‘එය අලු පැහැති කවුළුවකි” ජීවිතයට ආදරය කරන්නට ඇරයුම් කරනා ව්‍යායාමයකි

Share post:

‘එය අලු පැහැති කවුළුවකි’- පද්මිණී ශ්‍රියාලතා

කවිය සම්බන්ධයෙන් නිරන්තර අභ්‍යාසයට, අත්හදා බැලීම්වලට මෙන්ම නව බීජාංකුර සොයා යාමේ සූදානම සහ විඩා රහිත බව කවියෙකු හට ඇත්නම් ගතවන කාලය දිගුවීම ඔහුට හෝ ඇයට ගැටළුවක් නොවේ. වසර හතරක නිහැඬියාවකින් පසුව තමන්ගේ නව කවි එකතුව සමගින් පාඨකයා හමුවට එන පද්මිණී ශ්‍රියාලතා කිවිඳිය සිය කවි තුළින් පල කර සිටින්නේ එයයි.

ඇගේ නව කවි එකතුව වඩා පරිණත, ජීවිතය දෙස සන්සුන් විචාරශීලී ඇසකින් බලන්නට සූදානම් නිර්මාණකාරියකගේ ශ්‍රමයෙහි සුන්දර පලයකි. ගෙවෙන සෑම තත්පරයක්ම අපේ ජීවිත හකුලා දමමින් අපට මනුෂ්‍ය තත්වයන් අතහැර බිංකුණ්ඩන් මෙන් දුහුවිලි අතර සැඟවෙන්නට බල කරයි. ආර්ථික මෙන්ම සමාජ දේශපාලන තත්වයන්ද ඒ සියල්ල අතරේ ඇතිවන සංස්කෘතික අවවර්ධනයන්ද නිර්මාණශීලී මිනිසා වෙනුවට නූතන තාක්ෂණ මෙවලම් අතර සැඟවෙන, එහිම ජීවිත සන්තෘප්තිය සොයන, අනෙකා ගැන නොතකා තමන්ගේ යහපතම පතනා යන්ත්‍රයක් නිපදවීමට දායක වෙයි. මේ මොහොතේ සෑම දෙයක්ම අපට අනදාලය. අදාල වන්නේ ඕනෑම ඛේදයකින් වුව අපට ලැබිය හැකි නිමේෂයක වුව සන්තුෂ්ටිය පමණි. මෙය වඩාත් පැහැදිලි වූ අවස්ථාවක් වනුයේ පාස්කු බොම්බ පෙල හමුවේ දෙහිවල නවාතැන් පොලක සසඟෙහි යෙදෙමින් සිටියදී මිය ගිය යුවලගේ කතාවයි. එහි කාන්තාව පුරුෂයාගේ සිරුර මත සිටිනා ඡායාරූපයට ඒ දිනවල සමාජ මාධ්‍යවල ලැබුණ තැන අපේ මානසික තත්වය මොනවට කියා පෑවේය.
පද්මිණීගේ කිනම් මිනිසෙක්ද මොහු යන කවියෙන් මේ යථාර්තය මනාව ඉදිරිපත් කෙරෙයි. එහි ඉන්නේ වර්තමාන ආඩම්බරකාරී මිනිසාය. ඔහු සිටිනුයේ ගිරි හිසෙහිය. තුටිනි, දිනුවෙමි යන අබිමනිනි. ඔහුට අන් කිසිවක් වැදගත් නැත. එකම වැදගත් දෙය තමන් මුදුනෙහි සිටින්නේය යන්නම පමණි. පද්මිණී සිය කවියෙන් මතු කරන පැණය වනුයේ මෙය ජීවිතයද යන්නයි.

කිනම් මිනිසෙක්ද මොහු
දිනුවෙමියි පවසන

පහල දෙණි පෙත් වල
සයින් පීඩිත දරු හැඬුම් හඬ
බියෙන් මිරිකෙන හුදි ජන හඬ
බුරුතු ගණනින් ගිලන් හල් වල
සොවින් වැළපෙන මිනිස් කටහඬ

නොදැක නොඅසා ගිරිහිසට නැග
තනිව රස මසවුළු මිහිර විඳ
දිනුවෙමියි මොරදෙන
කිනම් මිනිසෙක්ද මොහු

පාවුලෝ කොයියෝගේ සන්තියාගේ නම් සැරිසරන්නාහි එක් වෙළෙන්දෙක් වෙයි. ඔහු මක්කම යාමේ සිහිනයක් නඩත්තු කරයි. එහෙත් කිසි දිනෙක හෝ ඔහු එහි නොයයි. ඔහු ජීවත් වනුයේ ඒ සිහිනයද සමගිනි. පද්මිණී ගේ එතෙර වනු පිණිස නම් කවිය ඒ අවස්ථාව සිහිපත් කරවයි. මිනිසා එක තැන පල් වෙන්නට හරිනා මනෝභාවයක් ඇය අපූරුවට කවියට නගන්නීය. ඇගේ කවියෙහි ඇරඹුමෙහි පටන් දිගහැරෙනුයේ විවිධ බාධාවන් මැද ඉදිරියට ඇදෙනා මිනිසෙකි. මේ ඒ ගමන් මගෙහි තොරතුරු වලින් බිඳකි.
මග අවුරාන ඉන්නා
දිගු දිවැති
ලේ පෙරෙන රාක්ෂසයින්
මගහැර ඉදිරියට යමි

මේ ඇගේ කවියෙහි අවසන ඒ මගියාගේ තත්වයයි.

තරණය කළොත් පාලම
එතෙරය
එතෙරවූ තැන සිට
පැහැදිලිය මග

එහෙත්
මම තවම ගෙතුලය
ඇණ ගසා දොරගුළු ලූ
ගිනිහල් ගෙයක් බඳු
ගෙතුළය

ලංකාවේ බුදු දහම යනු කඳු මුදුන් මත සෑ ඉදිකිරීමෙන් නොසැනසෙන ලුහුබැඳයාමකි. ඒ ලුහුබැඳ යාම විසින් ලුහුබඳින්නා වඩ වඩා බුදුන්ගෙන් ඈත්වන බව නොදනියි. භික්ෂු පාර්ශවයද තම සෑයෙහි විභූතිය නොනසා පවත්වාගනු පිණිස ඒ අවබෝධය සැදැහැවතා තුළ ඇතිවනු වලක්වාලීමට යුහුසුළු වෙති. මේ ආටෝපකාරී දහම විමසන්නට පද්මිණී උත්සුක වන්නී බුදු වදන පෙරවදනක් කරගනිමිනි. ඇගේ වඩුවෝ නම් කවිය මේ වාණිජකරනයට ලක්වූ තරගකාරී දහමෙහි නග්න ස්වභාවය මතුකර දක්වයි.

වර්තමාන සමාජයේ බහුතරව සොබා දහමට එරෙහිය. තම පැවැත්ම උදෙසා සොබා දහම වනසාලන ඔවුහු සියතින් ගෙල සිඳගන්නා පැවැත්මක් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිති. පද්මිණි මේ සමාජය කෙරේ විවේචනාත්මක වන අතරම ඒ පරිහාණිගත සමාජයෙහි ආදරය පැල කරනා මිනිසුන් වෙත දයාර්ද්‍ර බැල්මක් හෙලන්නීය. දෙව්රුව නමින් එන කවිය ඇගේ ඒ දැක්ම විදහන අපූරු කවියකි. එහි ඇති සියුම් සංවේදී බව කිවිඳියගේ කවිකාර කමෙහි වර්ධනයද පල කර සිටියි.

පද්මිණී කවිය නූතන සමාජ ස්ථාරයන්හී විවිධ අංශු කණිනා ඒ අතරම ජීවිතයෙහි විසුළු ස්වභාවය මේ යයි කියන්නට තැත් දරනා එහෙත් ඉන් නොනැවතී ජීවිතයට ආදරය කරන්නට ඇරයුම් කරනා ව්‍යායාමයකි. ඇගේ කවියෙහි අගය ඇත්තේද එතැනය. ඇගේ කවියෙහි ගැබ්ව ඇති බලාපොරොත්තුව පාඨකයා වෙත ගිණි පුළිඟු වන් ආලෝක අංශු දල්වා දෙයි. ඒ කවිය විඳීම යනු එක්තරා ආකාරයක හුදෙකලා පෙත් මගෙක නිහඬව කරනා සැරියක් වැනිය. ඒ සැරිය අතරෙහි පාඨකයා හට ඇගේ කවි තුළින් තමන් තුළ සිහින් ස්වර නැංවෙන සෙයක් දැනෙන්නට ගනියි. ඒ සිහින් සර යනු ජීවිතයට අපේක්ෂාව දල්වන්නකි. ඇය ඒ ගැන කියන්නේ මෙලෙසිනි.

ප්‍රදීපාගාරයත්
නිවී ගොස් ඇති විටක
තාරකාවත් හොඳම යාළුවෙක්

චූලානන්ද සමරනායක

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...