‘මං චිත්‍රපටයක’ හි විශේෂ ලක්ෂණය නම් විපරීත බව පාඨකයා වෙතට ගෙනයාමට භාවිත කරන විකාරරෑපී ආඛ්‍යානයයි

Share post:

අප කල් ගත කරනුයේ විපරීත බව දිනෙන් දින දලුලන සමාජ වටපිටාවකය. මෙම විපරීතකරණය සීග්‍රයෙන් සාමාන්‍යකරණය වෙමින් පවතී. මෙහි පවත්නා වඩාත් ඛේදනීය තත්ත්වය වන්නේ අප සැවොම දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම විපරීතභාවයෙන් විනෝද චන්නන් බවට පත්ව තිබීමය. එහෙයින් අපි මෙම විපරීත බව උත්කර්ෂයට නංවමින් සිටිමු. කාංචනා ප්‍රියකාන්තගේ නවතම කෙටිකතා සංග්‍රහය වන ‘මං චිත්‍රපටයක’ කෘතිය පාඨකයාට මෙම විපරීත බව විකාරරෑපී ආකාරයකින් අත්දැකීමට ප්‍රබන්ධමය අවකාශයක් විවර කර දෙයි.

වේලාව නැවතී ඇති ඔරලෝසු කණුවල දෘෂ්ටිවාදි හැඟවුම් , පිටපත් ලිවීම බවට පත් වන පිටපත් රචනය, ජීවත් වන්නේද මිය ගොස්ද යන්න නිශ්චිතව නොදන්නා මිනිසුන්, වෙන් කර හඳුනා ගත නොහැකි රංගන ශිල්පීන් සහ ප්‍රේක්ෂකයන්, මවට මනමාලයන් සොයන දියණියන් , රෑප කල්‍යාණයේ අවිඥානය අත්විඳින ස්ත්‍රීන් , සංස්කෘතික පසුගාමිත්වයේ සංකේත බවට පත් වෙමින් පවතින බෝ ගස්, රහසක පවත්නා බර සහ සැහැල්ලුව මෙම කෙටිකතාවලින් පාඨකයාට අභිමුඛ වේ.

මෙම කෙටිකතා බහුතරයක දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය වන්නේ මෙකී විපරීත බව පාඨකයා වෙතට ගෙනයාමට කාංචනා භාවිත කරන විකාරරෑපී ආඛ්‍යානයයි. විපරීත බව විනෝදයට යා කරන මෙම ආඛ්‍යානය එතැනින් නොනැවතී විනෝදය හරහා සමකාලීන ඛේදය දැකීමට ඉඩ සලසයි.මෙම කෙටිකතා සරණියෙහි ඇති දහිර වාට්ටුව නම් කෙටිකතාවට මම වැඩියෙන් ම ඇලුම් කරමි. එය විපරීත ලොවක අසංවේදිත්වයත් අසංවේදී ලොවක විපරීත්වයත් ස්පර්ශ කිරීමට පාඨකයාට අවකාශ සලසන බහුවිධ හැඟවුම්වලින් යුත් කෙටිකතාවකි. යථාර්ථය යනු තවදුරටත් යථාර්ථයක් නොවන බවත් ප්‍රබන්ධය යනු තවදුරටත් ප්‍රබන්ධයක් නොවන බවත් හෘදසාක්ෂිය යනු තවදුරටත් හෘදසාක්ෂියක් නොවන බවත් මෙම කෙටිකතාව අපට පසක් කර දෙයි.
ඇතැම් කෙටිකතාවල පමණට වැඩි පැහැදිලි කිරීම්ද නැතුවා ද නොවේ. එමගින් ස්වකීය පරිකල්පන අවකාශය තමන්ගෙන් උදුරා ගන්නා හැඟීමක් පාඨකයෙකුට ඇති විය හැකිය. එමෙන්ම කලාතුරකින් සිදු වන දෘෂ්ටිවාදී මැදිහත්වීම් ද මඟහැර ගත හැකි වූයේ නම් එය ආඛ්‍යානයේ විකාරරෑපී රසය නිසැකවම තවත් වැඩි කරනු ඇත.
කෙසේවෙතත් , මෙය හෘදසාක්ෂියේ ඇඩ්‍රස් නැති වෙමින් යන වත්මන් සමාජයේ සාමූහික අවිඥානය දැක ගැනීමට මඟපාදන පරිකල්පනීය උත්සාහයක් බව කිව යුතුමය. කර්මාක්ෂ ඉක්මවා ඉදිරියට පියවරක් තැබීම ගැන කාංචනාට සුබ පතමු.

උදිත අලහකෝන්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...