පාර්ලිමේන්තුව ස්ථාවරය වෙනස් කරයි : තොරතුරු කොමිසමට අසත්‍ය කරුණු දැක්වීම දඬුවම් ලැබිය හැකි වරදක් – කොමිසමෙන් අවවාද !

Share post:

සහරාන්ගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා  හාදියා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු අටදෙනෙකු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවට ලබාදුන් සාක්ෂිවල පිටපත් ලබානොදීමට අදාළ ව මාස 7ක් පුරා පැවති අභියාචනා  විභාගය අවසන් කළ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව එහි තීන්දුව සඳහා දින නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එහි හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, යුද හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂ චූූලා කොඩිතුවක්කූ, නවුෆර් මවුලවි, ගෆූර් මාමා සහ අබ්දුල් කාදර් ෆාතිමා  හාදියා යන පිරිස ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ලබාදුන් සාක්ෂිවල පිටපත් ඉල්ලමින් සමාජය හා  සාමයික කේන්ද්‍රය වෙනුවෙන් තරිඳු ජයවර්ධන ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලීමකට අදාළ අභියාචනය පෙරේදා (04) තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් වන අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු රෝහිණී මාරසිංහ, නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ ජගත් ලියනආරච්චි සහ ඒ. එම්. නහියා ඉදිරියේ විභාගයට ගැනිණි.

එහිදී නීතිඥ සුරේන් ඩී. පෙරේරා සහ නීතිඥ මනුෂිකා කුරේ විසින් සකස් කරන ලද පිටු 10ක ලිඛිත දේශනයක් තවත් ඇමුණුම් 20ක් සමග කොමිසමට ඉදිරිපත් කරමින් අභියාචක දැනුම් දුන්නේ ශ්‍රී ලංකා  පාර්ලිමේන්තුවේ නිලධාරීන් වරින්-වර තම ස්ථාවරය මාරු කර ඇති බවයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මුලින් මෙම තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ තමන්ගේ සන්තකයේ, බාරයේ හෝ පාලනයේ තොරතුරු නොමැති බව කියමින් බවත්, ඒවා සන්තකයේ, බාරයේ, පාලනයේ තිබෙන බවට අභියාචකගේ නීතිඥවරයා කරුණු දැක්වීමෙන් පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තූව තම ස්ථාවරය වෙනස් කර, එම තොරතුරු ලබාදීම මගින් බලතල හා  වරප්‍රසාද පනත උල්ලංඝනය වන නිසා ලබාදිය නොහැකි යැයි පැවසූ බවත් අභියාචක සඳහන් කළේය.

එසේ තිබියදී ජුනි 28දා තොරතුරු කොමිසමට ලිපියක් යොමුකරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා නැවත වරක් ස්ථාවරය වෙනස් කරමින් පාස්කු වෙළුම් රඳවා තබාගෙන සිටියද, ඒවා  සන්තකයේ, බාරයේ හෝ පාලනයේ නොමැති බව සඳහන් කර ඇති බවත්, පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරිවරයාගේ කරුණු දැක්වීම අසත්‍ය බව සිය ලිඛිත දේශනයෙන් ඔප්පු කර ඇති බවත් අභියාචක අවධාරණය කළේය.

ශ්‍රී ලංකා  පාර්ලිමේන්තුව වරින්-වර ස්ථාවර වෙනස් කිරීම නිසා ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවත්, අදාළ වෙළුම් සන්තකයේ, බාරයේ, පාලනයේ නැතැයි ප්‍රකාශ කරන්නේ කුමන පදනමකින් ද යන්න ගැනත් තොරතුරු කොමිසම පාර්ලිමේන්තුවේ නිලධාරීන්ගෙන් මෙහිදී ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් අදාළ නිලධාරීන් සඳහන් කළේ එම වෙළුම් පාර්ලිමේන්තුවේ රඳවා තබාගැනීම පමණක් කරන බවයි.

රඳවා තබාගැනීම යනු පාර්ලිමේන්තුවේ බාරයේ හෝ සන්තකයේ තිබීම නොවේදැයි කොමිසම ප්‍රශ්න කළ අතර, ඊට පිළිතුරු දෙමින් එය බාරයේ තිබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පිළිගත්හ.

පාර්ලිමේන්තුවේ නිලධාරීන් නීතියට අනුකූල නොවන ලෙස ලිඛිත දේශන ඉදිරිපත් කිරීම ගැන අප්‍රසාදය පළ කළ තොරතුරු කොමිසම, කොමිසමට අසත්‍ය කරුණු දැක්වීම දඬුවම් ලැබිය හැකි වරදක් වන බව ද අවධාරණය කළේය. ඒ අනුව අගෝස්තූ 04දාට පෙර අවසන් වරට ලිඛිත ව කරුණු දැක්වීම් කරන ලෙස පාර්ලිමේන්තුවට දැනුම් දුන් තොරතුරු කොමිසම, ඊට පිළිතුරු සැපයීම සඳහා අභියාචකට අගෝස්තූ 18 තෙක් කල්දෙමින් මාස 07ක් පුරා පැවති අභියාචනා විභාගය අවසන් කළේය.

ලිඛිත දේශන ලැබුණු පසු සියලු කරුණු සලකා  බලමින් තොරතුරු කොමිසමේ තීන්දුව ප්‍රකාශයට පත්කරන බව කොමිසම දෙපාර්ශ්වයට ම දැනුම් දුන්නේය.

අභියාචක තරිඳු ජයවර්ධන වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ පෙනී සිටි අතර, අභියාචනා විභාගය නිරීක්ෂණය කිරීම සඳහා සමාජය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...