අප කල් ගත කරනුයේ විපරීත බව දිනෙන් දින දලුලන සමාජ වටපිටාවකය. මෙම විපරීතකරණය සීග්‍රයෙන් සාමාන්‍යකරණය වෙමින් පවතී. මෙහි පවත්නා වඩාත් ඛේදනීය තත්ත්වය වන්නේ අප සැවොම දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම විපරීතභාවයෙන් විනෝද චන්නන් බවට පත්ව තිබීමය. එහෙයින් අපි මෙම විපරීත බව උත්කර්ෂයට නංවමින් සිටිමු. කාංචනා ප්‍රියකාන්තගේ නවතම කෙටිකතා සංග්‍රහය වන ‘මං චිත්‍රපටයක’ කෘතිය පාඨකයාට මෙම විපරීත බව විකාරරෑපී ආකාරයකින් අත්දැකීමට ප්‍රබන්ධමය අවකාශයක් විවර කර දෙයි.
වේලාව නැවතී ඇති ඔරලෝසු කණුවල දෘෂ්ටිවාදි හැඟවුම් , පිටපත් ලිවීම බවට පත් වන පිටපත් රචනය, ජීවත් වන්නේද මිය ගොස්ද යන්න නිශ්චිතව නොදන්නා මිනිසුන්, වෙන් කර හඳුනා ගත නොහැකි රංගන ශිල්පීන් සහ ප්‍රේක්ෂකයන්, මවට මනමාලයන් සොයන දියණියන් , රෑප කල්‍යාණයේ අවිඥානය අත්විඳින ස්ත්‍රීන් , සංස්කෘතික පසුගාමිත්වයේ සංකේත බවට පත් වෙමින් පවතින බෝ ගස්, රහසක පවත්නා බර සහ සැහැල්ලුව මෙම කෙටිකතාවලින් පාඨකයාට අභිමුඛ වේ.
මෙම කෙටිකතා බහුතරයක දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය වන්නේ මෙකී විපරීත බව පාඨකයා වෙතට ගෙනයාමට කාංචනා භාවිත කරන විකාරරෑපී ආඛ්‍යානයයි. විපරීත බව විනෝදයට යා කරන මෙම ආඛ්‍යානය එතැනින් නොනැවතී විනෝදය හරහා සමකාලීන ඛේදය දැකීමට ඉඩ සලසයි.මෙම කෙටිකතා සරණියෙහි ඇති දහිර වාට්ටුව නම් කෙටිකතාවට මම වැඩියෙන් ම ඇලුම් කරමි. එය විපරීත ලොවක අසංවේදිත්වයත් අසංවේදී ලොවක විපරීත්වයත් ස්පර්ශ කිරීමට පාඨකයාට අවකාශ සලසන බහුවිධ හැඟවුම්වලින් යුත් කෙටිකතාවකි. යථාර්ථය යනු තවදුරටත් යථාර්ථයක් නොවන බවත් ප්‍රබන්ධය යනු තවදුරටත් ප්‍රබන්ධයක් නොවන බවත් හෘදසාක්ෂිය යනු තවදුරටත් හෘදසාක්ෂියක් නොවන බවත් මෙම කෙටිකතාව අපට පසක් කර දෙයි.
ඇතැම් කෙටිකතාවල පමණට වැඩි පැහැදිලි කිරීම්ද නැතුවා ද නොවේ. එමගින් ස්වකීය පරිකල්පන අවකාශය තමන්ගෙන් උදුරා ගන්නා හැඟීමක් පාඨකයෙකුට ඇති විය හැකිය. එමෙන්ම කලාතුරකින් සිදු වන දෘෂ්ටිවාදී මැදිහත්වීම් ද මඟහැර ගත හැකි වූයේ නම් එය ආඛ්‍යානයේ විකාරරෑපී රසය නිසැකවම තවත් වැඩි කරනු ඇත.
කෙසේවෙතත් , මෙය හෘදසාක්ෂියේ ඇඩ්‍රස් නැති වෙමින් යන වත්මන් සමාජයේ සාමූහික අවිඥානය දැක ගැනීමට මඟපාදන පරිකල්පනීය උත්සාහයක් බව කිව යුතුමය. කර්මාක්ෂ ඉක්මවා ඉදිරියට පියවරක් තැබීම ගැන කාංචනාට සුබ පතමු.