසින් සිදුවන බැවින් ය. උදාහරණයක් ලෙසින් ලංකාව වැනි රටවල ජීවිතයේ සන්ධ්‍යා සමය යනු රැකියාව තුළින් විශ්‍රාම ලබා නිදහසේ විශ්‍රාම සුව සොයන කාලය විය හැකි ය. යුරෝපිය රටක් වැන්නක නම් බොහෝ විට වියපත් වූවන් ඔවුන්ගේ ම ජීවිත වල නව පරිච්ඡේදයන් අරඹන කාලයක් ය. සංචාරය, සිය විනෝදාස්වාද වෘත්තින් සොයා යෑම ආදිය එවන් සන්ධ්‍යා සමයන් හි දී ඔවුන් ආනන්දය ලබන්නට තෝරා ගනියි. නමුත් කෙසේ හෝ වේවා පුද්ගල ජීවිතයක සන්ධ්‍යා සමයේ පැවැත්ම සඳහා පොදු සමාජ සංදර්භය අත්‍යවශ්‍ය ම කොන්දේසියක් ලෙසින් බලපානු ලබන බව නම් ප්‍රකාශ කළ යුතුමය.

සන්ධ්‍යානන්දය තුළ අපට හමුවන කුටුම්භ වාසින් දෙදෙනා ආනන්ද සහ රාධා ය. මධ්‍යම පාන්තික සමාජවාසින් වන ඔවුන් දෙදෙනා සිය සන්ධ්‍යාව ආනන්දනීය කර ගනු උදෙසා හැසිරෙන ස්වභාවය කෘතිය තුළ කේන්ද්‍රගත තේමාව වෙයි. නමුත් පුද්ගල පැවැත්ම උදෙසා සමාජ, දේශපාලනික, ආර්ථික බලපෑම කවරාකාර ද යන්න සහ පොදුවේ ලංකාව වැනි රටවල දක්නට ලැබෙන කුහක සමාජ පරිසර තුළ ජීවිතයේ සන්ධ්‍යාව වුව ද ආනන්දනීය ලෙසින් නොව විනාශකාරි ලෙසින් ගත කරන්නට හේතු නිර්මාණය වන බව ද කතුවරයා දක්වයි.

සොරේන් කියකිගාඩ් නම් සාංදෘෂ්ටික දාර්ශනිකයාට අනුව පුද්ගල ජීවිතය තුළ මිනිසා මුහුණ දෙන ප්‍රධාන ලක්ෂණ දෙකක් පෙන්නුම් කෙරෙයි. එනම් ඉච්ඡාභංගත්වය හා සන්තාපයයි. මෙයින් ගැළවෙන්නට කියකිගාඩ් ආකාර තුනක් යටතේ ජීවිතය ගලා යා යුතු යැයි දක්වයි. ශෘංගාර ජීවිතය, ආචාරත්මක ජීවිතය, ආගමික ජීවිතය එම අදියර තුනයි.

පොදුවේ ගත් කළ ලංකාව වැනි ආගම් සමග තදින් බැදුණු සමාජ සංස්කෘති පද්ධති පවත්නා රටවල මනුෂ්‍ය දිවියේ සැදෑ සමය ආගමික ජීවිත සමග බද්ධකර ගන්නා ආකාර දැක ගත හැක්කේ කියකිගාඩ් ප්‍රකාශ කළ තුන්වන අදියර තුළ දැක්වෙන ආගමික ජීවිතයට යම් පමණකින් සමපාත වෙමිනි. විශේෂයෙන් ම එයට කාන්තා පාර්ශ්වයේ නැඹුරුතාව ප්‍රභල වන බව දැකිය හැකිය. ජීවිතයේ පැවැත්ම පිළිබද පුද්ගලයා තුළ පවතින අවසන් නොවන ගැටලු සහ ඉච්ඡාභංග හැඟීම් සමථනය කර ගන්නට ආගමික සහනය විමුක්තිය සොයා ඇදී යාම වියපත් පුද්ගලයන් තුළ අවිඥානිකවම ඇති වන්නකි.
රාධා අපට සම්මුඛ වන්නේ එවන් චරිතයක් නඩත්තු කරන ගැහැනියක් ලෙසින් ය. ආනන්ද යනු යම් පමණකින් එවන් ආගමික චරිතයකට නැඹුරු නොවන නමුත් සිය දෛනික ජීවිත රටාව ඇසුරෙන් ජීවිතය යම් පමණකින් විඳින්නට උත්සහ ගන්නා පිරිමියෙකි.

නමුත් පරිභෝජන ධනවාදය තුළ ආගම්භක්තිය පවා මිල කරන ස්වභාවයක් ඇතුළත රාධාට එම විමුක්තිය, සහනය පවා මුදලට ගන්නට සිදුවෙයි. ඇය සහභාගි වන භාවනා පන්තිය එවැන්නකි. එම භාවනාව මගින් ඇය යම් විමුක්තියත් සාක්ෂාත් කර ගනු ලබන බව සත්‍යකි. ඒ අනුව ලංකාව වැනි රටවල සන්ධ්‍යා සමයේ ආනන්දය ලෙසින් පුද්ගල අවිඥානය බලාපොරොත්තුවන ආනන්දය ඇය ලබයි. එහෙත්, කතුවරයා සිය කෘතියේ දි ප්‍රකාශ කරන්නට උත්සහ ගනු ලබන කරුණට ප්‍රවිශ්ට වන්නේ ඉන්පසුව යැයි වැටහෙන්නේ කෘතිය අවසන් අදියරට පැමිණීම සමගින් ය.

රාධා ගේ සන්ධ්‍යා සමය ආනන්දයක් කළ භාවනා පන්තියම ඇගේ ජීවිතයේ සන්ධ්‍යා සමය විනාශ කරන්නට හේතුව ඇත. එය රාධාගේ වරදක් නොව සමාජයේ ඇති නිස්සාරත්වය හේතුවෙන් සිදුවන්නකි. මන්ද පෙර කී පරිදි විමුක්තිය සොයා යන පුද්ගලයන්ට ආගමික් විමුක්තිය සැපයීම අද වානිජමය කාරියක් ව ඇතිවා මෙන් ම එවන් මධ්‍යස්ථාන ඇසුරේ සිදුවන සමාජ විරෝධි ක්‍රියා ගෝත්‍රික ලෙසින් ක්‍රියාත්මක වන්නේ එවැනි විමුක්තිය සොයා ඇදෙන අය විමුක්තිය වෙත නොව නරකාදිමය ජීවිතයකට ඇද දමනු රිසියෙනි. රාධාගේ ජීවිතය ඇද වැටෙන්නේ එවන් තැනකට ය.

ආගමික සහනය නොපැතූවද ආනන්දගේ මුල් අදියරේ ගෙවීයන නිස්කලංක දිවියට එක් වරම එන කුනාටුව ගෙන එන්නේද සමාජ දේශපාලනික කාරණා ඇසුරෙන් ය. මල්ලිකා පිළිබඳ ආනන්දගේ චෛතසික ක්‍රියාත්මක වීමට සහ ඒ තුළ ඇතිවන සිතුවිලි ගැටුම් සඳහා පවා සමාජය යම් අයුරකින් බලපානු ලබයි.
කෘතිය කියවා අවසන් කරන මොහොතේ පාඨක සිතෙහි ඇතිවිය හැකියැයි සිතිය හැකි වැකියක් කෙටියෙන් මෙසේ පැවැසිය හැකිය.
“සන්ධ්‍යාව ආනන්දයක් වන්නට නම් සමාජ දේහය ආනන්දනීය විය යුතු ය.”

එකම වැකියකිත් සන්ධ්‍යා නන්දය කියවන්නට කියුවහොත් පැවසිය හැක්කේ එවැන්නක් යැයි සිතෙයි.

ගයාන් අබේසිංහ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...