යූටියුබ් ඔස්සේ අදහස් පළකළ පොලිස් සැරයන්ගේ වැඩ තහනම් : අකටයුතු නාදකයන්  (Whistleblowers) නිහඬ කිරීමට ඉඩ දිය යුතු ද ?

Share post:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකමක් ලෙස සුරක්ෂිත කර ඇති භාෂණයේ නිදහස භුක්ති විඳිමින් යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකළ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

කොළඹ – කුරුඳුවත්ත පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන් විමල් ජයසේකර (අංක 10412) විසින් යූටියුබ් ඔස්සේ වීඩියෝ 03ක් මුදාහරිමින් සඳහන් කර තිබුණේ පොලිස් දෙපාර්තමේන්තුවේ විෂමාචාර සම්බන්ධයෙන් ය. කොළඹ දකුණ දිස්ත්‍රික් iii සහකාර පොලිස් අධිකාරි සී.ඒ. අබේසිරිගුණවර්ධන විසින් පෙරේදා (22) මීට අදාළ වැඩ තහනම් කිරීමේ නියෝගය කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා මාර්ගයෙන් සරයන් ජයසේකර වෙත යොමු කර තිබේ.

අදාළ වැඩ තහනම් කිරීමේ නියෝගයේ මෙසේ සඳහන් වේ.

‘නිසි අවසරයක් නොමැතිව ශ්‍රී ලංකා පොලිසියේ හොඳ නමට කැළලක් ඇති වන අන්දමින් හා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් කෙරෙහි මහජනතාව තුළ අප්‍රසාදයක් ඇති වන අන්දමින් ඔබගේ නමින් සකස්කරන ලද ඔබගේ සමාජ මාධ්‍ය ජාල ගිණුම් ඔස්සේ 2023. 06. 17, 2023. 06. 18 සහ 2023. 06. 20 යන දිනයන්හි නිල ඇඳුමින් සැරසී වීඩියෝපට ප්‍රචාරය කරවමින් හා සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැරීමෙන් ඔබ පොලිස් නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා පොලිස් නියෝග ඒ 7 බී පරිශිෂ්ඨයේ විනය සංග්‍රහය යටතට ගැනෙන වැරදි හෝ විෂමාචාරයන් එකක් හෝ කිහිපයක් සිදු කර ඇත.’

මෙය තදබල විනය විරෝධී ක්‍රියාවක් බව අදාළ ලිපියේ දක්වා ඇති අතර, එම නිසා ඔහු සතු නිල ඇඳුම්, නිල හැඳුනුම්පත සහ ලිපිලේඛන සියල්ල වහාම බාරදෙන ලෙසත්, ඉදිරියේදී චෝදනා පත්‍රයක් ලබාදෙන බවත් එහි සඳහන් ය.

පොලිස් දෙපාර්තමේන්තුවේ අකටයුතුකම් සහ අත්තනෝමතික ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අදාළ සැරයන්වරයා විසින් පළකර ඇති මෙම වීඩියෝ මගින් අනාවරණය කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ද පාර්ශ්ව කිහිපයක් සූදානම් වේ.

අකටයුතු නාදකයන්ගේ දිනය

මේ අතර පෙරේදා (22) මෙම ලිපිය නිකුත් කිරීමත් ඊයේ (23) දිනයත් අතර ද දැඩි සම්බන්ධයක් පවතී. ඒ, ඊයේ (23) දිනය ජාත්‍යන්තර අකටයුතු නාදකයන්ගේ දිනය (Whistleblowers) ලෙස නම් කර ඇති නිසා ය.

අකටයුතු නාදකයන් ලෙස හඳුන්වන්නේ යම් ආයතනයක් තුළ සිදු වන නීතිවිරෝධී ක්‍රියා හෝ විෂමාචාර පිළිබඳ පෙරට පැමිණ හඬ නැගීමට කටයුතු කරන්නන් ය. එසේ වැරදි පෙන්වා දෙන්නේ ඒවා නතර කිරීමට, නිවැරදි කරගැනීමට හෝ ඒවායින් සිදු වන හානි අවම කරගැනීමේ බලාපොරොත්තුවෙන් ය. පෞද්ගලික අවදානමක් ගනිමින් ඔවුන් කටයුතු කරන්නේ පොදු යහපත වෙනුවෙනි.

මෙම පොලිස් සැරයන්වරයා ද මෙහිදී කටයුතු කර ඇත්තේ අකටයුතු නාදකයකුගේ භූමිකාවෙනි. මෙසේ අකටයුතු නාදකයන් නිහඬ කරවීමට දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඇතුළු විවිධ උපක්‍රම මගින් ආණ්ඩුව මේ මොහොතේ දැඩි උත්සාහයක් ගනිමින් සිටී.

ව්‍යවස්ථාවේ 14 (1)(අ)

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාවේ මෙසේ දක්වා ඇත. සෑම පුරවැසියෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය. එනම් ව්‍යවස්ථාවට අනුව එය පුරවැසියන්ට ඇති අයිතියකි.

14(1)(අ) ව්‍යවස්ථාවේ සීමාව

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 ව්‍යවස්ථාවේ දක්වා තිබෙන්නේ ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම් සීමා කළ හැකි අවස්ථා ය. එහි 15(2)ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ හෝ ක්‍රියාත්මක විය හැක්කේ ආගමික හෝ වාර්ගික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබූ සීමාවන්ට යටත්ව බව ය.
එසේම 15(7) ව්‍යවස්ථාවේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ රාජ්‍ය ආරක්ෂාව ද, රටේ යථාපැවැත්ම ද තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වග බලාගැනීම පිණිසත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබසාධනය සඳහා යුක්ති සහගත අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම්වලට යටත්ව බව ද සඳහන් ය.
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනිමින් නඩු තීන්දු රාශියක් ලබාදී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දු ලබාදීමේදී ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාව පමණක් හුදෙකලා කොට තීන්දු ලබා දී නැත. එම ව්‍යවස්ථාවෙන් සංස්ථාපනය කොට ඇති අයිතිය සලකා බැලිය යුත්තේ 15(2) සහ 15(7) ව්‍යවස්ථාවල සඳහන් තත්ත්වයන් සමග ය.

නඩු තීන්දු

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දු කිහිපයක භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ගැන මෙසේ දක්වා ඇත.
වනිගසූරිය එදිරිව පීරිස් (SC/FR/199/87)
දැනුම බෙදාදීම ද භාෂණයේ නිදහස තුළට ගැනෙන බව මෙම තීන්දුවේ දක්වා ඇත.
විජේරත්න එදිරිව පෙරේරා (SC/FR/379/93)
රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය විවේචනය කිරීම ද භාෂණයේ නිදහස යටතේ පිළිගත හැකි ක්‍රියාවක් බව මේ තීන්දුවේ දක්වා ඇත. මේ තීන්දුවේ මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා මෙසේ සඳහන් කොට ඇත.
(Those who begin coercive elimination of dissent soon find themselves exterminating dissenters. Compulsary unfication of opinion achieves only the unanimity of grave yard. It seems trite but necessary to say that the first amendment was designed to avoid these ends by avoid these ends by avoiding these beginings.)
දේශප්‍රිය එදිරිව නගරාධිපති, නුවරඑළිය මහ නගර සභාව (1995(1)SLR/362)
මෙම නඩුවට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මෙසේ දක්වා ඇත.
‘විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් සිදුවන 14(1)(අ) ව්‍යවස්ථාව උල්ලංඝනය වීමකදී එය විවිධාකාරයෙන් සිදුවිය හැකි අතර, සෘජුව හෝ වක්‍රාකාරයෙන් ද සිදුවිය හැකිය. රජය විසින් පාලනය කරනු ලබන ප්‍රවෘත්ති පත්‍රවල රජයට කෙරෙන විවේචනයන් පළනොකිරීම දේශපාලන මතය යන කාරණය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තිය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකි අතර, රජයෙන් පාලනය නොවන පුවත්පතක් (යුක්තිය) බලහත්කාරයකින් හෝ වෙනත් ආකාරයකින් සැඟවීම හෝ යටපත් කිරීම ද මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වන අතර, එය පෙර සඳහන් දෙවන වර්ගයට අයත් අතර වඩාත් භයානක වරදක් වේ.’
නුවරඑළිය නගරාධිපතිවරයා විසින් යුක්තිය පුවත්පත් 450ක් බෙදාහරින්නට පෙර, පැහැරගෙන යෑමෙන් තම අයිතිවාසිකම් කඩ වූ බවට පැමිණිලි කරමින් එහි කර්තෘ සුනන්ද දේශප්‍රිය විසින් මෙම නඩුව ගොනු කොට තිබූ අතර, ඔහුගේ අයිතිවාසිකම් කඩ කොට ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස නගරාධිපතිවරයාට නියෝග කළේය.
අමරතුංග එදිරිව සිරිමල් සහ තවත් අය (1993(1)SLR/264) (ජනඝෝෂා නඩුව)
රට පුරා විනාඩි 15ක් විවිධ ශබ්ද ඇති කරමින් එවකට පැවති එජාප රජයට විරෝධතාව ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් තීරණය කරනු ලැබූ අතර, නඩුවේ පෙත්සම්කරු ඉංගිරියේදී බෙරයක් ගසමින් එසේ විරෝධතාව දක්වන අතරතුර එය නවත්වන්නට දුන් අණ නොතකා බෙරය වැයීම නිසා පොලිස් පහරදීමකට ලක්වූ අතර, බෙරය ද පොලිසිය විනාශ කළේය. පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය.
මේ පූර්ණ ක්‍රියාවලියට එරෙහිව පැවරූ නඩුවේදී ඒ ආකාරයේ ප්‍රකාශනයක්ද මූලික අයිතිවාසිකම් යටතට ගැනෙන බව තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුට රුපියල් 100,000ක වන්දියක් ‌ගෙවන්නැයි නියම කළේය. එසේම එම තීන්දුවේ රජයට එරෙහි සටන් පාඨ නීතිය කඩකිරීමක් නොවන බව ද, එය පොලිස් ආඥා පනත යටතේ ගැනෙන වරද නොවන බව ද සඳහන් කෙරිණි.

Related articles

රාවයට, වික්ටර් අයිවන්ට සහ හිටපු කතෘ විමලනාත්ට නඩු

රාවය(ගරන්ටි)පුද්. සමාගම මගින් ප්‍රකාශයට පත් කළ රාවය පුවත්පත මුද්‍රණය කිරීම නවත්වා එහි දේපළ විකිණීමට යත්න දැරීමට එරෙහිව, රාවයේ...

ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට අවශ්‍ය රුපියල් බිලියන 20යි – රුපියල් බිලියන 22,000ක් අතුරුදන් කර ඇතැයි විගණකාධිපති හෙළිකරයි !

ලංකාව නම් කුමක්ද යනුවෙන් ප්‍රශ්නයක් නැගූ විට ඊට මෙවැනි පිළිතුරක් දිය හැකිය. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරෙන...

මනෝජ් ප්‍රභාකර්ට ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහටම අහිමිකළ තරගය

සනත් ජයසූරිය විසින් මනෝජ් ප්‍රභාකර් ගේ ක්‍රීඩා දිවිය අවසන් කළේ 1996 වසරේ අද වැනි දිනකයි.1996 ලෝක කුසලානයේ ඉන්දියාව...

ප්‍රශ්නය – පොලිස්පති පත්කරද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ හැසිරීම හරි ද? : පිළිතුර – නෛතික ගැටළුවක් තියෙනවා. පුරවැසියන්ට අධිකරණයට යන්න පුළුවන් !

පොලිස්පති ධුරය සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත...